උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා

ඉදිරිපත් කිරීම: උදාරි අබේසිංහ, ෆර්සානා හනීෆා, අහිලන් කදිරගාමර්, අනුෂ්කා කහඳගමගේ, රම්‍යා කුමාර්, ශාමලා කුමාර්, හසිනි ලේකම්වසම්, කෞෂල්‍යා පෙරේරා, අරුණි සමරකෝන්,  සිවමෝහන් සුමති, මහේන්ද්‍රන් තිරුවරන්ගන්

දශක ගණනාවක් පුරා ඌන-අරමුදල් හේතුවෙන්, අපගේ අධ්‍යාපන පද්ධතිය දෙදරා ගොස් ඇති අතර, ඉතා ඉක්මණින් නැවත ගොඩ නැඟිය යුතුව ඇත. පූර්ව ළමා විය අධ්‍යාපනය සඳහා මහජන අරමුදල් හිඟකම, දිගු කලක් තිස්සේ නොසළකා හරිනලද වෘත්තීය අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය මුහුණදෙන බරපතළ ගැටළු (පැතිරුණු කාර්ය මණ්ඩල හිඟය, සම්පත් බෙදීයාමේ විෂමතාව) ආදියෙන් පෙනී යන්නේ, මෙම අංශ සඳහා ඉක්මන් අවධානය ලබාදීම අත්‍යවශ්‍ය බවයි. එබැවින්, උපදේශන ක්‍රියාවලියේ අදෘශ්‍යමානබව සහ ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය පිළිබඳව ප්‍රශ්න තිබියදීත්, සාමාන්‍ය අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වීම පිළිගත හැකි පියවරකි. නමුත්, අධ්‍යාපන පද්ධතියේ කිසිම කොටසක් හුදකලාව ක්‍රියාත්මක වන්නේ නැත. ප්‍රතිසංස්කරණවල අවධානය පාසල් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි යොමු වූවත්, උසස් අධ්‍යාපනය මේ සංවාදයේ කොටසක් ලෙස පැවතිය යුතුය. උසස් අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රකරණය සහ විශාල පිරිසකට ප්‍රවේශ විය හැකි අඩවියක් බවට පත්කිරීම, සමස්ත අධ්‍යාපන පද්ධතියම ශක්තිමත් කරනු ඇත. එබැවින්, ප්‍රතිසංස්කරණ සිදුකළ යුත්තේ අනෙකුත් ක්‍රියා හා සමගාමීව මෙන්ම ප්‍රවිචාරණ ක්‍රියාවලියක් තුළිනි. යම් කොටස් පමණක් ප්‍රතිසකස්වන තෙක් බලා සිටීමෙන්, අධ්‍යාපනයේ පවතින දෙදරීම තවත් බරපතළ වනු ඇත.

අවශ්‍ය වන්නේ, අධ්‍යාපනයේ සියලු අංශ ආවරණයවන වඩාත් පුළුල් සැළසුමක් සහ සියලු අංශවල විශේෂ අවශ්‍යතාවලට පිළිතුරු දියහැකි ඒකාබද්ධ පද්ධතියක් ගොඩනැඟීමයි. ඉදිරි අභියෝග වලට මුහුණදිය හැකි අධ්‍යාපන පද්ධතියක් අපට නිර්මාණය කළහැක්කේ ඒ අයුරින් පමණි.  ලංකාවේ දැනට පවතින උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෙනත් ස්ථානවල අසාර්ථක වී ඇති වෙළඳපොල ආකෘතියක් අනුගමනය කිරීම පිළිබඳ අපි කණස්සල්ලට පත්ව සිටිමු. අපගේ උසස් අධ්‍යාපන පද්ධතියේ මූලික මූලධර්මයක් වන්නේ, රාජ්‍ය සහය ලබන නිදහස් අධ්‍යාපනයයි. නමුත් මෑත කාලීනව, මේ ප්‍රතිපත්තිය බරපතළ ඛාදනය වීමකට ලක්ව ඇත. අනුප්‍රාප්තික රජයන් අපගේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට අරමුදල් අහිමි කර ඇත. අඩු වියදම් අධ්‍යාපන ආකෘතියක් තුළ, පෞද්ගලික උසස් අධ්‍යාපනයේ ව්‍යාප්තිය ධෛර්යමත් කර ඇත. විශ්ව විද්‍යාල තමන්ගේම අරමුදල් උත්පාදනය කරමින් ව්‍යාපාර ලෙස ක්‍රියා කිරීමට බල කෙරී ඇත. විශ්වවිද්‍යාල ප්‍රවේශයන් වැඩි වැඩියෙන් වරප්‍රසාද ලත් අයට අනුග්‍රහය දක්වන බැවින් ප්‍රවේශයේ අසමානතා පුළුල් වෙමින් පවතී.

වර්තමානයේ සිදුවන අධ්‍යාපනය පිළිබඳ සංවාදයට දායක වීමේ උත්සාහයක් ලෙස, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් සැළකිය යුතු සහ  ගත හැකි ක්‍රියාමාර්ග අපි ගෙනහැර දක්වමු.

රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා අරමුදල් සැපයීම

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය වියදම් (දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස) ලෝකයේ අඩුම ඒවා අතර වේ. එය බාහිර සංවිධානවලින්, විශේෂයෙන් ලෝක බැංකුවෙන්, වෙළඳපොළ ආර්ථිකයකට හිතකර සැලසුම් මත පදනම් වූ බලගතු ප්‍රතිසංස්කරණ මගින් ප්‍රතිස්ථාපනය වෙමින් පවතී. මූලික වශයෙන් පශ්චාත් උපාධි පාඨමාලා සහ ජාත්‍යන්තර ශිෂ්‍ය බඳවා ගැනීම් හරහා අපගේ විශ්ව විද්‍යාල අරමුදල් සම්පාදනය කරගත යුතුව ඇත. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තවදුරටත් ඛාදනය කරමින්, සිසුන් සහ ඔවුන්ගේ පවුල්, උපාධි අපේක්ෂක අධ්‍යාපනය සඳහා වියදම් කිරීම වැඩි වැඩියෙන් අපේක්ෂා කෙරේ.

● රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ප්‍රතිපාදන වැඩි කිරීම; ස්වයං-උත්පාදිත අරමුදල් අධෛර්යමත් කිරීම.

● ගාස්තු අය කරන උපාධි අපේක්ෂක පාඨමාලා හඳුන්වාදීම නැවත්වීම (උදා: පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විවෘත ඉගෙනුම් පාසල; වවුනියාව විශ්වවිද්‍යාලයට ගාස්තු ගෙවන වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීමට සැලසුම් කිරීම).

● පෞද්ගලික සහ විදේශීය උපාධි සඳහා ආධාර ලබා දීම අවම කිරීම. පෞද්ගලික සහ විදේශීය උපාධි ශීග්‍රයෙන් ව්‍යාප්ත වන්නේ,

බොහෝ විට ශිෂ්‍ය ණය ඇතුළු රාජ්‍ය සහනාධාර මගින් පවත්වාගෙන යන පෞද්ගලික සහ විදේශීය උපාධිවල වේගවත් පැතිරීම නිසා වන අතර, මෙය පෞද්ගලික උනන්දූන් සඳහා රාජ්‍ය අධ්‍යාපනයේ සම්පත් යොදා ගැනීමකි.

● ව්‍යාපෘති-පාදක අරමුදල් මත යැපීම විචාරශීලි පරික්ෂාවට ලක්කර අඩුකළ යුතුය. විශේෂයෙන් ලෝක බැංකුවතම  තම අරමුදල් භාවිතාකර, ඔවුන්ගේ න්‍යාය පත්‍ර අපගේ අධ්‍යාපන පද්ධතිවලට ඇතුළත් කිරීමට මුල පුරයි. එවැනි මැදිහත්වීම්, දශක ගණනාවක් තිස්සේ උසස් අධ්‍යාපනය සැලකිය යුතු ලෙස පරිවර්තනය කර ඇත.

විශ්වවිද්‍යාල පරිපාලන පද්ධති ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම

 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සිට උපකුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් දක්වා කාන්දු වන අධිකාරිත්වයක් හරහා, විශ්ව විද්‍යාල පරිපාලනය වඩාත් ධූරාවලිගත වී ඇත. පරිපාලන විධාන, විචාරාත්මක චින්තනය පෝෂණය කරන ශිෂ්‍ය හිතකාමී අධ්‍යාපන ක්‍රමයක් සඳහා පෙනී සිටියත්, සැබෑ භාවිතය තුළ  අධ්‍යයන ප්‍රජාවේ පහළ ශ්‍රේණිවලින්, විශේෂයෙන් ගුරුවරයාගෙන්, අධිකාරය ඉවත්කර ඇත. උපකුලපතිවරුන්, මණ්ඩල සහ අධ්‍යාපන ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත බලය වැඩි වැඩියෙන් පැවරී ඇති අතර, එය අධ්‍යාපනයේ අරමුණ වෙනුවෙන් පෙනී සිටීම හෝ සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට එතරම් දායකත්වයක් නොදක්වයි.

● පීඨ මණ්ඩල, සෙනෙට් සභා සහ ව්‍යවස්ථාපිත කමිටු වැනි සහභාගීත්ව ආයතනවල අධිකාරිය ශක්තිමත් කිරීමෙන් සහභාගීත්ව සහ සංවාද පදනම් කරගත් පාලන ආකෘතියක් ප්‍රවර්ධනය කළ යුතුය. පරිපාලන ආයතන බොහෝ දුරට ක්‍රියා පටිපාටිය සහ ශක්‍යතාව පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

● විෂයමාලා සහ විෂයමාලා සංශෝධනය පිළිබඳ සැලකිලිමත් වීම දෙපාර්තමේන්තු සහ පීඨ විසින් මෙහෙයවිය යුතු අතර, පරිපාලන කටයුතුවලදී අධ්‍යයන ප්‍රජාවට වැඩි ස්වාධීනත්වයක් ලබා දිය යුතුය.

පත්වීම් සහ බඳවා ගැනීම්වල සාධාරණත්වය සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම

අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවක බඳවා ගැනීම් වලදී, දේශපාලනීකරණයෙන් බැහැර වීමට මෑතකදී ගත් තීරණය ප්‍රශංශනීය වෙයි. කෙසේ වෙතත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කමිටු, විශ්ව විද්‍යාල සභා සහ අනෙකුත් විශ්ව විද්‍යාල/පීඨ මට්ටමේ කමිටුවලට, රජයේ නිලධාරීන් විසින් පත් කිරීම් සිදු කරන වත්මන් ක්‍රමය විනිවිදභාවයෙන් තොර වන අතර එය අවභාවිත කිරීම් වලින් යුක්ත විය හැකිය. මෙවැනි තත්වයක් තුළ, ශාස්ත්‍රාලීය කටයුතු ප්‍රවර්ධනය සඳහා  විශේෂිත උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සම්බන්ධ වීමට කැමති, කැපවූ ශාස්ත්‍රඥයින් සහ වෙනත් අය අදාළ තීරණ ගැනීමේ අවකාශවලින් බැහැර කිරීම සිදු විය හැකිය. අධ්‍යයන කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ යෝජනා ක්‍රම යල් පැන ගිය ඒවා වන අතර බොහෝ විට හොඳින් සුදුසුකම් ලත් අපේක්ෂකයින් බඳවා ගැනීමට බාධා කරයි. අධ්‍යයන බඳවා ගැනීමේ ක්‍රියාවලීන් දේශපාලනීකරණය වීම වැඩිවන බවට බොහෝ වාර්තා තිබේ.

● කොමිෂන් සභා සහ මණ්ඩල සඳහා වූ ඉහළ මට්ටමේ පත්වීම් සම්බන්ධයෙන් විනිවිද පෙනෙන ක්‍රියාවලීන් නිර්මාණය කළ යුතුය.

●  සුදුසුකම් සහිත අපේක්ෂකයින් බඳවා ගැනීම සඳහා, බඳවා ගැනීමේ යෝජනා ක්‍රම, අන්තර්-විෂය සහ බහු-විෂය පුහුණුවේ වර්තමාන යථාර්ථ පිළිබිඹුවන  අයුරින් යාවත්කාලීන කළ යුතුය.

● විශ්ව විද්‍යාල පරිපාලනය විසින් බඳවා ගැනීමේ ක්‍රියාවලීන් විනිවිදභාවයෙන් සිදු කරන බවට සහතික විය යුතුය.

● වඩා හොඳ සුදුසුකම් ලත් ශාස්ත්‍රඥයින් රඳවා ගැනීම සඳහා බැඳුම්කර රෙගුලාසි වඩාත් සාධාරණ වන පරිදි වෙනස්කළ යුතුය.

පවතින උපාධි වැඩසටහන් ශක්තිමත් කිරීම

අධ්‍යයනික ප්‍රජාව විදේශ වලට සංක්‍රමණය වීම හරහා  විශ්ව විද්‍යාල ගුරුවරුන්ගේ දැඩි හිඟයක් නිර්මාණය වී ඇත. පර්යන්ත විශ්ව විද්‍යාල වල විශාල කාර්ය මණ්ඩල හිඟයක් පවතී.  විද්‍යා-ගණිත (STEM) වැඩසටහන් හරහා ‘වෙළඳපොළට සරිලන කුසලතා’ සහිත ශිෂ්‍යයින් නිර්මාණය කරනබවට වන උපකල්පනය හේතුවෙන්, එවැනි රාජ්‍ය විශ්ව විද්‍යාල වලට විශාල රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙයි. නමුත්, බඳවා ගැනීම් ඉහළ මට්ටමක තිබියදී සහ සමාජයේ අඩු වරප්‍රසාද සහිත කොටස්වලට සේවය කළත්, සමාජ සහ මානව ශාස්ත්‍ර සඳහා ලබා දී ඇත්තේ අඩු ප්‍රමුඛතාවයකි. ගාස්තු අය කෙරෙන පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල පරිපාලනය වෙනුවෙන් වැය කරන ප්‍රතිශතය හේතුවෙන් සති අන්ත සහ පසු-පැය වලත් වැඩකරන කථිකාචාර්යවරුන්ට ලැබිය යුතු ප්‍රතිලාභ සීමා වීම.

●          අධ්‍යයන හා අනෙකුත් කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීමට හැකි වන පරිදි අත්හිටුවා ඇති බඳවා ගැනීම් නැවත සක්‍රීය කළ යුතුය. විශේෂයෙන් පර්යන්ත විශ්ව විද්‍යාලවල අධ්‍යයන සේවක තනතුරු වැඩි කළ යුතුය.

● පවතින වැඩසටහන් සඳහා ප්‍රමාණවත් අධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ නව වැඩසටහන් ආරම්භ කිරීම සඳහා අවම කාර්ය මණ්ඩල අවශ්‍යතා සැපිරීම.

● ගොඩනඟන ලද ධාරිතාවක් නොමැති, ශාස්ත්‍ර, ඉගැන්වීම සහ ආයතනය සඳහා අඩු කැපවීමක් ඇති, කොන්ත්‍රාත් පදනම මත සේවකයින් සේවයේ යෙදවීමේ ප්‍රවණතාව නවතා දැමිය යුතුය.

● ශිෂ්‍ය-කාර්ය මණ්ඩල අනුපාතය ඇතුළුව බඳවා ගැනීම සම්බන්ධ තොරතුරු පරික්ෂා කිරීම සඳහා මහජනතාවට  ප්‍රවේශය ලබා දිය යුතුය ( 2022 වසර වනතෙක් ඒවාට ප්‍රවේශ වීමේ හැකියාව තිබුණි).

● මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා ශක්තිමත් කිරීම සඳහා අරමුදල් වෙන් කළ යුතුය.

● මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම පිළිබඳ නැවත තක්සේරු කිරීමක් කළ යුතුය. එම ප්‍රශ්නයට සංවේදී ලෙස ප්‍රවේශ විය යුතු අතර, අත්තනෝමතික තීරණ හරහා නිර්මාණය විය හැකි අසමානතා මතකයේ තබා ගත යුතුය.  

● ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් ශක්තිමත් කළ යුතුය. ඉංග්‍රීසි මාධ්‍යයට මාරුවීමේදී, සිසුන්ට ඉංග්‍රීසි භාෂා නිපුණතාව වැඩි දියුණු කරගැනීම සඳහා, විශ්ව විද්‍යාල තුළ සිටින ගුරුවරුන් සහ සම්පත් සඳහා ඇති ප්‍රවේශය සැළකිල්ලට ගත යුතුය.

● විශ්ව විද්‍යාල දෙපාර්තමේන්තු විසින් පවත්වාගෙන යනු ලබන ගාස්තු අය කරන පාඨමාලා (උපාධිධාරී සහ උපාධි අපේක්ෂක) ගෙවීම් ව්‍යුහයන් සමාලෝචනය කළ යුතුය. නියමිත පැය ගණනින් පසු සහ සති අන්තවල වැඩ කිරීමට බල කෙරෙන කථිකාචාර්යවරුන් සඳහා වන ගෙවීම් සීමාවන් ඉවත් කළ යුතුය.

විශ්වවිද්‍යාල ප්‍රවේශයෙහි සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම

විශ්වවිද්‍යාල වලට ඇතුළුවන සිසුන් සෑම විටම තෘතීයික අධ්‍යාපනය සඳහා සූදානම් නැත; සාමාන්‍ය පෙළ අවසානයේදී තම විෂය ධාරා තෝරා ගැනීමට ඔවුන්ට බල කෙරෙයි. ඇතැම් පාඨමාලා සඳහා ඇතුළත් වීමේදී, දිස්ත්‍රික්ක අනුව පුළුල් විෂමතා පවතී. ඇතුළත් වූ පසු, විද්‍යා ගණිත විෂය  ධාරා (STEM) හදාරන සිසුන්ට සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර ගවේෂණය කිරීමට අවස්ථා නොමැත.

● මේ ආකාරයේ ඉගෙනුම්  අතර සංක්‍රාන්ති විධිමත් කිරීම සඳහා ද්විතීයික, තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපනය අතර සහයෝගීතාවයේ විධිමත් ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතුය.

● උසස් අධ්‍යාපනයට ප්‍රවේශවීමේ සාධාරණත්වය සහතික කිරීම සඳහා දිස්ත්‍රික් කෝටා ක්‍රමය ශක්තිමත් කළ යුතුය. මෙම පද්ධතිය වර්තමාන ප්‍රජා රටා සහ සම්පත්වල විෂම ව්‍යාප්තිය අනුව සැකසුණු, එය පිළිබිඹු කරන බව සහතික විය යුතුය.

● උපාධි වැඩසටහන් වල අන්තර් විෂය සහයෝගීතාව සඳහා අවස්ථා ප්‍රවර්ධනය කළ යුතුය.

6) ප්‍රමිති සහතික කිරීමේ රාමුව සමාලෝචනය කිරීම

සැලකිය යුතු සම්පත් ප්රාමාණයක්, ප්‍රමිති සහතික කිරීමේ ක්‍රියාවලියට යොදවා ඇත. මෙම ක්‍රියාකාරකම් සඳහා ශාස්ත්‍රඥයින් විශාල කාලයක් සහ ශ්‍රමයක් වැය කළත්, එහි ප්‍රතිඵලයක් ලෙස විශ්ව විද්‍යාලවල අධ්‍යයන වැඩසටහන්වල ගුණාත්මකභාවය වැඩිදියුණු වී තිබේද යන්න පැහැදිලි නැත. තවද, පීඨ සහ දෙපාර්තමේන්තු වලට ඔවුන්ගේම ප්‍රමිතිය ඇගයීමේ ක්‍රියා මාර්ග නිර්මාණය කිරීමේ හැකියාව අඩුවෙන් පවතින අතර, ඒ වෙනුවට එම මඟ පෙන්වීම් සිදු වන්නේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම තුළින් ඉහළ සිට පහළටය. උපාධි වැඩසටහන් සැබවින්ම ප්‍රවර්ධනය කරන්නේ කෙසේද යන්න විචාරශීලිව සිතා බැලීම වෙනුවට, මෙම ක්‍රමය තුළ වඩාත් අවධානය යොමු වන්නේ ‘සාක්ෂි’ කෙරෙහිය.

● අද ක්‍රියාත්මක වන ප්‍රමිති සහතික කිරීමේ වැඩසටහන සහ විෂයමාලා සංවර්ධනය කෙරෙහි එහි බලපෑමේ ප්‍රමාණය සහ ස්වභාවය සමාලෝචනය කළ යුතුය.

● එය සංශෝධනය කළ යුතුය. එවිට එය බාධා කරන සුලු පාලන ක්‍රියාවලියක් වෙනුවට, විශ්ව විද්‍යාල සහ පීඨ තුළම නිර්මාණය කරනලද විකල්ප ප්‍රමිති සහතික සංවර්ධනය කිරීම සඳහා සහය වන ප්‍රවිචාරණයක් සඳහා මඟ පෙන්වනු ඇත. 

● විශ්වවිද්‍යාල සිසුන්ට සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ට, එනම් පහළට වග විය හැකි යාන්ත්‍රණ ඇතුළත්කළ යුතුය.

පර්යේෂණ සහ ශිෂ්‍යත්ව ප්‍රවර්ධනය කිරීම

ප්‍රමාණාත්මකව හෝ සංඛ්‍යාත්මක වටිනාකම් මත ගුණාත්මකභාවය අවධාරණය කරන පර්යේෂණ සහ ප්‍රකාශන අවධාරණය කිරීම හේතුවෙන්, රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ පර්යේෂණ සංස්කෘතිය වෙනස් වී ඇත. පර්යේෂණ අරමුදල් ලබා ගැනීමේදී සහ භාවිත කිරීමේදී විවිධ බාධකවලට මුහුණ දීමට සිදුවන බව  පර්යේෂකයන් වාර්තා කරන අතර, උපුටා දැක්වීමේ ක්‍රීඩා වලට අදාළ විවිධ අක්‍රමිකතා ද දැකිය හැකිය (උදා: ගුණාත්මක බවින් අඩු අධ්‍යයනික සඟරා ආදිය).

●විදේශීය පර්යේෂණ ආයතන සහ විශ්ව විද්‍යාල සමඟ සබඳතා ආරම්භ කිරීමට අදාළව පවතින නිලබලවාදය ලිහිල් කළයුතුය.

● පර්යේෂණ සහයෝගීතාවන් සහ ශාස්ත්‍රඥයින් සඳහාවන ජාත්‍යන්තර සමුළුවලට සහභාගීවීම සීමාකරන ජාතික මූල්‍ය රෙගුලාසි සහ නිවාඩු ක්‍රියා පටිපාටි සංශෝධනය කළ යුතුය.

● ව්‍යවහාරික පර්යේෂණ ප්‍රවර්ධනය කරන සහ සමාජ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින පර්යේෂණ අවතක්සේරුවට ලක්කරන, පර්යේෂණ වාණිජකරණය කි​රීම අධෛර්යමත් කළ යුතුය.

● ගෝලීය විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට පැමිණෙන තෙක් රාජ්‍ය විශ්වවිද්‍යාලවල තත්ත්වය වැඩිදියුණු කිරීම වෙනුවට, අපගේ සමාජයට අදාළ වඩාත් හොඳ පර්යේෂණ ප්‍රවර්ධනය දක්වා අවධානය වෙනස් කළ යුතුය.

විවෘත සහ සියල්ලන් අන්තර්ග්‍රහණය කරන විශ්ව විද්‍යාල නිර්මාණය කිරීම

විශ්ව විද්‍යාල අවකාශයන් ප්‍රචණ්ඩත්වයෙන් හා හිරිහැරවලින් නිදහස් කිරීම සඳහා මැදිහත්වීම් සාමාන්‍යයෙන් ඉලක්ක කරන්නේ නවක වදය පිළිබඳ ගැටලුවයි.  විවිධ ධූරාවලීන් සහ බැහැර කිරීම් හරහා ප්‍රචණ්ඩත්වය පතුරන විශ්ව විද්‍යාල උප සංස්කෘතිය පිළිබඳ අවධානය යොමු වන්නේ අඩුවෙනි. මෙම කරුණු පිලිබඳ සංවාද ධෛර්යමත් කරන විශ්ව විද්‍යාල අවකාශ වලින් තොරව ප්‍රචණ්ඩත්වය එම පද්ධතියෙන් ඉවත් කළ නොහැකිය.

● වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට සහාය වන සහ යුක්තිය ඉටු කරන ක්‍රියාමාර්ග සපයන ප්‍රතිපත්ති සහ අතුරු නීති නිර්මාණය කළ යුතුය. පැමිණිලිකරුවන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ස්වාධීනත්වය සහ ආරක්ෂාව සහතික කරන ආකාරවලින් පවතින දුක්ගැනවිලි ඇසීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කළ යුතුය.

● පරිපාලකයින්, අධීක්ෂකවරුන්, ශාස්ත්‍රඥයින් සහ වෙනත් අය සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය පුරා මූලික හැසිරීම් පද්ධති හඳුන්වා දිය යුතුය.

● ඉගැන්වීම සහ පරිපාලනය යන දෙකම සම්බන්ධයෙන් සියලුම විශ්වවිද්‍යාලවල ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ විශ්වවිද්‍යාල පරිපාලනයෙන් සිදු කරන සියලුම සන්නිවේදන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රකාශයට පත් කිරීම සහතික කළ යුතුය. සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ට දෙමළ සහ සිංහල යන භාෂා දෙකෙන්ම සමාන ප්‍රමිතියකින් සහ ගුණාත්මක භාවයකින් යුත් උපදෙස් ලබා ගත හැකි බව රජය සහතික කළ යුතුය.

● විෂයමාලා සහ අනෙකුත් වේදිකා හරහා සමාජ සහජීවනය, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සංවේදීතාව සහ සංහිඳියාව වැනි දේ විෂය මාලාවලට එකතු කිරීමේ අවස්ථා ගවේෂණය කිරීමට විශ්වවිද්‍යාලවලට සහාය වීම. ඉහත කරුණු සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල පුහුණුකිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දීම. සිසුන්ට දේශපාලන සහභාගීත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්හි නිරත වීමේ අවස්ථා හඳුන්වාදීමට සහාය විය යුතුය.

අධ්‍යයන නිදහස තහවුරු කිරීම

අසාධාරණ මැදිහත්වීම් හෝ සීමා කිරීම් නොමැතිව ඉගැන්වීමට, අධ්‍යයනය කිරීමට, පර්යේෂණ කිරීමට ගුරුවරුන්ට සහ සිසුන්ට නිදහස තිබිය යුතුය. මාධ්‍ය ප්‍රතිපත්ති, රැකියා අනාරක්ෂිත බව, පර්යේෂණ සහ අනෙකුත් විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් සඳහා මුදල් සැපයීම සඳහා වන ප්‍රතිපත්ති මෙන්ම මධ්‍යගත අධිකාරී විධාන මගින් පහළ මට්ටමේ බලධාරීන්ගෙන් සහ කමිටුවලින් බලතල පැහැර ගැනීම ආදිය අධ්‍යයන නිදහසට බාධාකාරී බලපෑමක් ඇති කර ඇති යාන්ත්‍රණ කිහිපයකි.

● විශ්වවිද්‍යාල තුළ අධ්‍යයන නිදහස ආරක්ෂා කිරීමට සහ අධ්‍යයන නිදහස ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ගන්නා උත්සාහ විමර්ශනය කිරීමට සේවය කරන ස්වාධීන ජාතික ආයතනයක් නිර්මාණයකළ යුතුය. මෙම ආයතනය ප්‍රචණ්ඩත්වය සහ අඩත්තේට්ටම් පිළිබඳ පැමිණිලි සහ ගුණාත්මක ගැටළු ආමන්ත්‍රණය කරන කමිටු වලට සමාන විය හැකිය.

ශිෂ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම

මහපොළ ශිෂ්‍යත්ව බෙදා හැරීමේ මෑත කාලීන වැඩිවීම ප්‍රශංශනීය වෙයි. කෙසේ වෙතත්, මූලික ශිෂ්‍ය සුභසාධනය සහ සහාය සේවා ඛේදනීය තත්ත්වයක පවතී. ශිෂ්‍ය නිවාස සහ අනෙකුත් පහසුකම් සඳහා සමාන්තර ආයෝජන නොමැතිව ශිෂ්‍ය බඳවා ගැනීම් වැඩි වී ඇත. තරුණයින් අතර මානසික සෞඛ්‍ය ගැටළු ඉහළ ගියද, අමතර සහාය අවශ්‍ය සිසුන්ට සහාය වීම සඳහා කැපවූ කාර්ය මණ්ඩලයක් හෝ පහසුකම් නොමැත. ශිෂ්‍ය උපදේශකයින් සහ අනෙකුත් ශාස්ත්‍රඥයින් විවිධ කැපවීම් සමඟ ශිෂ්‍ය සුභසාධන රාජකාරි හසුරුවා ගත යුතුය.

● රාජ්‍ය විශ්ව විද්‍යාල හරහා ශිෂ්‍ය නිවාස ඉදිකිරීමට අරමුදල් වෙන් කිරීම සහ/හෝ එසේ කරන ලෙස විශ්ව විද්‍යාලවලින් ඉල්ලා සිටීම. නේවාසිකාගාරවලට ඉවුම් පිහුම් පහසුකම් ඇතුළත් විය යුතුය.

● බොහෝ පීඨවල වර්ධනය වන කාන්තා ශිෂ්‍යාවන්ගේ සුභසාධනය සඳහා ප්‍රතිපත්ති හඳුන්වා දීම. උදා: නේවාසික පහසුකම්, වැසිකිළි, ලිංගික සෞඛ්‍ය පහසුකම්.

● වෘත්තීය උපදේශකයින්, ආබාධිත සේවා, දුක් ගැනවිලි වලට ඇහුම්කන් දීම ඇතුළු ශිෂ්‍ය සුභසාධන ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීම සඳහා පමණක් කැපවූ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල වෙන් කිරීම.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *