පැරණි වයින් නව ප්‍රජාතන්ත්‍රවාදයන් වල: අධ්‍යාපනයෙහි දිශානතිය 

සිවමෝහන් සුමති 

මෙය අවශ්‍යයෙන්ම නව යුගයකි. රට ඉතා ප්‍රීතිමත් ස්වභාවයක පවතී. නෑඹුල් ජනාධිපතිවරයකු මෙන්ම නෑඹුල් අගමැතිනියකද දැන් අපට සිටී. ළඟ එන මහ මැතිවරණයේදී ඔවුන්ට බහුතර බලය ලැබේ යැයි සිතිය හැකිය. ජනපතිට පැහැදිලි බහුතරයක් නොලැබුණු මුත්, ජනපතිවරණයෙන් ඇරඹුණු වෙනසට රට අවදිව සිටී. මේ යුගය ඉතා වැදගත් එකක්ද වේ. 2022 අරගලය-පෝරට්ටම්-struggle ව්‍යාපාරයෙන් පසුව පැවැත්වූ පළමු මැතිවරණය මෙයයි. නිදහසින් පසුව අපට දිගින් දිගටම අත්දකින්නට ලැබුණේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බලය හුවමාරු වීමේ තත්වයකි. නමුත් දිසානායක තුළින් අළුත්ම මුහුණක්, අළුත් පන්තියක්, සහ දූෂණය තුරන් කරන බවට වූ පොරොන්දුවක් මත ගොඩනැඟූ නව දේශපාලන සංස්කෘතියක අළුත් පදනමක් නියෝජනය වේ. 

අගමැතිනිය සහ අධ්‍යාපනය වෙනුවෙන් ගනු ලබන වෑයම් 

අනුර කුමාර දිසානායකගෙන් නැඟී එන නව දේශපාලන සංස්කෘතිය නියෝජනය වන්නේ නම්, අගමැතිනි හරිනි අමරසූරියගෙන් නියෝජනය වන දේ ඊටත් වඩා රසවත්ය. එඩින්බරෝ සරසවියෙන් සමාජ මානව විද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධියක් ලැබ, දේශපාලනයට එළඹෙන තෙක්ම විවෘත විශ්ව විද්‍යාලයේ සේවය කළ ඇයගේ පත්වීම තවදුරටත් ප්‍රීතිමත් වීමට හේතුවකි. රටේ අගමැති පදවියට පත් තෙවැනි ස්ත්‍රිය ඇය වන අතර, ඇයට පෙර පත්වූ දෙදෙනාම බලසම්පන්න බණ්ඩාරනායක පවුලේ සාමාජිකාවන් විය. ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය, ස්ත්‍රී අයිතිවාසිකම් සහ ඒ හා බැඳුනු තවත් බොහෝ දේ සම්බන්ධයෙන් ඇය සිදුකොට ඇති වැඩ නිසා අපේ බලාපොරොත්තු තවත් ඉහළ නැංවේ. සමාජ ක්‍රියාකාරීත්වය පිළිබඳ, විශේෂයෙන්ම අධ්‍යාපනය අරබයා ක්‍රියාකාරීත්වය පිළිබඳ සංවේදනයක් ඇය නව රජයට හඳුන්වා දෙන නවාංගයයි. අපේ නව අධ්‍යාපන ඇමති වශයෙන් ඇගේ මේ පසුබිමෙහි වැදගත්කම වචනයෙන් කිව නොහැක.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA යන කෙටි නමින් හැඳින්වෙන) 2012 දී අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන්කර ගැනීම සඳහා ගෙනගිය දින 100 ක වැඩවර්ජනය තුළ ඇගේ භූමිකාව කැපී පෙනුණි. අමරසූරියත්, මමත්, තවත් බොහෝ දෙනෙකුත් 2012 ට පෙර සිටම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල යෙදී සිටියෙමු. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවාදය සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරු (University Teachers for Democracy and Dialogue) නම් සාමූහිකය තුළින්, නිදහස් අධ්‍යාපනයේ ඛාදනය වළක්වා රාජ්‍ය විශ්ව විද්‍යාල රැකගැනීම සම්බන්ධයෙන් මුලින්ම හඬ නැඟුවේ අපය. ලෝක බැංකුව, රටේ පාලක ප්‍රභූ පන්තිය සහ කොළඹ පර්යේෂණ ආයතන කිහිපයක් එක්ව අධ්‍යාපනය නවලිබරල්කරණය කිරීම පිළිබඳව එහිදී අපේ අවධානය යොමුවිය.

2012 වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් පසුව අමරසූරිය FUTA හි ලේකම් තනතුරට පත්වූ අතර, 2014-15 වසර වල යහපාලන වෙනසක් සඳහා වූ ක්‍රියාමාර්ග වලදීද මූලික තැනක් ගත්තාය. 2015 වසරේ නව රජය විසින් අළුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ කමිටුවේද ඇය සාමාජිකත්වය දැරීය. එහිදී වෙනත් කරුණු වලට අමතරව පුද්ගලයින්ගේ සමාජ සහ ආර්ථික අයිතීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුවුණි. මේ ඉතිහාසයත් සමඟ එකට ගෙන සළකන කළ නව අගමැතිනිය නිදහස් අධ්‍යාපනය රැකගැනීමට කටයුතු කරනු ඇතිබව කෙනෙකු අපේක්ෂා කළහැකිය.

ජනවරම 

ශාස්ත්‍රීය ක්‍රියාකාරී අවකාශයෙහි ජීවත් වන අප දැන් බොහෝ කලක පටන් නිදහස් අධ්‍යාපනය රැකගැනීමට වෙර දරන්නේ එමඟින් බොහෝදෙනාට බලාපොරොත්තුවේ පණිවුඩයක් ලබාදෙන බැවිනි. කුප්පි සාමූහිකය විසින් නැවත නැවතත් පෙන්වා දී ඇති පරිදි, රටේ බහුතරයක් වැඩකරන ජනතාවට සමාජ සචලතාව ළඟා කරගැනීමට ඇති ඉතාම අතළොස්සක් මාර්ග වලින් එකකි නිදහස් අධ්‍යාපනය. ඒ බලාපොරොත්තුවෙනි යමකු ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය දෙසට හැරෙන්නේ. එහි පළමු පිටුවෙහිම නිදහස් අධ්‍යාපනයට ඔවුන්ගේ කැපවීම අවධාරණය කොට ඇත. ජාතියක දැක්ම සහ සෞඛ්‍යයෙහි ලා අධ්‍යාපනයෙහි ඇති වැදගත්කම පිළිබඳ සාකච්ඡාවකින් එය ආරම්භ වේ. 

සමස්තයක් වශයෙන් ගත්කළ, පූර්වයෙන් පැවති ආණ්ඩු පැවසූ දේ වලට අත්‍යන්තයෙන් වෙනස් වූ යමක් එමඟින් නොකියවේ. සමාජය සමස්තයක් ලෙස දැකීම එහි ඇති වඩාත්ම සාධනීය ලක්ෂණයයි. ප්‍රාථමික හා ද්වියිතීයික මට්ටමේ අධ්‍යාපනය වඩාත් සමතාවෙන් යුතුව ලබාදීම පිළිබඳ කර ඇති විග්‍රහයද ප්‍රශංසනීය ය. පාසල් වලට ඇති ප්‍රවේශය පුළුල් කිරීම මෙන්ම, සමාජ අවශ්‍යතා වලට වඩා අදාළ ආකාරයේ අධ්‍යාපනයක් පාසල් තුළින් ලබාදීම එහිදී සාකච්ඡා කොට තිබේ. ග්‍රාමීය සහ පලාත්බද පාසල් පද්ධතිය ගැන කතාකොට තිබීමද වැදගත්කමකි. එසේම දරුවන්ගේ වයස් මට්ටම් වලට ගැළපෙන අයුරින් ලිංගික අධ්‍යාපනය ලබාදීම පිළිබඳ සටන කිහිප දෙනෙකු විසින් බොහෝ කාලයක් තිස්සේ කරගෙන ආ එකකි. ‘සිය ආගම’ වෙනුවට සියළු ආගම් පිළිබඳ දරුවන් ඉගෙන ගැනීම යෝජනා කොට තිබීමද අගය කළ යුතුය. ගුරු වැටුප් වැඩි කිරීම තුළින් එම වෘත්තියට සමාජයේ අහිමිව ගොස් ඇති ගෞරවය සෑහෙන දුරකට නැවත ලබාගැනීම කළහැකි වනු ඇත. 

නිදහස් අධ්‍යාපනයට ඇති අභියෝග 

මෙවැනි ප්‍රශංසනීය කරුණු ඇතුළත් වුවත්, තවත් සමහර ඒවා දකින විට මඳක් නැවතී සිතා බැලීමට සිදුවේ. අප කවුරුත් දන්නා පරිදි, නිදහස් අධ්‍යාපනය යනු ප්‍රජාතාන්ත්‍රීය ක්‍රියාමාර්ග ගැනීමෙහි ලා මූලිකම කොන්දේසියයි. එහෙත් ඒ සම්බන්ධයෙන් සමස්තයක් වශයෙන් ලබාදී ඇති පොරොන්දුව ඊළඟ පෑන් පහරින්ම අහෝසි කොට ඇත. දැන් වඩාත්ම ජනප්‍රියව පවතින ‘දූෂණය මුලිනුපුටා දැමීම’ පිළිබඳ ආඛ්‍යානය නිසා නිදහස් අධ්‍යාපනය පිළිබඳ කතිකාව යටගොස් තිබේ. නව රජයේ ආර්ථික ප්‍රතිපත්තියෙන්ද මේ නිසා අවධානය ගිලිහී යන අතර, ඒ හේතුවෙන් IMF ගිවිසුම එපරිදිම පවත්වාගෙන යෑම පිළිබඳ විචාරාත්මක සාකච්ඡාවක් නිර්මාණය නොවේ. ‘දූෂණය පිටුදැකීම’ දැන් කොතරම් ආකර්ෂණීය වී ඇතිදැයි කියන්නේ නම්, ආර්ථික අර්බුදයද ඇතුළු සියළු ප්‍රශ්න වලට එය පිළිතුරක් වේ යැයි බොහෝදෙනෙකු විශ්වාස කරති. රජයේ උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා, විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය මූලධර්මයක් ලෙස තේරුම්ගෙන හා දැක ඇති ආකාරය තුළ මෙය පැහැදිලිව විද්‍යාමාන වේ. 

උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණයේ එළිපත්තෙහි පවතින්නකි; එහෙත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් මේ තත්වය ආපසු හැරවීමට යමක් යෝජනා නොවන තරම්ය. උසස් අධ්‍යාපනය සම්බන්ධ කොටසෙහි පළමු වාක්‍ය කිහිපය තුළම පෞද්ගලීකරණය දෙසට වන මේ නැඹුරුව අපැහැදිලිව නමුත් පෙනේ: එමඟින් මාදිලි දෙකක උසස් අධ්‍යාපනයක් යෝජනා කෙරේ. ඉන් එකක් ‘නිදහස් අධ්‍යාපනය’ වශයෙන් අප හඳුනා ගන්නා පද්ධතියයි; අනෙක රාජ්‍ය හිමිකාරීත්වයේ පවතින හෝ රාජ්‍ය අනුග්‍රහය යටතේ ගෙනයනු ලබන පෞද්ගලික අධ්‍යාපන පද්ධතියකි. මීටත් වඩා ව්‍යාකූල කරවන සුළු වගන්තියක් වන්නේ, පාසල් අධ්‍යාපනය සාර්ථකව සම්පූර්ණ කරන සිසුන් 200 කට විදේශ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බවට වන පොරොන්දුවයි (පිටුව 14).

මේ ප්‍රතිපත්තියට අනුව අවුරුදු 13-14 තරම් අඩු වයසකදී සිසුන් සිය දක්ෂතා මත විවිධ ක්ෂේත්‍ර වලට වෙන්කරනු ලැබේ (පිටුව 11). වෘත්තීය පුහුණුව සහ කුසලතා සංවර්ධනය මෑත කාලීනව වඩාත් ඇසෙන්නට පටන්ගෙන ඇති වචන ය. සමාජ සාධාරණත්වය පිළිබඳ දේශපාලනය අද වනවිට රැකියා උත්පාදනය සහ රැකියා නියුක්තිය දෙසට තල්ලු වීගෙන යයි. මෙවැනි පසුබිමක මෙම යෝජනාව බොහෝ ජනප්‍රිය වියහැකිය. විශේෂයෙන්ම පවතින ආර්ථික අර්බුදය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකේම රැකියා අවස්ථා හැකිලී යන තත්වයක් තුළ ජීවිකාව පිළිබඳ බොහෝදෙනා තුළ සැක සංකා මතුවෙමින් පවතී. එම නිසා තර්කය වන්නේ “අපට අවශ්‍ය කුසලතා සහිත ශ්‍රම බලකායක් මිස, රැකියා නියුක්තියට නුසුදුසු උපාධිධාරීන් නොවේ” ය යන්නයි. ඇත්තෙන්ම මේ දැක්ම හා පොර බැදීමට මමද මැලි වෙමි. එහෙත් පන්තිය හා එවැනි වෙනත් සමාජ විබේධන සාමාන්‍යකරණය කරන මෙවැනි ආඛ්‍යාන පිළිබඳව අප මීට වඩා විචාරාත්මක විය යුතුය. නිදසුනක් ලෙස මෙවැනි පද්ධතියක් තුළ වෘත්තීය පුහුණු මට්ටමට යැවෙන්නේ කවුද, එමෙන්ම ශාස්ත්‍රීය මට්ටමට ‘ඉදිරියට’ යෑමට අවස්ථාව හිමිවන්නේ කාටද යන්න පිළිබඳව පුළුල් ප්‍රශ්නයක් අප නැඟිය යුතු වේ.

අළුත් කිරීමක්

රාජ්‍ය විශ්ව විද්‍යාල වල වැඩ කරන අපට, පෞද්ගලීකරණය යනු තවදුරටත් බාහිරින් එල්ල වන තර්ජනයක් නොවේ. එය අප අතරම හා අප තුළම මතුවන ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. හරිනි අමරසූරිය සමඟ SAITM විශ්ව විද්‍යාලයට එරෙහිව, පොදු-පෞද්ගලික හවුල්කරීත්වයන්ට එරෙහිව, රාජ්‍ය විශ්ව විද්‍යාල දුර්වල කිරීමට එරෙහිව කළ අරගල මම මෙහිදී නැවත සිහි කරමි. නිදහස් අධ්‍යාපනයේ මේ අඳුරු මොහොතේදී අප ධෛර්යයෙන් වැඩකළ යුතුය; එයට අපේ සහය දැක්විය යුතුවාක් මෙන්ම, මේ මොහොතේ විප්ලවීය රැඟුම්කරුවන් ද විය යුතුය. 

ReplyForwardAdd reaction