කුසලතා පදනම් කරගත් අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සමාජ විෂමතා වර්ධනය

අනුෂ්කා කහඳගමගේ

මෑතකදී එළිදැක්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විද්වතුන්, පර්යේෂකයින්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් අතර සැලකිය යුතු කතාබහක් ඇති කර තිබේ. මෙම ප්‍රතිසංස්කරණ සඳහා දායක වීමට සෑම පාර්ෂවයකටම අවශ්‍යව ඇති නමුත්, නිසි ප්‍රවිචාරණ ක්‍රියාවලියක් හෝ, විධිමත් ලේඛනයක් නොමැතිව ඉදිරියට යමින්, රජය දිනෙන් දින වෙනස්වන පවර්පොයින්ට් ඉදිරිපත් කිරීමක් මත පමණක් විශ්වාසය තබයි. ප්‍රතිසංස්කරණ විනිවිද භාවයෙන් තොර වුවත්, සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රවෘත්ති මත ජනතාව විශ්වාසය නොතැබිය යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ නිකුත් කරමින් සිටී.

රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විනිවිද භාවයෙන් තොරවූවත්, පරිපාලනය විසින් සමහර ප්‍රතිපත්ති දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතියි. උදාහරණයක් ලෙස, ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දුවලින් එකක් වූයේ ‘ගෝලීය වශයෙන් ශ්‍රේණිගත කර ඇති විශ්ව විද්‍යාලවල උපාධි හැදෑරීම සඳහා උසස් පාසල් උපාධිධාරීන්ට සෑම වසරකම ශිෂ්‍යත්ව 200 ක් ලබා දීම’ යන්නයි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ පළමු පියවරක් ලෙස, රජය විසින් මෑතකදී උසස් පෙළ විභාගයෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත. ‘ජාත්‍යන්තර වශයෙන් ශ්‍රේණිගත කර ඇති විශ්ව විද්‍යාල සඳහා ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘතයි’ යන මාතෘකාව යටතේ සන්ඩේ ටයිම්ස් (2025 අගෝස්තු 24) හි පළ වූ පුවතක්, ‘රට පුරා පාසල්වලින් උසස් පෙළ විභාගයෙන් ඉහළ ජයග්‍රහණ ලබා ගත් සිසුන් විසිපහේ සිට පනහ දක්වා රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනේ පළමු අදියර යටතේ ශ්‍රේණිගත කර ඇති ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සඳහා තෝරා ගනු ලැබේ.’ ලිපියේ සඳහන් කර ඇති පරිදි, දේශීය විශ්ව විද්‍යාල විසින් පිරිනමනු නොලබන සහ රජය ජාතික සංවර්ධනයට දායක වනු ඇතැයි උපකල්පනය කරන උපාධි වැඩසටහන් සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ. ‘සංවර්ධනය’ පිළිබඳ රජයේ අදහස කුමක්ද යන්න හෝ සිසුන් විදේශගත කිරීමට වඩා මෙම නව විෂයයන් දේශීය විශ්ව විද්‍යාල පද්ධතියට හඳුන්වා දීමට රජයට නොහැකි වන්නේ මන්ද යන්න පැහැදිලි නැත.

රජය විසින් මෙම ශිෂ්‍යත්වය පූර්ණ වශයෙන් ආවරණය කරන අතර, විශ්ව විද්‍යාල පන්ති ගාස්තු, මාසික වියදම සඳහා දීමනාවක්, සෞඛ්‍ය රක්ෂණයක් සහ ළඟම ඇති ගුවන් තොටුපළට දේශීය ප්‍රවාහන ගාස්තු ඇතුළුව ආර්ථික පන්තියේ වට-සංචාර ගුවන් ගමනක් ද මීට ඇතුළත් වෙයි. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ 2025 සිට 2029 දක්වා වසර පහක් තුළ ශිෂ්‍යත්ව 200 ක් ප්‍රදානය කිරීම වන අතර එමඟින් ලොව ඉහළම විශ්ව විද්‍යාල 500 ට ඇතුළත් විශ්ව විද්‍යාල සඳහා තෝරාගත් දේශීය සිසුන් ඇතුළත් කිරීමයි. මෙම ව්‍යාපෘතිය මඟින් ඉහළ දක්ෂතා දක්වන සිසුන්ට විදේශයන්හී අධ්‍යාපනය ලැබීමට අවස්තාව ලබාදෙන බැවින්,   නව ලිබරල් ආර්ථික රාමුවලින් බලපෑමට ලක් වූවන් මෙම ව්‍යාපෘතිය විශිෂ්ට බව විශ්වාස කළ හැකිය.කෙසේ වෙතත්, මතුපිටින් මෙය සත්‍යයක් ලෙස පෙනුනද, බිම් මට්ටමේ යථාර්ථයන් වෙනස් විය හැකි අතර මෙම ප්‍රතිසංස්කරණය අහිතකර ප්‍රතිවිපාක ඇති කිරීමට ඉඩ ඇත. මතුපිටින් මෙය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස පෙනුනද, බිම් මට්ටමේ යථාර්ථයන් වෙනස් විය හැකි අතර මෙම ප්‍රතිසංස්කරණය අහිතකර ප්‍රතිවිපාක ඇති කිරීමට ඉඩ ඇත.

කුසලතා සැමරීම

කුසලතා මත පදනම් වූ සමාජයක, ඉහළ ජයග්‍රාහකයින්ගේ සාර්ථකත්වය සදාචාරාත්මකව යුක්ති සහගත වන අතර, ජයග්‍රාහකයින් විශ්වාස කරන්නේ ඔවුන් තම සාර්ථකත්වය උපයා ඇත්තේ ඔවුන්ගේ දක්ෂතාවයෙන් සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පමණක් බවයි. එවැනි දෘෂ්ටි කෝණයකින්, විභාගවල ඉහළ ලකුණු, අධ්‍යයන විශිෂ්ටත්වය සහ සම්මාන, ජයග්‍රාහකයාගේ උත්සාහය සහ සාර්ථකත්වය පමණක් ලෙස පෙනෙන්නට පුළුවන. අප ජීවත් වන්නේ අසමානතා සහිත සමාජයක වන අතර, වඩා හොඳ පාසල්, පෞද්ගලික උපකාරක පන්ති, ප්‍රවාහනය, ආහාර සහ අනෙකුත් මූලික අවශ්‍යතා වැනි සම්පත් සඳහා සිසුන්ගේ ප්‍රවේශය ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය, කලාපය, පාසල, ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය සහ වෙනත් විවිධ සාධක මත මෙම අසමානතා රඳා පවතියි. මේ අනුව, කුසලතා ලබා ගැනීම හුදෙක් දක්ෂතාවයේ සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ කාරණයක් නොව, අනෙකුත් සමාජ-ආර්ථික සහ දේශපාලන සාධක මගින්ද බලපෑමට ලක්වන, තීරණය වන කරුණක් වෙයි. කෙසේ වෙතත්, කුසලතා මත පදනම් වූ ක්‍රමයක් තුළ, කුසලතා සැමරීම සිදු කරන අතර, මෙම අසමාන අවස්ථා ඇතිකරන කොන්දේසි නොසලකා හරිනු ලබයි. ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය සඳහා තෝරා ගැනීමට තරඟයක් පවතින බැවින්, තේරීම් ක්‍රමය සිසුන් මත අනවශ්‍ය බරක්ද පටවනු ඇත.

සෑම සිසුවෙකුගේම විවිධ හැකියාවන් හඳුනාගෙන ඔවුන් නිසි දිශාවට යොමු කිරීම වෙනුවට, උසස් පෙළ විභාගයේ කැපී පෙනෙන ලෙස සමත් වන අයට ජාත්‍යන්තර ශිෂ්‍යත්ව පිරිනැමීමේ රජයේ සැලැස්ම වත්මන් ප්‍රතිගාමී කුසලතා ක්‍රමය ශක්තිමත් කරයි. කුසලතා ක්‍රමය පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ආරම්භ වන අතර සිසුන් විශ්ව විද්‍යාලයට ළඟා වන තෙක් මුළු අධ්‍යාපන පද්ධතිය පුරාම පවතී. කෙසේ වෙතත්, රට තුළ ප්‍රමාණවත් තරම් විශ්ව විද්‍යාල නොමැතිකම හේතුවෙන් උසස් පෙළ විභාගය සමත් වන සෑම සිසුවෙකුටම විශ්ව විද්‍යාල වරම්වත් නොලැබේ. එවැනි තත්වයක් තුළ මෙවැනි ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දීම හරහා, දේශීය විශ්ව විද්‍යාල නඟා සිටුවීමේ අවස්ථා තවදුරටත් අහෝසි කරනු ලබයි. එමෙන්ම විදේශ ශිෂ්‍යත්ව ලබා දීමේ මෙම මුලපිරීම, අලුතින් හඳුන්වා දී ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (පවර් පොයින්ට් ඉදිරිපත්කිරීමට අනුව) ප්‍රතිපත්තිවල ප්‍රධාන මූලධර්මවලට පටහැනි වෙයි: ‘නොමිලේ අධ්‍යාපනය සහ සමාන ප්‍රවේශය’ මෙන්ම ‘සැමට ප්‍රවේශ විය හැකි බව’ යන කරුණු  මෙම විදේශ ශිෂ්‍යත්ව ක්‍රමය හරහා ප්‍රතිවිරෝධතාවට ලක්වෙය. වෙනත් වචන වලින් කිවහොත්, රජය ‘ඉහළ ජයග්‍රහණ ලබා ගන්නා’ උසස් පෙළ සිසුන් විදේශයන්ට යැවීමට කිරීමට අදහස් කරන්නේ නම්, එය සෑම කෙනෙකුටම සමාන ප්‍රවේශයක් ඇති, අඩු තරඟකාරී අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමට දෙන පොරොන්දු අහෝසි කරනු ලබයි.

පුළුල්වන විෂමතා

කුසලතා මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක්, පවතින සමාජ අසමානතාවන්  තවත් ගැඹුරු කරනු ඇත. වැඩි වරප්‍රසාද ලත් සිසුන්ට ඉහළ කුසලතා ලබා ගැනීමට වඩා හොඳ අවස්ථාවක් තිබුණද, අඩු වරප්‍රසාද ලත් සිසුන්ට විදේශ උපාධි වැඩසටහන් සඳහා තේරී පත්වීමට ඇති අවස්ථා අඩු වනු ඇත. විදේශ ශිෂ්‍යත්ව ලබා ගැනීමට නොහැකි වන සිසුන්, අරමුදල් නොමැති ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිරවනු ඇත. ධනවත් පවුල්වල සිසුන් වඩා හොඳ පහසුකම් සහිත පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුළත් වනු ඇත. වසර කිහිපයකින්, අඩු අරමුදල් සහිත රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් උපාධිය ලබා ගන්නා දේශීය විශ්ව විද්‍යාල සිසුන්ට, මෙම පෞද්ගලික විශ්ව විද්‍යාලවල සිසුන් සහ, රජයේ ශිෂ්‍යත්ව මඟින් විදේශ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබූ සිසුන් සමඟ, රැකියා වෙළඳපොළේදී තරඟ කිරීමට සිදුවනු ඇත. අවාසනාවට, එකම රැකියා වෙළඳපොළක් තුළ, අසමාන තරඟයක යෙදෙන, විදේශ ශිෂ්‍යත්ව ලාභීන් සහ, අඩු වරප්‍රසාද සහිත රජයේ විශ්වවිද්‍යාල වලින් නික්මෙන සිසුන් යන දෙපිරිසම රජයේ අරමුදල් වලින් අධ්‍යාපනය ලැබූවන් වෙයි. රජයේ අරමුදල් බදු ගෙවන්නන්ගේ මුදල් වලින් ලබා ගන්නා බවත්, වරප්‍රසාද ලත් සහ අඩු වරප්‍රසාද ලත් යන දෙඅංශයෙන්ම දායක වන බවත් මතක තබා ගැනීම වැදගත්ය. එබැවින්, මෙම අරමුදල් වෙන් කිරීමේදී, රජය විනිවිදභාවය සහ යුක්තිය තහවුරු කළ යුතුය.

සාමාන්‍යයෙන්, විදේශීය අධ්‍යාපනය ලැබූ සිසුන්ට, දේශීය විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්ට සාපේක්ෂව, රජයේ සහ පෞද්ගලික අංශයේ තීරණ ගැනීමේ තනතුරුවලට පත්වීමේ වැඩි අවස්ථාවක් තිබේ. විශේෂයෙන්ම, ඉහත සඳහන් පුවත්පත් ලිපියේ සඳහන් කළ පරිදි, රජයේ අභිප්‍රාය වන්නේ මෙම විදෙස් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබූ උපාධිධාරීන්, රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීමයි. ඒ අර්ථයෙන් ගත් කල, ඉහළ තීරණ ගැනීමේ තනතුරු සඳහා බඳවා ගැනීමේදී, රජය මෙම උපාධිධාරීන්ට ප්‍රමුඛත්වය දෙනු ඇත. අදූරදර්ශී රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති මගින් නිර්මාණය කරන ලද මෙම විෂමතාවය රටේ ජනගහනය දිගුකාලීන අසමානතාවයේ චක්‍රයකට තල්ලු කරනු ඇති අතර එය ඉදිරි පරම්පරාවන්ට බලපායි.

දේශීය විශ්වවිද්‍යාලවල පැවැත්ම අධෛර්යමත් කිරීම

ලෝකයේ ඉහළම ආයතන 500 තුළ උපාධි අධ්‍යයන කටයුතු සඳහා සිසුන් 25-50ක් යැවීම මිල අධික උත්සාහයකි. මෙම සිසුන් සඳහා අවශ්‍ය මුදල් ලැබෙන්නේ රටේ උසස් අධ්‍යාපන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා භාවිතා කළ හැකි මුදල් වලින් ය. ඒ ආකාරයෙන්, මෙම නව ව්‍යාපාරය රටේ විශ්වවිද්‍යාල පද්ධතියට දිගුකාලීන අහිතකර බලපෑමක් ඇති කරනු ඇත. අඩු අරමුදල් වෙන් කිරීම හේතුවෙන්, දේශීය විශ්වවිද්‍යාල ප්‍රමිතියට වඩා පහළ මට්ටමක පවතිනු ඇත. මෙවැනි සන්ධර්භයක් තුළ, විදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව නොලබන සිසුන්ට, අනුප්‍රාප්තික රජයන් විසින් නොසලකා හරින ලද හෝ අඩු අරමුදල් සපයා ඇති දේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සිදුවනු ඇත. අධ්‍යාපනය සඳහා තෝරාගත් සිසුන් විදේශගත කිරීමේ නව මුලපිරීම පෙන්නුම් කරන්නේ රජය පවතින විශ්වවිද්‍යාල පද්ධතිය අවතක්සේරු කිරීම සහ එය වැඩිදියුණු කිරීමට ඇති නොහැකියාවයි.

යටත්විජිත ව්‍යුහ පවත්වාගෙන යාම

විදේශ ශිෂ්‍යත්ව හඳුන්වා දීම, ලංකාවේ පැවති යටත් විජිත අධ්‍යාපන ප්‍රතිපත්තියට සමාන වෙයි. 1870 දී යටත් විජිත රජය එක් ශිෂ්‍යයෙකු සඳහා එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයකට ශිෂ්‍යත්වයක් ලබාදෙන ක්‍රමයක් ස්ථාපිත කළේය. 1907 දී රජය එය වසරක් හැර වසරක් ලෙස, කලා සඳහා සහ විද්‍යාව සඳහා ශිෂ්‍යත්ව දෙකක් දක්වා පුළුල් කරනලදි. 1921 වසර දක්වා, උසස් අධ්‍යාපනය සඳහා මාර්ග බොහෝ දුරට යටත් විජිත රජයේ අරමුදල් සහිත ශිෂ්‍යත්ව වැඩසටහනකට සීමා වූ අතර එමඟින් තෝරාගත් දක්ෂ සිසුන් කණ්ඩායමකට එක්සත් රාජධානියේ අධ්‍යාපනය හැදෑරීමට හැකි විය. ඒ සමඟම, ලන්ඩන් විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන බාහිර උපාධි විභාග මගින් සීමිත ශිෂ්‍යයින් පිරිසකට අධ්‍යයන සුදුසුකම් ලබා ගැනීමට මාර්ගයක් නිර්මාණය විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එහි යටත් විජිතවල උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වූ ආකාරය සැලකිල්ලට ගත් විට, එම අධ්‍යාපනය විචාරාත්මක චින්තනය හෝ නවෝත්පාදන හැකියා පෝෂණය කිරීම සඳහා ආයෝජනය කළේ නැත, ඒ වෙනුවට, එහි මූලික ඉලක්කය වූයේ යටත් විජිත පරිපාලනයට සහ පාලනයට සේවය කළහැකි,  ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ කුඩා ප්‍රභූ කණ්ඩායමක් නිර්මාණය කිරීමයි. මෙම යටත් විජිත ක්‍රමය තුළ, උසස් අධ්‍යාපනය සඳහා සිසුන් විදේශගත කිරීම මගින්, දැනුම සහ බලය බ්‍රිතාන්‍යය තුළ ස්ථිරව පවත්වාගෙන ගිය අතර, දේශීය ජනගහනයෙන් විශාල කොටසක් උසස් අධ්‍යාපනයෙන් බැහැරව සිටියහ.

මේ ආකාරයෙන් බැලූ විට, වත්මන් රජය විසින් යෝජනාකර ඇති විදේශ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය, යටත් විජිත ව්‍යුහයේ අඛණ්ඩ පැවැත්මක් ලෙස පෙනේ. යටත් විජිත වැඩසටහන සහ වත්මන් ප්‍රවේශය යන දෙකම, විදේශයන්හීදී වරප්‍රසාද ලත් කණ්ඩායමක් පුහුණු කිරීමට ප්‍රමුඛත්වය දෙන අතර, දේශීය ආයතනවල පද්ධතිමය ආයෝජන සඳහා අඩු ප්‍රමුඛතාවයක් ලබා දෙයි. මෙම තත්ව යටතේ, අධ්‍යාපනය සමස්තයක් ලෙස සමාජයට ප්‍රතිලාභ ලබා දිය යුතු පොදු යහපතක් ලෙස නොව,  පාලන හෝ තීරණ ගැනීමේ කුඩා ප්‍රභූ ජනතාවක් ජනනය කිරීමේ හා පවත්වාගෙන යාමේ ක්‍රමයක් ලෙස පවතිනු ඇත. මූලික ප්‍රතිවිපාකය එකම දෙයකි: විදේශීය සුදුසුකම් ඇති අය බලයේ සහ බලපෑමේ තනතුරු දරන අතර, බහුතරයක් සිසුන් ආන්තික කර ඇති අසමානතාවයේ චක්‍රයකි. මේ අනුව, යටත් විජිත ක්‍රමය සහ වත්මන් රජයේ ක්‍රමය යන දෙකම සමාන වන්නේ මතුපිටින් පමණක් නොවෙයි. පාලන තන්ත්‍ර දෙකම නියෝජනය කරන්නේ, පුළුල් අධ්‍යාපනික හා සමාජීය වෙනස්කම් වලට වඩා, තෝරාගත් ප්‍රභූ කණ්ඩායමක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දෙන පාලන දෘෂ්ටිවාදයකි. වත්මන් රජයේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයෙන් පෙන්නුම් කරන්නේ යටත් විජිත චින්තනය රටේ අධ්‍යාපන තාර්කිකත්වය තුළ කෙතරම් ස්ථිරව පැළ පදියම්වී ඇත්ද යන්නයි. දැනුම ප්‍රජාතන්ත්‍රීකරණය කර පද්ධතිමය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම වෙනුවට, එවැනි ප්‍රතිපත්ති මඟින් සිදු කරන්නේ, පොදු ජනතාවගේ වියදමින්, තෝරාගත් කිහිප දෙනෙකුට ප්‍රතිලාභ ලබා දෙන අධ්‍යාපන ධූරාවලි පවත්වාගෙන යාමයි.

සාර්ථකත්වයේ මඟ

රටේ උසස් අධ්‍යාපන ක්‍රමය ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව ඉහළ නැංවීමේ මාවත වනුයේ වැඩි අරමුදල් වෙන් කිරීම සහ සාමාන්‍ය අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය යන දෙකටම ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමයි. ඒ සමඟම, යාවත්කාලීන දැනුම ඒකාබද්ධ කිරීම සහ සාමාන්‍ය සහ උසස් අධ්‍යාපනය යන දෙකෙහිම විචාරාත්මක චින්තනය වැඩි දියුණු කිරීම, විෂයමාලා නැවත ලිවීමේ සිට අන්තර් විෂය ඉගෙනීම, පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා සහාය වීම ආදිය මේ ක්‍රියාවලිය තුළ තීරණාත්මක වේ. ගුරු පුහුණුව ශක්තිමත් කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ඩිජිටල් තාක්ෂණික සම්පත් පුළුල් කිරීම, සම්පත්වල අසමානතාවන් ආමන්ත්‍රණය කිරීම සහ විදේශීය ආයතන සමඟ සබඳතා ඇති කර ගැනීම යන සියල්ල වඩා හොඳ අධ්‍යාපන අවස්ථා සඳහා තෝරාගත් සිසුන් විදෙස්ගත නොකර, පද්ධතිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම මූලික වැඩිදියුණු කිරීම්වලට ප්‍රමුඛත්වය දීමෙන්, විදේශීය ශිෂ්‍යත්ව හරහා සුළු කොටසකට අනුග්‍රහය දැක්වීම වෙනුවට, රටේ සිසුන්ගෙන් අතිමහත් බහුතරයකට ප්‍රතිලාභ ලබා දෙන ශක්තිමත් උසස් අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කළ හැකිය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *