කෞශල්‍යා පෙරේරා
රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල වලට කථිකාචාර්යවරු බඳවා ගැනීමේ කටයුතුවලදී අපි තවම අතීත කාලයේ සිටින්නෙමු. වර්තමාන යුගයේ සුදුසුකම් වර්ග වැඩි වී ඇති අතර, අන්තර්-විශයික අධ්‍යයන වර්ගද (inter-disciplinary) වැඩි වී ඇත. නමුත් තේරීම් පටිපාටි සහ ඇගයීම් නිර්ණායක අවම වශයෙන් 1990 දශකයේ අග භාගයේ සිටවත් නොවෙනස්ව පවතින්නේය. මේවායේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට පළමුව, දැනට භාවිතා වන බඳවා ගැනීමේ ක්‍රියාවලි මෙහි විස්තර කරමි. මේ ලිපිය විශ්ව විද්‍යාල කොමිෂන් සභාවට යටත් විශ්ව විද්‍යාල වලට පමණක් සීමා කරමි. එහෙත් මේ ගැටළු අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනද මුහුණ දෙන ඒවා විය හැකිය. තවද, වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ වල බඳවා ගැනීම්ද මීට වඩා වෙනස් වීමට ඉඩ ඇත.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරු බඳවා ගැනීම් වර්තමානයේ සිදු වන ආකාරය
රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ තනතුරු හෝ ශ්‍රේණි ස්ථර තුනකට බෙදෙන්නේය (මේ මූලික නිර්ණායක පමණි. එක් එක් නිර්ණායක තුල ඇති ප්‍රභේද මෙහිදී මම සාකච්ඡා නොකරමි).
- කථිකාචාර්ය (පරිවාස) – වසර හතරක මුල් උපාධියක් සමග බඳවා ගනු ලැබේ.
- කථිකාචාර්ය (තහවුරු නොකළ) – පශ්චාත් උපාධියක් ඇති එහෙත් ඉගැන්වීමේ පළපුරුද්දක් නොමැති අය බඳවා ගනු ලැබේ.
- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස පශ්චාත් උපාධි සුදුසුකම් සහ ඉගැන්වීමේ සහ පර්යේෂණවල වසර ගණනාවක පළපුරුද්ද ඇති අයෙකු බඳවා ගත හැකිය.
- මෙයට ඉහළින් මහාචාර්යවරු (වර්ග 4 ක්) සිටිති. ඔවුන්ගෙන් එක් තනතුරක් (පීඨ මහාචාර්ය – chair professor) පමණක් අයදුම් කර ලබාගත හැකි වේ – එය මෙහි සාකච්ඡා නොකරමි.
රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අවශ්‍ය ඕනෑම විටෙක ස්ථිර අධ්‍යයන කාර්ය මණ්ඩලයට පුද්ගලයන් බඳවා ගත නොහැක. පුරප්පාඩුවක් නිවේදනය කිරීමට පෙර, රජයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව දක්වා දිවෙන, මනස හිරිවැටෙන, මාස ගණනාවක කාලය නාස්ති කෙරෙන ක්‍රියාවලියක් හරහා මෙයට අනුමැතිය ලබා ගත යුතුය. අයදුම්පත් කැඳවීමේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රේණි දක්වා සියලුම තනතුරු ඇතුලත් කළ යුතුය. ඉන් පසු විශ්ව විද්‍යාලය විසින් පරිවාස හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුර සඳහා සුදුසුකම් ලත් සියලුම අපේක්ෂකයින් හට සම්මුඛ පරීක්ෂණයට ආරාධනා කරනු ලැබේ. උදාහරණයක් ලෙස, අධ්‍යයන අංශයට අවශ්‍ය ආචාර්ය උපාධියක් ඇති අයෙක් වුවද, ඒ නොමැති අයත් ඇතුළුව සියලුම ශ්‍රේණි සඳහා දැන්වීම් පළ කර සම්මුඛ පරීක්ෂණ පැවැත්විය යුතුය. ඇගයීමේ නිර්ණායකවල මුල් තැන දෙන්නේ මුල් උපාධියට ය (මෙම අමුතු සංසිද්ධිය ගැන වැඩි විස්තර පසුව). මේ සියල්ල කළ හැක්කේ විශ්ව විද්‍යාලවල බඳවා ගැනීම් අත් හිටුවා නොමැති කාලයකදී පමණි. මීට පෙර බොහෝ ආණ්ඩු මගින් මෙම බඳවා ගැනීම් ක්‍රියාවලිය තාවකාලිකව අත් හිටවූ අතර ඒ තත්ත්වය සාමාන්‍යයෙන් වසර ගණනාවක් කල් පැවතිනි.
ගැටළුව 1 – යල් පැනගිය ක්‍රියාවලි සහ ඇගයීම් නිර්ණායක
වසර විසිපහකට පෙර, මුල් උපාධියක් පමණක් ඇති පරිවාස කථිකාචාර්යවරයෙකු ලෙස මා බඳවා ගැනෙද්දී එය සාමාන්‍ය දෙයක් විය. එවිට සාමාන්‍යයෙන් සිදුවූයේ අපව එසේ බඳවා ගත් පසු, අප වසර කිහිපයක් රැකියා කර (හැකි නම් වැටුප් සහිත අධ්‍යයන නිවාඩු නම් වරප්‍රසාදය භාවිතා කර ලොව ඉහළ පෙළේ කීර්තිමත් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වී), පශ්චාත් උපාධියක් ලබා ආපසු පැමිණීමයි. රාජ්‍ය විශ්ව විද්‍යාල යනු ප්‍රධාන වශයෙන් මුල් උපාධියට ඉගැන්වීමේ ආයතන වන නිසා ආචාර්ය උපාධි හිඟ වූ කාලයකදී පරිවාස කථිකාචාර්යවරුන් බඳවා ගැනීම ප්‍රායෝගික විසඳුමක් වන්නට ඇත. ඒ කාලයේ පශ්චාත් උපාධියට මාර්ගය වූයේ තම විශ්ව විද්‍යාල රැකියාව හරහා ය. එහෙත් දැන්, පශ්චාත් උපාධි සුදුසුකම් ඇති අපේක්ෂකයන් ඉදිරිපත් වීම සහ විදේශීය පශ්චාත් උපාධි අවස්ථා සොයා ගන්නා ශාස්ත්රඥයින් විශ්වවිද්‍යාලයේ රඳවා ගැනීමේ ගැටළු තිබීම හේතුවෙන්, අධ්‍යයන මණ්ඩල පුරප්පාඩු පිරවීමේදී පශ්චාත් උපාධි සුදුසුකම් සහිත අයදුම්කරුවන් බඳවා ගැනීමට කැමැත්තක් විශ්ව විද්‍යාල වල වර්ධනය වෙමින් පවතී. ඒ නමුත් පුරප්පාඩු පිරවීමේදී ඇගයීම් ක්‍රමයට අනුව ප්‍රමුඛතාවය දිය යුත්තේ අපේක්ෂකයාගේ පශ්චාත් උපාධිවලට වඩා මුල් උපාධියටය. උදාහරණයක් ලෙස, මම අධ්‍යාපන පීඨයකට අයදුම් කළොත් භාෂා ඉගැන්වීම පිළිබඳ ආචාර්ය උපාධියක් තිබුනද, අධ්‍යාපනය සම්බන්ධයෙන් පර්යේෂණ කොපමණ කර තිබුනද, මගේ මුල් උපාධිය අධ්‍යාපන ක්ෂේත්රයෙන් නොවන නිසා මට එම රැකියාවට ඇති අවස්ථාව අඩුය. ‘පළමුව පළමු උපාධිය’ සංසිද්ධිය පෙන්නුම් කරන්නේ විසි ගණන්වලින් පසු පුද්ගලයකුගේ බුද්ධිය හා හැකියාව වර්ධනය වන බව අපේ විශ්ව විද්‍යාල නොසලකා හරින බවයි. විෂයයේ පෘථුල බව සහ ක්ෂේත්‍ර අතර තිබෙන සම්බන්ධතා ද මේ අවස්ථාවල නොසලකා හැරේ.
මේ ගැටළුවට රටේ බුද්ධි ගලනයත් අඩු කළ හැකි සරල උපක්‍රමයක් ඉදිරිපත් කළ හැක (එහෙත් මෙය විසඳුමක් නොවේ). එනම් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ චක්‍රලේඛයක් මගින් අපේක්ෂකයාගේ පළමු උපාධිය කුමක් වුවත්, අවශ්‍ය ක්ෂේත්රයේ ආචාර්ය උපාධියක් ඇතිනම් එයට ප්‍රමුඛත්වය දීම ය. මෙය පළමු පියවරක් පමණි. කෙතරම් හොඳින් සකසා තිබුණත්, ඕනෑම තේරීම් ක්‍රියාවලියක් හෝ ඇගයීම් නිර්ණායක් පක්ෂග්රාහී කර ගත හැකි බව අපි දනිමු. ඒ සමගම, මේ ආයතන තවත් ගැටළු ගණනාවකට මුහුණ දීමට ඉඩ ඇත. විශ්ව විද්‍යාල ද අනෙකුත් ශ්‍රී ලාංකික ආයතන මෙන්ම ගෝත්‍රික ප්රවණතා ඇති ආයතන වන නිසා තමන්ගේම ආදි ශිෂ්‍යයන් ට වැඩි මනාපයක් පෙන්වන්නට ඉඩ ඇත. කෙසේ වෙතත් ඊටත් වඩා හදිසියෙන් විසඳිය යුතු තවත් ගැටළු තිබේ. ඇගයීම් නිර්ණායක සම්බන්ධයෙන් ඇති ගැටළු එමටය. ඉන් එකක් වන්නේ නියාමන පටුවෙන් අර්ථ නිරූපණය කිරීමයි. උදා: උපාධියේ යෝග්‍යතාවය එහි ඇතුලත් පාඨමාලා නොසලකා එහි නාමය මත පමණක් තීරණය කිරීම. අපේක්ෂකයින්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරකරණය සහ අන්තර්-විෂයික අධ්‍යයන වල වැදගත්කම ගැන කුමන කතා කීවද, පරිපාලන අංශ සහ අධ්‍යයන අංශ සුදුසුකම් අර්ථනිරූපණය කරන්නේ පටු ආකාරයට ය. උදා: ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳ දැනුමක් ඇති බව පෙන්වීමට අපේක්ෂකයෙක්ට ඩිප්ලෝමාවක් හෝ උපාධියේ කොටසක් හැටියට මෙය පෙන්විය යුතුය.
ගැටළුව 2 – සාවද්‍ය ලෙස නියාමනය වූ උසස් අධ්‍යාපන ක්රමයක අවුල
සමකාලීන උසස් අධ්‍යාපනයේ ශීඝ්‍ර ව්‍යාප්තියේ සෘජු ප්රතිවිපාකයක් වන්නේ අනේක විධ සුදුසුකම් රැගෙන එන විශාල අයදුම්කරුවන් සංඛ්‍යාවයි. නම් සඳහන් කර ඇති උපාධිවල විවිධත්වය බැලූ විට සුදුසු අපේක්ෂකයෙකු තෝරා ගැනීමේ වගකීම අභියෝගයක් වුවද එය ඉතා වැදගත් කාර්යයකි. ඒ, රාජ්‍ය අංශයේ ස්ථිර සේවා නියුක්තිකයකු සේවයෙන් පහ කිරීම ඉතා අපහසු නිසාය.
පුළුල් ලෙස වෙනස් වන උපාධි වැඩසටහන්
වර්තමානයේ ශ්‍රී ලංකාවේ රැකියා අපේක්ෂකයෝ උසස් අධ්‍යාපන ආයතන වර්ග කිහිපයකින් උපාධි සුදුසුකම් (සමහර විට එකකට වඩා) රැගෙන එති. එනම්, විශ්ව විද්‍යාල කොමිෂන් සභාවට අනුබද්ධ රාජ්‍ය විශ්ව විද්‍යාලයකින්, වි.වි.කො.ස. ට බාහිර රාජ්‍ය විශ්ව විද්‍යාලයකින්, විශ්ව විද්‍යාලයක් නොවන රාජ්‍ය ආයතනයකින්, විදේශීය විශ්ව විද්‍යාලයකින් හෝ .පෞද්ගලික විශ්ව විද්‍යාල. ලෙස අප හඳුන්වන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් ලබාදුන් උපාධි ඔවුහු රැගෙන එති. එය ශ්‍රී ලංකාවේ සිට හෝ විදේශගතව හෝ මාර්ගගතව සහභාගී වී ලබාගත් උපාධියක් විය හැකිය. එම උපාධිය පෞද්ගලික උසස් අධ්‍යපන ආයතනයකට අනුබද්ධ විදේශීය විශ්ව විද්‍යාලයකින් හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයක බාහිර උපාධියක් ලෙස හෝ ‘වි.වි.කො.ස. අනුමත කල’ හෝ ‘අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කල’ එකක් විය හැක. එනම්, එය කිසි විටෙකත් විශ්ව විද්‍යාල පසුබිමක අධ්‍යාපනය නොලබා දේශීය පෞද්ගලික ආයතනයකින් මාර්ගගතව සහභාගි වී පමණක් ලබාගත් විදේශීය උපාධියක් විය හැකිය. මේ උපාධිවල විවිධත්වය (සහ ඒවායේ ගුණාත්මක භාවයේ වෙනස්කම්) දුටු විට කැරකැවිල්ල ඇති වන බව අමුතුවෙන් කිව යුතු නැත. අවාසනාවකට මෙන් දැනට ඇති ඇගයීම් ක්‍රමය යටතේ වි.වි.කො.ස. විසින් ‘පිළිගත්’ සියලුම උපාධි සඳහා නිර්ණායක වල ලබා දෙන්නේ එකම ලකුණු ප්‍රමාණයක් ය. උපාධියේ ප්‍රථමා සමාර්ථ වැනි දේ සම්බන්ධයෙන්ද එසේමය. උපාධි වැඩසටහන කෙතරම් ඉහල තලයේ හෝ පහල තලයේ වුවත්, අපේක්ෂකයක්ගේ හැකියා හෝ කුසලතා ආදිය පැහැදිලිවම වෙනස් වුවත්, අපේක්ෂකයින්ට තේරීම් නිර්ණායක වලදී ලකුණු ලැබෙන්නේ එකම ආකාරයටය.
පශ්චාත් උපාධි සුදුසුකම් සලකා බැලීමේදී ද ඊට සමාන ගැටළු වලට මුහුණ දීමට සිදුවේ. මගේ විෂය ක්ෂේත්රයේ නම් (සාමාන්‍යයෙන් සති අන්ත හෝ සවස පන්ති පවත්වන) දේශීය විශ්ව විද්‍යාලයකින් හෝ විදේශීය විශ්ව විද්‍යාලයකින් මාර්ගගතව ලබාගත් පශ්චාත් උපාධියකට වඩා ඉහල තලයේ විශේදීය විශ්ව විද්‍යාලයකින් ලබාගත් පශ්චාත් උපාධියට වටිනාකමක් ඇත. මෙය ප්‍රභූබව දැක්වෙන අදහසක් විය හැකි නමුත්, කොපමණ ඉස්තරම් ලෙස පවත්වාගෙන යන දේශීය පශ්චාත් උපාධියකින් වත් මෙරට විශ්ව විද්‍යාලයකින් ඔබට ලොව ඉහළ පෙළේ පශ්චාත් උපාධියකින් ලැබෙන අත්දැකීම් සහ ශාස්ත්‍රීය වර්ධනය ලබා දිය නොහැක – එනම්, අපට පොත් මිලියන සයක් ඇති පුස්තකාල, ජාත්‍යන්තරව පිළිගත් විද්වතුන්ගෙන් පිරි ඉගැන්වීම් හෝ උපාධි අධීක්ෂණ මණ්ඩල ලබා දිය නොහැක. අවාසනාවකට මෙන් බඳවා ගැනීම සඳහා ඇති ඇගයීම් ක්රමවලදී, ඔබ දන්නා ලාබම පෙළේ පශ්චාත් උපාධි සුදුසුකමටත්, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ හෝ හාවර්ඩ් හෝ ලයිඩන් විශ්වවිද්‍යාල වලින් ලබාගත් පශ්චාත් උපාධි සුදුසුකමටත් එක සමාන ලකුණු ප්‍රමාණයක් දෙනු ඇත.
ගැටලුව පැහැදිලියි, නමුත් විසඳුමක් තිබේ ද?
රාජ්‍ය විශ්වවිද්‍යාලවල බඳවා ගැනීම් නිර්ණායක සමකාලීන අවශ්‍යතා වලට අනුව වෙනස් විය යුතුය. නුසුදුසු, පහත් තලයේ (sub-standard) සුදුසුකම් ඉවත් කිරීමට උපයෝගී කරගත හැකි ඇගයීම් නිර්ණායක පමණක් නොව ඒවා භාවිතා කිරීම පිළිබඳ වඩාත් සංකීර්ණ ආයතනික අවබෝධයක් ද අපට අවශ්‍ය වේ. අපේ ආයතන (සහ අපේ රට) ප්‍රගතිය කරා යැවීමට නම් බඳවා ගැනීමේ ක්‍රියාවලි අතිශය ලෙස වැදගත් වේ. මෙනිසා, කුප්පි සාමූහිකය විසින් මීට පෙර ප්‍රකාශයට පත් කළ ‘උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සලකා බැලීම්’ හි යෝජනා කර ඇති නිර්දේශ මම මෙහිදී නැවත අවධාරණය කරමි:
- වඩා හොඳ සුදුසුකම් ලත් කථිකාචාර්යවරු රඳවා ගැනීම සඳහා බැඳුම්කර රෙගුලාසි වඩාත් සාධාරණ වන පරිදි වෙනස් කිරීම.
- සුදුසු සුදුසුකම් ලත් අපේක්ෂකයින් බඳවා ගැනීම සඳහා අන්තර්-ක්ෂේත්‍ර සහ බහු-ක්ෂේත්‍ර පුහුණුවේ වර්තමාන යථාර්ථ පිළිබිඹු වන පරිදි බඳවා ගැනීමේ නිර්ණායක යාවත්කාලීන කිරීම.
- විශ්වවිද්‍යාල පරිපාලනය විසින් කෙරෙන බඳවා ගැනීමේ ක්‍රියාවලීන් වල විනිවිදභාව තහවුරු කිරීම.



