ශාමලා කුමාර්
2024 දෙසැම්බර් මාසයේ Sunday Observer පුවත්පතෙහි පළවූ වාර්තාවකට අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති විසින් විදේශීය සිසුන් බඳවා ගැනීම වැඩිකිරීම තුළින් මහජන අරමුදල් මත විශ්ව විද්‍යාලයේ රඳා පැවැත්ම අඩු කිරීමේ සැලසුමක් නිවේදනය කොට ඇත. දැනට 225 ක් වන එම සිසුන් ප්‍රමාණය දෙගුණ කිරීමේ ඔහුගේ අරමුණත් සමඟ එම අභිප්‍රාය ඉටු කරගැනීමේ මාර්ගයට විශ්ව විද්‍යාලය එළඹ ඇති බව උපකුලපතිවරයා කියා සිටියේය. මහජන විශ්ව විද්‍යාල රාජ්‍ය අරමුදල් ලැබීමෙන් වෙන්කිරීමේ ගෝලීය හා ජාතික සැලසුම් වල පිළිබිඹුවක් ලෙස මෙය සැළකිය හැකිය.
වාණිජකරණය වූ ආකෘතිය
උපකුලපතිවරයාගේ වදන් තුළ කැටිවී ඇත්තේ මේ වනවිට උසස් අධ්‍යාපනයේ දැඩි වෙනස්කම් ඇතිකරන දෘෂ්ටිවාදයකි. ප්රජාතන්ත්රවාදයෙහි කුළුණු ලෙස විශ්ව විද්‍යාල දැකීමේ සිට, ස්වයංව අරමුදල් උත්පාදනය කරගන්නා සහ පෞද්ගලික අභිලාශ වලට සේවය කරන ‘ස්වාධීන’ ආයතන ලෙස ඒවා දැකීම දක්වා වූ විකාශනය ක්රමික එකකි. නවලිබරල් රාමුවක ස්ථානගතව ඇති සහ ලෝක බැංකුවේ අනුග්‍රහය සහිත මේ දැක්ම, ජාතික සහ වෙනත් කඩඉම් වලින් සීමාවට ලක් නොවී නිදහසේ ගලන ප්රාග්ධනය සහිත ගෝලීය වෙළඳපොලට (හාවි 2006) සහය දීම සඳහා විශ්ව විද්‍යාල පුහුණු කරවයි. හොඳ රැකියා, ශක්තිමත් පොදු සේවා පද්ධතියක් හා සෞඛ්‍යමත් පරිසරයක් සඳහා වූ මහජන අභිලාශ වෙළඳපොල තර්කනය සමඟ ගැටෙන විට ඒවා යල්පැනගිය, අප්‍රායෝගික, ඵල රහිත හා අකාර්යක්ෂම සේ සළකා බැහැර කෙරේ.
වෙනත් වචන වලින් කියන්නේ නම්, නියමාකාරයෙන් වැඩ කරන වෙළඳපොලක් සඳහා, නිදහස් අධ්‍යාපනය වැනි ‘අකාර්යක්ෂම’ සේ සැලකෙන දේ දුර්වල කිරීම අවශ්‍ය වේ. ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය පිළිබඳ 2017 දී ලෝක බැංකුවෙන් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන පරිදි “උසස් අධ්‍යාපනය තුළ පෞද්ගලික අංශය දැනට ක්‍රියාත්මක වන්නේ දරුණු සීමාකම් මැද ය” (පිටුව 20). මේ කියන සීමාකම වන්නේ රාජ්‍යය අධ්‍යාපනය සැපයීමේ මූලික ප්රභවය ලෙස දකින නිදහස් අධ්‍යාපන ප්රතිපත්තීන් ය. බැංකුව තවදුරටත් දක්වන පරිදි “ධාරිතාව සහ සම්පත් අරබයා පවතින හිඟතා මධ්‍යයේ මතුවන ද්විත්ව අභියෝග වන ප්‍රවේශය සහ ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා, ලාභය අරමුණු කරගත් හෝ නොගත් පෞද්ගලික අංශය ආකර්ෂණය කරගැනීම අත්‍යාවශ්‍ය වේ” (පිටුව 20).
විකල්ප සොයා
ගෝලීය තලය තුළ මේ වෙනස්කම් ඔස්සේ රාජ්‍යයේ භූමිකාව මූලිකවම නියාමක එකක් බවට පත්කරනු ලැබ ඇති අතර, අධ්‍යාපනය වාණිජකරණය කොට, පෞද්ගලික රැඟුම්කරුවන්ට ඊට ඇතුල් වීමට ඉඩ සලසා තිබේ. ඉඩම්, යටිතල පහසුකම් සහ වෙනත් පහසුකම් වැනි සහනාධාර මෙන්ම, වවුචර්පත් ක්‍රම හා පොදු-පෞද්ගලික හවුල්කාරීත්වයන් මඟින් ගෙවනු ලබන ණය ක්‍රම වැනි ක්‍රියාමාර්ග තුළින්ද පෞද්ගලික හා ගාස්තු අය කරනු ලබන රාජ්‍ය උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට ලංකාව උත්සුක වීම එම නිසා පුදුමයක් නොවේ.
එහෙත් පෞද්ගලික උසස් අධ්‍යාපනයේ මේ ප්‍රසාරණය සිදුවන්නේ ලාභ නොලබන රාජ්‍ය අධ්‍යාපනයට වැයකරන මහජන මුදල් කප්පාදු කිරීමට සමගාමීවය. කලාපීය හා ගෝලීය අගයන්ට සාපේක්ෂව අධ්‍යාපනය වෙනුවෙන් ලංකාව වෙන්කරන මුදල කොහොමටත් අඩුය. 1960 ගණන් වල දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.25% ක් වූ එය, 2022 වසරේදී 1.5% කට ඇද වැටී තිබුණි (සර්වනන්දන් 2020). මේ තත්වය තුළ සිය වැය පියවා ගැනීම සඳහා විකල්ප මාර්ග සෙවීමට විශ්ව විද්‍යාල වලට සිදුවී තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලය මේ වෙනුවෙන් අනුගමනය කරන එක් වැඩපිළිවෙලක් වන්නේ ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම සහ පෞද්ගලික අංශය සමඟ සම්බන්ධතා දියුණු කරගැනීමය. එහෙත් ඊට සාපේක්ෂව යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශයක පිහිටි යාපනය විශ්ව විද්‍යාලය හෝ මෑතදී ආරම්භ කෙරුණු, අඩු කාර්ය මණ්ඩලයක් සහිත, කොළඹින් බොහෝ දුරබැහැර ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට එවැනි විකල්ප අනුගමනය කිරීමේ හැකියාව අඩුය.
තීව්ර වන විෂමතා
මේ වෙනස්කම් පැහැදිලිව විද්‍යාමාන වන තැනකි 2022 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වාර්තාව: කොළඹ විශ්ව විද්‍යාලය සිය සමස්ත අරමුදල් වලින් 1/5 ක් උපයා ගැනීමට සමත්ව තිබූ නමුත්, යාපනය සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල වලට ඊට සාපේක්ෂව උපයා ගත හැකිව තිබුනේ 2% ක ප්‍රමාණයක් පමණි. උසස් අධ්‍යාපනයට අරමුදල් සපයා ගන්නා මූලිකම ප්රභවය වශයෙන් ස්වයං උත්පාදන අරමුදල් සැළකීමට පටන් ගැනුනොත් පරිධියේ විශ්ව විද්‍යාල තවදුරටත් දුර්වල වීම වැළක්විය නොහැකි වනු ඇත.
මේ විෂමතා, අරමුදල් වලට එහා ගිය කරුණකි. ප්රශ්නය ඊට වඩා බැරෑරුම්ය. කොමිසමේ දත්ත වලට අනුව කොළඹ විශ්ව විද්‍යාලයට සාපේක්ෂව යාපනය විශ්ව විද්‍යාලය වැඩි සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා, අඩු කාර්ය මණ්ඩලයක් සහිත එකකි. කොළඹ විශ්ව විද්‍යාලයේ පරිවාස කථිකාචාර්යවරුන් හා මහාචාර්යවරුන් අතර අනුපාතය 1:1 වනවිට, යාපනයෙහි එය 3:1 කි. යාපනය විශ්ව විද්‍යාලය සේවයේ යොදවන තාවකාලික කථිකාචාර්යවරුන් ගේ ප්‍රමාණයද කොළඹට වඩා වැඩිය (867 කින් 40%; කොළඹ එය 959 කින් 30% කි). යුද්ධයෙන් පසු යාපනයට අනුයුක්ත කරගන්නා සිසුන් ප්‍රමාණයද දරුණු ලෙස ඉහළ ගොස් තිබේ: 2007 වනවිට කොළඹ බඳවාගත් සිසුන් පිරිස යාපනය මෙන් දෙගුණයක් වූ මුත්, 2022 වනවිට යාපනයෙහි සිසුන් සංඛ්‍යාව මඳ වශයෙන් කොළඹ අභිබවා ගොස් තිබුණි. එහෙත් කොමිසමේ දත්ත වලට අනුව එක් සිසුවකුට වෙන්කෙරෙන ආදායම (රාජ්‍යයේ අරමුදල් සහ ස්වයංව උත්පාදනය කරගත් අරමුදල් එකතු කළවිට) අතින් ගත්විට යාපනයට ලැබෙන්නේ කොළඹට ලැබෙන මුදලින් තුනෙන් එකක ප්රමාණයකි (එනම් කොළඹ එම අගය රුපියල් 959 ක් වනවිට යාපනයෙහි එය රුපියල් 326 කි). මින් කරුණු දෙකක් පැහැදිලි වේ: පළමුවැන්න, සම්පත් වලට ඇති ප්‍රවේශය අතින් පවතින විෂමතා විශ්ව විද්‍යාල වල කාර්ය සාධනයට බලපාන බවය; දෙවැන්න, බඳවා ගන්නා සිසුන් ප්‍රමාණයට සාපේක්ෂව ලබාදෙන රාජ්‍ය අරමුදල් ප්‍රමාණය වැඩි නොකරන බවය.
මේ එක් එක් විශ්ව විද්‍යාලයට පවතින වෙනස් දේශපාලනික හයිය මතය මෙවැනි වෙනස්කම් බොහෝවිට පදනම් වන්නේ. ඓතිහාසිකව ඔවුන්ට වෙන් කෙරුණු අරමුදල් වලටද මෙය හේතුකාරක විය (CEPA 2017). දැන් ප්රශ්නය වන්නේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් මේ විෂමතා කොයිබට යනු ඇතිද යන්නයි. එමඟින් නිදහස් අධ්‍යාපනයේ අරමුණු සාධනය කරගත හැකිද? ඒ ඔස්සේ ප්රජාතන්ත්රවාදී, සාධාරණ සමාජයක් ළඟා කරගත හැකිද? මේ දෙකටම මගේ පිළිතුර වන්නේ ‘නැත’ යන්නයි.
දරුණු ප්‍රතිවිපාක
නවලිබරල් ප්‍රතිපාදන ලොව පුරා සමාජ විෂමතා තීව්ර කොට ඇත. අරමුදල් උත්පාදනය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල කරදර වනවිට, නිදහස් අධ්‍යාපනය ලබාදීමේ ඔවුන්ගේ මූලික භූමිකාව පසෙකට තල්ලු වේ. දැනටමත් ආර්ථික දුෂ්කරතා නිසා සමහර සිසුහු සරසවි හැරයති. ගාස්තු අය කරන පාඨමාලා නිසා මධ්‍යම පාන්තිකයින්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් වුවත්, එසේ ගාස්තු ගෙවන්නන් හට මුල්තැන ලබාදීමට විශ්ව විද්‍යාල වලට සිදුවන නිසා නිදහස් අධ්‍යාපනය තුළින් පමණක් අධ්‍යාපනයට ප්‍රවේශය හිමිවන්නන් හට කාලයක් යනවිට අවාසියක් ඇතිවේ.
අධ්‍යාපනය තුළ මේ සිදුවන වෙනස්කම් තවත් බොහෝ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වලටද පහර එල්ල වන සන්දර්භයක දිගහැරෙන බව සිහිතබා ගත යුතුය. වෙළඳපොලට ඇති ‘බාධක’ ඉවත් කිරීමේ නොවැලක්විය හැකි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය සේවා වලට ඇති ප්‍රවේශය අවහිර වීම, ඉඩම් අයිතීන් කප්පාදු වීම, ණය බර වැඩි වීම සහ අවිධිමත් ශ්‍රම බලකාය ප්‍රසාරණය වීම වැනි ප්‍රතිවිපාක ඔස්සේ ජනතාවගේ අඩමාන, අස්ථිර බව වර්ධනය වේ. මේවායෙහි බලපෑම වැඩිපුර දැනෙන්නේ ප්රාග්ධනය සංකේන්ද්‍රණය වූ නාගරික ප්‍රදේශ වල නොව, ඉන් ඈත පිහිටි යාපනය විශ්ව විද්‍යාලය වැනි තැන්වලටය.
අනෙක් අතට මෙම මාදිලිය තුලින් විශ්ව විද්‍යාල වඩා විශාල බලවේගයක අතවැසියකු බවට පත්කරයි; විශ්ව විද්‍යාලයක් කොතරම් අරමුදල් ප්‍රමාණයක් ලැබිය යුතු තැනක සිටින්නේද යන්න තීරණය කරන්නේ එම බලවේගය විසිනි. වසර 15 කට පමණ පෙර මා සේවය කරන පීඨයේ නව උපාධි වැඩසටහනකට සිසුන් ඇතුලත් කරගැනීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් සිදුකළත්, ඊට අවශ්‍ය පහසුකම් ලබා නොදුනි. ඒ හේතුවෙන් පාඨමාලාව සාර්ථකව කරගෙන යෑමට නොහැකි වූ නිසා නව සිසුන් බඳවා ගැනීම පීඨය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අවස්ථාවේ මෙම පහසුකම් ලබාදීම රජයේ වගකීමක් වන බවට වූ වැටහීම තුළය විශ්ව විද්‍යාල සිටියේ. දශකයකට පසු 2019 වසරේදී පවතින පහසුකම් තුළම බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කළයුතු බවට ජනපති නිවේදනය කළවිට විශ්ව විද්‍යාල ඊට එකඟ වුනි. පැරණි විශ්ව විද්‍යාල වලට මේ තත්වයට යම් ප්‍රතිරෝධයක් දැක්වීමේ අවස්ථාව හිමි වුවත්, අන් අයට එය නොලැබුණි; ඒ තුළින් සිදුවූයේ නව සහ ශක්තියෙන් අඩු විශ්ව විද්‍යාල මත පැටවුණු බර ඔවුන්ට දරාගත නොහැකි තරමේ එකක් වීමයි.
විශ්ව විද්‍යාල වලට තමන්ගේ වටිනාකම පිළිබඳ හැඟීම නැතිව යන බවත්, රජයේ බලයට ඔවුන් එන්න එන්නටම අවනත වන බවත්ය මින් පෙනී යන්නේ. මෑත කාලීනව හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් ලෙස සිය කාර්ය සාධනය, කාර්යක්ෂමතාව හා වටිනාකම මහජනයා ඉදිරියේ සාධාරණීකරණය කිරීමට ඔවුන්ට සිදුවීමේ එක් වක්‍ර ප්රතිඵලයකි මෙය. ජනතාවට වගවීම අත්‍යාවශ්‍ය බව පිළිගත යුතුය; ඒ සම්බන්ධව විශ්ව විද්‍යාලයට මීට වැඩි දෙයක් කළහැකි බවද ඒ තරමටම පිළිගත යුතුය. එහෙත් කොමිසම විසින් අර්ථ දක්වන ආකාරයෙන් ‘වගවීම’ වටහා ගැනීම තුළ විශ්ව විද්‍යාලය බල රහිත තත්වයකට ඇද දමා, එහි පවතින යාන්ත්‍රණ (පීඨ හා ශාස්ත්‍රීය මණ්ඩල වැනි) වල ඵලදායී බව අඩුකොට ඇත. මේවා කොමිසම විසින් වඩා මෑතදී හඳුන්වා දී ඇති තත්ත්ව සහතිකකරණ යාන්ත්‍රණ වැනි ධූරාවලිගත ව්‍යුහයන්ට වඩා ප්‍රජාතාන්ත්‍රික ඒවා වේ. වගවීමේ යාන්ත්‍රණ හඳුන්වා දියයුතු බව ප්‍රතික්ෂේප කළ නොහැකි නමුදු, එම යාන්ත්‍රණ වලින් පවතින ව්‍යුහයන් දුර්වල කිරීම නොකළ යුතුය.
මේ ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යෑම තුළින් කාර්ය සාධනය මත පදනම් වූ අරමුදල් සැපයීමේ මාවතට අප තල්ලුවිය හැකිය. 2023 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ මෙවැනි යෝජනාවක් ඇත්තෙන්ම අඩංගු වේ. දැනටමත් අවාසි සහගත තත්වයක සිටින විශ්ව විද්‍යාල මෙවැනි පද්ධතියක් තුළ වඩාත් අසරණ තත්වයකට පත්වනු ඇත. එවැනි තත්වයක් තුළ විශ්ව විද්‍යාල අතර තරඟය වැඩිවීම හේතුවෙන් එක්ව ආමන්ත්‍රණය කළහැකි ගැටළු වලට පිළියම් සෙවීමද දුෂ්කර වනු ඇත.
සමාලෝචනය
සාධාරණ, කාරුණික සහ ප්‍රජාතාන්ත්‍රික සමාජයක් ගොඩනැඟීමෙහි ලා විශ්ව විද්‍යාල වලට කළහැකි කාර්භාරය බොහෝය. නමුත් ඒ වෙනුවෙන් ශක්තිමත්, සැමට ප්‍රවේශය සහිත, සාරවත් පද්ධතියක් ගොඩනඟා ගැනීම අත්‍යාවශ්‍ය වේ.
1960-70 දශක වල අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ විෂමතා පිළිබඳ ලොකු සංවේදීතාවයක් දක්නට ලැබුණද (ක්ලීස් 2008), අද ඒ තත්වය වෙනස් වී ඇත. අධ්‍යාපනය සහ සුබසාධනය තුළ රාජ්‍ය මැදිහත්වීම වැඩි කිරීම කෙරෙහි ගෝලීයවම එතරම් සහයෝගයක් නැත. ඒ වෙනුවට ප්‍රතිපත්තිමය සාකච්ඡා වල බොහෝවිට අවධානය යොමු වන්නේ තත්ත්ව සහතිකකරණය වැනි පරිපාලනමය කරුණු වලටය. වැය කපා හැරීමේ වැඩසටහන් (austerity measures) වල ග්‍රහණයට නතුව සිටින ලංකාව වැනි රටවල් වලට සිය අනාගතය පිළිබඳ නව දැක්මකින් සිතීම කළ නොහැකි දෙයක් බවට පත්ව තිබේ. එහෙත් 1930-40 ගණන් වලදී අප නිදහස් අධ්‍යාපනය ගැන සිතුවේද මෙලෙසම බව මතක් කළ යුතුය. එහෙත් දැවැන්ත මහජන පීඩනය හමුවේ එම අදහස යථාර්ථයක් බවට පත්විය.
එහෙත් ක්ලීස් පවසන පරිදි අප අද ජීවත් වන ලෝකය “ගයන්නේ එකම තනුවකි: එය නවලිබරල්වාදයයි”. තනුව වෙනස්කොට සියල්ලන්ට ප්‍රවේශය ඇති තනුවක් නිර්මාණය කිරීමට මේ ධෛර්යය උපදවා ගතයුතු කාලය බව හැඟේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් නියමාකාරයෙන්ම ‘නිදහස්’ අධ්‍යාපනයක් නිර්මාණය කරගැනීම අරමුණු කළ යුතුය: ඉන් අදහස් වන්නේ වෙළඳපොල බලවේග වලින් නිදහස් වූ අධ්‍යාපනයක් පමණක් නොව, පවතින විෂමතා පිළිගනු වෙනුවට ඒවා අවම කිරීමට ප්රයත්න දරන අධ්‍යාපනයකි. ජාතික ජන බලවේග රජයට මෙවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අධිෂ්ඨාන ශක්තිය තිබේද?