පුරවැසි අයිතීන් අහිමි වීම, ඉඩම් රහිත බව සහ වතුකරයේ අධ්‍යාපනය 

අහිලන් කදිර්ගාමර්

වතුකරයේ ගුරුවරුන් සමඟ නුවරඑළියේදී මෑත පැවති සාකච්ඡාවකදී වෘත්තීය සමිති සාමාජිකයකු කියා සිටියේ ලංකාවේ සියළු දෙනාට අධ්‍යාපනයට සමාන ප්‍රවේශයක් ඇති බවට වන කතාව වතුකරයට අදාළ නොවන බවයි; මන්ද, ප්‍රජාවක් වශයෙන් ඔවුන්ට නිදහසේ සිට දශක තුනක කාලයක් පුරා නිදහස් අධ්‍යාපනයට ප්‍රවේශය අවහිර කොට තිබූ බැවිනි. ඇත්තෙන්ම දශක අටකට අධික නිදහස් අධ්‍යාපනයේ උරුමය පිළිබඳ අපට පවතින ගර්වය පළුදු කරන කළු පැල්ලමකි 1980 වනතෙක් වතුකරය රාජ්‍ය පාසල් විවෘත නොකර පවත්වා ගැනීම.  

අද මේ ලිපිය තුළින් මා උත්සාහ කරන්නේ හැටන් ප්‍රදේශයේ ජීවත් වන, දැනට තරුණ පර්යේෂකයින්ගේ ජාලයෙහි (Young Researchers Network – YRN) සේවය කරන මගේ පෙර සිසු සිසුවියන් කිහිප දෙනෙකුගේ ආවර්ජනා මත පදනම්ව වතුකරය තුළ අධ්‍යාපනය පත්ව ඇති තත්වය විභාග කිරීමටයි. තරුණ වතුකර ගුරුවරුන්ට මගේ ප්‍රවේශය සාදා දුන්නේ ඔවුන් විසින් වන අතර, ඒ ඔස්සේ වතුකරය තුළ අධ්‍යාපනය වර්තමානයේ මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීමේ අවස්ථාව ලැබුණි. පසුගිය වසර තුළ YRN විසින් දකුණේ හුදෙකලාව වාසය කරන වතුකර දෙමළ ප්‍රජාව පිළිබඳවද ක්ෂේත්‍ර පර්යේෂණ සිදුකරන ලදී. ඡන්ද බලය හා ඉඩම් අයිතීන් අහිමි කිරීමට අදාළ වතුකර ඉතිහාසයෙන් තොරව මේ ප්‍රජාවගේ අධ්‍යාපන ගැටළුව තේරුම් ගත නොහැකි බව මම මෙහිදී තර්ක කරමි.  

පුරවැසිභාවය, රැකියාව සහ ඉඩම් 

නිදහසින් පසු වසරේ වතුකර ප්‍රජාවගේ ඡන්ද අයිතිය අහෝසි කිරීම අපේ රටේ මූලිකම පාපයකි. පරම්පරා කිහිපයක් තුළ මෙරට ඔවුන් ගොඩනඟා ගත් ජීවිතය නොසළකා හරිමින් බලෙන්ම ඉන්දියාවට පැටවීමේ තීරණය නිසා පවුල් කැඩී තවත් වරක් මේ ප්‍රජාව ප්‍රචණ්ඩත්වයට ලක්විය. මේත් සමඟ ඔවුන්ට එරෙහිව දියත් වූ හිංසනය මෙන්ම වතුකරය තුළ රැකියා කටයුතු කඩාකප්පල් වීමෙන් හටගත් සාගත තත්වය නිසා රටේ වෙනත් තැන්වලට පලා ගියත්, එහිදීද ඔවුන්ට සිදුවූයේ වැඩවසම් ක්‍රම වලට යටත් වී සිටීමටයි. මේ ඉතිහාසය නිසා ඔවුන්ගේ නායකත්වය ඇතුළු සමස්ත වතුකර ප්‍රජාව පුරවැසි අයිතීන් ඉල්ලා සිටින්නට විය. ඒ දිගු අරගලය නිමා වූයේ 2000 මුල ගණන් වල වතුකර දෙමළ ප්‍රජාවට පුරවැසි අයිතීන් තහවුරු කිරීමත් සමඟය.    

එහෙත් සියවස් දෙකක ආර්ථික හා සමාජ බහිෂ්කරණයට ලක්වූ මේ ප්‍රජාවට යහපත් අනාගතයක් තහවුරු කිරීම සඳහා පුරවැසිභාවය ප්‍රමාණවත් නොවිණි. රටේ ධනය නිෂ්පාදනය කිරීමෙහිලා ඔවුන් මූලිකම ප්‍රභවයක් වුවත් ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ඔවුන් වෙත ළඟා නොවීම සැබවින්ම කණගාටුදායකය. හොඳ රැකියා වලට ප්‍රවේශය මෙන්ම ඉඩම් අයිතීන්ද ඔවුන්ට නොවිණි. වතු කළමණාකාරීත්වයේ සම්පූර්ණ අධිකාරියට යටත් වූ ඔවුන්ව පිළිකුල් සහගත අයුරින් ලයින් කාමර වල සිරකොට, ඉතා අඩු පඩි වලට සේවයේ යොදවා ගත්තේ වෙනත් රැකියා වලට ඇති ප්‍රවේශයද අවහිර කරමිනි. 1990 ගණන් වල සිට රාජ්‍ය සේවයේ රැකියා ප්‍රමාණය අඩු වෙන්නට පටන් ගැනීමද ඔවුන්ට අභියෝගයක් එල්ල කරන ලදී; එනිසා කොළඹ සහ වෙනත් නාගරික ප්‍රදේශ වල අවිධිමත්, අඩු වැටුප් ක්ෂේත්‍ර වලත්, මැදපෙරදිගත් රැකියා කිරීමට ඔවුහු යොමුවූහ. 

මේ සියළු ගැටළු තීව්‍ර කරන මූලිකම ප්‍රශ්නයක් වන්නේ වතුකර ප්‍රජාවට ඉඩම් අයිතීන් නොමැති වීමයි. වතුකර ප්‍රදේශ තුළ පුරන් ඉඩම් කොතරම් තිබුණද, ඒවාට ප්‍රවේශය එම ප්‍රජාවට සපයා දී නැත. වෙනත් ආන්තික ප්‍රජාවන්ට රාජ්‍යයෙන් ලබාදුන් ඉඩම් අයිතීන් පවා වතුකර ප්‍රජාවට නොලැබුණි. අනුක්‍රමික ආණ්ඩු දිගටම මේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට හේතුව වන්නේ ඉඩම් අයිතීන් ලබාදීම තුළින් වතුකර ශ්‍රමයේ ඇති බන්ධනාත්මක (captive) ස්වභාවය නැතිව යෑමය. 

දශක ගණනාවක් මුළුල්ලේ එළවළු වගාව සහ සතුන් ඇතිකිරීම වැනි ක්‍රියාකාරකම් වතුකර ප්‍රජාව විසින් කරගෙන යනු ලැබූවද, ඉඩම් අයිතීන් නොමැති වීමේ ගැටළුව මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන සහන ණය ක්‍රම වැනි කිසිදු පහසුකමක් ලබාගැනීමට ඔවුන්ට සුදුසුකම නැත. පුරවැසිභාවය හා අධ්‍යාපනයට සමාන්තරව ඉඩම් අයිතීන්ද ඔවුන්ගේ මූලිකම ඉල්ලීමක් වන්නේ එබැවිනි. ජාතික ජන බලවේග රජයට ඒ සඳහා අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය තිබේනම්, වතුකර ප්‍රජාවට ඉඩම් අයිතීන් ලබාදීම ඔවුන්ට හඳුන්වා දියහැකි වඩාත් ගැඹුරුම සමාජ-ආර්ථික පරිවර්තනයක් වනු ඇත.

අධ්‍යාපනය සහ වර්තමාන අර්බුදය

බහිෂ්කරණය සහ සූරාකෑම පිළිබඳ මේ ඉතිහාසය තුළ වතුකර ප්‍රජාවට ඇති එකම බලාපොරොත්තුව වන්නේ ඔවුන්ගේ උගත් තරුණ පරම්පරාවයි. වතුකර දරුවන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගමන් කරවීම සඳහා කැපවුණු ගුරුවරුන් පරම්පරා කිහිපයක් දැන් නිර්මාණය වී තිබේ. ඇත්තෙන්ම සිසුන් තමා ඉගෙන ගන්නා දේ සිය එදිනෙදා පරිසරයට අදාළ කොට සාකල්‍යමය අධ්‍යාපනයක් ලබන බවට තහවුරු කළ හැක්කේ එවැනි ගුරුවරුන්ට පමණි. එහෙත් පාසල් ගොඩනැගිලි, වැසිකිළි, ගුරුවරුන් සඳහා නේවාසික පහසුකම් සහ ප්‍රවාහනය වැනි යටිතල පහසුකම් අතින් පවතින දුර්වලතා දැඩි මට්ටමක පවතී. එසේම විද්‍යා ගුරුවරුන්ගේ හිඟයත්, දැනට සිටින ගුරුවරු දුෂ්කර පරිසර වල ඉගැන්වීමට ඇති අකමැත්තත් තුළින් අර්ථාන්විත අධ්‍යාපනයකට දරුවන්ට ඇති අවස්ථාව ඇහිරී තිබේ. මෙවැනි දුෂ්කරතා මධ්‍යයේ ඉගෙන ගන්නා දරුවන්ට මධ්‍යහ්න ආහාර වේල, නේවාසිකාගාර වැනි පහසුකම් ලබාදීම එම නිසා හදිසි අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ.

මේ පසුබිම තුළ වත්මන් ආර්ථික අර්බුදය සහ එන්න එන්නටම ඉහළ යන දරිද්‍රතාවය හේතුවෙන් වතුකරය තුළ පාසල් හැර යන්නන්ගේ ප්‍රමාණයත්, දිනපතා පාසල් නොපැමිණෙන පිරිසේ ප්‍රමාණයත් ඉහළ යමින් පවතී. දකුණේ වෙසෙන වතුකර ප්‍රජාවගේ තත්වයද මෙසේමය; දෙමළ මාධ්‍ය පාසල් ඇත්තේ කිහිපයක් වීම සහ ඒවාට යෑම් ඊම් කිරීමට ගතවන කාලය සහ වැයකළ යුතු වියදම අධික වීම ඊට එක් හේතුවකි. එසේම දකුණේ වතු වල විධිමත් ශ්‍රම බලකාය සාපේක්ෂව අඩු නිසා රැකියා සුරක්ෂිත භාවයද අඩුය. 

ඉඩම් අයිතීන් සහ තිරසාර ජීවනෝපාය මාර්ග දිනාගැනීමේ අරගලය තුළ අධ්‍යාපනයට හිමිවන ස්ථානය වැදගත්ය. ඉඩම් අයිතීන් නිසා ආහාර සුරක්ෂිතතාවයත්, විකල්ප ආදායම් මාර්ගත්, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සුදුසු වටපිටාවකුත් නිර්මාණය වේ. ලොව පුරා ආන්තික ප්‍රජාවන්ට මූලිකම අභියෝගයක් වී ඇත්තේ මෙයයි. බ්‍රසීලය වැනි රටවල ආන්තික ප්‍රජාවන් ඉඩම් අයිතීන් සාධනය කරගෙන ඇත්තේ රාජ්‍ය මඟින් ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ නිසා නොව, මහජන අරගල නිසාය (ඒ අතරට බලෙන් ඉඩම් අත්පත් කරගැනීමද අයත් වේ). බ්‍රසීලයේ මෙම ව්‍යාපාරය සාර්ථක වූයේ එසේ බලෙන් පදිංචි වූ ජනාවාස වල පාසල් ඉදිකොට එහි වෙසෙන්නන් අධ්‍යාපනය හා ජීවනෝපාය මාර්ග පිළිබඳ සංවාද වලට හවුල් කරගත් නිසාය. ලංකාවේ වතුකර ප්‍රජාවට දැන් පවතින අභියෝගය වන්නේ ඉඩම් අයිතීන් පිළිබඳ සිය අරගලයට නිදහස් අධ්‍යාපන පද්ධතිය සම්බන්ධ කිරීමයි. 

වතුකරයේ ගුරුවරුන් බලකායට සිය ප්‍රජාවන් පරිවර්තනය කිරීමේ හැකියාව තිබේ; එහෙත් එතැන රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය හේතුවෙන් නිලබලවාදයක් වර්ධනය නොවන බවට ඔවුන් වගබලා ගත යුතුය. ගුරුවරුන්ගේ සමාජ-ආර්ථික පසුබිම නිසා ඔවුන් වෙනමම පන්තියක් වශයෙන් නිර්මාණය වීමේ ප්‍රවණතාව පවතින අතර, ඒ හේතුවෙන් නාගරික ප්‍රදේශ වල ජීවත් වීමත්, සිය ප්‍රජාවන්ගෙන් ඈත්ව වාසය කිරීමත් සිදුවිය හැකිය. ගුරුවරුන් ඉඩම් අයිතීන් පිළිබඳ අරගලයට සම්බන්ධව, දේශපාලනික වශයෙන් සක්‍රීය වීම අත්‍යාවශ්‍ය වන්නේ එබැවිනි. ඔවුන්ගේත්, උගත් තරුණ පරම්පරාවේ අනෙකුත් සාමාජිකයන්ගේත් අභියෝගය වන්නේ විධිමත් අධ්‍යාපනයේ බිත්ති බිඳ දමා භූමිය, ගෘහය හා ජීවනෝපාය මාර්ග පිළිබඳ අරගල වලට එය විවෘත කිරීමයි. මේ සම්බන්ධයෙන් දැනටමත් සිදුවන ප්‍රගතිශීලී වෙනස්කම් තුළින් වතුකරය පරිවර්තනය වන අයුරු දැකීම, නිදහස් අධ්‍යාපනය සාධනීය ලෙස පරිවර්තනය කිරීමට උත්සහ දරන සියල්ලන්ට ආශ්වාදයකි.