අවදි කිරීමක්: අධ්‍යාපන ප්‍රතිපත්තිය දෙස දිත්වා සුළි කුණාටුවෙන් පසු නැවත හැරී බැලීම 

සුමති සිවමෝහන් 

දින දෙක තුනක කාලයක් ඇතුළත දිත්වා සුළි කුණාටුව විසින් අප සමාජයේ කර ඇති විපත අති මහත් ය. මුළු රටටම වාගේ එල්ල වූ එම ප්‍රහාරය නිසා සියවස් ගණනක් පැරණි ව්‍යුහයන් කඩා වැටී, වරක් සුරක්ෂිත යැයි සිතූ ප්‍රදේශ හානියට පැමිණවී තිබේ.   

වර්ෂාව තුරන් වී, ජල මට්ටම් අඩු ව, කඩ කාමර නැවත විවෘත වී, අපේ කරාම වලින් නැවත වතුර එන්නට පටන්ගෙන, එදිනෙදා ජීවිතය නැවත යථා තත්වයට පත්විය හැකිය. නමුත් එය පෙර තිබූ තත්වයම නොවේ; එය එසේ නොසැළකිය යුතුය. අප කිසිවකුට හෝ රජයට ‘සාමාන්‍ය පරිදි කාර්යයන් කරගෙන යෑම’ (business as usual) පිළිබඳ කතාකළ නොහැකි විය යුතුය. පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලාංකිකයෝ එකකට පසු එකක් අර්බුද වලට මුහුණ පෑහ. ඉන් සමහරක් ස්වභාවික ඒවා වූ අතර තවත් සමහරක් මිනිසා විසින් නිර්මිත ඒවා විය. නමුත් ඒ කොයික වුවත් අනුක්‍රමික රජයන්ගේ අදූරදර්ශී ප්‍රතිපත්ති මඟින් තීව්‍ර කරනු ලැබූ අතර, අප සමාජයේ පවතින ස්ත්‍රී-පුරුෂ භාවය සහ වාර්ගිකත්වය වැනි බෙදීම් මත පදනම් වූ ධූරාවලි මඟින් වඩාත් සංකීර්ණ කරවන ලදී. මේ මොහොතේ රජයේ මූලිකම ප්‍රමුඛතාවක් විය යුත්තේ වත්මන් විපතින් පසු තත්වය තුළ රට අළුතින් යන අත සළකා සිය ප්‍රතිපත්ති නැවත විමසුමට ලක් කිරීමයි.     

නවලිබරල් ආපදාවක් 

ආපදාවෙන් පසු තත්වය තුළ අපේ පැවැත්ම පිළිබඳ අතිමූලික ආකාරයේ ප්‍රශ්න පැන නැඟී තිබේ. මේ විපත යම්තාක් දුරකට හෝ පෘථිවියේ පරිසරය කළමනාකරණය කොට ඇති කෘර ආකාරයෙහි ප්‍රතිඵලයකි. අපේ ආර්ථිකයේ ස්වභාවය, භූමිය භාවිතා කරන හේතූන් වැනි දේ ගැන නැවත සිතා බැලීමට කාලය එළඹ තිබේ. බිඳ වැටුණු ජීවනෝපාය මාර්ග යළි නඟා සිටුවීමේදී මිනිසුන්ගේ සුබසාධනය සහ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රතිපත්තීන් මූලික කොට එය සිදුකළ යුතුය. දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති මෙවැනි ව්‍යසන වලට මූලිකම හේතුවක් ලෙස බොහෝ විචාරකයින් හඳුනාගෙන තිබේ. කඳුකරයේ සිදුවූ නාය යෑම් වලට දිත්වා කුණාටුවට එහා ගිය, සියවස් ගණනක් මුළුල්ලේ ගොඩනැඟුණු, භූමිය කළමනාකරණය කරඇති ආකාරය හා බැඳුනු ව්‍යුහාත්මක සාධක ද වගකිව යුතුය (https://island.lk/weather-disasters-sri-lanka-flooded-by-policy-blunders-weak-enforcement-and-environmental-crime-climate-expert/). තමන් ඉදිරියේ ඇති සීමා සහිත අවස්ථා භාවිතයෙන් ජීවනෝපායක් සකස් කරගැනීමට තතනන මිනිසුන් චේතාන්විතව හෝ එසේ නැතිව අවදානම් සහගත භූමීන් වල ගාල් කිරීමට සම්බන්ධයක් ද මේ ප්‍රශ්නයෙහි තිබේ.     

ආර්ථික වර්ධනය සඳහා කුමන ආකාරයකින් හෝ භූමිය අත්පත් කරගැනීමට දත කන නවලිබරල් ප්‍රතිපත්ති නිසා නාගරික සහ ග්‍රාමීය පරතරය වැඩිවන අතර, එහි කෙටි හා දිගු කාලීන ප්‍රතිවිපාක පිළිබඳ සිතාබැලිය යුතු වේ. එසේම මෙම ප්‍රතිපත්ති නිසා ආර්ථිකයේ කිසියම් හෝ ආකාරයක පණ වැද්දීමක් වූවාද යන්නත් පැනයකි. ආධාර සහ ප්‍රකෘතිමත් වීමට මුවා වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පීඩාකාරී පාලනයට නතුවූ අපට සිදුව ඇත්තේ ණය උගුලේ තවත් ගැඹුරට කිඳෙන්නටය. 2025 ඔක්තෝබර් මාසයේදී අහිලන් කදිර්ගාමර් ලියා තැබූ පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නිසා 2027 අග වනවිට “ලංකාව ඊළඟ අර්බුදයේ දොරකඩට පැමිණ තිබෙනු ඇත”. මහ බැංකුව සහ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය යන දෙකටද ඔහු දෝෂාරෝපණය කරන්නේ උද්ධමනය සහ තීව්‍ර වන දරිද්‍රතාවය සහිත පසුබිමක ඒවා මඟින් පනවා ඇති පොලී අනුපාතයන් දඬුවම්කාරී වන නිසාය. පසුගිය මාසයේදී රුපියලේ අගය අවප්‍රමාණය කිරීමට අපට සිදුවූ අතර, තවමත් අපේ විදේශ ආදායමෙහි මූලිකම ප්‍රභවය වන්නේ මැදපෙරදිග සේවය කරන කණ්ඩායමයි. මේ තත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා කළ රජයේ සාකච්ඡාවන් තුළ මූලිකත්වය දී තිබුණේ ආපදා සහන සැලසීම සහ යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනයට මිස, සිවිල් සමාජ කණ්ඩායම් වලින් ඉල්ලා සිටි පරිදි ‘ණය පිළිබඳ යුක්තිය’ (debt justice) ට නොවේ.     

රජය විලි ලැජ්ජාවකින් තොරව ධනවත් ව්‍යාපාරික ප්‍රජාවට සිය සහයෝගය නැවත වරක් පලකොට තිබේ. එහි වඩාත් කෘර පිළිබිඹුවක් වන්නේ ‘ශ්‍රී ලංකාව නැවත ගොඩ නැඟීම’ යන ගාම්භීර සම්පන්න නම යටතේ පිහිටවූ පශ්චාත්-ආපදා ප්‍රකෘතිකරණ කමිටුවේ සාමාජිකයින් ලෙස ඉහළ මට්ටමේ වාණිජ රැඟුම්කරුවන් කිහිප දෙනෙකු පත්කොට තිබීමයි. මෙය රටේ වැඩකරන ජනතාවට එල්ල කළ කම්මුල් පහරක් වැනිය. ආර්ථික වර්ධනය ලෙස අප වටහා ගන්නා දේ විප්ලවීය පරිවර්තනයකට ලක්විය යුතුය. නිදසුනක් ලෙස ආයෝජන අත්‍යන්ත ලාභය වෙනුවෙන් භාවිතා කරනු වෙනුවට, ඒවා සමස්ත සුබසාධනය වෙනුවෙන් යෙදවිය හැකිය. ‘තිරසාර සංවර්ධනය’ වැනි යෙදුම් තුළින්ද අර්ථය බැහැර වී තිබේ. ආර්ථිකය අප තේරුම්ගත යුත්තේ ජීවිතය, ජීවනෝපාය සහ පෘථිවියේ යහපැවැත්ම තිරසාර ව ගොඩනැංවීමේ ක්‍රමයක් හැටියට ය.  

ආපදා තත්වය නිසා මේ සියළු දේ නැවත සිතා බැලීමට අපට බල කෙරේ. මේ සම්බන්ධයෙන් වැදගත් අංශයක් වන්නේ අධ්‍යාපනයයි. මේ අවස්ථාවේ අධ්‍යාපනය මුහුණ පාන ප්‍රධාන අභියෝග දෙකක් තිබේ: එනම් අරමුදල් සම්පාදනය හා ප්‍රමුඛතා යන දෙකය. දෙසැම්බර් 2 වැනිදා වාණිජ මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය කියා සිටියේ නැවත ඉදිකිරීම් අභියෝග හමුවේ මෑතදී සම්මත කරගත් අයවැයට තමන් යළිත් කැපවන බවයි. එහෙත් ඒ අයවැයේ අධ්‍යාපනය සඳහා වෙනකොට ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.4% ක් වැනි සොච්චමකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙන වසරක් සඳහා මෙය ප්‍රමාණවත් නොවන්නේ එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා බොහෝ මුදලක් වැයවන නිසාය. ආපදා තත්වයෙන් පසු මේ වියදම තවදුරටත් ඉහළ යාම වැළක්විය නොහැක. 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 

ඉතා සුළු දැනුම්දීමේ ක්‍රියාවලියකින් පසු සහ කිසිදු මහජන අදහස් විමසීමකින් තොරව රජය හඳුන්වා දීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් පිටුවේ Transforming General Education in Sri Lanka 2025 යන මැයෙන් සොයාගත හැකිය. අග්‍රාමාත්‍යවරිය මෙම ප්‍රතිසංස්කරණ ඉතා පරිවර්තනීය යැයි ප්‍රශංසාවට ලක් කළත් (https://www.news.lk/current-affairs/in-the-prevailing-situation-it-is-necessary-to-act-strategically-while-creating-the-proper-investments-ensuring-that-actions-are-discharged-on-proper-policies-pm), මෙය ඇත්තෙන්ම දැනට තිබෙන ප්‍රතිපාදන වඩාත් නරක අතට හරවා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති පැකේජයක් බව කිව හැකිය. වෘත්තීය අධ්‍යාපනයට වැදගත්කම ලබාදීම වැනි යම් සාධනීය පියවර කිහිපයක් ගෙන තිබුණත්, එහි වඩාත්ම ප්‍රශ්නකාරී අංශ තුනක් මෙහිලා සාකච්ඡා කරනු කැමැත්තෙමි: 1) ඉතා අඩු වයසකදී විෂය දහරා වලට සිසුන් වෙන් කිරීම; 2) STEM අධ්‍යාපනයට මූලිකත්වය ලබාදීම; සහ 3) අර්ඝ (credits) පදනම් කරගත් විෂය ඒකක (modules) ක්‍රමයක් හඳුන්වා දීම.   

1. යට කී ලේඛනය පිරික්සූ විට පැහැදිලි වන්නේ විෂය දහර වලට සිසුන් වෙන් කිරීම කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයෙන් (junior secondary education) ඇරඹෙන බවය. එහිදී රැකියා අභිලාශ පරීක්ෂණයක් මත පදනම්ව ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරීම් සිදුකිරීමට සිසුන් යොමු කෙරේ. කනිෂ්ඨ ද්විතීයික සහ ජ්‍යෙෂ්ඨ ද්විතීයික I මට්ටම් වලදී මේ සඳහා අදාළ පාඨමාලා නිර්මාණය කිරීම මඟින් යෝජිත පද්ධතිය වඩාත් මුල්බැස ගැනීමට කටයුතු සලස්වා ඇත. මේ සඳහා පදනම් කරගන්නා මනෝමිතික පරීක්ෂණ පිළිබඳ ලිපියක් අප තීරුවේ දැනටමත් පළවී ඇත (https://kuppicollective.lk/psychometrics-and-the-curriculum-for-general-education/).   

2. ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය I කොටසින් සමත් වීම සඳහා විෂයයන් 5 කින් යුතු අවසාන විභාගයක් යෝජනා කොට ඇති අතර ඊට ප්‍රථම භාෂාව, ගණිතය සහ විද්‍යාව අයත් වේ. සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර වලට අදාළ කිසිදු විෂයයක් අනිවාර්ය කාණ්ඩයට අයත් නැත. ඉහත දැක්වූ විෂයයන් 5 අතරින් දෙකක් විකල්ප ලැයිස්තුවකින් තෝරාගත හැකිය. ඊට ඉතිහාසය හා භූගෝලය විෂයයන් දෙකක් වශයෙන් ඇතුළත් කොට ඇති මුත්, වෙනත් කිසිදු සමාජ විද්‍යා හෝ මානව ශාස්ත්‍ර විෂයයක් අයත් නොවේ. 

3. අර්ඝ (credits) පදනම් කරගත් විෂය ඒකක (modules) ක්‍රමය: උසස් අධ්‍යාපන ආයතන වන විශ්ව විද්‍යාල වල පවා අර්ඝ (credits) පදනම් කරගත් විෂය ඒකක (modules) ක්‍රමය සම්බන්ධ ගැටළු පවතී. එමඟින් ප්‍රවර්ධනය කරන්නේ ඉතා ඛණ්ඩනය වූ, ගැඹුර වෙනුවට සංඛ්‍යාත්මක වශයෙන් සාර්ථකත්වය තක්සේරු කරන ඉක්මන් ඉගෙනීමකි. මෙමඟින් විෂයයක පදනම ග්‍රහණය කරගැනීමටත්, ගැඹුරින් ඒ හා සංවාදයේ යෙදීමටත් සිසුවාට ඇති හැකියාව කප්පාදු කරයි.

විද්‍යාව හා බැඳුනු විෂයයන් සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර විෂයයන් වලින් වෙන් කිරීම ද ගැටළු සහගතය. මෙම විභේදනය නිසාය STEM විෂයයන් සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර විෂයයන් වලට සාපේක්ෂව ඉහළින් ඔසවා තැබෙන්නේ. විශ්ව විද්‍යාල මට්ටමේදී මේ දහරා දෙක එක් කිරීමට ප්‍රයත්න දැරී ඇති මුත්, උත්ප්‍රාසය වන්නේ ඒවාද සාර්ථක නොවීමය. මන්ද, එහි අරමුණු වූයේ අධ්‍යාපනික ඒවා නොව, පරිභෝජනය සඳහා ඛණ්ඩනය කිරීම බැවිනි. ඊට වෙනස්ව, අපේ සියළුම අධ්‍යාපනික සහ සංවර්ධන වැඩසටහන් සමාජමය හා සමාජ විද්‍යාත්මක ප්‍රවේශයකින් බැලීම ය කළ යුත්තේ. 

ස්වභාවික විපත් සහ ප්‍රජාව නැවත ගොඩ නැංවීම 

STEM සහ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර විෂයයන් අතර බෙදීමට ලඝු නොවූ විෂය නිර්දේශයක් අපට අවශ්‍ය වේ. දේශගුණික විපර්යාස හෝ පාරිසරික විනාශය පිළිබඳ විෂයයක් STEM හෝ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර හෝ ඒ දෙක එකතු කරන විෂයයක් ලෙස හෝ ඉගැන්විය නොහැක. එවැන්නක් සාර්ථකව ඉගැන්වීමට නම්, පරිසරය සහ ආර්ථිකය මහජන සුබසාධනය සඳහා මාර්ගයක් ලෙස දකින ආර්ථික සහ අධ්‍යාපනික ප්‍රතිපත්තියක් තුළින් එය ක්‍රියාවට නැංවිය යුතුය. අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ පදනම් විය යුත්තේ එවැනි අතිමූලික ආකාරයේ පදනමක් මත මිස, නවලිබරල් ප්‍රතිපත්ති සහ ලාභ අපේක්ෂාවෙන් වැඩ කරන ධනපති පන්තියට අවශ්‍ය කෙටි කාලීන අරමුණු මත නොවේ.

මා මෙය ලියන මොහොතේ දින ගණනක් පුරා පැවති වැසිබර, අඳුරු කාලගුණය පහවෙමින් හිරු කිරණක් දිදුලන්නට පටන්ගෙන ඇත්තේ විපතට පත් ජනතාවගේ සිත් වලට ද වඩා හොඳ කාලගුණයක් පිළිබඳ යම් බලාපොරොත්තුවක් එක් කරමිනි. ඒ බලාපොරොත්තුව සාමූහික, සමාජයීය එකකි. විපතට ලාංකිකයන් දැක්වූ ප්‍රතිචාරය ද හදවත උණුසුම් කරවන සුළුය. නැවත ගොඩනැඟීම සඳහා මේ සාමූහිකත්වය ඉතා හොඳ පාදමකි. ප්‍රතිපත්ති, විශේෂයෙන්ම ආර්ථික හා අධ්‍යාපන ප්‍රතිපත්ති, පිළිබඳ නැවත සිතා බැලීමේදී ජනතා අවශ්‍යතා සහ ඉල්ලීම් ඊට පාදක විය යුතුය.   

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *