පාර්ලිමේන්තුවේ අභුතරූපී නාට්‍යයක්: අධ්‍යාපනයට එදිරිව සුදුසුකම්

කෞශල්‍යා පෙරේරා

ශ්‍රී ලාංකිකයෝ අධ්‍යාපන සුදුසුකම්වලට අතිශයින් ඇළුම් කරති. රන් ආභරණ, මිල අධික ඔරලෝසු හෝ සන්නාමයක් ඇති හෙවත් ‘බ්‍රෑන්ඩඩ්’ සපත්තු යුගලයක හිමිකාරිත්වය පිළිබඳ සැලකිලිමත් වන්නේ යම්සේ ද ඒ සමානවම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ද සැලකිලිමත් වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ තමා භාවිත කරන බඩු භාණ්ඩවල සම්භවය, වටිනාකම සහ අව්‍යාජත්වය සන්නාමය පිළිබඳ ඇති වගවීම ආකාරයෙන්ම තමා විසින් අත්පත් කරගන්නා සුදුසුකම් පිළිබඳව සැලකිලිමත් වුවත්, එය ඊට වඩා උසස් සදාචාරාත්මක පදනමකින් අසනාකාරයට හැසිරීමයියි.

මෙය මෑත කාලීන සංසිද්ධියක් ඇසුරින් සාකච්ඡා කළ හැකිය. එනම් වර්තමාන පාර්ලිමේන්තුවේ පත් කරන ලද පළමු කථානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ පැන නැගුන ප්‍රශ්නය යි. මෙය රටේ ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස මෙන් ම  සමාජ මාධ්‍ය හරහා ද වේගයෙන් පැතිර ගිය කාරණයකි. උක්ත කාරණයෙහි සත්‍යාසත්‍ය භාවය පිළිබඳ කිසියම් ප්‍රකාශයක් ලබා දීමට ඒ පිළිබඳ වගකිවයුතු ආයතන කිසිවකට (ඔහුගේ පක්ෂයට සහ ඔහුගේ වත්මන් සේවා ස්ථානය වන පාර්ලිමේන්තුවට) මේ වන තෙක් හැකි වී නැත. මා මෙය ලියන අවස්ථාව වනවිටත් සුදුසුකම් සංග්‍රාමය අභූතරූපී  (Absurd) නාට්‍යයක් බවට පත්ව ඇත.

හිටපු කථානායකවරයාගේ සුදුසුකම් එතරම් වැදගත් වූයේ ඇයි?

උක්ත කාරණය ප්‍රධාන ප්‍රවේශ දෙකක් මත රඳ පවතී. මෙය ශ්‍රී ලාංකිකයින් සුදුසුකම් සමඟ ඇති අහිතකර සබඳතාවත් ජාතික ජන බලවේගය ඔවුන් ‘පිරිසිදු’ පක්ෂයක් ලෙස හඳුනාගත් සන්නාමය හෙවත් ‘බ්‍රෑන්ඩ්’ එකත් සම්බන්ධ දෙයාකාර ගැටලුවකි. 

මෙහි දෙවන කාරණය වෙත අවධානය යොමු කරමු. ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ පොරොන්දුවක් වූයේ සුදුස්සාට සුදුසු තැන දීමයි. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය පුරාම  නිරන්තරයෙන් ඇසෙන්නට ලැබුනේ ඔවුන් දූෂිත පිරිසක් නොවන බවත් සුදුස්සාට සුදුසු තැන දීම ජා.ජ. බලවේගයේ ප්‍රමුඛ අභිලාශයක් බවත් ය.මෙකී කාරණය වඩා විශ්වාසයෙන් යුතුව ජනතාව අතරට යාමට හේතු වූයේ මෙතෙක්  ඉහවහා ගිය ඥාති සංග්‍රහයට සහ ගජමිතුරුකම්වලට ජනතාව දැක්වූ ප්‍රතිවිරෝධයක් ලෙස ය. හිටපු කථානායකවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු, අගමැතිනිය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තම පක්ෂයට සහතික නොමැති මෙන් ම සුදුසුකම් බොහෝ ඇති සාමාජික පිරිසක් සිටින බවත්; ජාතික ජනබලවේගය සියලු ආකාරයේ දැනුම අගය කරන නිසා ඔවුන් සියල්ලෝම එක සේ අගය කරන බවත්; දැනුම යනු පටු ලෙස තේරුම් ගත නොහැකි දෙයක් බවත් ය.

ඇයගේ ඒ ප්‍රකාශයට මම සම්පූර්ණයෙන්ම එකඟ වෙමි. එය අධ්‍යාපන ඇමැතිවරයකුගෙන් බලාපොරොත්තු විය හැකි මනා දැක්මකි. එහෙත්, ඒ අතරම, ජා.ජ.බලවේගයේ දිගුකාලීන මැතිවරණ ව්‍යාපාරය තුළ ඔවුන් දැනුවත්වම ‘සුදුසුකම් ගේම’ සිදුකල බවද ඔවුන්ට ප්‍රතික්ෂේප කළ නොහැක. නවක වදය, ශිෂ්‍ය විරෝධතා සහ කම්කරුවන්ගේ වැඩ වර්ජන වලින් වැසී තිබුණ ජවිපෙ ප්‍රතිරූපය, වෘත්තිකයන්, විද්වතුන් සහ කලාකරුවන් ඉස්මතු කරන ජා.ජ.බලවේගයේ ප්‍රතිරූපයට උපග්‍රහනය කෙරෙන මහජන කතිකාව ඔවුන් විසින් ගොඩනැගනු ලැබුවේ ඉහත ආකාරයෙනි.

එමෙන්ම එම සුදුසුකම් පිළිබඳ කතිකාව ඔවුන්ගේ මැතිවරණ ක්‍රියාවලියට මෙතරම් ඵලදායි වූයේ ශ්‍රී ලාංකික පුරවැසියන් අධ්‍යාපන සුදුසුකම් අනිසි ආකාරයකට ඉහලින් ගැටළු සහගත ලෙස අගය කරන බැවිනි. දූෂිත වංචාකරුවන්ට එරෙහිව නැගී සිටින පක්ෂයක් ලෙස තමන්ව හදුන්වාදීමේදී ශ්‍රීලාංකිකයන්ගේ සුදුසුකම්වලට ඇති අතිශය කැමැත්ත මත ඔවුන්ට නීත්‍යානුකූල භාවයක් ලැබිණි.

ගැටලුවේ පළමු කොටස, එනම් සුදුසුකම් සඳහා අපේ ඇති අතිශය කැමැත්ත වෙත අවධානය යොමු කරමු.  යම් වැඩසටහනකට සහභාගීවන්නන්ට ‘සහතිකයක් ලබා දෙනු ඇත’ යන හැඟීම, සහභාගිවන පිරිස වැඩි කර ගැනීමට භාවිත කරනු ලබන වැකි යනාදිය අධ්‍යාපනය සම්බන්ධ වෘත්තිකයන් ලෙස  අප කවුරුත් හොඳින් දන්නා පාඨයකි. පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වූ නමුත් පන්ති කාමරයේ තුළ දක්නට නොමැති එහෙත්  ‘සහතික ප්‍රදානෝත්සවයට’පමණක් සහභාගි වන අයද අපට දැකගත හැකි වෙයි. සමහර ක්ෂේත්‍රවල උපාධි අවශ්‍ය නොවන රැකියා සඳහා ද උපාධිය පිළිබඳ විමසීම සුලබව දක්නට ලැබෙන කාරණයකි.

මෙලෙස සුදුසුකම්වලට ආදරය කිරීම අලුත් සංසිද්ධියක් නොවේ. 2005 දී ප්‍රකාශයට පත් කරන ලද රසවත් ලිපියක (‘The growth of Foreign qualification suppliers in Sri Lanka’) ඇන්ජලා ලිට්ල් සහ ජේන් එවන්ස් යන දෙදෙනා ශ්‍රී ලංකාවේ ‘සුදුසුකම් වෙළඳපොළේ’ වර්ධනය විස්තර කරති. ජාතික පුවත්පත් තුනක (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි) සුදුසුකම් සැපයුම්කරුවන්ගේ දැන්වීම් දශක තුනක් පුරා දැඩි ලෙස වර්ධනය වන අයුරු ඔවුන් පෙන්වා දෙති. සුදුසුකම් සහ සැපයුම්කරුවන් ප්‍රමාණය 1965 දී 15 දක්වාත් 2000 දී 153 දක්වාත් දක්වා ඉහළ ගොස් ඇත. 2000 සිට මේ දක්වා කුමන වර්ධනයක් සිදුවී ඇතිදැයි අපට අනුමාන කර ගත හැක.

ඔවුන් දෙදෙනා සුදුසුකම් කර්මාන්තයේ නැගීම පශ්චාත්-1980 ලිබරල්කරණය සහ ආර්ථික වර්ධනයට සමාන්තරව ශීඝ්‍රයෙන් වැඩිවුණු බව ප්‍රස්ථාරගත කර දක්වති. වර්ධනය වන ජනගහනයකට සහ වේගයෙන් වෙනස් වන ආර්ථිකයකට මැදිව, දශක දෙකක දේශපාලන පෙරළියක් ද තුළ උසස් වෘත්තීය අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට තිබූ අපහසුතා ගැන එම කතුවරයෝ නොකීවත් අපට සිතා ගත හැකිය. 80 දශකයේ ශීඝ්‍රගාමී වූ සුදුසුකම් කර්මාන්තය ඉහත සංසිද්ධි හා සම්බන්ධ කළ හැකිය. ඒ සමඟම මෙම කාල පරිච්ඡේදය තුළ, ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන මගින් විශාල ණය ලබාගෙන තිබියදීත්, අධ්‍යාපනය සඳහා වෙන් කළ මහජන අරමුදල් පහත වැටුණු අතර 2000 වර්ෂයෙන් පසු ඒ ප්‍රමාණය ඊටත් වඩා තියුණු ලෙස පහත වැටුණි. රාජ්‍ය අධ්‍යාපනය පිරිහීමත් පුද්ගලික අරමුදල්වලින් ලබාගන්නා  පෞද්ගලික අධ්‍යාපනය නැගීමටත් හේතුව වූයේ ඉහත සන්දර්භයයි. අධ්‍යාපනයට වඩා සුදුසුකම්වලට වටිනාකම දීම මගින් සංකේතවත් වන්නේ රටේ ඇති වූ මෙම වෙනසයි. 

අධ්‍යාපනයට එදිරිව සුදුසුකම්

සහතිකයට වඩා ඉගෙනීම සහ අධ්‍යාපනය අගය කරන සමාජයක් නැවත නිර්මාණය කිරීම දිගුකාලීන මෙන් ම  දුෂ්කර කාර්යයකි. ඒ සඳහා දශක කිහිපයක පුළුල් ලෙස ව්‍යාප්ත වූ උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් මෙන් ම සදාචාරාත්මක ප්‍රති-සමාජකරණයක් අවශ්‍ය වනු ඇත. මෙය සරල ලෙස පෙනෙන විසඳුමක් වූ නමුත් ආරම්භ කිරීමට සහ සාක්ෂාත් කර ගැනීමට ඉතා අපහසු විසඳුමකි. දිරාපත් වෙමින් පවතින සමාජයක් තුළ අන්තර්ගතව පවතින, දීර්ඝ කාලීනව අඩු අරමුදල්වලින් පළුදු වූ අධ්‍යාපන ක්‍රමයකින් කිසියම් ආකාරයක සදාචාරාත්මක හෝ යුක්ති ධර්මයකින් යුතු සමාජකරණයක් අපේක්ෂා කිරීම සත්‍ය වශයෙන්ම තාර්කික නොවන කාරණයකි.

අධ්‍යාපන ක්ෂේත්‍රයට සැබෑ භෞතික සම්පත් දැඩි ලෙස අවශ්‍ය බව සත්‍යයකි. අද ශ්‍රී ලංකාවේ පාසල්වලින් සුළුතර ප්‍රමාණයක් පරිගණක විද්‍යාගාර ස්ථාපිත කරන විට බහුතරයක් පාසල්වලට දිවා ආහාර, විදුලිය, නල ජලය, නිල ඇඳුම්, පුටු, මේස සහ පොත් වැනි මූලික අවශ්‍යතා පූර්ණය කර ගැනීමට නොහැකි තත්ත්වයකට මුහුණු දී ඇත. රාජ්‍ය, පෞද්ගලික සහ ජාත්‍යන්තර යන සියළු අංශවල ගුරුවරුන්හට බලපැවැත්වෙන ජාතික වෘත්තිමය රෙගුලාසි සහ පැහැදිලි අවම ප්‍රමිතීන් ද, වැඩි වැටුප් ලබන ගුරුවරුන් ද රටට අවශ්‍ය වෙයි.

ඒ සමගම, සාකච්ඡා නොකෙරෙන විශාල ප්‍රශ්නයක් වන්නේ, අපට අපේම අධ්‍යාපන ක්‍රම ගැන ප්‍රමාණවත් දැනුමක් නොමැති වීමයි. බොහෝ කලක සිට වැඩි අවධානය රාජ්‍ය අධ්‍යාපන ක්‍රමය කෙරෙහි යොමු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අනෙකුත් අධ්‍යාපන අංශ කෙරෙහි දක්වන පොදු අවධානය අඩු වී ඇත. උදාහරණ ලෙස පෙර පාසල් අධ්‍යාපනය, පෞද්ගලික සහ ජාත්‍යන්තර අධ්‍යාපනය කෙසේ සිදුවන්නේද? යනාදිය පිළිබඳ පොදු හෝ විද්වත් අවධානය උසස් අධ්‍යාපනයට දක්වන අවධානයට වඩා අඩුය. රටේ අධ්‍යාපන පරිසරය ගැන කඩිනම් අධ්‍යයනයක් අවශ්‍ය වන අතර, විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ට මේ සඳහා දායක විය හැකිය. ඒ අතරම, අධ්‍යාපන ක්‍ෂේත්‍රය බහුවිධ ණය ලබා තිබුණද ඒ ණය වඩාත් සුදුසු ආකාරයට භාවිත වූයේද? යන්න පිළිබඳ විනිවිද බවක් නොමැත.

සමස්තයක් ලෙස ගත්කල, අධ්‍යාපනයේ අත්තිවාරම බොහෝසේ අලුත්වැඩියා කිරීමට සිදුවී ඇති බව පැහැදිලිය. ඒ සඳහා සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් මෙන් ම අප සුදුසුකම් අධිතක්සේරු කරන ආකාරය ගැනද අප නැවත සිතා බැලිය යුතුය.

සාරධර්ම සහ ආචාර ධර්ම නැවත සුපරීක්ෂා කිරීම

ශ්‍රී ලාංකියෝ බොහෝ කලක සිට අධ්‍යාපනයට වඩා සුදුසුකම්වලට වැඩි වටිනාකමක් ලබා දෙති. ව්‍යාජ සහතික සහ ව්‍යාජ ගෞරව ආචාර්ය උපාධි ඒ සඳහා ඇති එකම දර්ශකය නොවේ. චැට් ජී පී මෘදුකාංගය පැමිණීමට බොහෝ කලකට පෙර සිට, ‘අවතාර ලිවීමේ සේවා’ (ghost writing), (එනම් ගෙවීමක් සඳහා අනෙකෙකුගේ පැවරුම් සහ නිබන්ධන ලියාදීමේ සේවා) පුවත්පත් සහ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය විය. මෙය පැහැදිලිවම සදාචාර විරෝධී, නීති විරෝධී ක්‍රියාවලියක් වුවද, සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ සේවාදායකයන් යන දෙපාර්ශවයම එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක් ලෙස සලකන බව දැන් පැහැදිලිවම දක්නට ලැබේ.

ගුණාත්මකභාවයට වඩා ප්‍රමාණය අගය කරන තැනකට අප රටක් ලෙස පැමිණ ඇත. වර්තමානයේ වඩා අගය කරන්නේ එකවර උපාධි දෙකක්, වැඩි සුදුසුකම් ප්‍රමාණයක්, උසස්වීම් සහ සංඛ්‍යාත්මක නිර්ණායක මත පදනම්ව ශ්‍රේණිගත කිරීම් යනාදිය පිළිබඳව ය.

කොහෙන් හරි පටන් ගන්න

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය මගින් ආචාර ධර්ම සමාජගත වීම සිදු නොවන බව දැන් පැහැදිලිව දැකිය හැකි කාරණයකි. මෙය සරල හෝ ඉක්මන් විසඳුමක් නොමැති විශාල ගැටලුවකි. මූල්‍යමය වශයෙන් පීඩාවට පත් රටක අතුරු අයවැය සාකච්ඡා කිරීමට නියමිත පාර්ලිමේන්තුව ඒ වෙනුවට කාලය ගත කරන්නේ එකිනෙකාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන චෝදනා කර ගනිමින් නම්; මන්ත්‍රීවරයෙකුට ඔහු සතුව ඇතැයි කියන සුදුසුකම් සතියකට පසුව වුවද ඔප්පු කිරීමට නොහැකි වූ විටත් පාර්ලිමේන්තු අසුනෙන් ඉවත් නොවී තනතුරෙන් පමණක් ඉල්ලා අස්වීම ප්‍රමාණවත් යැයි ඔහු සිතන විටද; දූෂණයට සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට පොරොන්දු වූ පක්ෂයකට, තම සාමාජිකයෙක්ගෙන් තම තනතුරින් ඉල්ලා අස්වීමක් පෙන්වීමට දින කිහිපයක්ම ගත වන විට; සත්‍යතාව සහ අව්‍යාජත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට අගමැති සහ කැබිනට් ප්‍රකාශක යන දෙදෙනාම කෝපයට පත් වූ විට – ජනතාව සදාචාරාත්මක විශ්වාසය  සහ හැසිරීම්වලට නැවත සමාජගත කිරීමට අපට තව බොහෝ දුර යා යුතු බව අපට පෙනී යයි. සදාචාරාත්මක සමාජයකට අල්ලස් ගැනීම වැළැක්වීම සහ නාස්තිකාර වියදම් අඩු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඉගෙනීම සහ අවංකකම සමඟ අත්වැල් බැඳගෙන යන අර්ථවත් සහ පුළුල් පොදු අධ්‍යාපනයක් ලබා දීම පිළිබඳ ද සොයා බැලිය යුතු කාලය එළඹී ඇති බව පැහැදිලි ය.