රම්‍යා කුමාර්, ශාමලා කුමාර් සහ සිවමෝහන් සුමති
“නිදහසේ භාවිතාවක් ලෙස අප අධ්‍යාපනයට කැපවන විට, ප්‍රාඥයින් යන පදයේ පරිපූර්ණ සහ ගැඹුරුම අරුත සාධනය කරගත හැකි ශාස්ත්‍රීය ප්‍රජාවක් නිර්මාණය කිරීමේ කාර්යයට අප සහභාගී වන්නෙමු.”
– බෙල් හුක්ස් (1989)
සාම්ප්‍රදායික අර්ථයෙන් ගත්කළ ශාස්ත්‍රීය නිදහසෙහි තේරුම වන්නේ බාධාකාරී මැදිහත්වීම් වලින් තොරව ඉගැන්වීමට, ඉගෙන ගැනීමට, පර්යේෂණ වල යෙදීමට සහ විමසීමට ශාස්ත්‍රීය ප්‍රජාවන්ට ඇති නිදහසයි. වාරණයකින් තොරව විශ්ව විද්‍යාල අභ්‍යන්තර කටයුතු මෙන්ම පොදු යහපත සඳහා වූ කරුණු පිළිබඳ සිය මතය දැක්වීමේ නිදහස එයට අයත්ය. ඉගෙනීමේ, විචාරාත්මක සංවාදයේ සහ විමසීමේ අවකාශයන් වශයෙන් පැවතීමට මේ නිදහස විශ්ව විද්‍යාල වලට අත්‍යාවශ්‍ය වේ. විශ්ව විද්‍යාලය තුළ හා ඉන් පිටත බලය දරන්නන් වගවීමට යටත් කිරීමටද එමඟින් ශාස්ත්‍රීය ප්‍රජාවන්ට හැකියාව ලැබෙන අතර, එනිසාම සමාජය ප්රජාතාන්ත්රීකරණය කිරීමෙහිලා වැදගත් භූමිකාවක්ද එමඟින් ඉටු කරයි.
යාපනය විශ්ව විද්‍යාලයේ මෑතක පැවති ශාස්ත්‍රීය නිදහස පිළිබඳ සම්මන්ත්‍රණයකදී සාකච්ඡාව ආරම්භ වූයේ විශ්ව විද්‍යාල ගුරුවරයකු නැඟූ පැනයකිනි: “ශාස්ත්‍රීය නිදහස කියන එකේ තේරුම අපට වැඩ නොකර සිටීමට නිදහසක් තියෙනවා කියන එකද?” එම සම්මන්ත්‍රණයට සහභාගී වූවන් අතර පොදු එකඟතාවයක් විය: එනම් විශ්ව විද්‍යාල ධූරාවලියේ ඉහළින් සිටින්නන්ට ඉගැන්වීමට, පර්යේෂණ කිරීමට සහ සිය අදහස් දැක්වීමට නිදහස තිබුණත්, ඔවුන් සිය ඉගැන්වීම් කටයුතු නිසිලෙස නොකිරීම හා ඒවා කනිෂ්ඨයින් මත පැටවීම ආදී දේ පහළින් සිටින්නන්ට දිස්වන්නේ ශාස්ත්‍රීය නිදහස අවභාවිතා කිරීමක් ලෙස වන බවය. මේ ලිපිය තුළින් අප උත්සාහ කරන්නේ ශාස්ත්‍රීය නිදහස රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ වටහා ගැනෙන්නේ කෙසේද, සහ එම වැටහීමෙහි සීමා හා ගම්‍යයන් මොනවාද යන්න සාකච්ඡා කිරීමටයි.
රාජ්‍ය විශ්ව විද්‍යාල සහ ශාස්ත්‍රීය නිදහස
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ පරිපාලනය විසින් සිය ප්‍රතිපත්ති තුළ ශාස්ත්‍රීය නිදහස පිළිබඳ කතා කරන්නේ කලාතුරකින් වන අතර, එහිදීද එය හුවා දක්වන්නේ ශාස්ත්‍රීය වගවීමට ප්‍රතිවිරුද්ධ දෙයක් හැටියටය. ශාස්ත්‍රීය වගවීම කොමිසමෙන් මෙන්ම කෝප් කමිටුවෙන්ද සමීපව අධීක්ෂණය කරන බව මෙහිදී මතක් කළ යුතුය. 2015 දී කොමිසම විසින් පල කළ ශාස්ත්‍රීය ආචාර ධර්ම හා වගවීම පිළිබඳ ප්‍රතිපත්ති ලේඛනයක පහත නිර්වචනය අඩංගු වේ: “විශ්ව විද්‍යාල ගුරුවරුන්ට පහත දේ කිරීම සඳහා ශාස්ත්‍රීය නිදහස පැවතිය යුතුය: ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතු බාධාකාරී මැදිහත්වීම් වලින් තොරව කිරීමට, සිය ශාස්ත්‍රීය කටයුතු වලදී විවෘත හා නම්‍යශීලී වීමට, සිය වෘත්තියෙන් පරිබාහිර ක්‍රියාකාරකම් තුළින් බුද්ධිමය සහ වෘත්තීමය කුසලතා වර්ධනය කරගැනීමට.” නමුත් ඒත් සමඟම, විශ්ව විද්‍යාල ගුරුවරුන්ගේ වගවීම තහවුරු කිරීම සඳහා ‘වැඩ ප්‍රමාණය සහ වැඩ සම්බන්ධ ප්‍රතිමාන මාදිලියක්’ හඳුන්වා දීමටද යෝජනා කෙරේ. මෙම මාදිලියෙන් සිදු කරන්නේ පූර්වයෙන් නීර්ණය කරන ලද ප්රමිතීන් මත පදනම්ව සිදුකරන වැඩ වලට ප්‍රමාණාත්මක අගයක් ලබාදීමයි. ඊට අනුව විශ්ව විද්‍යාල ගුරුවරුන් සතියකට සම්පූර්ණ කරන සමස්ත වැඩ පැය ගණනින් පැය හතක කාලයක් ඔවුන්ට “සිය කැමැත්තේ හැටියට ක්‍රියාකාරකමක්” කළ හැකිය; ඊට මුදල් උත්පාදන ක්‍රියාකාරකම්ද ඇතුළත් වේ.
නමුත් දැන් වනවිට විශ්ව විද්‍යාල මට්ටමට පැමිණ ඇත්තේ මේ අතරින් ශාස්ත්‍රීය වගවීම පිළිබඳ නීති පමණි. නිදසුනක් ලෙස 2021 වර්ෂයේ යාපනය විශ්ව විද්‍යාලය මඟින් හඳුන්වා දුන් ‘ශාස්ත්‍රීය නිදහස පිළිබඳ ප්‍රතිපත්තිය’ ට අනුව “පුද්ගලයාගේ සහ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය දියුණුවට ශාස්ත්‍රීය නිදහස අත්‍යාවශ්‍ය වුවත්, තමුන් විසින් ඉටුකළ යුතු සේවය හා වගකීම් සෑම විශ්ව විද්‍යාල ගුරුවරයකුම පිළිගත යුතුය.” ඉන් අනතුරුව ශාස්ත්‍රීය ආචාර ධර්ම, ශාස්ත්රඥයකු නිමග්න වියයුතු විවාද හා කතිකා, සිසුන් සහ සේවා ස්ථානයේ අනෙකුත් පිරිස් කෙරෙහි ගෞරවය මෙන්ම විශ්ව විද්‍යාලය කෙරෙහි තිබිය යුතු ගෞරවය පිළිබඳවද මූලධර්ම සමූහයක් දක්වා තිබේ. කොමිසමේ මඟ පෙන්වීමට අනුව විශ්ව විද්‍යාල විසින් පනවා ඇති නව නීතියක් වන්නේ සමාජ මාධ්‍ය ජාලා වල විශ්ව විද්‍යාලයේ කීර්ති නාමය පළුදු වන ආකාරයේ මත දැක්විය නොහැකි බවයි. විශ්ව විද්‍යාල ගුරුවරුන් හා සිසුන්ට එරෙහිව මෙවැනි නීති අවි වශයෙන් භාවිතා කළහැකි වුවත්, පීඨ හා ශාස්ත්‍රීය මණ්ඩල මඟින් කිසිදු විචාරයකින් තොරව ඒවා සම්මත කරනු ලැබේ.
තවත් සමහර අවස්ථා වල ශාස්ත්‍රීය නිදහසට එල්ල වන බාධා වඩාත් සැඟවුණු ස්වභාවයක් ගනී. කොමිසමේ තත්ත්ව සහතිකකරණ රාමුව හොඳ උදාහරණයකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ තත්වය සහතික කිරීමට යැයි කියමින් විවිධාකාර ක්‍රියාකාරකම් සම්පූර්ණ කළ බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට විශ්ව විද්‍යාල පීඨ සහ දෙපාර්තමේන්තු වලට බල කරන අසාර්ථක උත්සාහයක් වන එය, උපාධිධාරී අධ්‍යාපනය වෙළඳපොළ අවශ්‍යතා වලට පෑහීම සාමාන්‍යකරණය කරයි. STEM විෂයන් ආශ්රිත පර්යේෂණ සහ වානිජකරණ හැකියාව ඉහළින් සළකන ජාතික සහ විශ්ව විද්‍යාල පර්යේෂණ දීමනා තුළින්, සමාජ සාධාරණත්වය අරමුණු කොට මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා වල කෙරෙන පර්යේෂණ අධෛර්යමත් කෙරේ. එසේම අපේ අනන්‍යතාවය විවෘතව විදහා දක්වන ඇඳුම් පැළඳුම්, ලිංගික චර්යා සහ ලිංගික සහ වාර්ගික අනන්‍යතා වැනි දේ නියාමනය තුළින් විශ්ව විද්‍යාල මඟින් සීමා කරනු ලැබේ.
විශ්ව විද්‍යාල ප්‍රජාවේ සියළු කොටස් වලට, එනම් එහි ධූරාවලියේ පහළින්ම සිටින්නන්ද ඇතුළුව, ශාස්ත්‍රීය නිදහස භුක්ති විඳීමේ හැකියාව තිබිය යුතුය. එහෙත් පරිවාස කථිකාචාර්යවරුන්, තාවකාලික කාර්ය මණ්ඩලය සහ උපාධි අපේක්ෂක සිසු සිසුවියන් වැන්නන්ට ඇත්තෙන්ම එවැනි නිදහසක් නැති තරම්ය. ශාස්ත්‍රීය සූරා කෑම සහ ලිංගිකමය වහල්බව වැනි දුර්භාවිතයන් විශ්ව විද්‍යාල ධූරාවලිය විසින් ප්රතිනිෂ්පාදනය කරයි. සමහර දෙපාර්තමේන්තු වල ඉගැන්වීමේ වැඩිම බර වැටී ඇත්තේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මත වන අතර, ඒ නිසා සිය පර්යේෂණ කටයුතු හෝ වෘත්තීය දියුණුව වෙනුවෙන් වැය කිරීමට ඔවුන්ට කාලයක් නොවේ. මේ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළහැකි සුරක්ෂිත හා අපක්ෂපාතී යාන්ත්‍රණ අල්ප හෝ නැත්තටම නැති අතර, ශාස්ත්‍රීය ජීවිතයෙහි නිමග්න වීම සඳහා වන අවස්ථාද කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට බොහෝ කොටම අහුරා තිබේ. නිදසුනක් ලෙස විවිධ කමිටු වල සාමාජිකත්වය දැරීම, රැස්වීම් වලදී සක්‍රීය දායකත්වයක් දැක්වීම, ශාස්ත්‍රීය සමුළු වල විශ්ව විද්‍යාලය නියෝජනය කිරීම වැනි අවස්ථා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට නොලැබෙන තරම්ය. කිසිදු රැස්වීමක් හෝ උත්සවයක් අදාළ අවසර ගැනීම් වලින් තොරව සංවිධානය කිරීමද ඔවුන්ට (හා සිසුන්ට) කළ නොහැක. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් එවැන්නක් සංවිධානය කිරීම සඳහා නිලධාරීන් අට දෙනෙකුගේ අත්සන් ලබාගත යුතු වේ. මෑතදී IMF සංවිධානය පිළිබඳ විවේචනාත්මක ස්ථාවරයක් පිළිබිඹු කරමින් සංවිධානය කළ සාකච්ඡාවක් අත්තනෝමතික ලෙස අවලංගු කරන ලදී.
ශාස්ත්‍රීය නිදහස වෙනුවෙන් ප්රගතිශීලී හඬක් නැඟිය හැකි සිසුන්ද සමහර අවස්ථා වල එය තර්ජනයට ලක්වන ආකාරයට කටයුතු කරනු දක්නට ලැබේ. නවක වදය පැහැදිලි උදාහරණයකි. එසේම සිසුන්ට කුමන ආකාරයේ රැස්වීම් සංවිධානය කළ හැකිද යන තීරණය ශිෂ්‍ය සංගමය විසින් පාලනය කරනු ලබයි. යාපනය විශ්ව විද්‍යාලයේ මෑතදී සංවිධානය කළ සාකච්ඡාවක් ශිෂ්‍ය සංගමයේ පීඩනය නිසා අවලංගු කිරීමට සිදුවූයේ එහි කථිකයා ගේ දේශපාලන මත වලට ශිෂ්‍ය සංගමය එකඟ නොවූ බැවිනි. එහෙත් ශාස්ත්‍රීය නිදහසට ඇති ලොකුම තර්ජන පවතින්නේ විශ්ව විද්‍යාලයට පරිබාහිර, වඩා පුළුල් දේශපාලන-ආර්ථිකය තුළ බව කිව යුතුය.
ශාස්ත්‍රීය නිදහසට ඇති බාහිර තර්ජන
ජීවිත කාලය පුරාවට රැකියාවක් තිබීම සහ විශ්ව විද්‍යාලයේ සේවය කරන්නන් විසින්ම පාලනය කිරීම ශාස්ත්‍රීය නිදහස සඳහා ඉතා වැදගත් කොන්දේසි දෙකක් වන අතර, දෙකම මේ වනවිට තර්ජනයට ලක්ව තිබේ. විශ්ව විද්‍යාල වෙනුවෙන් ඇති අරමුදල් කප්පාදු කොට ඒවා ව්‍යාපාර ස්ථාන ලෙස පැවැත්වීමට ගන්නා උත්සාහය තුළින් විචාරාත්මක චින්තනයේ මර්මස්ථාන ලෙස පැවතීමට විශ්ව විද්‍යාලයට ඇති හැකියාව පළුදු කරයි. ආදායම් ස්වයංව උත්පාදනය කරගැනීම බොහෝවිට සිදුකෙරෙන්නේ පාඨමාලා ගාස්තු මාර්ගයෙන් වන අතර, ඒ නිසා පාඨමාලා වලට සිසුන් ආකර්ෂණය කරගැනීමේ තරඟයක් පවතී. අරමුදල් කප්පාදුවට සමාන්තරව විශ්ව විද්‍යාලයේ සේවයේ යෙදෙන කෙටි කාලීන ගුරුවරුන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. ඒ අතරම තීරණ ගැනීමේ බලය පීඨ සහ ශාස්ත්‍රීය මණ්ඩල වල සිට පරිපාලනය සහ අරමුදල් සපයන පාර්ශ්ව (වාණිජ රැඟුම්කරුවන් ඇතුළුව) වෙත විතැන් වී තිබේ. වෙළඳපොළ සමඟ සමීප සම්බන්ධයක් පවත්වා ගැනීම තුළින් පර්යේෂණ න්‍යාය පත්‍ර වලට බලපෑමක් ඇතිවන අතර, සමහර මාතෘකා පිළිබඳ පර්යේෂණ කළ නොහැකි තත්වයක් හටගනී. එසේම නිමවුම්-පාදක අධ්‍යාපනය (outcome-based education) තුළින් අරමුණු කරන්නේ වෙළඳපොළ සඳහා සිසුන්ට අවශ්‍ය කුසලතා ලබාදීම නිසා, විචාරාත්මක චින්තනය පුහුණු කිරීමේ කොටස් විෂය නිර්දේශ වලින් ඉවත් වෙමින් පවතී.
දැනුම වෙනුවෙන් දැනුම ලබාගැනීම වෙනුවට, වෙළඳපොළට අවශ්‍ය සුවච කීකරු ශ්‍රම බලකායක් තැනීම උසස් අධ්‍යාපනයේ අරමුණ බවට පත්වෙමින් ඇත.
මෙයාකාර කළමනාකරණ මාදිලියක් ලංකාවේ විශ්ව විද්‍යාල වලටද හිමින් රිංගීමට පටන්ගෙන තිබේ. තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය එය සිදුවන ප්‍රධාන ආකාරයකි. ආර්ථික අර්බුද සන්දර්භය තුළ ස්ථිර පත්වීම් නතර කළ සමයේ පටන් අද දක්වා තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා කාර්ය මණ්ඩලයෙන් ඉගැන්වීම් කටයුතු කරගෙන යාමේ ප්‍රවණතාව තීව්ර වී තිබේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සහ ශාස්ත්‍රීය නිදහසට මෙම වෙනස්කම් වලින් ඇතිකරන බලපෑම තදින්ම දැනෙන්නේ විශ්ව විද්‍යාල ධූරාවලියේ පහළින්ම සිටින්නන්ටය. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට බැඳෙන සිසුන් ප්‍රමාණය ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩි වුවත්, ආහාර හා නේවාසික පහසුකම් වැනි දේවල මිල වැඩිවීමෙන් උසස් අධ්‍යාපනයේ බරපැන දැරීම අසීරු වන මොහොතක, සිසුන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ පා සිටී. එමඟින් සිදුවන්නේ අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස කප්පාදු වීම නොවේද?
අවසාන වශයෙන්
ශාස්ත්‍රීය නිදහස පිළිබඳ සාකච්ඡා වල ශාස්ත්‍රීය වගවීම අවධාරණය කිරීම වරදකි. අරමුදල් කප්පාදු කිරීම් සහ පෞද්ගලීකරණය දිගහැරෙන පසුබිමක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමත්, පරිපාලනයත් උත්සාහ කරන්නේ ශාස්ත්‍රීය නිදහස අඩු කිරීමටය. එහෙත් ඇත්තෙන්ම මේ අවස්ථාවේ පිළිතුරද ඇත්තේ ශාස්ත්‍රීය නිදහස තුළමය. සියළු සිසුන් සහ කාර්ය මණ්ඩලයට විවෘතව කතා කළහැකි වන ආකාරයෙන් බලය සමව බෙදී ගිය විශ්ව විද්‍යාල අවකාශයක් තැනීමට අප උත්සාහ කළ යුතුය. ශාස්ත්‍රීය නිදහස මෙයාකාරයෙන් භාවිතා කළහොත්, වගවීමට අදාළ ඉල්ලීම් පද්ධතිය ඇතුළෙන්ම – විශේෂයෙන්ම එහි පහළ ස්ථර වලින් – එනු ඇත.