අධ්‍යාපනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල් පර්යායේ කඩා වැටීම 

අහිලන් කදිර්ගාමර් 

නව රජයක් යටතේ ඉදිරියට ගමන් කළයුතු සමාජ සහ ආර්ථික මාවත් තෝරාගැනීමේ සංධිස්ථානයකට ලංකාව මේ වනවිට පැමිණ සිටී. ඇමෙරිකාව තුළ ට්‍රුම්ප් නැවතබලයට පත්ව සිටින්නේ මුළු ලොව පුරාම පැතිර යා හැකි පැසිස්ට් රැල්ලක් මතය. මෙවැනි සන්දර්භයක් තුළ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ඉදිරි මඟ කෙබඳු වියහැකිද?

1970 දශකයේ අග භාගයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු ලංකාවේ ප්‍රවණතාව වී ඇත්තේ නිදහස් අධ්‍යාපනය සඳහා ඇති අරමුදල් කපා හැරීම තුළින් එම පද්ධතිය ඇතුළතින් දියකර හැරීමය. විශේෂයෙන්ම පසුගිය දශකය තුළ රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය අසමර්ථ කරවීම ඔස්සේ වාණිජකරණය සඳහා මඟ පෑදීමේ සූක්ෂම ව්‍යාපෘතියක් දිගහැරෙමින් තිබේ. පෞද්ගලීකරණය, විශේෂයෙන්ම ගාස්තු අය කිරීමේ පාඨමාලා, හරහා ණය බරට යටවන සිසුන්ගේ කර මතින් අධ්‍යාපනය මුදල් ඉපයීමේ මාර්ගයක් බවට හා ධනවතුන්ගේ වරප්‍රසාදයක් බවට පත්වෙමින් පවතී. අධ්‍යාපනයේ අප විවාදයට බඳුන් කළයුතු හා අරගල කළයුතු දෘෂ්ටිවාදාත්මක පදනම් මොනවාද යන්න සාකච්ඡා කිරීම මේ ලිපිය තුළ මගේ අරමුණයි; මන්ද, අනෙක් සමාජමය කුළුණු මෙන්ම අධ්‍යාපනයද ඉදිරියට යන මාවත තෝරාගත යුතු සන්ධිස්ථානයකට පැමිණ ඇති බැවිනි. 

කන්නංගර සහ ඩුවී

ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන විට අප හැමවිටම 1944 දී කන්නංගර විසින් හඳුන්වා දුන් අධ්‍යාපන පනත වෙත යන්නෙමු. ඔහු පැවසුවේ ලංකාව වැනි නව ප්‍රජාතන්ත්‍රවාදයකට විශ්වීය නිදහස් අධ්‍යාපනය අවශ්‍ය බවයි. එහෙත් නිදහසින් පසු යුගයේදීද නිදහස් අධ්‍යාපන වරම් අහිමි වූ කුල කණ්ඩායම්, නාගරික සහ ග්‍රාමීය ආන්තික පන්තීන්, වතු කම්කරුවන් වැනි පිරිස් ගණනාවක් විය.

මීට දශක කිහිපයකට ඉහත, ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන කල්පනා කරන විට, ඇමෙරිකානු උපයෝගීතාවාදී දාර්ශනිකයකු වන ජෝන් ඩුවී ගේ ‘ප්‍රජාතන්ත්‍රවාදය සහ අධ්‍යාපනය’ නම් කෘතියද කියවූයෙමි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා විචාරාත්මක ඉගෙනුම සහ යෙදීමෙහි (engagement) වැදගත්කම පිළිබඳ අධ්‍යාපනික දර්ශනයක් ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු සමාජ සුබසාධනවාදී රාජ්‍යයන් තුළ නිදහස් අධ්‍යාපන පද්ධතීන් නිර්මාණය වන්නේත්, පසු කාලීනව යටත්විජිතහරණය වූ රටවල එම සංසිද්ධියම සිදුවන්නේත් අධ්‍යාපන චින්තනය හා ප්‍රතිපත්ති අරබයා සිදුවූ මේ දියුණුවෙහි ප්‍රතිඵලයක් ලෙසය. කෙසේ වුවද, 1970 ගණන් වල ඇතිවූ ආර්ථික අවපාතයත් සමඟ ගැනුණු නවලිබරල්වාදී ප්‍රතිපත්ති නිසා සමාජ සුබසාධනය හකුළුවා දැමුණු අතර, අධ්‍යාපනය වෙළඳපොළ බලවේග වලට අත්හැර දමන ලදී. 

ට්‍රුම්ප් යටතේ ලිබරල් පර්යාය විවේචනය වන මෙවැනි අවස්ථාවක කුමක් බලාපොරොත්තු වියහැකිද? අධ්‍යාපනය වඩ වඩාත් වෙළඳපොළම අරමුණු කරනු ඇතිද, නැතිනම් නිරාගමිකවාදය හා ස්ත්‍රී-පුරුෂ සමානත්වය වැනි හරයන්ට පහර ගසන ආකාරයේ ඉතා ප්‍රතිගාමී, ගතානුගතික එකක් බවට පත්වනු ඇතිද? ඇමෙරිකාවේ මෑත ඉතිහාසය තුළ නම් සිදුව ඇත්තේ ක්‍රිස්තියානි දක්ෂිණාංශික කොටස් වල සහයෝගයෙන් මේ දෙක එකතු වීමකි.  

මේ පසුබිම තුළ ලංකාවේ අධ්‍යාපනයෙහි දිශානතිය කුමක්ද? පසුගිය වසර කිහිපය තුළ අප අත්දුටු වාණිජකරණයේ දිශානතිය වෙනස් කරමින්, අධ්‍යාපනය විශ්වීය නිදහස් අධ්‍යාපනය දෙසට ගෙන යෑමට වත්මන් ජාතික ජනබලවේග රජයට හැකි වේවිද? ලෝක බැංකුව හා කොළඹ ප්‍රභූන් මේ රජය සමඟ ගනුදෙනු කරන ආකාරයත්, ජනතාවගේ ප්‍රතිරෝධයත් යන කරුණු මත එය තීරණය වනු ඇත.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් ඉල්ලීම

අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන්කරන ලෙස ඇති ඉල්ලීම ක්‍රමිකව ලබාදෙන බව ජාතික ජනබලවේගය කියා සිටී. පවතින ආර්ථික සීමාකම් සහ IMF වැඩසටහනේ කොන්දේසි යටතේ වියදම් කපාහැරීමේ තත්වයක් තුළ මේ කාර්යය කිරීමට සෑහෙන තරමේ දේශපාලන අධිෂ්ඨානයක් රජයට අවශ්‍ය කෙරෙනු ඇත. ඇත්තෙන්ම එවැනි දෙයක් කිරීමට නම් IMF කොන්දේසි තමන් ප්‍රතික්ෂේප කරන බව කියා සිටීමට රජයට සිදුවනු ඇත. 

අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන්කරන ලෙස ඉල්ලමින් 2012 වසරේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් ගෙනගිය අරගලයෙන් පසුව, අධ්‍යාපනය කෙරෙහි රාජ්‍ය ආයෝජනය විමසා බැලීම සඳහා යාපන දිස්ත්‍රික්කයේ ගම්බද පාසල් වල තත්වය විමසීම සඳහා අප කිහිප දෙනෙකු එකතුව පර්යේෂණයක් සිදුකරන ලදී. ඉන් අප සොයාගත් එක් කරුණක් වූයේ අවශ්‍ය පහසුකම් සහ ගුරුවරුන් සහිත තත්වයන් තුළ වුවද සිසුන් අධ්‍යාපන කටයුතු හොඳින් නොකරන හෝ අධ්‍යාපනය අත්හැර දමන බවත්, ඊට හේතුව වන්නේ ඔවුන්ගේ දුෂ්කර සමාජ ආර්ථික පසුබිම් බවත්ය. මෙම සොයාගැනීම් සමහරක් 2012 වසරේ පර්යේෂණ ලිපියක මා විසින් පල කරන ලදී. වැඩිදුර අධ්‍යාපන අවස්ථා තුළින් වඩා ඉහළ රැකියා අවස්ථා විවර වන බවට වූ ලෝක බැංකු මතය විවේචනය කළ මා එහිදී පවසා සිටියේ ලංකාවේ ඒ වෙනුවට දිගහැරෙන්නේ අනෙක් පසට ගමන් ගන්නා ගතිකත්වයක් බවයි; එනම් සමාජ හා ආර්ථික බහිෂ්කරණය නිසා අධ්‍යාපන අවස්ථා අඩාල වන බවය.

ලංකාව ඉතා දීර්ඝ ආර්ථික අවපාතයක පසුවන මේ මොහොතේ මේ සංවාදය ඉතා වැදගත්ය. අද අප රටක් වශයෙන් මුහුණ දෙන මේ සමාජ හා ආර්ථික බලපෑම, දශක ගණනාවක යුද්ධයෙන් යාපන සමාජ ජීවිතය මුහුණ දුන් පසුබැස්මට සමකළ හැකි වේ. එහිදී අධ්‍යාපනයට එල්ල වූ බලපෑම, විශේෂයෙන්ම අන්තර්-පාරම්පරික බලපෑම, අති විශාලය. දරුවන් වේල් කිහිපයක් අත්හරින බව, ඔවුන්ගේ පාසල් ඒම එන්න එන්නටම අඩුවන බව, මෙන්ම පැවැත්ම සඳහා අධ්‍යාපනය අතරමඟ නතරකොට දමා වෙනත් ආර්ථික කටයුතු වල නියැලෙන බවද අපි දනිමු. මෙවැනි අවස්ථාවක අධ්‍යාපනය කෙරෙහි රාජ්‍ය ආයෝජනය අත්‍යාවශ්‍ය දෙයකි. IMF වැඩසටහනේ වියදම් කපාහැරීමේ ක්‍රියාපිළිවෙල නිසා අධ්‍යාපනයේ අරමුදල් කපාහැරෙන්නාක් මෙන්ම, ප්‍රජාවන්ට ඊට ඇති ප්‍රවේශයද අවහිර කෙරේ. එම නිසා මේ අර්බුද අවස්ථාවේ අධ්‍යාපනයේ සමාජ භූමිකාව පමණක් නොව, ඊට සමගාමීව සෞඛ්‍ය සේවා වලට ඇති ප්‍රවේශය පිළිබඳවද විශ්ලේෂණයක් සිදුකළ යුතු බව මගේ විශ්වාසයයි.   

විමුක්තිකාමී ආඛ්‍යානයක් 

ජනාධිපතිවරණයක් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් අවසාන වූ මේ මොහොතේ, ඉදිරි මාස 6 ක කාලය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට තීරණාත්මක වනු ඇත. අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යාවශ්‍ය බව ඩුවී සහ කන්නංගර පැවසූ අදහසට මම යමක් එකතු කරනු කැමැත්තෙමි. එනම් අධ්‍යාපන පද්ධතියේ ස්වභාවය තීරණය වන්නේ දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස්කම් මත බවයි. ගෝලීය දකුණේ සම්පත් සූරාකන පද්ධතියක් තුළ එම රටවල මිනිසුන්ගේ අධ්‍යාපනයට ඇති ප්‍රවේශය සැළකියයුතු දුරකට පසුබා තිබේ. මෙවැනි පසුබිමක් තුළ, රටේ ප්‍රභූ නොවන පන්ති වල සහයෝගයෙන් බලයට පැමිණි මධ්‍ය-වාමාංශික රජයකට නිදහස් අධ්‍යාපනය බේරා ගැනීම සඳහා කුමක් කළ හැකිද?

අධ්‍යාපනය සඳහා වෙන්කෙරෙන අරමුදල් ප්‍රමාණය පමණක් වැඩිකිරීමට ඉල්ලීම ප්‍රමාණවත් නොවන බව මගේ තර්කයයි. අධ්‍යාපනයේ වාණිජකරණයට එරෙහිව අප අරගල කළයුතුවාක් මෙන්ම, විශ්වීය නිදහස් අධ්‍යාපනයද ඉල්ලා සිටිය යුතුය. අප සමාජයේ ආන්තික කණ්ඩායම් වලට එවැනි අධ්‍යාපනයකට අර්ථාන්විත ප්‍රවේශයක් ලබාගැනීමට නම් ඔවුන් සඳහා පවතින ආධාරක සේවා ශක්තිමත් කළයුතුය. එහි අරුත නම් වැය කපා හැරීමේ මේ වැඩසටහනට නැවතීමේ තිත තැබිය යුතු බවයි. ඉදිරි වසර කිහිපය තුළ ලොව පුරා පැසිස්ට්වාදී ප්‍රවණතා නැඟ ඒමේ අරුත වන්නේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේත්, එහි නිදහස්කාමී වටිනාකම් හායනය කිරීමේත් සීඝ්‍රතාව තීව්‍ර වනු ඇති බවයි. 

මේ පසුබිම තුළ, සහ බොහෝදෙනාට එදිනෙදා පැවැත්ම හෝ තහවුරු කරගත නොහැකි තත්වයක් තුළ, වඩා හොඳ රැකියා අවස්ථා උදාකරගැනීම වැනි ද්විතීයික කරුණු සඳහා මාර්ගයක් ලෙස අධ්‍යාපනය සැළකීම මොහොතකට පසෙකින් තැබිය යුතුය. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ස්වයංපෝෂිත ආර්ථිකයක් සහ රටේ ජනතාවගේ අත්‍යාවශ්‍යතා පිළිබඳ කතාකළ හැකි අන්දමේ රැඩිකල් චින්තනයකින් පන්නරය ලැබූ නිදහස් අධ්‍යාපනයකි. පවුලෝ ෆ්‍රෙරේ ගේ ‘Pedagogy of the Oppressed’ කෘතිය මත පදනම්ව මේ මොහොතේ දරිද්‍රතාවයෙන් බැටකන, සමාජයේ අන්තයන්ට තල්ලු වී ඇති මිලියන සංඛ්‍යාත ජනතාවගේ විමුක්තිය උදෙසා ගන්නා මුලපිරීමක් හැටියට අප අධ්‍යාපනය පිළිබඳ සිතිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය, සමානත්වය සහ නිදහස සඳහා කොන්දේසි විරහිතව විශ්වීය නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කළයුතුය.