අරුණි සමරකෝන්
ගයමි මෙලෙස මම මාගේ ඊශ්‍රයල සහ පලස්තීන ගායනා
මේ ලෝකය නුඹේ හෝ මගේ නොවේ
කොයිතරම් නම් විවිධ මිනිසුන් එහි වේද
ඒ විවිධ මිනිසුන් කොතරම් වේගයෙන් එහි ඒද
ඒ ගමනේ දී ස්ත්‍රීය ගේ ශරීරය විශ්වීය රක්ෂස්තානයකි
පිසාචයන් ට හෝ මිහිලෝල් සුසුමාදර්ශයන්ට
එය නිවහනේ ඇරඹුම මෙන්ම අවසානය ද වෙනු ඇත
රැගෙන යනු හෝ රක්ෂා කරනු ඇත අපව අත්පත් කරගෙන
අපේ කාලෙයේ ම මවුවරුන් විසින් මැවූ විශ්මය ජනිත අවකාශයකි එය
අප, අපවම අවලෝකනය කරගත හැකිද එලෙස
හුස්ම වැටෙන ඉළඇට කුඩුවේ සිට සියල්ල වෙත පවතින තණ්හාව
අවම කිරීම සාධාරණය කරන්නේ කෙළෙසද
(ජූන් ජෝඩන් : Poetry for Palestine)
අප්‍රිකානු-ඇමෙරිකානු ජාතික කිවිඳියක් වන ජූන් ජෝඩන්ගේ ශාස්ත්‍රධර අවධානය යොමුවූයේ පංතිය , ස්ත්‍රී-පුරුෂ භාවය , වාර්ගිකත්වය, සංක්‍රමණ, සහ වෙනත් අනන්‍යතා, ධනේශ්වර ව්‍යුහය තුළ නිරූපණය කිරීමේදී, ජනනය කරන දේශපාලනික සංකූලතා වෙතය. 1982 දී ලෙබනනයේ බේරුට් නුවරට තදාසන්න ප්‍රදේශ දෙකක පලස්තීන සරණාගතයින් මරා දැමූ අවස්ථාවක, ඇය ඉහත උපුටා දැක්වූ කවිය රචනා කරන්නීය. එහිදී පලස්තීන වැසියන්ගේ වේදනාව පමණක් නොව, ඔවුන් වෙනුවෙන් ඊශ්‍රායල රජයේ ප්‍රචණ්ඩ ප්‍රවේශයට අභියෝග කළ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් සහ අධ්‍යාපනඥයකු වූ ශුලමිත් කොනිග් ගේ ධෛර්යය පිළිබඳවද ඇය කතා කරයි. එවකට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ සිටියේ පුරුෂයින් 112 කට ස්ත්‍රීන් 8 ක් පමණක් වූ අතර, ලෙබනන පාර්ලිමේන්තුවේ එකදු ස්ත්‍රීයක් හෝ නොවිණි. එවන් තත්වයක් තුළ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නිර්මාණශීලී බලය භාවිතා කරමින් ස්ත්‍රීන් සිය ශරීර ප්‍රතිරෝධය දක්වන ආකාරය ජෝඩන් ලියා තබන්නීය. එම ජූන් ජෝඩන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේද පිළිබඳ සාකච්ඡාවේදී වැදගත් වන්නේ කෙසේදැයි යන්න කෙනෙකුට පැනයක් මතුවිය හැකිය.
මේ පිළිබඳ විභාග කිරීමේ අරමුණින් ලියවෙන මේ ලිපිය කොටස් තුනකට බෙදේ: පළමුවැනි කොටසින් සාකච්ඡා කෙරෙන්නේ ස්ත්‍රීවාදී දැනුම මඟින් ඉතිහාසය උගන්වන සහ ඉගෙන ගන්නා ආකාරය එදිනෙදා අත්දැකීම් ඔස්සේ දේශපාලනික ඉතිහාසය ප්‍රතිනිර්වචනය කරන්නේ කෙසේද යන්න පිළිබඳවය. දෙවැන්නෙන් ඉතිහාස අධ්‍යයනය සම්බන්ධ ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ මන්ද හා ඒවා කෙබඳු විය යුතුද යන්න විභාගයට ලක්කෙරේ. තුන්වැනි කොටසින් ලිපියේ සමාලෝචනය ඉදිරිපත් කෙරේ.
ඉතිහාසය හැදෑරීමේ ජූන් ජෝඩන්ගේ ක්‍රමයට අනුව ඓතිහාසික සිදුවීම් ඒවාට මුහුණ දුන් ආමුලික ප්‍රජාවන්ගේ කෝණයෙන් හැදෑරිය යුතුය. මන්ද, ඔවුන් බොහෝවිට එම සිදුවීම් නිර්මාණය කළ කාරකයින් නොව, ඒවාට බඳුන් වූ පිරිස වන බැවිනි. වෙනත් වචන වලින් කියන්නේ නම්, ඓතිහාසික සිදුවීම් අර්ථකථනය කළ යුත්තේ සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා අත්දැකීම් ආශ්‍රයෙනි. මේ කෝණයෙන් එක්සත් ජනපදය සහ එහි මිත්‍ර බලවේග විසින් මැද පෙරදිග සිදුකරන ලද මිලිටරි ව්‍යාප්ත වීම් සළකන ජෝඩන් ට ඒවා පෙනෙන්නේ ජාතීන් කිහිපයක පිරිමින්ගේ අධිපත්‍යයෙන් දිග හැරෙන්නා වූ නවලිබරල්වාදී, ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට වෙනස් බලපෑම් ඇතිකරන (gendered) දේශපාලන ව්‍යාපෘතීන්ලෙසය.
ජෝඩන් විසින් ගෙනෙනු ලබන මෙම ප්‍රවේශය සමාජවාදී-ස්ත්‍රීවාදී චින්තකයින් ගණනාවකගේ දායකත්වයෙන් පන්නරය ලබා ඇත. ඒ අතර මිලිටරි සබඳතා තුළින් නවලිබරල්වාදය නිරූපණය වන අයුරු පිළිබඳ ගවේෂණය කරන ඇන්ජෙලා ඩේවිස්, සින්තියා එන්ලෝ, නැන්සි ෆ්‍රේසර් සහ කිම්බර්ලි ක්‍රෙන්ෂෝ වැදගත් වේ. ඔවුන්ට අනුව මෙම මිලිටරි මාදිලි තුළ පුරුෂාධිපත්‍යය ප්‍රතිබිම්බනය වන්නේ එම ව්‍යුහයන් තුළ බහුතර පුරුෂයින් නිසා පමණක් නොව, ඒවා තුළින් බලය, බලාත්මක කිරීම සහ ආමුලික ප්‍රජාවන්ගේ ක්‍රමික බලරහිත කරවීම ප්‍රකට වන නිසාය.
ඔවුන් තවදුරටත් පෙන්වා දෙන පරිදි නවලිබරල් රාජ්‍යයේ මෙම බලපෑම දැකිය හැකි තවත් ක්ෂේත්‍ර තිබේ: අධ්‍යාපනය, සෞඛ්‍යය, සුබසාධනය, නිවාස පහසුකම් සහ පරිසර ප්‍රතිපත්ති වැනි ඒවාද බොහෝවිට නිර්මාණය වන්නේ ආමුලික ප්‍රජාවන්ගේ එදිනෙදා අත්දැකීම් නිසි පරිදි නියෝජනය කිරීමෙන් තොරවය. ඒ තුළින් නිර්මාණය වන ඉතිහාසයන්ද එම නිසා පන්තිමය, වර්ගවාදී සහ ස්ත්‍රී-පුරුෂ පදනම මත වෙනස් ස්වරූපයක් ගන්නා (gendered) ඒවා බවට පත්වේ.
ලංකාවේ වත්මන් සන්දර්භය තුළ සමහර ශ්‍රේණි සඳහා ඉතිහාසය අනිවාර්ය නොකිරීම ඇතුළු යම් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වැදගත් විවාද දිගහැරෙමින් තිබේ. සංවාදයේ වැඩි කොටස ඉතිහාසය අනිවාර්ය විෂයක් වියයුතුද නැද්ද යන කරුණ වටා භ්‍රමණය වුවත්, ඉතිහාසය ඉගැන්විය යුත්තේ ඇයි, කෙසේද, සහ එහි අන්තර්ගතය කුමක් වියයුතුද යන වඩා විචාරාත්මක ප්‍රශ්න වෙතද අපේ අවධානය යොමුවිය යුතුය. ඓතිහාසික ආඛ්‍යාන නිර්මාණයේදී කාගේ එදිනෙදා අත්දැකීම් මූලික තැනක් ගන්නේද යන කරුණ වෙත සාකච්ඡාව ගෙන යා හැකිවන්නේ එවිටය.
සාමාන්‍යයෙන් ඓතිහාසික ආඛ්‍යාන තුළ නියෝජනය වන්නේ බලය දරන්නන්ගේ හඬයි. යුද්ධය පිළිබඳ ස්ත්‍රීවාදී පාඩම් දොළහක් (Twelve Feminist Lessons of War) යන මැයෙන් 2023 දී ඇය පල කළ කෘතියක් තුළ සින්තියා එන්ලෝ දක්වන්නේ ස්ත්‍රීවාදී ඉතිහාසඥයන් සැමවිටම උත්සාහ ගන්නේ බලය දරන්නන් හා බලයට ප්‍රවේශය නැත්තවුන්ගේ එදිනෙදා අත්දැකීම් සැසඳීම තුළින් ඓතිහාසික කරුණු විමර්ශනය කිරීමට බවය. ලංකාවේ ඉතිහාසය ඉගෙනීම පිළිබඳ මාතෘකාව අරබයා මෙය වැදගත් ප්‍රශ්න මතු කරයි: ඉතිහාස විෂයය තුළ අපේ සිවිල් යුද්ධය චිත්‍රණය කර ඇත්තේ කෙසේද? එහි එදිනෙදා අත්දැකීම් කෙසේ නියෝජනය කොට ඇත්ද? මෙවැනි එදිනෙදා අත්දැකීම් සම්බන්ධයෙන් මූලිකම චරිත වන රාජිනි තිරාණගම වැන්නන් එවැනි විෂය නිර්දේශ තුළ කොහේ ස්ථානගත කොට ඇතිද?
එසේම ‘ජයග්‍රහණයක්’ ලෙස නවලිබරල්වාදී සන්ධාන මඟින් චිත්‍රණය කොට ඇති යුද්ධයේ අවසාන ප්‍රතිඵලය තුළින් තවදුරටත් මිලිටරීකරණය සඳහා කෙසේ ඉඩ සලසන්නේද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කිරීමෙන් ඉතිහාසයෙන් බලපෑමට ලක්වන්නේ කවුද යන්නත්, එය එම නිසා ස්ත්‍රී-පුරුෂමය, වාර්ගිකමය හා පන්තිමය වශයෙන් අපක්ෂපාතී නොවන්නේ කෙසේද යන්නත්, ඉතිහාසමය කරුණු ඒ අනුව වාස්තවික සත්‍යය ලෙස තේරුම් ගත නොහැකි බවත් අපට පෙන්වා දේ.
ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ
යුද්ධයක් අවසානයේ රජයක අවධානය සාමාන්‍යයෙන් යොමු වන්නේ භෞතිකමය සහ මානව සම්පත් සංවර්ධනයටයි. මින් දෙවැන්න, එනම් මානව සම්පත සැළකූ විට, පශ්චාත්-යුධ නවලිබරල්වාදී වෙළඳපොලට අවශ්‍ය ආකාරයේ කුසලතා ඇති ශ්‍රම බලකායක් නිපදවීම ඉන් හැඟවේ. වත්මන් ජාතික ජන බලවේග රජය දැන් මුහුණ දෙන අභියෝගයද එයයි. එම රාමුව තුළ දරිද්‍රතාවය, වැඩිවන රැකියා වියුක්තිය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය අරබයා පවතින සුබසාධන පිළිවෙත දිගටම පවත්වාගෙන යෑම සහ එන්න එන්නටම වියපත් වන ජනගහණයක පීඩන වලට මුහුණ දීම වැනි ව්‍යුහාත්මක කරුණු වලට මුහුණ දිය යුතුය.
මේවා ආමන්ත්‍රණය කිරීමේ ක්‍රමයක් වශයෙන් උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත්, ඒ යටතේ පුහුණු ශ්‍රමය වැඩිදියුණු කිරීමත් (විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ අංශයෙන්) අපේක්ෂා කෙරේ. නමුත් පෙර දැක්වූ ව්‍යුහාත්මක ගැටළු වලට පුහුණු ශ්‍රමයෙන් පමණක් පිළිතුරු දිය නොහැකිය. මන්ද, එම ප්‍රශ්න වල මුල ඇත්තේ ශ්‍රමයේ ස්වභාවයෙහි පමණක් නොව, ආර්ථික ප්‍රතිලාභ සහ ලාභය බෙදීයාමේ විෂමතා වලද වන නිසාය. එසේම බදු ප්‍රතිපත්තියටද – එනම් කාට කෙසේ බදු පැනවිය යුතුද යන කාරණය – මේ කරුණු සම්බන්ධ වේ.
පුහුණු ශ්‍රමය තැනීමේ ප්‍රයත්නයේදී එසේ පුහුණු වන ශ්‍රමිකයන්ට තත් කාලීන සමාජ ගැටළු පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේ අයිතියක් ඇතිබව රජය පිළිගත යුතුය; එසේම එම අයිතිය සාධනය කරගත හැකි පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුය. ශ්‍රම බලකායේ සැළකිය යුතු ප්‍රතිශතයක් වන කාන්තාවන්ගේ ශරීර වල සාමාන්‍ය ක්‍රියාවලීන් වන ආර්තවය හා ඒ ආශ්‍රිත දරිද්‍රතාව (menstrual poverty), ස්වස්ථතා අධ්‍යාපනය (hygiene education) සහ ආර්තවාභාවය (menopause) ඒ අතර ප්‍රධාන වේ.
සමාලෝචනය
අවසාන වශයෙන් මා අවධාරණය කරන්නේ ඉතිහාසය ඉගැන්වීම සහ ඉගෙනීම වඩාත්ම අර්ථාන්විත වන්නේ එදිනෙදා යථාර්ථයන් වටහාගැනීමට උපකාර වන ආකාරයේ විචාරාත්මක ක්‍රමවේද හා එය ගැළපුවොත් පමණක්ය යන කරුණයි. මෙම එදිනෙදා යථාර්ථයන්ට පාදක වන අත්දැකීම් වලට බඳුන් වන්නන් විවිධ බල ව්‍යුහයන්ගේ ඡේදන ලක්ෂ්‍ය වල සිටින්නෝය. එම ලක්ෂ්‍යය පිහිටි තැන අනුව ඉතිහාසය බවට පත්වන්නේ කාගේ හඬද යන්න පිළිබඳ වැදගත් කතාවක් කියවේ.
අධ්‍යාපනයට එදිනෙදා අත්දැකීම් මුසු කිරීමට අප අසමත් වුවහොත් ඉතිහාසය හුදු විස්තරාත්මක විෂයයක් වනු ඇත. එවිට එය ඉගෙන ගැනෙන්නේ පවතින බල ව්‍යුහයන් හා ආඛ්‍යාන තුළය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමේදී අධ්‍යාපනයේ අර්බුද අධ්‍යාපනය තුළින්ම පැන නඟින ඒවා ලෙස දකිනු වෙනුවට, නවලිබරල්වාදයට අදාළ ව්‍යුහාත්මක කරුණුද සැළකිල්ලට ගැනීම අත්‍යාවශ්‍ය වේ. මෙසේ ව්‍යුහාත්මක තත්වයන් තුළින් වත්මන් අර්බුද තේරුම් ගැනීමේ ප්‍රවේශය ජූන් ජෝඩන් වැනි ස්ත්‍රීවාදී චින්තකයින් අනුගමනය කළ මාර්ගයයි.
COVID-19 වසංගතය තුළින් මෙම ව්‍යුහාත්මක ප්‍රශ්න තීව්‍ර කොට, ලොව පුරා විප්ලවවාදී වාමාංශික චින්තනය නැඟ ඒමට අවශ්‍ය පදනම සකසා දුනි. මෙයින් පැහැදිලි වන කරුණක් වන්නේ ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් නොවන බවයි. තිරසාර විසඳුම් සඳහා අපගේ එදිනෙදා අත්දැකීම් වලට බද්ධ වූ, එසේම එම අත්දැකීම් හැඩගස්වන ව්‍යුහයන් දෙස විචාරාත්මකව බලන ප්‍රවේශයක් ද නැතුවම බැරිය.