හසිනි ලේකම්වසම්
චරිත් දිල්ශාන් ගේ සියදිවි නසාගැනීම නිසා නැවත වරක් විශ්ව විද්‍යාල තුළ නවක වදයට අවධානය යොමු වී ඇත. නවක වදය යනු නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බව මේ වනවිට අප කවුරුත් හොඳින් දන්නා කාරණයකි. එහෙත් මේ තීරුවෙහි පෙර ලිපියක ශාමලා කුමාර් දැක්වූ පරිදි මෙවැනි සිද්ධීන් වඩාත් ගැඹුරු, පද්ධතීමය ප්‍රශ්නයක රෝග ලක්ෂණයක් පමණි; එම ප්‍රශ්නය විශ්ව විද්‍යාලයේත්, බාහිර සමාජයේත් මුල්බැස ගෙන පවතී. විශ්ව විද්‍යාල අවකාශය තුළ මේවා ප්‍රකට වන එදිනෙදා අවස්ථා ගණනාවක් පවතී: ජ්‍යෙෂ්ඨයින් හා කනිෂ්ඨයින් අතර, ගුරුවරුන් හා සිසුන් අතර, පුරුෂ හා ස්ත්‍රී පාර්ශ්ව අතර දිගහැරෙන අනේක අන්තර්ක්‍රියා වල මෙය දැකගන්නට ලැබේ. මෙම වඩා පුළුල් සන්දර්භය තුළින් නවක වදය පැන නඟින ආකාරය සැළකිල්ලට නොගන්නා, තනි සිද්ධියක් පමණක් ආමන්ත්‍රණය කරන ප්‍රවේශ අසාර්ථක වීම වැළැක්විය නොහැක. මේ ලිපියෙන් මා අරමුණු කරන්නේ නවක වදය වැළක්වීමට හඳුන්වා දී ඇති පියවර වල ගම්‍යයන් සාකච්ඡා කිරීමත්, එහිලා අධ්‍යාපනයේ භූමිකාව පිළිබඳ ආවර්ජනය කිරීමත්ය. මගේ තර්කය වන්නේ නවක වද-විරෝධී ස්ථාවරයක්, දේශපාලන-විරෝධී ස්ථාවරයක් බවට පත්නොවිය යුතු බවයි. මන්ද දේශපාලන-විරෝධය නවක වදය තරම්ම හානිකර වියහැකි බැවිනි.
යෝජිත පියවර වල ගම්‍යයන්
ප්‍රශ්නයට ක්ෂණික ප්‍රතිචාරයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශ්ව විද්‍යාල මණ්ඩලයේ (Council) සාමාජිකයකු සෑම විශ්ව විද්‍යාලයකම නවක වද සම්බන්ධ පැමිණිලි විභාග කිරීම සඳහා පත් කිරීමට තීරණය කොට ඇත. එම චෝදනා තහවුරු වන පුද්ගලයින්ට දඬුවම් දීමටත්, ඔවුන් නීති මාර්ගයට පැමිණවීමටත් බලය එම පුද්ගලයා සතු වනු ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා මෙම යෝජනාවට සහයෝගය දක්වා ඇත්තේ නවක වදය සම්බන්ධයෙන් දැනට බලය දරන නිලධාරීන්ට ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලය නැති බවට වන හේතුව මතය. එහෙත් මෙයින් මතුවන ප්‍රශ්නය නම් එසේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බලතල එම නිලධාරීන්ට (මාෂල්වරු සහ ශිෂ්‍ය නේවාසිකාගාර අධිපතීන්) ලබාදිය නොහැක්කේ මන්ද යන්නයි. මාෂල්වරයකුට හෝ ශිෂ්‍ය නේවාසිකාගාර අධිපතියකුට නවක වදයට දැක්විය නොහැකි කුමන ආකාරයේ ප්‍රතිචාරයක් මණ්ඩල සාමාජිකයකුට දැක්විය හැකිද යන්න අපැහැදිලිය. විශ්ව විද්‍යාල වල බලය පහල මට්ටමේ සිට වඩ වඩාත් ඉහලට කේන්ද්‍රගත වන සන්දර්භයක් තුළ ඒවායෙහි ස්වාධීනත්වය කප්පාදු කිරීමේ තවත් පියවරක් ලෙසට වුවද මෙය වටහාගත හැකිය.
ආරක්ෂාකාරීව අධ්‍යාපනය ලැබිය හැකි අවකාශයක් වශයෙන් විශ්ව විද්‍යාලයට ඇති විශ්වසනීයත්වය නවක වදය මඟින් දරුණු ලෙස හායනයට ලක්කරයි. චරිත් දිල්ශාන්ගේ මරණයත් සමඟ මේ පිළිබඳ පියවර නොගැනීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල වලට දැඩි චෝදනා එල්ල වන අතර, එය සාධාරණය. එහෙත් මේ සම්බන්ධයෙන් වෙන්කළ හැකි සම්පත් ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නය ආමන්ත්‍රණය වන්නේ කලාතුරකිනි: නවක වදය මඟින් සිසුන්ට ප්‍රවේශය ලබාදෙන ආකාරයේ පහසුකම් ලබාදීමට නම් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩ ප්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් අඩු වියයුතුය. මානසිකව ලබාදෙන සහයෝගය මෙන්ම සිසුන්ගේ අමතර පිළිතුරු වල ගුණදොස් පිළිබඳ ප්‍රතිචාර දැක්වීම වැනි ශිෂ්‍ය ‘කුප්පි’ සැසි වලින් කෙරෙන සේවාද මෙහිලා ගැනේ. එසේම නවක වදයට මුහුණ දෙන සිසුන්ට ඒ පිළිබඳව මානසික උපදේශනය සැපයිය හැකි ආකාරයේ පුහුණු උපදේශකවරු ප්‍රමාණවත් තරමින් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ නැත. එහෙත් නවක වදය වැනි දුර්භාවිතයන් සිදුවන විට එමඟින් හුවා දැක්වෙන විශ්ව විද්‍යාල වල නොහැකියාව පිළිබඳ ආඛ්‍යානය පදනම් කරගෙන අරමුදල් කපා හැරීමෙන් සිදුවන්නේ හේතුව ඵලය ලෙස දැක්වීමකි.
අධ්‍යාපනය තුළින් ප්‍රතිචාර දැක්වීම
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පොදුවේ පවතින තර්ජන සාකච්ඡා කිරීමෙහි අරමුණ, කුරිරු බාහිර ලෝකයෙන් ආරක්ෂා වීමට විශ්ව විද්‍යාලයේ දොර වසා දැමීම වෙනුවෙන් තර්ක කිරීමට නොවේ. එසේ කිරීමෙන් සිදුවන්නේ ඇතුළත පවතින නවක වදය වැනි දුර්භාවිතයන් ප්‍රතිනිෂ්පාදනය වීම පමණි. ඒ වෙනුවට අප ඇත්තෙන්ම කළ යුත්තේ එම දුර්භාවිතයන් පිළිබඳ විවෘත සහ අවංක සංවාදයකට එළඹීම සහ ඒ ඔස්සේ ඒවා ආමන්ත්‍රණය කිරීමයි. විශ්ව විද්‍යාල තුළ සිටින්නන්ට මෙය කළහැකි, ඇත්තෙන්ම ඔවුන් විසින් මෙය කළයුතු ප්‍රධානම ආකාරයක් නම් විෂය නිර්දේශයෙහි වෙනස්කම් ඇති කිරීමයි.
රැකියා වෙළඳපොල තුළ තරඟයට උදව්වක් වශයෙන් පමණක් අධ්‍යාපනයෙන් ලැබෙන සුදුසුකම් දෙස බලන රාමුවක් තුළ, අධ්‍යාපනය විභාග හා ඇගයීම් වලට පමණක් අදාළව තේරුම් ගැනීම අසීරු නැත. එවැනි දැක්මක් තුළ සංවාදය සහ විවාදය වැදගත් නොවන අතර, පාඩමින් ආවරණය කළ කරුණු පමණක් ලබාගැනීම ප්‍රමාණවත්ය. මේ සඳහා අදාළ සටහන් යමෙකුගෙන් ඉල්ලා ගැනීම හෝ මාර්ගගත ක්‍රම වලින් ලබාගැනීමට පමණක් බොහෝ සිසුන් උත්සාහ ගන්නේ මේ මානසිකත්වය නිසාය. නමුත් මෙහි ඇති ප්‍රශ්නය නම් සංවාදය සහ විවාදය තුළින් ජනනය වන අළුත් වැටහීම් නොමැති අධ්‍යාපනයකින් අප ලෝකය දෙස බලන අයුරු අභියෝගයට ලක් නොවීමයි. එසේ අභියෝගයට ලක් නොවූ දෘෂ්ටියක් වෙනස් වීමේ ප්‍රවණතාව අඩුය. පවතින ධූරාවලීන් එයාකාරයෙන්ම ප්‍රතිනිෂ්පාදනය කරන නවක වදය වැනි භාවිතයන් දිගින් දිගටම පවතින්නේද අභියෝගයට ලක් නොවූ එවැනි දෘෂ්ටීන් නිසාය. විපරිවර්තනීය ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් නොමැති බොහෝ පෞද්ගලික විශ්ව විද්‍යාලද පවතී. ඒවායේ එසේ නම් නවක වදයක් නොමැත්තේ කෙසේදැයි සාධාරණ ප්‍රශ්නයක් පැනනැඟිය හැකිය. නමුත් එවැනි පද්ධති වලින් ප්‍රවර්ධනය කෙරෙන්නේ නිර්දේශපාලනික සංස්කෘතියකි. මේ අරබයා මතුවන ගැටළු මම තව ටිකකින් ආමන්ත්‍රණය කරමි.
අධ්‍යාපනය අප තේරුම් ගන්නා සහ භාවිතයට යොදනා ආකාරයෙහි එනිසා අනිවාර්යයෙන්ම වෙනසක් සිදුවිය යුතුය. මේ සඳහා STEM විෂයන්ද ඇතුළුව සියළු විෂයන් වලට දාර්ශනික පදනමක් හඳුන්වා දීම වැදගත් වේ. අප ලෝකය ලෙස තේරුම් ගන්නේ කුමක්ද, එම තේරුම් ගැනීමට අප එළඹුණේ කෙසේද, සහ ඒ හරහා දැනුමෙහි ඇති සංවාදාත්මක, අන්‍යොන්‍යව ගොඩනඟා ඇති ස්වරූපය හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව එමඟින් අපට වැටහීමක් ඇතිවේ. දැනුමෙහි ඇති සාමූහික, සමාජ ක්‍රමය තුළින් හැඩ ගැස්වුණු ස්වභාවය පැහැදිලි වන්නේ එවැනි එළඹුමකින් පමණි. දැනුම එසේ අප සාමූහිකව නිර්මාණය කරන්නක් ලෙස රාමු කිරීමේදී, සමූහයේ අභිවෘද්ධිය උදෙසා එය භාවිතා කළයුතු බවට වන වැටහීම මුල්බැස ගනී. නවක වදය මඟින් ප්‍රතිනිෂ්පාදනය කරන අධිපති ආඛ්‍යාන සහ පීඩාකාරී බල සම්බන්ධතා ප්‍රශ්න කරන ගමන්ම, නවක වදය ඔස්සේ ආමන්ත්‍රණය කිරීමට උත්සහ කරන සාධාරණ ගැටළු විසඳීම යන දෙකටම එක සේ අවධානය යොමු කරනු ඇත්තේ එවන් අධ්‍යාපනයක් ලද සිසු පිරිසක් පමණි.
විකෘති ආකාරයෙන් වුවත් නවක වදය උත්සාහ කරන්නේ ප්‍රජාවක් තැනීමටය. නමුත් පීතෘ මූලික, විෂම ලිංගිකත්වය පදනම් කරගත්, වෙනත් මත නොඉවසන සහ ප්‍රචණ්ඩකාරී මූලධර්ම මත තනන ප්‍රජාවක් විධිමත් අධ්‍යාපනය හා විචාරාත්මක සංවාදය යන දෙක ඔස්සේම විවේචනයට ලක්කළ යුතු වේ. ප්‍රචණ්ඩකාරී ප්‍රජාවාදයත්, දේශපාලනික උදාසීන බවත් යන අන්ත දෙකම මඟ හරවා ගත හැක්කේ එවිට පමණි. වර්තමානයේ ප්‍රවණතාවක් වන රැකියා කිහිපයක් අතරමැද අධ්‍යාපනය ලබාගැනීම නිසා බොහෝ සිසුන් බොහෝකොටම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ නැත. එවැනි තත්වයක් තුළ දේශපාලනය අවම වශයෙන් කරදරයකි; උපරිම වශයෙන් එය ඈත්ව තැබිය යුතු අන්තරාවකි. ආදායම් උත්පාදනය වැනි ‘ඵලදායී’ දෙයක් කරගත හැකි කාලය එමඟින් කා දමයි. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය බලය දරන කණ්ඩායම් සමඟ හැප්පෙන්ට සිදුවුවහොත් අනාගතයටද අහිතකරය. මෙම හේතු නිසා නවක වදය සිදුවන ප්‍රමාණයෙහි යම් අඩුවක් සිදුවීම සුබදායක දෙයක් වුවත්, එම හේතු සිසුන් අතර මුල්බැස ගැනීමෙහි අනිටු පලද බොහෝය: සමස්තයේ සුබසිද්ධිය ගැන තැකීමක් නැති, එය තමාගේ සුබසිද්ධිය හා සමීපව සබැඳි දෙයක් ලෙස දැකීමේ හැකියාවක් නැති සිසු පරම්පරාවක් එමඟින් බිහිවේ. මේ ප්‍රවණතාව නැවැත්වීම නවක වදය නැවැත්වීම තරම්ම අවශ්‍ය ය. ධූරාවලීන් හා ඒවා මඟින් මුදාහරින ප්‍රචණ්ඩත්වයෙන් තොර ප්‍රජාවන් බිහිකළ හැක්කේ එවිට පමණි.
නවක වදය දෙස අප සමාජයේ සන්දර්භය තුළින් බැලීමේ වැදගත් කාර්යය මේ ලිපිය තුළින් මා ඉටුකොට නැත. මේ තීරුවෙහිම පලවූ ශාමලා කුමාර් ගේ මතු දැක්වූ ලිපියත්, 2025 මැයි 14 GroundViews වෙබ් අඩවියෙහි සන්ජයන් රාජසිංහම් විසින් පල කරන ලද ලිපියත් තුළින් එය ඉතා දක්ෂ ලෙස සිදුකොට ඇත. ඒ වෙනුවට මේ ලිපියෙහි මගේ අරමුණ වූයේ නවක වදය අවසන් කිරීම සඳහා අධ්‍යාපනයේ කාර්ය භාරය විමසීමයි.
සමාලෝචනය
නවක වදය ඉතා පුළුල් දෙයකි; ඒ හා සම්බන්ධ කණගාටුදායක තනි තනි සිදුවීම් වලට පමණක් එය ලඝු කළහැකි නොවේ. ඊට අදාළ ප්‍රතිචාරද එනිසා රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමෙන් එහා යා යුතුය. ඒ සඳහා අරමුදල් හා අත්‍යන්තයෙන් බැඳුනු ආයතනික වෙනස්කම් කළයුතුවාක් මෙන්ම, අධ්‍යාපනය අප දකින හා ක්‍රියාත්මක කරන ආකාරයෙහි පරිවර්තනයක්ද කළයුතු වේ. නමුත් මෙය ‘විශ්ව විද්‍යාල සංස්කෘතිය වෙනස් කිරීම’ පිළිබඳ මෑත කාලීනව වඩාත් අසන්නට ලැබෙන තර්කයට මඳක් එහා ගිය එකකි. විශ්ව විද්‍යාල සංස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් කළයුතුය. නමුත් එහි තේරුම වන්නේ නවක වදයෙහි යෙදෙන සිසුන් වෙනුවට දේශපාලනික වශයෙන් උදාසීන වූ සිසුන් තැනීම නොවේ. නවක වදයෙන් ඈත්වීම නිර්දේශපාලනීකරණය වැළඳ ගැනීමක් වශයෙන් වටහා නොගත යුතුය. එසේම නවක වදය කළමනාකරණය කිරීමේ මුවාවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල වල අරමුදල් කපා හැරීම හෝ ඒවා කෙරෙහි දියත් කරන පරිපාලන ග්‍රහණය වැඩි කිරීමත් අනුමත කළ නොහැකිය. එකිනෙකට වෙනස් මේ කාරණා එකට එකතු කිරීම තුළින් නිර්දේශපාලනීකරණය වූ සිසුන් පිරිසක් සහ පෞද්ගලීකරණය වූ උසස් අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය වීමට පාර කැපෙනු ඇත; සමූහයේ යහපත සඳහා සමාජය වෙනස් කිරීමට අවශ්‍ය චින්තනය හෝ වුවමනාව එවැනි සිසුන්ට හෝ පද්ධතියකට නොපවතිනු ඇත.