රූත් සුරෙන්තිරරාජ්
මෑතක කොළඹදී පැවැත්වුනු ABBA කණ්ඩායමේ ප්‍රසංගය අරබයා මතුවූ කතිකාව තුළින් ලලිත කලා සහ විවේකය පිළිබඳ දැනට කලක් තිස්සේ පවතින ගැටළුවක් විදහා පායි. සමහර ජාතික ජන බලවේග දේශපාලනඥයන් ඊට සහභාගී වූ බවට වන කටකතා ද ඇතුළුව මේ ප්‍රසංගය සම්බන්ධව ඇති සමස්ත කතිකාවම ආමන්ත්‍රණය කිරීමට මට නොහැකි වූවත්, ඒ තුළ මතුවන අධිපති ආඛ්‍යානය රසවත් බව මට සිතුනි. එහි මූලිකම තර්කය වන්නේ, මේ අවස්ථාවේ ජනතාවගේ වඩාත්ම දැවෙන ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට යැයි පවසමින් බලයට පැමිණි කණ්ඩායමක සාමාජිකයින් වශයෙන්, ප්‍රසංගයක් වැනි ‘අත්‍යාවශ්‍ය නොවන’ දෙයකට සහභාගී වීම එම දේශපාලනඥයන් ගේ කුහක බව (hypocrisy) විදහා දක්වන බවයි.
කලා අංශයට, විශේෂයෙන්ම ලලිත කලා වලට මෙවැනි විවේචන අලුත් දෙයක් නොවේ. බොහෝවිට කලාකරුවන්ට සිය නිර්මාණ වෙනුවෙන් තර්ක කිරීමට සිදුවන්නේ ඒවා ‘අත්‍යවශ්‍ය නොවන’ දේවල් බවට මතයක් පවතින නිසාය. ඇත්තෙන්ම මේ දැක්ම තුළ වින්දනය සහ විවේකයට අදාළ ඕනෑම දෙයක් අනවශ්‍ය හා ඒ නිසාම පහසුවෙන් බැහැර කළහැකි ඒවාය. ඒ ක්ෂේත්රයන්හි වෘත්තියේ නියැලුනත්, ඒවා පිළිබඳව අධ්‍යයනය කළත් ඒ සියල්ලන්ටම මේ තර්කය පොදු බව පිළිගැනේ. මෙවැනි නිර්මාණ කිරීමට නම් ඒ සඳහා අවශ්‍ය කාලය සහ සම්පත් යෙදවීමේ හැකියාව තිබිය යුතු බවට වන මතයද මෙම තර්කයේ දිගුවකි.
මීට පක්ෂව ඓතිහාසික සාක්ෂිද බොහෝය. ලලිත කලා ආස්වාදනය කිරීමටත්, විවේක කාලය ඒ වෙනුවෙන් යෙදවීමටත් යම් මට්ටමක ජීවන රටාවක් – එනම් යම් සමාජ පන්තියක සාමාජිකත්වය – පැවතිය යුතු බවට පිළිගැනීමක් තිබේ. එවැනි පසුබිමකින් නොපැමිණෙන කලාකරුවන් සිටී නම් ඔවුහු උඩුගං බලා පිහිනූ අය වෙති; එසේත් නැතිනම් වාසනාවන්තයෝය.
මේ දැක්මෙහි මූලිකම ප්රශ්නය නම් එමඟින් පුද්ගලයා වැරදි නිගමන වලට යොමු කිරීමය. එනම් විවේකය හා වින්දනය එක්තරා පසුබිමකින් පැමිණෙන අයට පමණක් හිමි දෙයක් බවට වන නිගමනයයි. මෙම අදහස එහි තාර්කික අවසානය කරා ගෙන ගියහොත් ඉන් ඇත්තෙන්ම කියවෙන්නේ වැඩ කරන පන්තියේ සාමාජිකයින් සිය එදිනෙදා ද්‍රව්‍යමය අවශ්‍යතා වලින් එපිට කිසිදු දෙයක් වින්දනය කිරීම අවශ්‍ය නැති බවය. මෙය ඇත්තෙන්ම භයානක උපකල්පනයකි. මන්ද, එමඟින් එක් අතකින් ධනවත් පසුබිම් වල උපත ලබන්නන්ගේ ජීවිත වලට වැඩි වටිනාකමක් ලබාදෙන අතර, අනෙක් අතින් ගෞරවාන්විත මානව ජීවිතයකට විවේකය අත්‍යාවශ්‍ය නොවන සාධකයක් බවට සාවද්‍ය මතයක්ද සාධාරණීකරණය කරන බැවිනි.
මේ අදහස වර්තමාන සිසුන් සම්බන්ධයෙන් වඩාත් වැදගත් වේ. අප බොහෝවිට ඔවුන්ට විෂය බාහිර ක්‍රියාකාරකම් වල යෙදෙන ලෙස පවසන්නේ එමඟින් ඔවුන්ගේ අනාගත රැකියා අවස්ථා වඩා පුළුල් වන බැවිනි. එහෙත් මේ සාකච්ඡාව ඉන් එහා නොයන්නකි. මෙහි අදහස අපේ මුළු ජීවිතයම නිර්වචනය වන්නේ අප සතු රැකියාව හෝ ලබා ගැනීමට අප අරමුණු කරන රැකියාව මඟින් යන්නද? එම රැකියාවට සෘජුව අදාළ නොවන දේ ‘අත්‍යාවශ්‍ය නොවන දේ’ ලෙස සළකා බැහැර කළ යුතුද? මෙවැනි දැක්මක් සිසුන්ට ලබාදීමේ අවසාන ප්‍රතිඵලය කුමක්ද?
මම පෞද්ගලිකවද මේ ප්‍රවේශය භාවිතා කොට ඇත්තෙමි. මෑතදී පැවති මගේ පන්තියක අනාවරණය වූයේ එහි සිසුන් බොහොමයක් සිය පාසල් සමයේ විෂය බාහිර ක්‍රියා එතරම් කර නැති බවයි. මෙය දැනගත් වහා මගේ උපදෙස වූයේ ඔවුන් විශ්ව විද්‍යාලය තුළ හෝ එබඳු ක්‍රියා වල නිරත වියයුතු බවය. ඊට හේතු ලෙස කණ්ඩායමක වැඩ කිරීමට හුරු වීම, විවිධාකාරයේ පෞරුෂයන් සහිත පිරිස් සමඟ ගනුදෙනු කිරීම වැනි කුසලතා ඔවුන් ඉගෙන ගන්නා බවද දැක්වීමි. නමුත් පසුව ඒ පිළිබඳ කල්පනා කරන විට මට සිහිපත් වූයේ මගේ උපදෙස් තුළද කැටිව තිබුණේ ඔවුන්ගේ රැකියා නියුක්තියට සුදුසු බව (employability) වැඩි කිරීම අරමුණු කරගත් අදහස් මාලාවක් බවය.
මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම හරහා අප ව්‍යංගයෙන් වුවත් අපේ සිසුන්ට කියන්නේ රැකියා නියුක්තියට සෘජුව අදාළ නොවන වින්දනය හෝ තෘප්තිය වැනි නිර්ණායක, යම් දෙයක වැදගත් බව තක්සේරු කිරීම සඳහා අදාළ නොවන බවයි. එහෙත් එබඳු ක්‍රියා වල නිරත වීම පිළිබඳ වරදකාරී හැඟීමක් සිසුන්ට ලබානොදිය යුතුය. ඒ වෙනුවට, ලෝකය අත්දැකීමේ විවිධාකාර මාදිලි සහ ක්‍රම වැළඳ ගැනීම සාරවත් ජීවිතයකට මුල බවට වන අවබෝධය ඔවුන්ට ලබාදිය යුතු වේ.
අපේ රැකියාවට යම්කිසි දෙයක ඇති අදාළත්වය පිළිබඳ නොසිතා අප යම් ක්‍රියාවක් අන්තිමට කළ අවස්ථාව සිහිපත් කළ හැකිද? එම හැඟීම අපේ සිසුන්ට ලබා නොදීම තුළින්, ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය විඳීමේ හැකියාව අඩු කිරීමය අප කරන්නේ. යම් දෙයක විශිෂ්ටත්වයට පත්නොවීම ගැටළුවක් නොවන බව සිසුන්ට පෙන්වා දීම ඊටත් අභියෝගකාරීය. විෂය බාහිර ක්‍රියාකාරකම් වලට එනවිට මේ මානසිකත්වයේ තේරුම වන්නේ, සිය අධ්‍යාපනයට එපිටින් යමක් කරන්නේ නම් එම ක්‍රියාකාරකම විශිෂ්ට ලෙස කළයුතු බවත්, එසේ නොමැති නම් එය කිරීමෙහි අරුතක් නොමැති බවත්ය. තමාට තෘප්තියක් ලබාදෙන, එහෙත් තමා එතරම් විශිෂ්ට ලෙස ඉටු නොකරන ක්‍රියාකාරකමක නියැලීම, තමා විශිෂ්ට ලෙස ඉටු කරන එහෙත් තමාට එතරම් තෘප්තියක් ලබානොදෙන ක්‍රියාකාරකමක යෙදීමට වඩා හොඳ දෙයක් බව අපි අපේ සිසුන්ට පැවසිය යුතුය.
තද හැඟීමකින් තොරව යමක් කිරීම ඊට එළඹිය හැකි නරකම විදියයි. මේ හැඟුම් විරහිත භාවය නිසා තමා කරන දෙයෙහි ප්‍රතිඵලය ලෙස විකල්ප නිමවුමක් පරිකල්පනය කිරීම හෝ වෙනත් අයුරකින් එම ක්‍රියාකාරකම දැකීම වැනි භාවිතයන් සිසුන්ගෙන් බැහැර වේ. මේ ප්‍රවේශයට හොඳම බෙහෙත වන්නේ තමා කැමති දේ කිරීමට සිසුන් පෙළඹවීමයි. එම තද හැඟීම පවතින විටය යමක් ඉගෙන ගැනීමේ කුකුස සිසුවකු තුළ ඇති කළ හැක්කේ. එවැනි හැඟීම් නොමැති සිසුවකු තුළ එම කුකුස හෝ එමඟින් ඇතිකරන පිපාසය මතු නොවනු ඇත.
මෙවැනි විකල්ප ප්‍රවේශයක් සහිත සිසුවකුට ජීවිතයේ වැටීම් සහ පාඩු දරාගැනීමේ හැකියාවද වැඩිය. අප සාමාන්‍යයෙන් කරන වැරදි උපකල්පනයක් නම්, යමකට ආශාව ඇති තැන ඒ කරන දෙය සාර්ථක වන බවයි. එවැනි දැක්මක අසමත් වීම හෝ පරාජයට ඉඩක් නැත. එහෙත් අසමත් වීම ජීවිතයේම කොටසක් බව සිසුන්ට කියාදිය හැකි විකල්ප මාර්ග පිළිබඳ සිතිය නොහැකිද?
ABBA කණ්ඩායම අරබයා ඇති වූ කතිකාව, විෂය බාහිර හා විවේක ක්‍රියාකාරම් පිළිබඳ අපේ ආකල්ප මෙනෙහි කිරීමෙහිලා මට නිමිත්තක් විය. අපට ඇත්තෙන්ම සතුටක් ගෙන දෙන දේ හඳුනා ගැනීමට මෙවැනි ‘අත්‍යාවශ්‍ය නොවන දේ’ උපකාර කරයි. ජීවිතය වින්දනය කිරීමට විවිධ ක්‍රියාකාරකම් කිරීම පිළිබඳ වරදකාරී හැඟීමක් අප තුළ තිබිය යුතු නැත.