උසස් අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා රාජ්‍ය අරමුදල් ලබාගැනීම 

අහිලන් කදිර්ගාමර් 

ලංකාවේ මහජන අධ්‍යාපන පද්ධතියේ සුවිශේෂී ශක්තියක් වන්නේ විශ්ව විද්‍යාල මට්ටම දක්වා නිදහස් අධ්‍යාපනය පැවතීමයි. බටහිර ඇතුළුව වෙනත් රටවල ශිෂ්‍ය ණය කන්ද දෙස බැලීමේදී අපේ රටේ තාරුණ්‍යයට නිදහස් අධ්‍යාපනය කෙතරම් ආශීර්වාදයක් දැයි පැහැදිලිව පෙනේ. එහෙත් උසස් අධ්‍යාපනයේ වර්තමාන ගමන් මඟ දෙස බැලූ විට පෙනී යන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල නිල වශයෙන් පිළිගැනීම ඔස්සේ පෞද්ගලීකරණයේ වාන් දොරටු හැර දැමූ විට, උසස් අධ්‍යාපනය බොහෝ දෙනාට දැරිය නොහැකි තරම් වියදම් සහිත දෙයක් වන බවයි. එමෙන්ම ඊට සමගාමීව පෞද්ගලික විශ්ව විද්‍යාල මඟින් රාජ්‍ය විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරුන් ආකර්ෂණය කරගැනීම නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ද හායනයට ලක්වනු ඇත. ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය මුහුණ දෙන අභියෝග බොහොමයකි: කාර්ය මණ්ඩල හිඟය, යටිතල පහසුකම් වල අඩුපාඩු සහ මහජනයාට සම්බන්ධ වියහැකි ආකාරයේ පර්යේෂණ සඳහා පවතින සහයෝගයෙහි මඳ බව ඒ අතර ප්‍රධාන වේ. මේ සියල්ලෙහි මූල බීජය වන්නේ කාලාන්තරයක් තිස්සේ පවතින ඌන අරමුදල් සම්පාදනයයි.

පසුගිය දශක එක හමාරක කාලය ඇතුළත අධ්‍යාපනය වෙනුවෙන් ලංකාව කළ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5% ත් 2% ත් අතර දෝලනය වී ඇත. දකුණු ආසියාවේ අධ්‍යාපනය වෙනුවෙන් අඩුම ආයෝජනය කරන්නේ ලංකාවයි. වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි දක්වා ඇති ආකාරයට මේ තත්වය වෙනස් කිරීමට අරමුණු කරයි:

“ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළින් දියුණු, මානවවේදී සහ වගකීම් සහගත සමාජයක් තැනීම සඳහා අවශ්‍ය ආකාරයේ ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබාදීම අරමුණු කරයි. මේ ඉලක්කය සපුරා ගැනීම සඳහා අධ්‍යාපනය කෙරෙහි මහජන ආයෝජනයේ වැඩිකිරීමක් සිදුකිරීමට අප අරමුණු කරන අතර, ක්‍රම ක්‍රමයෙන් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක ප්‍රමාණයක් දක්වා ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.” 

දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කරන ප්‍රමාණය 2% ක් බව සැළකූ විට මෙය ඉතා දුෂ්කර අභියෝගයක් බව පැහැදිලි වේ. 2026 සඳහා යෝජිත අයවැයේ එය 0.44% කි. එහෙත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙම අර්බුදය පෞද්ගලික අංශය දකින්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාප්ත කිරීමේ අවස්ථාවක් හැටියටය. අද ලිපිය තුළින් මා බලාපොරොත්තු වන්නේ අධ්‍යාපනය කෙරෙහි රාජ්‍ය ආයෝජනය වැඩි කිරීම සඳහා ඇති අවස්ථා පිළිබඳ විමර්ශනය කිරීමටය. එහිදී දළ දේශීය නිෂ්පාදිතයෙන් තවත් 1% ක ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීම සඳහා රජයට සළකා බැලිය හැකි පියවර කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරේ. 

ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් එල්ල වන ප්‍රහාර 

අධ්‍යාපනය කෙරෙහි රාජ්‍ය ආයෝජනය අඩුවීමේ පසුගිය දශක 2-3 ක ප්‍රවණතාවය හා සමගාමීව දිගහැරෙන තවත් ප්‍රවණතාවයක් නම්, රැකියා වියුක්තියේ මූලික හේතුව වශයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල හඳුනාගෙන තිබීමයි. ගෝටාභය රාජපක්ෂ රජය සමයේ මෙම ආඛ්‍යානය, විශේෂයෙන්ම ‘රැකියා නියුක්තියට නුසුදුසු උපාධිධාරියා’ පිළිබඳ කතාව, සමාජගත කළ ආකාරයට එරෙහිව කුප්පි සාමූහිකය විසින් මෙම තීරුවේ විවිධ ලිපි පල කරන්නට යෙදුනි. එවක අප තර්ක කළේ ගැටළුව මූලිකවම ඇත්තේ රටේ රැකියා වෙළඳපොලෙහි පවතින අවස්ථා සීමා වීම තුළ බවය. අද ආර්ථික අර්බුද සන්දර්භයෙහි එහි වලංගුතාව තවදුරටත් තීව්‍ර වේ. රටේ රැකියා අවස්ථා ජනනය කිරීම ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ වගකීමක් මිස උසස් අධ්‍යාපන ආයතන පිට පැටවිය හැකි කාර්යයක් නොවේ. එහෙත් ආර්ථික වර්ධනය සහ රැකියා ජනනය කරගත නොහැකි වූ විට කොයි ආණ්ඩුවත්  ‘රැකියා නියුක්තියට නුසුදුසු උපාධිධාරියා’ පිළිබඳ ආඛ්‍යානය පිටුපස හැංගෙන්නේ එය ඔවුන්ට පහසු නිසාය.  

මෙවැනි පසුබිමක, ව්‍යාපාර විසිනුත් මෙම ආඛ්‍යානය ම සමාජගත කරන්නේ ඇයි? මගේ දැක්ම අනුව ඊට හේතු තුනක් තිබේ:

පළමුවැන්න, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම තුළ එය ධනවත් පන්තියේ වරප්‍රසාදයක් බවට පත්වීම ව්‍යාපාරික ප්‍රජාවගේ පන්ති අභිප්‍රායන් හා සමපාත වීමයි. සමාජ අසමානත්වය අඩු කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන නිදහස් අධ්‍යාපනයෙහි වටිනාකම ඔවුහු ප්‍රතික්ෂේප කරති.

දෙවැන්න, අධ්‍යාපනය ලාභ ලැබිය හැකි ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කිරීම අරමුණු කරගත් කණ්ඩායමක් ව්‍යාපාරික ප්‍රජාව තුළ සිටීමය. පිටරටින් එන විය පැහැදම් කළහැකි සිසුන්ට අධ්‍යාපන අවස්ථා සලසා දීම, ලංකාවේ අවවරප්‍රසාදිත සිසුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට වඩා ඔවුන්ට වැදගත්ය. 

තුන්වැන්න, වෙනත් සමහර රටවල මෙන් නොව, ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව සිය සේවකයින් පුහුණු කිරීමට තමන්ම ආයෝජනය නොකිරීමයි. ඒ වෙනුවට ඔවුන් බලාපොරොත්තු වන්නේ වාණිජ අරමුණු ඉටුකරගැනීමට පුහුණු කරන ලද සිසුන් විශ්ව විද්‍යාල නිර්මාණය කරනු ඇති බවයි. ඒ අතින් ගත්කළ ඔවුන්ගේ අරමුණ අනුන්ගේ වියදමින් සිය ශ්‍රම බලකා අවශ්‍යතා ඉටුකර ගැනීම බව තර්ක කළ හැකිය. නිදසුනක් ලෙස ජපානය ගතහොත් ඔවුන්ගේ සම්ප්‍රදාය වන්නේ තමන් සේවයට බඳවා ගන්නා උපාධිධාරීන්ට අවශ්‍ය පුහුණුව තමන්ම ලබාදී, දීර්ඝ කාලීන සේවයට ඔවුන් අනුයුක්ත කරගැනීමයි. ඊට සාපේක්ෂව ලංකාවේ ව්‍යාපාර ප්‍රජාවගේ බලාපොරොත්තුව සිය ආයෝජනයකින් තොරව නිර්මාණය කරගන්නා ශ්‍රම බලකායක් කැමති කැමති ආකාරයෙන් බඳවා ගැනීම හා සේවයෙන් පහ කිරීම බව පැහැදිලිය.

අරමුදල් සොයාගැනීම

නිදහස් අධ්‍යාපනය ප්‍රසාරණය කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ සාධාරණ පැනයක් මෙහිදී මතුවිය හැකිය. ඒ සඳහා මා පහත යෝජනා කරන ආකෘති තුන සඳහා අවශ්‍ය අදහස් ලෝකයේ සමහර රට වලින් ගත්තත්, ඉන් ඔවුන්ගේ පද්ධතීන් මා සම්පූර්ණයෙන්ම පිළිගන්නා බවක් නොහැඟවෙන බවද මෙහිලා මතක් කළයුතුය.

පළමුවැන්න, බදු මුදල් අය කිරීමේදී උසස් අධ්‍යාපනය සඳහා වෙන්වන මුදලක් වෙනමම අය කළ යුතුය. නයිජීරියාව හොඳ උදාහරණයකි. එහි අධ්‍යපානයේ ප්‍රමිතිය හායනය වීම වළක්වා ගැනීම සඳහා 1988 දී පාර්ලිමේන්තු පනතක් මඟින් තෘතීයික අධ්‍යාපන භාරකාර අරමුදලක් හඳුන්වා දුනි. නයිජීරියාවේ ලියාපදිංචි කොට ඇති සියළුම සමාගම් වල ලාභයෙන් 2% ක කොටසක් ඒ ඔස්සේ අයකර ගැනේ. එහි අරමුණ වන්නේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය භෞතික පහසුකම්, අත්පොත් හා උපකරණ, පර්යේෂණ සහ ප්‍රකාශන, කාර්ය මණ්ඩල පුහුණු කිරීම් වැනි උසස් අධ්‍යාපන ආයතන වල ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය කරුණු වලට සහයෝගය ලබාදීමය. 

දෙවැන්න නෝඩික් කලාපයේ උසස් අධ්‍යාපන අරමුදල් මාදිලියයි. එම රටවල උසස් අධ්‍යාපන ආයතන සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනෙනුයේ ප්‍රගතිශීලී බදුකරණය තුළිනි. ධන බද්දක් ගැන ලංකාවේ අප සංවාදයකට එළඹ ඇති මේ මොහොතේ දේපල හා සුඛෝපභෝගී වාහන සඳහා වාර්ෂික බද්දක් පැනවීමට කාලය මෝරා ඇතිබව හැඟේ. 

තුන්වැන්න රජය සතුව පවතින භූමිය සහ වෙනත් දැනට භාවිතයට නොගන්නා නිශ්චල දේපල උසස් අධ්‍යාපන ආයතන වෙනුවෙන් ලබාදීමය. එක්සත් ජනපදයේ ඉතිහාසය තුළ මීට හොඳ නිදසුනක් තිබේ. 19 වන සියවසේ හඳුන්වා දුන් මොරිල් පනත් ප්‍රකාරව එවක සන්ධීය රජය සතුව තිබූ බොහෝ ඉඩම් මහජන විශ්ව විද්‍යාල සඳහා ලබාදුනි. එහිදී එක් එක් ප්‍රාන්ත රජයට ඒ සඳහා බලය ලබාදුන් අතර, එම ඉඩම් විකිණීම හෝ වෙනත් ආකාර වලින් ආයෝජනය කිරීමෙන් ලද මුදල් අදාළ විශ්ව විද්‍යාල සඳහා එකී ප්‍රාන්ත රජයන් විසින් ලබාදීම සිදුවිය. 1890 දී අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයින් සඳහා විශ්ව විද්‍යාල නිර්මාණය කිරීමේදීද භාවිතයට ගත්තේ මෙකී ප්‍රතිපාදන වේ. ලංකාවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ පවා ආන්තීකරණයට ලක්වූ මලයියහ ප්‍රජාවගේ උසස් අධ්‍යාපන අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම සඳහා අපට ඉතිහාසයේ මෙවැනි පරිච්ඡේද වලින් පාඩම් උගත හැකිය. 

පර්යේෂණ සහ සංවර්ධනය

අපේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දියුණු කළහැකි තවත් එක් ක්‍රමයක් නම් පර්යේෂණය කෙරෙහි ආයෝජන  වැඩි කිරීමය. මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සෑහෙන තරමේ අවධානයක් යොමුකොට තිබුණි:

“ශ්‍රී ලංකාව සිය වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වැය කරන්නේ 0.12% ක් පමණක් වුවද, ඊට සමාන භූ-දේශපාලන ලක්ෂණ සහිත මැලේසියාව 1% ක් ද, තායිලන්තය 1.2% ක් ද, වියට්නාමය 0.4% ක් ද වැය කරයි. දකුණු කොරියාව ඒ වෙනුවෙන් වැය කරන ප්‍රතිශතය 4.6% ක් වන අතර, ජපානය 3.6% ක් ද, ඇමෙරිකාව 3.5% ක් ද, චීනය 3% ක් ද වැය කරන්නේ ප්‍රගතියක් පෙන්නුම් කරමිනි. ලංකාවේ දැනට සිදුවන ඉතා සීමාසහිත පර්යේෂණ ද ආර්ථික සහ සමාජ සංවර්ධනය සඳහා නිසි පරිදි භාවිතා කොට නැත.”    

මේ අරමුණ සාධනය කරගැනීම සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල කෙරෙහි ආයෝජනය වැඩි කිරීම අත්‍යාවශ්‍ය වේ. ජාතික සංවර්ධනය ළඟා කරගත හැක්කේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් සිදුකෙරෙන පර්යේෂණ තුළින් පමණි. එහෙත් අද වනවිට පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා අරමුදල් මුළුමනින්ම වාගේ ගලා එන්නේ නව ලිබරල් අභිප්‍රායන් සහිත බාහිර දායකයින් සහ ලාභය පමණක් අරමුණු කරගත් පෞද්ගලික රැඟුම්කරුවන් ගෙනි. 

ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ මහජන උනන්දුව සහ අවබෝධය හීන වීමේ ප්‍රතිවිපාක ඉතා දරුණුය. අනුක්‍රමික ආණ්ඩු වල නවලිබරල් ප්‍රතිපත්ති පිළිබඳව ලංකාවේ පර්යේෂකයින් ප්‍රමාණවත් තරමින් ප්‍රශ්න කළේ නැත. මහ බැංකුවේ විදේශ ඒජන්ත භූමිකාවත්, අපේ විදේශ සංචිත කළමනාකරණය කිරීමේ දුර්වලතා හේතුවෙන් බාහිර ණය ගෙවීම පහර හැරීමට සිදුවීමත්, ණය අඩුකර ගැනීම සඳහා ජාතික අභිලාශ පාවාදීමත්, ණය ලබාදුන් පාර්ශ්වයන්ගේ අභිලාශ වලට ප්‍රමුඛතාව ලබාදෙන ආකාරයේ ප්‍රතිව්‍යුහගත කිරීම් නිසා අපේ වැඩකරන ජනතාවගේ විශ්‍රාමික අරමුදල් වලට දරාගැනීමට සිදුවූ පාඩුවත් යන මේ කරුණු ගැන අද වනවිටත් පවතින්නේ නිහඬතාවයකි. මෙවැනි පසුබිමක අපේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල පර්යේෂණ ධාරිතාව වැඩිකිරීමට අන් කවරදාටත් වඩා ප්‍රමුඛත්වය ලැබිය යුතුය. එහි වාසිය ඇත්තේ වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එහි ඇති දායකත්වය තුළ පමණක් නොව, අනාගත අර්බුද මඟ හරවා ගැනීමෙහිලා ත් ය. 

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *