එරන්දිකා සිල්වා
#GoHomeGota ලංකාවේ පශ්චාත් යටත්විජිත ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්වී ඇත. රජ පෙලපත්වාදී, ඥාති සංග්‍රහයෙන් භරිත රෙජිමයක් බලයෙන් පහ කිරීම සඳහා වීදිබට මහජනතාවට උපහාරයක් ලෙසිනි මවිසින් එය මෙතන යොදාගන්නේ. නමුත් රාජපක්ෂ පොදු සතුරාට එරෙහිව සියලු පුරවැසියන් එකතු වී ඇති මෙවැනි අවස්ථාවක අරගලය තුල භාවිතා වන ආඛ්‍යාන පිළිබඳ විමසිලිමත් වීමද වටී. මෙහිදී ‘අරගලය’ යන පදය තුළ සමජාතීය නොවන කොටස් වල එකතුවක් පවතින බව ආරම්භයේදීම පිළිගනු කැමැත්තෙමි.
#GoHomeGota අරගලයක්ද? නැතිද?
මේ වනවිට දිග හැරෙන අරගල සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ ඒවා කොතරම් දුරට අරගලවාදී ස්වරූපයක් දරන්නේද යන්නයි. සමාජ මාධ්‍ය තුළ සමහර අවස්ථා වල ඒවා විවේචනයට ලක්වන්නේ එතරම් ‘සීරියස්’ නොමැති වීමේ පදනම මතය. මෙවැනි විවාද මඟින් අරගලය දෙකඩ වේ. එමඟින් විරෝධතාව ප්‍රකාශ කිරීමට ඇති විකල්ප සම්බන්ධයෙන් සීමා පැනවීමක් සිදු කරයි. නිදසුනක් ලෙස, සමාජ මාධ්‍ය තුළ මේ දිනවල බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇති සටන් පාඨයකින් ඉල්ලා සිටින්නේ ‘අරගලය ආතල් එකක් කර නොගන්න’ ලෙසයි. නමුත් ප්රශ්නය වන්නේ විවිධාකාර අවශ්‍යතා, අරමුණු, හැඟීම්, සටන්, සහ හේතූන් සහිත විෂමජාතීය කණ්ඩායමකින් අපට එකම ආකාරයක ප්‍රතිචාර බලාපොරොත්තු වියහැකිද යන්නය. මෙම අර්බුදය ඉතාම වෙනස් ආකාරයේ ජීවිත සියල්ල එක තැනකට ගෙනැවිත් ඇති බව සත්‍යයක් වුවත්, අර්බුදයේ බලපෑම සියළු දෙනාට එකම අයුරින් නොදැනෙන බව අප සිහිතබා ගත යුතුය. ඊට සහභාගී වන සියළු දෙනා අරගලයට සම්පතකි. අරගල කිරීමේ අච්චුවක් නැත; කළ යුත්තේ එහි විවිධත්වය වැළඳ ගැනීමය.
#GoHomeGota සමජාතීකරණය කිරීමට උත්සහ දැරීමේ අනතුර
මෙම අරගලය සමජාතීකරණය කිරීම තුළ එහි ශක්තිය සහ බලපෑම්සහගත බව දියාරු කෙරේ. මර්දනයක් දියත් වුවහොත් මධ්‍යම නායකත්වය ඉවත් කිරීම තුළින් මහජන ව්‍යාපාරය අවසන් කර දැමීමේ හැකියාව පවතී. එබැවින් විවිධත්වය සහ විෂමජාතිකත්වය තුළින් අරගලය තවදුරටත් ශක්තිමත් වන බව මතක තබාගත යුතුය. සමජාතීකරණයෙහි ඇති තවත් අනතුරක් නම් සමාජයේ දැනට පවතින පීඩාකාරී ව්‍යුහයන් සහ ධූරාවලීන් ප්රතිනිෂ්පාදනය වීමේ ඉඩක් පැවතීමයි.
#GoHomeGota සහ සමානාත්මතාවය: ලිංගභේදය සහ කුලය මත පදනම්ව සිදුකරන වෙනස්කම්
මහජනතාව විසින් ආණ්ඩුව මත එල්ල කරන පීඩනය ඉතා අගය කළයුතු දෙයක් වුවත්, මහජනතාව ලෙස අප පිළිබඳවම ආවර්ජනයක් කිරීමද අවශ්‍යය. නිදසුනක් ලෙස ‘ගෝටාගේ අම්මට එන්න කියපිය’ සහ ‘ගෝටාගේ ….. ඥානක්කගේ කටේ’ වැනි යෙදුම් තුළ 1) ගෝටාගේ මව මත දියත් කිරීමට බලාපොරොත්තු වන ශාරීරික සහ සහ ලිංගික හිංසනයත් 2) ඥානක්කගේ වශී බලයත් පිළිබඳව යම් ආකාර ස්ත්‍රී-විරෝධී ආකල්ප සන්නිවේදනය කරයි.
එසේ භාවිතා වන තවත් යෙදුමකි ‘අඩෝ නාට්ටාමි අඩු කුලේ උපන්…’ යන්න. එමඟින් කුලවාදය, පන්තිවාදය සහ ඒ හා සබැඳුනු අවඥාව යන දේ සංකේතවත් කරයි. ප්රශ්නය වන්නේ මෙවැනි යෙදුම් වලට මූලික වන, ශතවර්ෂ ගණනාවක් තිස්සේ අප සමාජයේ ඔඩුදුවා තිබෙන පීඩාකාරී ව්‍යුහයන් වලින් විප්ලවීය මොහොතක් කෙසේ පන්නරය ලැබිය හැකිද යන්නයි. අද අප වීදි බැස තිබෙන්නේත් පීඩනයට එරෙහිව නොවේද? මෙවැනි යෙදුම් භාවිතය මඟින් සිදුවන්නේ සමාජයේ ආන්තීකරණයට ලක්වූ කණ්ඩායම් සමානාත්මතාව වෙනුවෙන් යැයි කියන අරගලය තුළ තවදුරටත් බැහැර වීමයි.
සමානාත්මතාව පිළිබඳ කතා කරන විට මේ අරගලය කාගේදැයි කල්පනා කිරීමද වටී. නගර මධ්‍යයන්හි දිගහැරෙන විරෝධතා ව්‍යාපාර ඉන් දුරබැහැර තැන් වල වෙසෙන, විවිධාකාරයෙන් ආන්තීකරණයට ලක්වූ කණ්ඩායම් වලට සමාජමය වශයෙන් දුරස්ථය. ඒ අතර සිංහල කතා නොකරන පිරිසත්, තාක්ෂණයට ප්‍රවේශය නොමැති පිරිසත් ප්‍රධාන වේ. එමෙන්ම අරගලය තුළ ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන අධිපති සිංහල-බෞද්ධ කතිකාවේ බලපෑම තුළින් දෙමළ ආඛ්‍යාන බොහෝ දුරට මකා දමනු ලබයි. පසුගිය වසර දෙක යාපනයේ ජීවත් වීමෙන් මේ පිළිබඳ මගේ දැක්ම පුළුල් වී ඇත. දශක ගණනාවක් යාපනයේ ජනතාව සිදුකළ අරගල සම්පූර්ණයෙන්ම වාගේ ගණන් නොගැනුණු තත්වයක් තුළ #GoHomeGota ඔවුන්ගේ පීඩාකාරී අත්දැකීම් වලට නිසි තැනක් ලබාදෙන බව අපට අවංකව පැවසිය හැකිද?
රජුන් සහ සාහසික පාලකයන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව:
#GoHomeGota වල ප්‍රධානතම සටන් පාඨය තුළ රජ පෙලපත්වාදය, ඥාති සංග්‍රහය, ඒකාධිපතීත්වය සහ දූෂණය යන ඒවා මුලිනුපුටා දැමීම අඩංගු වුවද, ඒ සඳහා යොදාගන්නා සමහර සටන් පාඨ වල මෙම මූලික අරමුණම අවතක්සේරු කරන ආකාරයේ අදහස් ගැබ්වී ඇත. නිදසුනක් ලෙස ‘කටින් පුටින් – වැඩ ටිං ටිං’ යන්න කිහිප අයුරකින් ප්රශ්නකාරීය: ටිං ටිං ඇත්තෙන්ම ධර්මිෂ්ඨ, නීතිගරුක, ගෞරවාන්විත මිනිසෙකි. අනෙක් අතට පුටින් අහන්කාරෝන්මාදයෙන් පෙලෙන, යුක්රේනයට බෝම්බ ගැසීමට රුසියාව මෙහෙයවන නායකයෙකි. එහෙත් මෙම සටන් පාඨයෙන් පුටින් ටිං ටිංට වඩා ඉහළින් ඔසවා තැබීමක් සිදුකරයි. අපට අවශ්‍ය පුටින් වැනි නායකයෙක්ද? මෙවැනි සටන් පාඨ වල අනතුර ගැන නැවත සිතා බැලිය යුතුය.
තවත් උදාහරණයක් ලෙස ‘මඟුල් ඇතා මැරුණම රජාට අසුබයි කිව්වේ කට කහනවට නෙමෙයි නන්දසේන’ දැක්විය හැකිය. මෙම උපහැරණය තුළ ගෝඨාභය ජනපති රජෙකුට උපමා කිරීමද, එම රජුගේ වාසනාව බෞද්ධාගමට ඉතා සමීප ශුද්ධ වූ හස්තියෙකුට ගැට ගැසීමද හරහා සිංහල-බෞද්ධ රාජාවලිය පිළිබඳ ආඛ්‍යානයක් ව්‍යංගයෙන් වුවද මතු කරයි. සංස්කෘතික වශයෙන් එය සියලු දෙනාට සමීප නොවේ.
#GoHomeGota හි භාවිතා වන නිර්මාණශීලී සටන් පාඨ වලින් අරගලයට දක්වන දායකත්වය අවතක්සේරු කළ නොහේ. නමුත් ඒවා මඟින් සමහරවිට අචේතාන්විතව වුවත් ප්රතිනිෂ්පාදනය කෙරෙන බල සම්බන්ධතා ගැන අප ප්‍රවේසම් විය යුතුය. මේවායින් එළියට එන්නේ මෙතෙක් කල් සිරකරගෙන සිටි පුරවැසි අසහනය බව සැබෑය. එම අරගලයේ නිරතව සිටිමින්ම ස්වයං-විවේචනයක යෙදිය හැකි බව ඇත්තෙන්ම අධ්‍යාපනයෙන් අපට ලබාදෙන මහා වරප්රසාදයකි. කුප්පි කතා තීරුවේ ලිපියක් පල කළ මා මිතුරු අනුෂ්කා කහඳගමගේ විසින් භාවිතා කළ වදන් මෙතැනදී උපුටා දැක්වීම වටී: “මොහොතකට නතර වී මෙම තත්වය විශ්ලේෂණය කිරීමේ වරප්‍රසාදය මට ලබාදුන් නිදහස් අධ්‍යාපනයටත්, බදු ගෙවීමෙන් එහි බරපැන දැරූ මහජනතාවටත් මගේ කෘතගුණය දක්වනු කැමැත්තෙමි.” ඉදිරියට යෑමේදී මෙම විවිධ ආඛ්‍යාන වලට හේතු පාදක වන කරුණු අප අවබෝධ කරගත යුතුය. ඒවා මඟින් සමාජයේ පවතින බෙදුම් රේඛා ප්‍රදර්ශනය කරයි. එම බෙදුම් වලට මූලික වන ලිංග භේදය පදනම් කරගත් වෙනස්කොට සැළකීම්, පන්තිවාදය, කුලවාදය, වර්ගවාදය වැනි රෝගකාරක අපට ආමන්ත්‍රණය කළහැකි නම්, අර්ථාන්විත ලෙස බහුත්වවාදී, සමානාත්මතාවයෙන් යුතු, යුක්තිගරුක ශ්‍රී ලංකාවක් ළඟා කරගත හැකිවනු ඇත.