LGBTIQ ප්‍රජාවන්: විශ්ව විද්‍යාලය ධනාත්මක අවකාශයක් බවට පත්කිරීම 

රම්‍යා කුමාර් 

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මඟින් සිදුකරන, ස්ත්‍රී-පුරුෂ භාවය හා සෞඛ්‍යය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක මම ඉගැන්වීම් කටයුතු කරන්නෙමි. ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ කරුණු වලට සෞඛ්‍ය සේවා ප්‍රතිචාරාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි එන එක් කොටසක අපි LGBTIQ [සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික ප්‍රජාවන් සහ ප්‍රශ්න නඟන්නන් (questioning)] ප්‍රජාවන් පිළිබඳවද සාකච්ඡා කරන්නෙමු. එම සාකච්ඡා වලට අනුව තත්වය ඇත්තෙන්ම අපේක්ෂාභංගත්වය ඇති කරවන සුළුය. පාඨමාලාවේ එම කොටස ඉගැන්වීමට පැමිණෙන ක්‍රියාකාරීන්ට අනුව සෞඛ්‍ය සේවයේ බොහෝ වෘත්තිකයින්ට මෙම ප්‍රජාවන්ගේ අවශ්‍යතා වලට සංවේදී ආකාරයෙන් සිය රාජකාරිය කිරීමට අවශ්‍ය පුහුණුව නොමැත. 2023 වසරේදී Equal Ground ආයතනය මඟින් කොළඹ, ගාල්ල, යාපනය, නුවර, මාතලේ සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක හයෙහි සිදුකරන ලද පර්යේෂණයකට අනුව සෞඛ්‍ය සේවා සපයන්නන් අතින් විවිධාකාරයේ වෙනස් කොට සැළකීම්, පරිභව කිරීම් මෙන්ම කායික හා ලිංගික හිංසනද සිදුවී තිබේ.   

මේ සාකච්ඡා නිසා අපේ විශ්ව විද්‍යාල තුළ LGBTIQ ප්‍රජාවන්ගේ තත්වය පිළිබඳ ආවර්ජනය කරන්නට මට සිතුනි. 2021 වසරේදී සමස්ත දිවයිනේම ප්‍රතිචාරකයින් 4500 ක් පාදක කොටගෙන සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ජනගහණයෙන් 12% ක් LGBTIQ ප්‍රජාවේ කොටසක් වශයෙන් තමා හඳුනා ගන්නෝ වෙති. එනම් අපේ විශ්ව විද්‍යාල තුළද මීට ආසන්න ප්‍රමාණයක් එම කණ්ඩායමට අයත් වන බවයි. එහෙත් ඔවුහු බොහෝවිට අදෘශ්‍යමාන වෙති. මා ඉගැන්වීම් කටයුතු සිදුකරන යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ පසුගිය අවුරුදු අටක කාලය ඇතුළත ප්‍රධාන දහරාවේ නොවන සිය ලිංගික හැඩගැස්ම (sexual orientation) ගැන කතාකොට ඇත්තේ එක් සිසුවකු පමණි. LGBTIQ කණ්ඩායම්හි අයිතීන් පිළිබඳව කටයුතු කරන එක් කණ්ඩායමක් විසින් සංවිධානය කරන ලද සාකච්ඡාවකට සහභාගී වීමට ගියවිට, මා දුටු මගේ එක් වෛද්‍ය සිසුවකු ලහි ලහියේ එතැනින් ඉවත් වූයේ එම සාකච්ඡාවට සහභාගී වීම තුළින් සිය ලිංගික හැඩගැස්ම පිළිබඳ යමක් මට සන්නිවේදනය වනු ඇතැයි යන බිය නිසා බව මට සිතුනි. වෙනත් විශ්ව විද්‍යාල වල මගේ මිතුරන් හා සංවාද කිරීමේදීද මට අවබෝධ වූයේ තත්වය මීට සමාන බවයි.  

විෂම ලිංගික විශ්ව විද්‍යාල 

අප සමාජයේ පවතින විෂම ලිංගික ප්‍රතිමානීය රාමුව තුළ සියළුදෙනා විෂම ලිංගික හා ස්ත්‍රී හෝ පුරුෂ යන කුලක දෙකෙන් එකකට අයත් වන බව උපකල්පනය කරයි. පේරාදෙණිය ශාස්ත්‍රාලිකයකුට අනුව “තද ස්ත්‍රී-පුරුෂ ද්විවිධ බෙදීමක් ඇති බව නොපිළිගන්නා අයකුට විශ්ව විද්‍යාල අත්දැකීම අපහසු විය හැකියි. විශේෂයෙන්ම නවක වධ සමය ඉතා දරුණු වියහැකියි ඔවුන්ට.” ඇත්තෙන්ම විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළ ද්විවිධ අනන්‍යතා වලට අයත් නොවන ආකාර චර්යා දැකිය නොහැකි තරම්ය. පේරාදෙණියේ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයකුට අනුව “සිසුන්ට සාපේක්ෂව කාර්ය මණ්ඩලය අතර තත්වය තරමක් හොඳයි. කිසිවකු එළිපිට තමා සමලිංගික බව නොපැවසුවත්, එහි ඇත්තේ ‘පවතින්න, සහ පැවතීමට ඉඩ දෙන්න’ මානසිකත්වයක්. නමුත් සිසුන් අතර එය එතරම් පහසු නැහැ.”  

මා කතා කළ බොහෝ ශාස්ත්‍රාලිකයන්ට අනුව නවක වධය මඟින් මෙම විෂම ලිංගික ප්‍රතිමානය තවදුරටත් තීව්‍ර කරයි. එක් මහාචාර්යවරයකුට අනුව: “නවක වධය තුළ ඇත්තෙන්ම ප්‍රධාන දහරාවේ නොවන ලිංගික භාවිතයන් සමහර විට ව්‍යංගයෙන් භාවිතා කළත්, විවෘතව ප්‍රවර්ධනය කරන්නේ විෂම ලිංගිකත්වයයි. මෙමඟින් විකල්ප ලිංගික අනන්‍යතා සහිත පිරිසට කරන බලපෑම වහා හඳුනාගත යුතු වනවා.” බොහෝ පීඨ වල සිසුන්ගේ මෙන්ම කාර්ය මණ්ඩලයේ ඇඳුම් විලාසිතාද තදින් අධීක්ෂණය කෙරේ. යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රාලිකයකුට අනුව “සිසුන්ගේද සහය ඇතිව අපේ විශ්ව විද්‍යාලයේ පනවා ඇති කොට කලිසම් තහනම, පුද්ගලයන්ගේ ලිංගිකත්වය ප්‍රකාශ කිරීමේ නිදහස නියාමනය කිරීමට ගන්නා උත්සාහයක් ලෙස වටහා ගත යුතුයි.” විශ්ව විද්‍යාලයේ මෙම ‘උපසංස්කෘතිය’ නිසා එහි සමහරක් අවකාශ වලින් විකල්ප ආකාරයේ ලිංගික අනන්‍යතා ඇති පිරිස් බැහැර කොට ඇත. විෂම ලිංගික යුවල වලට පමණක් ඇතුල් වියහැකි බවට නිහඬ නීතියක් පවතින පේරාදෙණියේ ‘ආදර මාවත’ හොඳ නිදසුනකි.   

විශ්ව විද්‍යාල වල භෞතික අවකාශයද විකල්ප ලිංගික අනන්‍යතාවයන් සහිත පිරිස් තුළ අපහසුවක් ජනිත කරයි. නිදසුනක් ලෙස බොහෝ විශ්ව විද්‍යාල වල ස්ත්‍රී-පුරුෂ අනන්‍යතාව මත පදනම් නොවන වැසිකිළි පහසුකම් නොමැත. එසේම නේවාසිකාගාර වල සංක්‍රාන්ති-ලිංගික පිරිස් වලට එරෙහිව දියත් වන ප්‍රචණ්ඩත්වය නිසා ඔවුහු විශ්ව විද්‍යාල නේවාසිකාගාර පහසුකම් භාවිතා නොකරති. මෙවැනි තත්වයන් නිසා බොහෝ සංක්‍රාන්ති ලිංගික සිසුහු සිය පරිවර්තනය ආරම්භ කිරීම ඉගෙනුම් කටයුතු අවසන් වනතෙක් කල්දමති. පේරාදෙණිය කාර්ය මණ්ඩල සාමාජිකයකු පැවසුවේ තමාගේ එක් සිසුවකු පුරුෂ අනන්‍යතාවයට සංක්‍රමණය වීම උපාධි ප්‍රදානෝත්සවයෙන් පසුවට කල්දමා ඇති බවයි. 

නොදැනුවත්කම හා පූර්ව විනිශ්චයන් 

විශ්ව විද්‍යාල තුළ LGBTIQ කණ්ඩායම් වල අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීමට එරෙහිව ගතානුගතික කණ්ඩායම් විසින් විවිධ සංස්කෘතිකමය තර්කයන් ඉදිරිපත් කරනු ලැබේ. මෙවැනි දේ කතා කිරීමට යෑම නිසා සංස්කෘතික පරිහානියක් ඇතිවිය හැකි බවද, සමරිසි බව යනු බටහිර දෙයක් බව හා එම න්‍යාය පත්‍ර සාධනය කිරීමට යාම නිසා ජනගහණයේ අඩුවක් වියහැකි බවටද වන තර්ක මේ අතරින් කිහිපයකි. තවත් සමහරුන්ට අනුව මෙවැනි ලිංගික හැඩගැසීම් කුඩා කල අත්විඳින්නට සිදුවූ කම්පනයක හෝ ලිංගික හිංසනයක ප්‍රතිඵලයකි.

ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය ඇතිකිරීම සඳහා විවිධ නීති රෙගුලාසි විශ්ව විද්‍යාල තුළ පැවතුනද, මේවා මඟින් ද්වි-විධ අනන්‍යතා සහ විෂම ලිංගිකත්වය පිළිබඳ කාරණය ආමන්ත්‍රණය වන්නේද යන්න පැහැදිලි නැත. මේ සම්බන්ධයෙන් යම් තරමක ප්‍රගතියක් සහිත නීතියක් වන්නේ “විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ප්‍රජාව අතර ස්ත්‍රී-පුරුෂ භාවය, ලිංගික හැඩගැස්ම, ස්ත්‍රී-පුරුෂ අනන්‍යතාව හෝ වයස ආදී කිසිදු කරුණක් අරබයා වෙනස්කොට සැළකීම් දුරලීම තුළින් සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමයි.” එහෙත් පේරාදෙණියේ ශාස්ත්‍රාලිකයකු පැවසුවේ “මෙවැනි සාකච්ඡා යම් තේරුම්ගත නොහැකි හේතුවක් මත බොහෝවිට පුරුෂයින්ට සිදුවන වෙනස්කොට සැළකීම් පිළිබඳ උසුලු විසුළු වලින් කෙළවර වන” බවයි.    

LGBTIQ සිසුන් සඳහා විශේෂ වූ උපකාරක සේවා කිසිදු විශ්ව විද්‍යාලයකින් ලබානොදේ. කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුට අනුව “LGBTIQ සිසුන් සඳහා සේවා සපයන කිසිදු කණ්ඩායමක් හෝ විශ්ව විද්‍යාලයක් මා දන්නා පරිදි නැහැ.” කොළඹ විශ්ව විද්‍යාලයේ LGBTIQ සිසුන්ට විශ්ව විද්‍යාලය කොළඹ පිහිටා තිබීමේ වාසිය මත අවශ්‍ය සේවා වලට රාජ්‍ය නොවන සංවිධාන වැනි ඒවා හරහා ප්‍රවේශය හිමිවන බව මෙම ප්‍රතිචාරකයා වැඩිදුරටත් පැවසීය. පේරාදෙණියෙහි ශාස්ත්‍රාලිකයකුට අනුව දෙමළ මාධ්‍ය සිසුන්ට මෙවැනි සේවා වලට පුහුණු උපදේශකයින් හරහා ප්‍රවේශයක් ඇත්තේම නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් නුපුහුණු උපදේශකයින් ඔවුන්ට ලබාදෙන උපදෙස වන්නේ ප්‍රධාන දහරාවේ අනන්‍යතාවයක් වැළඳ ගන්නා ලෙසයි. එහෙත් මේ අනන්‍යතා අපට අවශ්‍ය පරිදි වැළඳ ගැනීමට හෝ බැහැර කිරීමට හැකි ඒවා නොවන බවට සාකච්ඡාවක් සිදුනොවේ. 

සීමා සහිත ධනාත්මක අවකාශයන්

සිය ලිංගික හැඩගැස්ම පිළිබඳ කතාකිරීමට ධෛර්යය වඩවාගත් යම් සිසුවෙක් වේද, ඔවුන්ට රඳා පැවතීමට සිදුවන්නේ විශ්වාසවන්ත මිතුරන් හා ගුරුවරුන් මතය. කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකුට අනුව: “මේ සම්බන්ධයෙන් කතා කළහැකි දෙපාර්තමේන්තු මොනවාද යන්න සිසුන් දන්නවා. ඉංග්‍රීසි දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් මේ කරුණ සම්බන්ධයෙන් මිත්‍රශීලී අවකාශයක් හැටියටයි සැළකෙන්නේ.” කලාතුරකින්, LGBTIQ අයිතීන්ට ඉහළ පෙළේ බලධාරීන්ගේ සහයද හිමිවේ. යාපනය විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට අනුව: “අවුරුදු කිහිපයකට පෙර, ප්‍රදේශයේ ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් යාපන විශ්ව විද්‍යාල පරිශ්‍රයේ LGBTIQ අයිතීන් සඳහා සංවිධානය කළ පා ගමනකට උප කුලපතිවරයාද සහභාගී වුනා. මේවා ඉතා සාධනීය කරුණු වුනත්, දිගු කාලීන වෙනසක් සඳහා අපට අවශ්‍ය වන්නේ ආණ්ඩුකරණය, ප්‍රතිපත්ති සහ විෂය නිර්දේශ මට්ටමේ වෙනසක්.”

එහෙත් සමරිසි බව අපරාධයක් බවට පත්කොට ඇති දණ්ඩ නීති සංග්‍රහය වෙනස් වනතුරු මෙවැනි දිගු කාලීන වෙනස්කම් ඇතිවේයැයි බලාපොරොත්තු විය නොහැක. LGBTIQ වශයෙන් තමා හඳුන්වා ගැනීම නෛතික වශයෙන් වරදක් නොවුනත්, මෙම නීතියට ඇති බිය නිසා එම අවදානම ගන්නේ කිහිප දෙනෙකි. ඒවා එළිපිට පැවසිය හැක්කේ තරමක් වරප්‍රසාදිත පසුබිම් වලින් එන්නන්ට පමණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම සාකච්ඡාද ඉතා සීමා සහිත අවකාශයන් කිහිපයකට කොටුවී ඇත.

වඩාත්ම උපහාසාත්මක කරුණ නම්, ලෝකයේ අපේ කොටස තුළ ලිංගික අනන්‍යතා පිළිබඳ මාතෘකාව ඓතිහාසිකව සැළකිය යුතු තරම් නම්‍යශීලී භාවයක් ගෙන තිබීමයි. එක් මහාචාර්යවරයකුට අනුව: “මහාභාරතය වැනි වීර කාව්‍යයන් මීට හොඳ උදාහරණයක්. එහි අනන්‍යතා රාශියක් තිබෙනවා. මෙවැනි කරුණු මතුකර දැක්වීම තුළින් වර්තමානයේ ආන්තීකරණය වී ඇති හඬවල් වලට යම් ඉඩක් ලබාදිය හැකියි.” විශ්ව විද්‍යාල ප්‍රජාවේ සාමාජිකයින් වශයෙන් මේ සම්බන්ධයෙන් ඇති නිහඬතාව බිඳ දමා, LGBTIQ අනන්‍යතා සඳහා අපේ විශ්ව විද්‍යාල තුළ වඩාත් ධනාත්මක අවකාශයක් තැනීමට අප උත්සුක විය යුතුය.