අධ්‍යාපනය පෞද්ගලිකරණය සහ සිසුන් හංවඩු ගැසීම

අනුෂ්කා කහඳගමගේ

දශක ගණනාවක දූෂණ සහ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව ණය උගුලක හසුව ඇත. එම ණය උගුලෙන් ගැලවීම සඳහා තාවකාලික පිළියම් සොයන මේ මොහොත පසුකර යාම සඳහා ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් ඕනෑම ණය සපයන්නෙකුගෙන් ණය ගැනීමට සූදානම්ව සිටින්නේ ඔවුන් කියන ඕනෑම කොන්දේසියකට යටත් වෙමිනි. එම කොන්දේසි යටතේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ, පෞද්ගලීකරණ ක්‍රියාවලිය ජනතාවගේ උදහසට ලක්වන බව දැන දැනම ය. මෙම පසුබිම තුළ රජය, විරෝධතා මැඩපැවැත්වීම සඳහා, රාජ්‍ය අධ්‍යාපන ක්‍රමය තුළ සිසුන් ඉතාම නින්දිත අයුරින් ලේබල් කරමින් සිටියි.

පාසල් සිසුන් ‘මතට ඇබ්බැහිවූවන්’ ලෙස

වත්මන් ලංකා පාලන තන්ත‍්‍රය සමග එකට බැඳී සිටින මාධ්‍ය අධිරාජ්‍යය ලංකාවේ පාසල් සිසුන් හානිකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම බහුලවී ඇති බව කියමින් වාර්තා කිරීම් රැල්ලක් ඇතිකරනු ලැබුවේ පාසල් සිසුන් සහ දෙමාපියන් භීතියට පත් කරමිනි. එක මාධ්‍ය ආයතනයක් හරහා හානිකර ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බව කියන පාසල් සිසුවියන් දෙදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරන වීඩියෝවක් පවා නිකුත් කරන ලදී. මෙම වාර්තා කිරීම් සමඟ ශ්‍රී ලාංකික සිසුන් අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ උවදුර පිළිබඳ සමාජයේ කතා බහක් ඇතිවන්නට විය. මාධ්‍ය උමතුව මධ්‍යයේ පොලිසිය පාසල්වල සිසුන්ගේ පාසල් බෑග් පරීක්‍ෂා කිරීමේ හදිසි වැටලීම් ක්‍රියාත්මක කරන්නට විය. අන්තරායකර මත්ද්‍රව්‍ය රටට ඇතුළු වන මාර්ග ගැන සොයා බැලීම වෙනුවට, පොලීසිය යොදවා පාසල්වල හදිසි වැටලීම් හරහා සිසුන්ගේ බෑග්වලට එබී බැලීමෙන් රජය, පාසල් සිසුන් අවමානයට හා බියට පත් කරන ලදී. සතියකට පසු අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළේ, පොලිස් සුනඛයින් යොදාගත් මේ හදිසි වැටලීම් පාසල් තුළ සිදුවන බව තමුන් නොදන්නා බවයි. පොලිසිය පාසල් වැටලූ බව අමාත්‍යවරයා නොදන්නේ නම්, මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළු වන මාර්ග රජය නොදැන සිටීමද අරුමයක් නොවෙයි. සිසුන් අන්තරායකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ අවදානමක් පවතින නමුත්, රජයට සියලු වරද සිසුන් මත පැටවිය නොහැක. තත්ත්වය පිළිබඳ වගකීම භාර ගැනීම සහ

හානිකර ද්‍රව්‍ය ඇතුළුවීම වැලැක්වීම සඳහා ක්‍රියා කරනවා වෙනුවට රජය පාසල් සිසුන් මත බර පටවා ඔවුන්ව “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්” ලෙස ලේබල් කරයි.

භික්ෂු ශිෂ්‍යයින් ‘බේබද්දන්’ ලෙස හංවඩු ගැසීම

මීළඟ උදාහරණය නම් හෝමාගම පිහිටි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව සිදුවූ සිද්ධියයි. පළවෙනි කතාවට සමාන ලෙස, ඒ මාධ්‍ය ජාලය මඟින්ම භික්ෂු විශ්වවිද්‍යාලයේ භික්ෂු සිසුන් අනර්ථකාරී ලෙස හැසිරුණු බවට වාර්තා කරනලදී. අලුතින් විශ්ව විද්‍යාලයට ඇතුළුවන භික්ෂු සිසුන්ට ගංජා සහ මත්පැන් භාවිත කිරීම සඳහා පැරණි භික්ෂු සිසුන් බල කිරීම මෙසේ එල්ලවූ චෝදනාවයි. මෙම මාධ්‍ය වාර්තාවට පසු විශ්ව විද්‍යාලය තුළ යම් පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමෙන් පසු පැරණි ළිඳක තිබී හිස් මත්පැන් බෝතල් සොයා ගන්නා ලදි. මින් පසු පැවති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම, බලධාරීන් විසින් භික්ෂු ශිෂ්‍ය නායකයින් ප්‍රශ්න කරනු දැකගත හැකි විය. ශිෂ්‍යයෙක් තවත් ශිෂ්‍යයෙක් මත සිදුකරන ප්‍රචණ්ඩත්වය යමෙකුට නොසළකා හරිය නොහැකි වුවත්, මේ මොහොතේම රාජ්‍ය විසින් එම සිද්ධිය මතුකර දැක්වීම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය.මීට සමගාමීව, භික්ෂු ශිෂ්‍යයින් සදාචාර විරෝධී ලෙස හැසිරෙන බව සහ එනයින්ම ඔවුන් අධ්‍යාපනය ලැබීමට සුදුසු නැති බව දැක්වෙන අදහස් සමාජ ගතවන්නට විය.

භික්ෂු ශිෂ්‍යයින් 2022 අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයින් වීම මෙතැනදී අමතකකළ නොහැකිය. පීඩාකාරී රාජ්‍යය විසින් භික්ෂු ශිෂ්‍යයින් පීඩාකාරී, ප්‍රචණ්ඩ ‘බේබද්දන්’ බව කියන්නට උත්සහ කරන්නේ මෙවැනි පසුබිමක් තුළය. රාජපක්ෂවරුන්ගේ රජයන්, තම දේශපාලනික අරමුණු සඳහා, විශේෂයෙන්ම ගැටුම් ඇති කිරීමටත්, ඡන්ද ජයග්‍රහණය කිරීමටත්, නිරන්තරවම භික්ෂූන් යොදාගන්නා ලදි. රාජපක්ෂ රෙජීමය, තම ජාතිවාදී න්‍යායපත්‍ර සඳහා නිරන්තරවම භික්ෂූන් යොදාගන්නා ලදි. රාජ්‍යය විසින්, ප්‍රචණ්ඩත්වය ඇතිකිරීමද ඇතුළුව, තම අරමුණු සඳහා භික්ෂූන් යොදාගන්නා විට, භික්ෂුන් ‘සදාචාර නොවන’ ලෙස රාමුගත කෙරෙන්නේ නැත. සමහර බෞද්ධ අන්තවාදී කල්ලි හෝ ඒවායේ ප්‍රචණ්ඩත්වයට විරුද්ධව බලධාරීන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. භික්ෂු ශිෂ්‍යයින්ගේ සදාචාරය හෝ විනය පිළිබඳ රාජ්‍යය මේ මොහොතේ වදවීම විහිළු සහගතය.

විශ්ව විද්‍යාල සිසුන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස හංවඩු ගැසීම

2022 අගෝස්තු 18 වනදින, පොලීසිය විසින්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්නා ලදි. එම පනත යටතේ ඔහුත් සමඟ අත් අඩංගුවට පත්වූ අනෙකුත් අය වූයේ හෂාන් ජීවන්ත සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු වූ ගල්වැව සිරිධම්ම භික්ෂුවයි. දේශපාලනිකව ක්‍රියාකාරී සිසුන් රාජ්‍යය විසින් ‘ත්‍රස්තවාදීන්’ ලස හංවඩු ගසනලදී. මෙය අහම්බයක් නොවෙයි. රාජපක්ෂ රෙජීමයට එරෙහි අරගලය විශාල වශයෙන් පන්නරය ලැබුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ සහභාගීත්වයෙනි. දූෂිත සහ පීඩාකාරී රාජ්‍යයට එරෙහි මහජන අරගලයේ ශක්තිය වූයේ ශිෂ්‍ය සංගම්ය. රාජ්‍යය විසින් මෙම සිසුන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස ලේබල් කරමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම අරඹන ලදි.

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සහ සිසුන් හංවඩු ගැසීම

රාජ්‍යය සහ රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය, සිසුන් මත්ද්‍රව්‍ය වලට, මත්පැන්වලට ඇබ්බැහි වූවන් සහ ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසන ලදි. රටේ ශිෂ්‍ය ප්‍රජාව, රාජ්‍යය විසින් පහත්කොට සලකනලද අතර, අපවාදයට ලක්කළේය. එසේ කිරීමෙන් රාජ්‍යය වඩාත් උපක්‍රමශීලී ලෙස ශිෂ්‍ය ප්‍රජාව සමාජයෙන් හුදකළා පිරිසක් ලෙස හුවා දක්වනලද අතර, ජනතාවට ශිෂ්‍ය ප්‍රජාව පිලිබඳ පවතින විශ්වාසය බිඳ වට්ටන ලදී. වඩාත් උත්ප්‍රාසාත්මක කාරණය වන්නේ හංවඩු ගසනලද සියලු සිසුන් – ‘මත්පැන් වලට ඇබ්බැහි වූවන්’, ‘මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්’ සහ ‘ත්‍රස්තවාදීන්’ – රාජ්‍ය අධ්‍යාපන ආයතනවලට අයත්වන අතර, කිසිවෙකු පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට අයත් නොවීමයි. මාධ්‍ය විසින් ප්‍රචාරණය කරන අදහස වන්නේ  රාජ්‍ය අධ්‍යාපන ආයතනවලට ඇතුළුව සිටින සිසුන් සදාචාරයට, නීතියට පටහැනි ලෙස ක්‍රියාකරන සහ ‘අකීකරු’ බවයි.  මේ අතර වත්මන් රජය විසින් පවතින ආර්ථික අර්බුදය අවසාන කිරීම සඳහා යෝජනා කරන ආර්ථික ප්‍රතිපත්තියේ එක් ප්‍රධාන අංගයක් වන්නේ ලංකාව ආසියාව තුළ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමයි. එසේ කිරීමේදී අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම රජයේ අරමුණයි.

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ රාජ්‍ය අපේක්ෂාව මෑත කාලීන එකක් නොවන නමුත්, එය නැවත පණ ගැන්වෙන්නේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස හුවා දක්වමිනි. 2022 ජූනි මාසයේදී, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපන ප්‍රතිපත්ති යෝජනාවලියක් ඉදිරිපත්කරන ලදී. මේ ප්‍රතිපත්ති යෝජනාවලිය හරහා උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම යෝජනා කෙරුණි. අනෙකුත් මධ්‍යම ආදායම් ලබන රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව උසස් අධ්‍යාපනය සඳහා අඩු මුදලක් වෙන් කරන ආකාරය පෙන්වන වගුවක් කමිටුව ඔවුන්ගේ වාර්තාවේ ඉදිරිපත් කරයි. මීළඟ කොටසින් ශ්‍රී ලංකාව, අනෙකුත් මධ්‍යම ආදායම් ලබන රටවලට වඩා උසස් අධ්‍යාපනය සඳහා රජයේ වියදම් මත රඳා පවතින ආකාරය ගෙනහැර දක්වයි. මෙම වගු දෙක ව්‍යාකූල සහ පරස්පර විරෝධී වෙයි. ඉන්පසු විග්‍රහ කෙරෙනුයේ, දුර්වල පාසල් අධ්‍යාපන ක්‍රමය විසින් විචාරාත්මකව සිතීමට නොහැකි නුපුහුණු ශිෂ්‍යයෙකු නිර්මාණය කරන ආකාරයයි. වාර්තාව අවසානයේ නිර්දේශ කරන්නේ, උසස් අධ්‍යාපනය සඳහා පුද්ගලික සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම, අරමුදල් හරහා පමණක් නොව, වෙළඳපොළට ගැලපෙන පරිදි විෂයමාලා ගැලපීම සහ සිසුන්ගේ “රැකියා ගැනීමේ හැකියාව” වැඩ කිරීම සඳහාත් අත්‍යවශ්‍ය බවයි. එක් පැත්තකින් උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට රජය බල කරන අතරම අනෙක් පැත්තෙන් එය රාජ්‍ය අධ්‍යාපන ක්‍රමයේ සිටින සිසුන් විවිධ ආකාරයෙන් හංවඩු ගසනු ලබයි. අදූරදර්ශී ප්‍රතිපත්ති සම්පාදනයේ සහ දූෂිත ක්‍රියාකාරිත්වය ආදී තමන්ගේම වැරදි වටහා ගැනීමට රාජ්‍යයට නොහැකි වන අතර, ඒ වෙනුවට අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම හරහා ප්‍රශ්නය විසඳීමටත්, ඒ වෙනුවෙන් තල්ලුවක් ලෙස රාජ්‍ය අධ්‍යාපන ආයතන අපකීර්තියට ලක් කිරීමටත් රජය උත්සහ දරයි.