රාජ්‍ය වුවත් මහජනයාට නොවන, පෞද්ගලික වුවත් විශ්වවිද්‍යාල නොවන ලංකාවේ විශ්වවිද්‍යාල

කෞශල්‍යා පෙරේරා

අධ්‍යාපනය ලබාදීමේ වර්තමාන අරමුණ අපව වඩා කාර්යක්ෂම කිරීම බවට පත්වී ඇති බව පණ්ඩුක කරුණානායක ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සඟරාවේ (University of Colombo Review) පළ කල විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන ලියූ ලිපියේ ප්‍රකාශ කරයි. ඔහුට අනුව මෙය මෙවලම්වාදී සහේතුකත්වය (instrumental rationality) යන වෙබේරියානු සංකල්පය මත පදනම් වූ එකක් වන අතර, මෙසේ කාර්යක්ෂමතාවය වැඩි කළ හැක්කේ වෙනත් දෙයක් පාවා දීමෙන් පමණි. මම එම ලිපියෙන් ගන්නා හරය වන්නේ වත්මන් සමාජයට අවශ්‍ය වන්නේ ඉතා ශීඝ්‍රයෙන්, වෙළඳපලේ වටිනාකමක් ඇති උපාධියක් සිසුන්ට ලබාදීම මිස එම උපාධිධරයින් තුල සමාජ-දේශපාලනමය සාරධර්ම සහ සදාචාරාත්මක ගුණ ප්‍රගුණ කිරීම නොවන බවයි. 

අධ්‍යාපනයට වඩා සුදුසුකම් වලට ලාංකිකයින්ගේ ඇති ආශාව අධ්‍යාපනඥයෝ සහ ව්‍යාපාරිකයෝ දැනටමත් හඳුනා ගෙන සිටිති. වත්මන් ලාංකීය සමාජය රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ඉල්ලා සිටින්නේද මෙසේ එකම අච්චුවෙන් ක්ෂ්ණිකව උපද්දවන උපාධිධරයින් බිහි කරන ලෙසයි. එසේ නම් දැන් විශ්ව විද්‍යාලයක් යනු කුමන ආකාරයේ ආයතනයක්ද? පණ්ඩුක කරුණානායකගේ ඉහත සඳහන් ලිපියේ ඔහු පාඨකයාගෙන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් තමාව හඳුනාගෙන සිටින ලෙස, නැතහොත් අප අපගේ විශ්වවිද්‍යාලවල ස්වභාවය හඳුනා ගෙන සිටිය යුතු බවයි. මේ ලිපිය මා ලියන්නේ ඒ අවශ්‍යතාවය සිතේ තබා ගෙනය. 

රාජ්‍ය විශ්විවිද්‍යාල සහ පොදු විශ්වවිද්‍යාල යන දෙකම එකමද?

ලංකාවේත්, බංග්ලාදේශය වැනි දකුණු ආසියාතික රටවලත්, අපට යම්තාක් දුරින් පිහිටා ඇති තුර්කිය සහ ප්‍රංශය යන රටවලත්, රාජ්‍ය විශ්වවිද්‍යාලයක් (state university) යනු රජයට ‘අයිති’ විශ්වවිද්‍යාලයකි. ඒවා රාජ්‍ය විධිවිධාන වලට යටත්ව රජයේ අරමුදලින් පවත්වාගෙන යන ආයතන වේ. ඇමෙරිකාවේ ඇතැම් විශ්වවිද්‍යාලද, ජපානයේ ‘ජාතික’ විශ්වවිද්‍යාල ලෙස නම් කල ඒවාද මේ පොදු විශ්වවිද්‍යාල (‘public universities’) ගණයට  ඇතුලත් වන අතර, ඒවාද රජය විසින් පටන්ගත්, රජයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබන, වෙනත් රටවල රාජ්‍ය විශ්වවිද්‍යාලවල ලෙස නම්කරන ඒවාට බොහෝ දුරට සමාන වේ. එබැවින් රාජ්‍ය හා පොදු විශ්වවිද්‍යාල වල වෙනස හුදු ප්‍රාදේශීය නාමික වෙනසක් වීමට ඉඩ ඇත. 

ඒ කෙසේ වෙතත්, රාජ්‍ය සම්පත් වලින්ම රාජ්‍ය විශ්වවිද්‍යාල නඩත්තු කිරීම මේ වනවිට අමාරු කාර්යයක් බවට පත්ව ඇත. බොහෝ රටවල රාජ්‍ය විශ්වවිද්‍යාලවලට රජය මගින් වෙන්කරන මූල්‍ය ප්‍රමාණය කාලයත් සමග වෙනස් වී ඇති බව අපට පෙනේ. උදාහරණයක් ලෙස තුර්කියේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් සියයට අනූපහක්ම ඔවුන්ට 2020 වනවිට රජයෙන් ලැබිණි (හසන් ටෝසුන්ට අනුව). නිදහස ලැබීමෙන් පසු මුල් කාලයේ ලාංකීය විශ්වවිද්‍යාලවලට අවශ්‍ය මුළු පිරිවැයම රජයෙන් ලබා දුන් නමුත්, වර්තමානයේදී එය එසේ සිදුවන්නේ නැත.

ආසන්න දිනයකදී ශ්‍රී ලාංකීය නාගරික විශ්වවිද්‍යාලයක ඉහල පරිපාලකයෙකුගේ ප්‍රකාශයකට අනුව ඒ විශ්වවිද්‍යාලය මේ වසරේ පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් සියයට හැටක් එම විශ්වවිද්‍යාලයෙන්ම උපයා ගෙන ඇත. 2023 වර්යේෂයේදී ලංකාවේ පශ්චාත් උපාධි ආයතන දහයෙන් සයකට භාණ්ඩාගාරික මූල්‍යමය ප්‍රතිපාදන වෙන් කර තිබුනේ නැත (උදා: ඉංග්‍රීසි පශ්චාත් උපාධි ආයතනය සහ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය). පසුගිය වසරවල බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලට රජයෙන් වෙන්කර තිබුනේ ඔවුන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වලින් සියයට 8කුත්, 15කුත් අතර ප්‍රමාණයකි. පොදු විශ්වවිද්‍යාලයකට කොතරම් මුදල් ප්‍රමාණයක් රජයෙන් ලබාදිය යුතුද යන ප්‍රශ්නය ඇසුවහොත් එයට දිය හැකි පිළිතුර වන්නේ එක් එක් ආකාරයට එය වෙනස් වන බවයි. යම් ප්‍රමාණයක් හෝ රාජ්‍ය මුදල් ලැබෙන්නේ නම් ඒවා පොදු විශ්වවිද්‍යාල ලෙස හැඳින්වෙන බවත්, ඒවා එලෙස නම් කෙරෙන නිසාම ස්වභාවයෙන් සහ කාර්යයෙන් එම විශ්වවිද්‍යාල මහජනයා සඳහා, හෙවත් පොදු ආයතන, වන බවට සැමගේ බලාපොරොත්තුවක් ඇත. 

ලාංකීය කතිකාවේ විශ්වවිද්‍යාල වර්ග කෙරෙන්නේ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙසය. මම සිතන ආකාරයට ‘රාජ්‍ය’ විශ්වවිද්‍යාලයක් නම් එය පොදු ආයතනයක්ද විය යුතුය. එනම් රජයට අයිති වීමත් මහජනයාහට සේවය කිරීමත් දෙකම සිදු විය යුතුයි. ලාභ සඳහා නොවන (non-profit oriented) පෞද්ගලික විශ්වවිද්‍යාලයකටද රටට සේවාවක් කළ හැකි වුවද, එය පෞද්ගලික ආයතනයක් ලෙස පිහිටුවීමෙන්ම එහි භූමිකාව වෙනස් එකක් ලෙස තීරණය වී ඇත. ලාංකීය රාජ්‍ය විශ්වවිද්‍යාල මේ වනවිට පොදු, එසේ නැතහොත් මහජන ආයතන නොවන බවටත්, පෞද්ගලික විශ්වවිද්‍යාල සත්‍ය වශයෙන් විශ්වවිද්‍යාල නොවන බවටත් මම ප්‍රකාශ කරන්නේ මේ ඉහත නිර්වචන සලකා බලා ය. 

ලොව පුරා බොහෝ රටවල ඉහත විස්තර කල ආකාරයට අධ්‍යාපනයට වෙන් කෙරෙන රාජ්‍ය පිරිවැය අඩුකිරීම දැන් සුලභ දෙයකි. මෙය පෞද්ගලීකකරණයට පක්ෂපාතී පාර්ශ්ව මඟින් සාධාරණීකරණය කරන්නේ ඒ හරහා ආයතනික ස්වාධීනත්වය වැඩි වෙන බව කීමෙනි. විශ්වවිද්‍යාල පරිපාලනය වඩාත් ස්වාධීන වූ විට තමන් කාහට කුමන ආකාරයට උගන්වනවාද යන්න ඔවුන්ටම තීරණය කල හැකි වේ. ඊටත් වඩා වැදගත් දේ වන්නේ, ඉදිරියට විශ්වවිද්‍යාලය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය මුදල් උපයන්නේ කෙසේද යන්නත් ඔවුන්ගේ කැමැත්ත අනුව තීරණය කල හැකි වීමයි. ශිෂ්‍යයින්ගෙන් ගාස්තු අය කරන ලොවපුරා විශ්වවිද්‍යාල වල ලියාපදිංචි වන විද්‍යාර්ථීන්හට මේ නිසා වර්තමානයේදී විශාල ලෙස ගාස්තුවැඩි වීමක් අත් විඳීමට සිදු වී ඇත. 

ලාංකීය රාජ්‍ය විශ්ව විද්‍යාල තවමත් ඉහත නිර්වචනයට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලම වේ. එනම් ඒවායෙහි සේවය කරන අප විශ්වවිද්‍යාල පනතට අවනත විය යුතුය. රාජ්‍ය විශ්ව විද්‍යාල අධීක්ෂණය කරන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි. විශ්වවිද්‍යාල වලට විද්‍යාර්ථීහු තේරෙන්නේ රාජ්‍ය ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසය. ඒ සමගම එහි සේවය කරන අපි රජයේ වෘත්තිකයෝ වෙමු. 

එහෙත් මාහට ලැබෙන වේතනය ගෙවෙන්නේ ඇත්තටම රජයෙන්ද? මෙය විවාදයට ගත හැකි කාරණයකි. විශ්වවිද්‍යාලයේ වියදම් කෙරෙන මුදල් එම ආයතයෙන් උපයාගත් මුදලේත් භාණ්ඩාගරයට එවන මුදලේත් එකතුවක් නම්, ඒ සමඟම භාණ්ඩාගරයට එවන රාජ්‍ය පිරිවැයේ උසස් අධ්‍යාපනයට වෙන් කෙරෙන කොටස විදේශ ණය වලින් ලබාගන්නේ නම්, ඒ හරහා ගෙවෙන මගේ වැටුප සත්‍ය වශයෙන්ම ගෙවන්නේ රාජ්‍ය මුදල් වලින්ද? ඒත් එක්කම, ඒ හරහා ලබා ගන්නා මගේ සේවය ලබා ගන්නේ ‘පොදු’ හෝ ‘මහජන’ විශ්වවිද්‍යාලයකින්ද? 

විශ්වවිද්‍යාලවල කාර්යය වන්නේ ඍජුව හෝ වක්‍රාකාරයෙන් මහජනයාට සේවය කිරීම නම් මා සේවය කරන්නේ පොදු විශ්වවිද්‍යාලයකට නොවන බවට මට තර්ක කල හැක. ඒ , රාජ්‍ය විශ්වවිද්‍යාල සේවය කරන්නේ මුළු මහජනතාවටම නොව ඉන් තෝරාගත් කොටසකට පමණක් නිසාය. 

කුප්පි කොලමේ මීට පෙර අප ඉදිරිපත් කර ඇති සේම, රාජ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවී ඇති පැහැදිලි සහ අඛන්ඩ පිරිහීම නිසාම සියළු ලාංකීය සිසුන්ට, විශේෂයෙන්ම රජයේ පාසල්වල සිසුන්ට, සමාන ආකාරයේ අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට මේ අවධියේ ඇතුළු වන ශිෂ්‍යයෝ වැඩි ප්‍රතිශතයක් වැඩි සම්පත්ධාරී පාසල් වල ඉගෙන ගැනීමට හැකි වූ හෝ අමතර පංති වලට වැඩි වශයෙන් වියදම් කිරීමට හැකි වූ සන්දර්භයකින් මතුවූවෝ වෙති. මින් මා කියන්නේ එම සිසුන් පොහොසත් බව හෝ ප්‍රභූ පසුබිමකින් පැමිණෙන බව නොවේ (පොහොසත් හෝ ප්‍රභූ පසුබිමක සිසුන් මේ වනවිට සාමාන්‍යයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට නොපැමිණෙති). රාජ්‍ය විශ්ව විද්‍යාල මගින් තවමත් බොහෝ අයට පෙරට වඩා උසස් සමාජ ස්ථරයකට ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන බවත් සැබෑය. එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට පැමිණෙන සිසුවකුගේ පසුබිම ගැන අපට වර්තමානයේ කිවහැක්කේ ඔවුන්ගේ පවුල් වලින් වෙනත් දේට වඩා අධ්‍යාපනය සඳහා කෙරෙන වියදමට ප්‍රමුඛතාව දුන් බවයි. 

පවුලක් බඩගින්නේ සිටිමින් ළමුන්ගේ අධ්‍යාපනයට මුදල් යොමු කිරීමට තීරණය කරන්නේ නම් හෝ සිසුන්ට වඩා ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා නිවසේ සිට සතිපතා හෝ දිනපතා විශාල දුර ප්‍රමාණයක් ගමන් කරන්නට සිදුවේ නම් ඉන් කියැවෙන්නේ රාජ්‍ය අධ්‍යාපනයෙන් මහජනයාට සේවයක් නොවූ බවයි.

රාජ්‍ය පිරිවැය වාර්ෂිකව අඩු කරමින් ඒ මුදලින් වෙනත් අමාත්‍යාංශ තර කිරීම නිසා ඒ පාසල් සිසුන් ඉන්පසු ඇතුළුවන්නේද සම්පත් අඩු රාජ්‍ය විශ්ව විද්‍යාලයකටය. 

පෞද්ගලික විශ්වවිද්‍යාලයක් යනු කුමක්ද?

පෞද්ගලික විශ්වවිද්‍යාලයක් යන වදන ඇසූ විට බොහෝ විට අපේ සිතට නැගෙන්නේ හාවඩ් හෝ කෝනල් වැනි ඇමෙරිකානු පෞද්ගලික විශ්වවිද්‍යාල ය. ඒවා බොහොමයක් පිහිටුවන ලද්දේ ආගමික ආයතන හෝ පොහොසත් දානපතීහු වැනි රාජ්‍ය නොවන පාර්ශ්ව මගිනි. ඒ එක්කම ඒවා වර්තමානයේ පවත්වාගෙන යන්නේද මුළුමනින්ම පෞද්ගලික පිරිවැයෙනි. 

පෞද්ගලික පිරිවැය ලෙස මෙසේ වර්ග කෙරෙන්නේ දායාද (endowments) ආදී සිසුන්ගෙන් ලැබෙන ආධාර, පෞද්ගලික පර්යේෂණ ආයතන මගින් ලබා දෙන මුදල්, පෞද්ගලික ආයතන වලින් ලබා දුන් මුල්‍යමය ආධාර සහ ශිෂ්‍ය ගාස්තු ය. ලාංකීය රාජ්‍ය විශ්වවිද්‍යාල ආකාරයෙන්ම, ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලද තමාම නිර්මාණය කල උපාධි පාඨමාලා සිසුන්ට ඉදිරිපත් කල යුතුය. වෙනසක් වන්නේ එම විශ්වවිද්‍යාල වලට සිසුන් ලියාපදිංචි කරගන්නේ ඒ ඒ විශ්ව විද්‍යාලයම තීරණය කරගත් තේරීම් පටිපාටියකට  අනුව වීමයි. 

ලාංකීය පෞද්ගලික විශ්වවිද්‍යාල මේ නිර්වචනයට අනුව විශ්වවිද්‍යාල නොවේ. මෙයට මූලික හේතුව වන්නේ ඒවා වැඩි ප්‍රමාණයක් (ලාභ නොලබන හෝ ලාභ ලබන) පෞද්ගලික කොම්පැනි ලෙස එසේ නැත්නම් වෙනත් යම් ආයතන වර්ගයක් ලෙස ලියාපදිංචි කර තිබීමය. ඒවා අධ්‍යාපනික ආයතන ලෙස ලියාපදිංචි කර නොමැත. මේ බොහෝ ආයතන වල සේවයේ යෙදෙන වැඩි ප්‍රමාණයක් කථිකාචාර්යවරු ස්ථිර හෝ පූර්ණ කාලීන අධ්‍යාපනික සේවයේ යෙදෙන්නෝ නොවෙති. ඒවායේ සේවයේ යෙදෙන අධ්‍යයන කාර්ය මණ්ඩල වල සාමාජිකයෝ බොහෝ විට පශ්චාත් උපාධි නොමැති අය බවත් එම ආයතනවල වෙබ් අඩවි දෙස මතුපිටින් බැලූ විට වුවද ඕනෑම කෙනෙකුට දැක ගත හැකියි. 

තවත් වැදගත් දෙයක් වන්නේ ලාංකීය පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන්නේ ෆ්‍රැන්චයිස් ආකෘතියක් තුල වීමයි. එනම් ඔවුන් බොහෝ විට සිදු කරන්නේ විදේශීය විශ්වවිද්‍යාලවල බාහිර උපාධි පාඨමාලා මෙහි ඉගැන්වීමට අවශ්‍ය ඉඩ සහ ඉගැන්වීම් සම්පත් ලබාදීම මිසක් තමා නිර්මාණය කර දියුණු කල උපාධි පාඨමාලා ඉදිරිපත් කිරීම නොවේ. 

පෞද්ගලික වුවත් රාජ්‍ය වුවත්, විශ්වවිද්‍යාලයක් වීමට නම් එහි අදාල සුදුසුකම් ලැබූ අධ්‍යයන කාර්ය මණ්ඩලයක් සහ ස්ථිර කාර්ය මණ්ඩලයක් සිටිය යුතුය. තමාගේම යැයි කිව හැකි උපාධි පාඨමාලා තිබිය යුතුය. ඒ උපාධි පාඨමාලාවලින් තම රටෙහි හෝ ඒ ප්‍රදේශයේ අවශ්‍යතා පිරිමැසිය යුතුය. උපාධි පාඨමාලාවට අයත් වෙන දේ කවුරු තීරණය කරන්නේද යන්න ගැන අපට වාද කල හැකි වුවත්, ඒ උපාධි පාඨමාලාවෙන් යම් ආකාරයකට හෝ රටේ සමාජයීය සහ දේශපාලනික අවශ්‍යතාවන් ඇමතිය යුතු බවට වාදයක් නැත. 

මේ කර්තව්‍යය පරමාදර්ශී ආකාරයෙන්ම නොවූවද යම් තාක් දුරකට හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් සිදු වේ. සුදුසුකම් ලබාගත් අධ්‍යයන කාර්ය මණ්ඩල ඔවුන්ට සිටිති. ඔවුහු රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා නිර්මාණය කරති. රාජ්‍ය විශ්වවිද්‍යාලවල පර්යේෂණ සිදු වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන්, ලාංකීය සන්දර්භයක් තුලය. ඊට සාපේක්ෂව පෞද්ගලික විශ්වවිද්‍යාලවල ලාංකීය දිශානතියක් ඇති උපාධි පාඨමාලා බිහිවෙන්නේ ආයතන අල්ප ප්‍රමාණයකින්ය; පර්යේෂණ සිදුවන්නේ අතලොස්සකය. 

සාමාන්‍යයෙන් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලින් ලබාගත හැක්කේ එකම අච්චුවෙන් බිහිකරන ලද උපාධි පාඨමාලායි. එනම් එම උපාධි පාඨමාලා වෙනත් රටක ඒ රටට අවශ්‍ය ආකාරයට නිර්මාණ කල එකකි. මෙරට ඒවා උගන්වන පෞද්ගලික ‘විශ්වවිද්‍යාල’ එම විදේශීය විශ්වවිද්‍යාලයේ ඒජන්තවරු ලෙස ක්‍රියාකරන පෞද්ගලික ආයතන වේ. එම ගණුදෙනුවේ අවාසනාවන්ත සහ වැඩි කතාබහට ලක් නොවන අතුරු ඵලයක් වන්නේ එම විදේශීය බාහිර උපාධි හරහා මෙරට උපයන මුදල් එම විදේශීය විශ්වවිද්‍යාලවලට යැවීමයි. 

තවත් ප්‍රශ්න කිහිපයක් ඒ ඔස්සේ පැන නැඟේ. 

ඉන් පළමුවැන්න වන්නේ පොදු විශ්වවිද්‍යාලවලට මුදල් ලබා දීමට වගකීම ඇත්තේ කාටද? ඒ වගකීම ඇත්තේ මහජනයාටද? එසේ නම් ඒ මුදල් රජය මගින් මේ විශ්වවිද්‍යාල කරා නොපැමිණෙන්නේ ඇයි? පොදු විශ්වවිද්‍යාලවලට මුදල් ලබා දිය යුත්තේ පුරවැසියා තනි තනියෙන්ද? උදාහරණයක් ලෙස එක් එක් ශිෂ්‍යයාගේ  ශිෂ්‍ය ගාස්තු මගින්ද? එසේ වූවොත් එය ශිෂ්‍යන්ගෙන් මුදල් උපයන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත් නොවන්නේද? 

රාජ්‍ය හෝ පොදු ජනයාගේ අධ්‍යාපනය සඳහා කැප වූ බවට කියාගන්නා ආණ්ඩුවකට කොපමණ ප්‍රමාණයක් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් මුදල් අඩු කරගෙන, අධ්‍යාපනයට ඇති සිය කැපවීම පිළිබඳ සහතික විය හැකිද? තමා රටේ අනාගතය ගැන වගකියනා බවට එසේ කරමින් කොතරම් කාලයක් ජනතාව මුලා කල හැකිද?

රටක ජනතාවම අඩු අධ්‍යාපනලාභී නම්, ඒ රටේම අධ්‍යාපනය අඩුයි. ශ්‍රී ලාංකීය ආණ්ඩු මෙතෙක් කල් සිදු කර ඇත්තේ ජනතාවගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔවුන් ගන්නා වගකීම කෙමෙන් අත් හැරීමයි. හැකි ආකාරයට තමාගේ අධ්‍යාපනය ගැන තමාටම වගකියන්නට ඉඩ දී පුරවැසියන් කෙරෙහි තමාගේ වගකීම් එලෙස ඉවත හරින ආණ්ඩු දිගින් දිගටම පත් කිරීමට අප බැඳී සිටිමුද? තමාගේ අධ්‍යාපනය ගැන පුද්ගලික වගකීමක් ගැනීමට තමාට බල කරන ආණ්ඩු ගැන අපට සන්තෝෂ විය හැකිද?

එක් එක් පුද්ගලයාට හැකි ආකාරයට අධ්‍යාපනය සපුරා ගන්නා ලෙස කියන රටකට මානුෂීය, නිර්මාණශීලී සහ සාමූහික පුරවැසි සමූහයක් ගොඩනැගිය හැකිද? ලංකාවට අවශ්‍ය වන්නේ කුමනාකාරයේ අධ්‍යාපනයක්ද? ලංකාවට අප ඉල්ලා සිටින්නේ කුමනාකාරයේ සමාජයක්ද?

අවසාන වශයෙන්, අපට අවශ්‍ය කරන ආකාරයේ අධ්‍යාපනය ගැන අප කියන දේ තැකීමට මීළඟ ආණ්ඩුවට අප බල කරන්නේ කෙසේද?