හසිනි ලේකම්වසම්
දේශපාලන සහ ආර්ථික ව්‍යාකූලත්වයෙන් පිරි අවස්ථාවක උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත වෙනස්කම් සිදුවෙමින් තිබේ. ආපදා ධනවාදය (disaster capitalism) පිළිබඳ නයෝමි ක්ලයින්ගේ අදහසට අනුව මෙවැනි තත්වයන් වල හදිසියේ හඳුන්වා දෙන වෙනස්කම් පිළිබඳව අප කල්පනාකාරී විය යුතු වන්නේ ඒවායෙහි අනියම් අරමුණු පැවතිය හැකි බැවිනි. අප සිටිනා තත්වය තුළ මේ කාරණා පිළිබඳ ප්‍රවේශමෙන් සිතා බැලීමට අවශ්‍ය කාලය සහ නිදහස නොමැති වුවත්, මෙම වෙනස්කම් ඔස්සේ නිදහස් අධ්‍යාපනයට ආපසු හැරවිය නොහැකි ආකාරයේ හානියක් සිදුවීමට පෙර වහා ක්‍රියාත්මක වීම යුතුකමක් බව සිහිපත් කළ යුතුය.
මෙම වෙනස්කම් වල වඩාත් මෑත කාලීන ප්‍රකට වීම දක්නට ලැබෙන්නේ පසුගිය ජූලි මාසයේ ප්‍රකාශයට පත්කෙරුණු අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව තුළිනි. එහි මූලිකම අරමුණ වන්නේ ලංකාව තුළ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමයි. මෙය ගැටළු සහගත නොවුනත්, මෙම වාර්තාවේ නිර්දේශ රාමු කොට ඇත්තේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙහි මූල්‍යමය වගවීම පිළිබඳ ආඛ්‍යානයක් තුළය. මේ සඳහා යෝජනා කොට ඇති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට හදිසි වීමට පෙර ‘වගවීම’ යන්න මෙහි අර්ථ දක්වා ඇති ආකාරයත්, එමඟින් අධ්‍යාපනයේ පෞද්ගලීකරණය සහ නිදහස් අධ්‍යාපනයේ අවසානය යන දෙකට පාර කපන අයුරුත් වටහා ගැනීම වැදගත් වේ.
අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම
වාර්තාවට අනුව, රට තුළ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමෙහි මෙම අරමුණ පිටුපස හේතු දෙකක් ඇත. පළමුවැන්න රටින් පිටට ගලා යන විදේශ විනිමය ඉතිරි කර ගැනීමයි.දෙවැන්න රට තුළ වෙසෙන, රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ප්‍රවේශය අහිමි අඩු අදායම්ලාභී කාණ්ඩ වල සිසුන්ට ‘යුක්තිය’ ඉටු කිරීමයි. ඊට විසඳුම වශයෙන් යෝජනා කොට ඇත්තේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සහභාගීත්වයෙන් රටේ උසස් අධ්‍යාපන පද්ධතිය කළමණාකරණය කිරීමත්, එයට ප්‍රවේශය ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් පුළුල් කිරීමත්ය. මෙහි ‘යුක්තිය’ කොටස ඉටු කරගැනෙන්නේ විශේෂයෙන්ම අඩු ආදායම් කාණ්ඩ වල සිසුන්ට ණය පහසුකම් සඳහා අවස්ථාව ලබාදීම තුළිනි.
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ බොහෝ ශාස්ත්රාලිකයන් මේ වනවිට පෞද්ගලික විශ්ව විද්‍යාල ‘ඉවසිය යුතුය’ යන විශ්වාසයෙහි සිටිති. ඔවුන්ට අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සමගාමීව පැවතීම ගැටළුවක් නොවන්නා සේම, එමඟින් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් වීමද සිදුවේ. නමුත් පෞද්ගලික අභිලාෂ හමුවේ පොදු අභිලාෂ යටපත් වන බව ඔවුන් නොදන්නේයැයි සිතිය නොහැක. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දශක ගණනක් තිස්සේ දැනටමත් දිග හැරෙමින් පවතින, ගාස්තු අය කිරීමේ පදනමක් මත ලබාදෙන උපාධි පාඨමාලා, ඩිප්ලෝමා සහ සහතික පත්‍ර වලින් පැහැදිලි වන පරිදි, එම දේශනා වලට දේශකයාගේ උනන්දුව හා සූදානම අභ්‍යන්තර පාඨමාලා වලට වෙන්කෙරෙන උනන්දුව හා සූදානමට සාපේක්ෂව වැඩිය. මන්ද, එම පළමු ගණයේ සැසි වලට ගෙවීම් කරනු ලබන්නේ කාර්ය සාධනය (performance) මත පදනම්ව නිසාය. මේ නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කිරීම තුළ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙහි මානව සම්පත ඊට ඇදී යාමේ ප්‍රවණතාවයක් පවතී. එසේම එම සේවා සැපයීම බොහෝවිට කොන්ත්‍රාත් පදනමක් මත සිදුවනු ඇත්තේ එමඟින් අදාළ විශ්ව විද්‍යාල වලට ලැබෙන ලාභයේ පංගුව වැඩිවන බැවිනි.
අධ්‍යාපනයේ පෞද්ගලීකරණය ප්රශ්නකාරී වීමට තවත් හේතු තිබේ. පළමුවැන්න නම් එමඟින් අපට ලැබීමට අධිකාරියක් ඇති දෙයක් ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට සිදුවීමේ තත්වයට පත් කිරීමයි. ඒ ඔස්සේ ධනය මත පදනම් වූ සමාජ බෙදීම් තහවුරු වීම හා වඩා තීව්ර වීම සිදුවේ. දෙවැන්න, අපේ මානසිකත්වය පුරවැසියාගේ සිට පාරිභෝගිකයා දක්වා විකාශනය වීමය. පාරිභෝගිකයා තමා වියදම් කරන මුදලට සාපේක්ෂ සේවාවක් පමණක් බලාපොරොත්තු වන්නෙකි. සමානාත්මතාව හා සමාන ගෞරවය පිළිබඳ සංකල්ප වලට එවැනි චින්තනයක ඉඩක් නැත. තුන්වැන්න නම්, අධ්‍යාපනය පිළිබඳ වැටහීම එමඟින් වෙනස් කිරීමයි. ලෝකය තේරුම් ගැනීම සහ වැඩිම දෙනාගේ යහපත වෙනුවෙන් එය වෙනස් කිරීම යන්න වෙනුවට, අධ්‍යාපනය හුදු රැකියාවක් ලබා ගැනීමේ මෙවලමක් වන තැනට ලඝු වේ. මෙම තේරුම් ගැනීම තුළ අධ්‍යාපනය ව්‍යාපාරයකි. එහි සමාජ-දේශපාලන භූමිකාවට ඒ තුළ ඉඩක් නැත. ආර්ථික අර්බුදය විසින් වර්තමානයේ ජනනය කොට තිබෙන හදිසි තත්වය නිසා, මෙවැනි ආකාරයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට රජයට අවස්ථාව උදා වී ඇත. මෙම මූල්‍ය හිඟකම පිළිබඳ සන්දර්භය තුළය විශ්ව විද්‍යාල වල මූල්‍යමය වගවීමට අදාළ කරුණු වාර්තාව තුළ මතු කෙරෙන්නේ.
උසස් අධ්‍යාපනය තුළ වගවීම
මෙම වාර්තාවේ මතුකරන ප්‍රශ්න වලට වාර්තාව මඟින් ලබාදෙන පිළිතුරු නොගැළපේ. නිදසුනක් ලෙස, විදේශ විනිමය රටින් ඉවතට කාන්දු වීම පිළිබඳ කතා කරමින් සිටින අතරවාරයේ හදිසියේම රාජ්‍ය විශ්ව විද්‍යාල වල පර්යේෂණ පිළිබඳ සාකච්ඡා කිරීමට වාර්තාව යොමුවේ. මෙහිදී මූලාශ්‍ර සැපයීමකින් තොරව රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙහි මහාචාර්යවරයෙකුගේ වැඩ පැය ගණනත්, ඒ හා සාපේක්ෂව එක්සත් රාජධානිය තුළ මහාචාර්යවරයෙකුගේ වැඩ පැය ගණනත් සංසන්දනය කොට තිබේ. මෙමඟින් උත්සහ කෙරෙන්නේ පර්යේෂණ අංශයෙන් වුවද රාජ්‍ය විශ්ව විද්‍යාල මහජන මුදල් වලට සාධාරණය ඉටු නොකරන බව පෙන්වීම තුළින් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන හඳුන්වා දීම සාධාරණීකරණය කිරීමය. එහෙත් එහිදී පර්යේෂණ නිමවුම් මෙසේ ප්‍රමාණයෙන් අඩු වීමට හේතු, විශේෂයෙන්ම ඒ කෙරෙහි සිදුකරන ආයෝජනය අඩු වීම, සළකා බැලෙන්නේ නැත.
වගවීම පිළිබඳ මෙම වටහා ගැනීම තුළ ඇත්තේ පරිපාලනමය, ගිවිසුම්කර දැක්මකි. එනම් යම් සේවාවක් සැපයීම සඳහා බඳවා ගන්නා පිරිස් විසින් එම සේවාව කාර්යක්ෂමව සැපයිය යුතුය යන දැක්මයි. මේ බව තහවුරු කිරීම සඳහා නියමිත පැය ගණන ඉගැන්වීම, ජාතික සංවර්ධන අරමුණු හා සමපාත වන පර්යේෂණ සිදු කිරීම සහ වෙළඳපොළ ඉල්ලුමට සරිලන ආකාරයේ, එනම් සේවා නියුක්තියට සුදුසු (employable) උපාධිධාරීන් නිර්මාණය කිරීම වැනි කාර්යයන් සිදුකොට ඇතිබව පෙන්විය යුතුය. මෙම ‘පෙන්වීමේ ක්‍රියාවලිය’ නම් කර ඇත්තේ තත්ත්ව සහතිකකරණය (Quality Assurance) යන නමිනි. සාර්ථකව මෙම පෙන්නුම් කිරීම සිදුකළ හැකි අධ්‍යයන පාඨමාලා මහජන මුදල් වලට සාධාරණයක් ඉටුකරන පාඨමාලා සේ සැළකේ.
මෙම දැක්ම තනිකරම වැරදි යැයි කිව නොහැක. නමුත් ප්රශ්නය වන්නේ මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පමණක් අධ්‍යාපන පද්ධතිය තුළ වගවීම සහතික කළ හැකිද යන්නයි. ‘කාට වගවීමද?’ යන ගැටළුව අදාළ වන්නේ මෙතැනදීය. වාර්තාවේ පවසා ඇති පරිදි එය මෙම අරමුදල් සම්පාදනයේ උල්පත වන මහජනතාවටද? නැතිනම් අධ්‍යාපනයට ප්‍රවේශය ලබාගැනීමට වියදම් කළ නොහැකි අයවළුන්ගෙන් අධ්‍යාපනය ඉවතට තල්ලු කර දමන වෙළඳපොළටද? අප හොඳින් දන්නා පරිදි, පෞද්ගලික ආයතන වග වන්නේ වෙළඳපොළටය. මන්ද ඔවුන් ලාභය පිළිබඳව වන බැවිනි. මෙවැනි ආයතන වලට සිය ලාභ අරමුණු ලුහුබැඳීම සඳහා රාජ්‍යය විසින් ලබාදීමට නියමිතව තිබෙන නිදහස පිළිබඳව සෑහෙන තරමේ අදහසක් වාර්තාව කියවන්නෙකුට ලැබේ. මෙසේ නිර්දය ලෙස පෞද්ගලීකරණය වූ ලෝකයක සිය ජීවිතය ගැටගසා ගන්නට සිදුවන මතු පරම්පරා වලට සමාජමය හෝ දේශපාලනික වශයෙන් වගවීමක් එහි නැත.
එසේ නම් මෙම යෝජිත ප්‍රතිසංස්කරණ (සහ දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය) තුළින් වගවීම හරවන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉවතට සහ නිදහස් වෙළඳපොළ දෙසටය. නිදහස් අධ්‍යාපනයේ විමුක්තිකාමී අරමුණු එතුළ අත හැරී, ප්රගතිශීලී-ලෙස-පෙනෙන’ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම’ වැනි ආඛ්‍යාන ඉදිරියට ඇදී එයි. නිදහස් අධ්‍යාපන පද්ධතිය පුළුල් කිරීම මඟින් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීම පිළිබඳ එතරම් සාකච්ඡා නොකෙරෙන්නේ මුදල් නොමැති වීමේ ගැටළුව මතය. නමුත් මුදල් වලට වූයේ කුමක්ද යන්න සාකච්ඡා වන්නේ ඊටත් අඩුවෙනි. වගවීම පිළිබඳ සංකල්පයේ සමාජ සහ දේශපාලනික පැතිමාන පිළිබඳ කෙරෙන කුමන සංවාදයක් හෝ අර්ථවත් වන්නේ සම්පත් ඌනතාව පිළිබඳ ගැටළුව ආමන්ත්‍රණය වුවහොත් පමණි.