ශාමලා කුමාර්
මෙම ලිපිය ‘අධ්‍යාපනය සඳහා පරිවර්තනීය ප්‍රතිපත්ති’ යන මැයෙන් ස්ත්‍රී පර්යේෂණ කේන්ද්‍රයේදී 2024 ඔක්තෝබර් 9 වැනිදා පැවැත්වූ දේශනයක් පාදක කොටගෙන ලියූවකි.
ගැටළුව
ආණ්ඩු මාරුවත් සමඟ පවතින ප්‍රවේසම්කාරී බලාපොරොත්තු සහගත බව තුළ, අධ්‍යාපනය අප දකින ආකාරය වෙනස් වන ලෝකයක් පිළිබඳ සිහින මැවීමට මම මටම ඉඩ හැරීමට සිතුවෙමි. එහෙත් පළමුව අපේ සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සුබසිද්ධිය උදෙසා අතිශයින් වැදගත් වන ප්‍රයෝගික කරුණු කිහිපයකට අවධානය යොමුකළ යුතු වේ: මේ අර්බුද අවස්ථාවේ සිසුන්ගේ ආහාර අනාරක්ෂිත බවට තවමත් අවධානය යොමුවී නැත්තේ ඇයි? පාසල් වල මධ්‍යහන ආහාර වේල ලබාදීම මෙතරම් ප්‍රමාද ඇයි? සිසුන් අතර එන්න එන්නටම වැඩිවන තමාටම හානි කරගැනීමේ ප්‍රවණතාව අඩුකිරීමට තවමත් ක්‍රියාමාර්ග ගෙන නැත්තේ ඇයි?
කොවිඩ් වසංගත තත්වය තුළ අප කුප්පි සාමූහිකය වශයෙන් ගමන ආරම්භ කරන විට, මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම අප අරඹා තිබූ අතර, අප උගන්වන සිසුන් හෝ ඔවුන්ගේ ගැටළු හඳුනා ගැනීමේ අවස්ථාවක් අපට නොතිබුණි. මාර්ගගත පන්ති වලට සහභාගී නොවන සිසුන්ගේ තත්වය පිළිබඳ ප්‍රශ්න මතුකළ සෑම අවස්ථාවකදීම ඊට ප්‍රතිරෝධයක් එල්ල වූ බැවින්, අපි දිගටම හුදෙකලාවේ අපේ ඉගැන්වීම් කටයුතු කරගෙන ගියෙමු. ඉගැන්වීමකට වඩා එතැන ඇත්තෙන්ම සිදුවූයේ විෂය නිර්දේශය රඟ දැක්වීමකි; අප වටා සිදුවෙමින් තිබූ මරණය හා විනාශය නොදැක්කා සේ රඟ දැක්වීමකි.
මේ වනවිටත් ඒ තත්වයේ වැඩි වෙනසක් සිදුව නැත. ආර්ථික අර්බුදය මධ්‍යයේ වේලක් හැර වේලක් කමින්, අනේක විධ කම්කටොළු නිහඬව දරාගන්නා සිසුන්ගේ ගැටළු පිළිබඳ විමසීමකින් තොරව අපි අපේ ඉගැන්වීම් කටයුතු දිගටම කරන්නෙමු. පලස්තීනයේ සිදුවන මරණ, කලින් එහි විශ්ව විද්‍යාල වශයෙන් තිබූ අවකාශ දැන් සුන්බුන් වී ඇති අයුරු, හෝ අපේම විශ්ව විද්‍යාල වල සිදුවන ප්රචණ්ඩත්වය පිළිබඳව අපි කතා නොකරන්නෙමු. අපේ අධ්‍යාපනය යථාර්ථයෙන් බැහැර, වියුක්ත එකක් බවට පත්ව තිබේ.
අධ්‍යාපනය තුළ පවතින අනේක අර්බුද විසඳීම අනුක්‍රමික රජයන් විසින් සිදුනොකළ නිසා, සිය දරුවන්ට පිළිගත හැකි මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමේ වැඩි බර පවුල් මත පැටවී ඇත. දරුවන් ‘හොඳ’ පාසලකට ඇතුළත් කරගැනීමට දෙමාපියෝ වෙහෙසෙති. අධ්‍යාපන පද්ධතියේ අසමානතා වලට මෙය හොඳ නිදසුනක්ද වන්නේය. සමහර පාසල් වලට මූලික පහසුකම් පවා නැති වුවත්, අනෙක් පාසල් වලට ඇතුලත් වීම සමාජයේ ඉහළටම ගමන් කිරීමට ප්‍රවේශ පත්රයකි. දිනෙන් දින වැඩිවන අධ්‍යාපන වියදම් දරාගැනීමට දෙමාපියන් වෙහෙසෙන්නේ සුබසාධන වැඩසටහන් විසින් ඔවුන් අත්හැර දමා ඇති නිසාය. ආබාධ සහිත සිසුන්ගේ තත්වය තවත් දරුණුය.
සිහිනයක්
අධ්‍යාපනයෙන් අපට තව යමක් බලාපොරොත්තු විය හැකිද? අප වඩා හොඳ අතට වෙනස් වියයුතු මුත්, එහි තේරුම කුමක්ද? අපේම අභිලාශ හා අප ජීවත් වන සමාජ ව්‍යුහයන් වෙනස් කරන තැනට අධ්‍යාපනය පරිවර්තනය වනු දැකීමට මම කැමැත්තෙමි. එසේම අපේ අවශ්‍යතා වලට ප්‍රතිචාරාත්මක වීමටද අධ්‍යාපනය පරිවර්තනය වියයුතුය. මගේ සිහිනය ආරම්භ වන්නේ අධ්‍යාපන අවකාශයන් සමාජ සාධාරණත්වය ප්‍රකට කරන මෙවලම් හා ආයතන බවට පත්වන තැන සිටය. ඒවායෙහි සිදුවන ශාස්ත්‍රීය කටයුතු හරහා ගොඩනැඟෙන ආයතන, ප්‍රජාවන් සහ ක්‍රියාවලීන් තුළින් ප්රජාතන්ත්රවාදී මූලධර්ම ශක්තිමත් කළයුත්තේ, විශ්ව විද්‍යාල යනු පවතින බල ව්‍යුහයන් ප්රතිනිෂ්පාදනය කිරීමට මෙන්ම, ඒවා වෙනසක් කිරීමටද හැකියාව ඇති අවකාශයන් බවට වන දැනුමද සමඟය. මෙය දේශපාලනික කාර්යයකි. වෙනස්කම් වල, සමාජ ධූරාවලීන් වල, අසමානත්වයේ සහ සමාජයේ බෙදුම් රේඛා වල ක්‍රියාත්මක වන ‘වෙනස්කම පිළිබඳ දේශපාලනය’ ගැන අවබෝධයකින් යුතුව එය ආරම්භ වියයුතුය. එහි දේශපාලනය විමුක්තිකාමී, සාමූහිකත්වයේ බැඳීම් ශක්තිමත් කරන ආකාරයේ එකක් වියයුතුය.
මෙවැනි පරිවර්තනීය ක්‍රියාවලියක් මූලිකවම කරදර වියයුතු කරුණක් වන්නේ අධ්‍යාපනයට ඇති ප්රවේශයයි. කාට ප්‍රවේශය ඇත්තේ කුමනාකාරයේ අධ්‍යාපනයකටද, එසේම යම් යම් ආකාරයේ අධ්‍යාපනයන්ට ප්‍රවේශය නැත්තේ කාටද යන කරුණු ආමන්ත්‍රණය වියයුතුය. අධ්‍යාපනය තුළින් සමාජයේ දැනටමත් පවතින බල ධූරාවලීන් තවදුරටත් ශක්තිමත් කරන්නේ නම්, පරිවර්තනීය ආකාරයේ අධ්‍යාපනයකට එතැන ඉඩක් නැත.
එනිසා මේ සිහිනය ආරම්භ වන්නේ නිදහස් අධ්‍යාපනයට වූ කැපවීමක් තුළිනි. අරමුදල් හිඟ පසුගිය වසර කිහිපය සැළකූ විට, රාජ්‍ය අරමුදල් වෙනුවට ස්වයං-ජනිත අරමුදල් ඉපයීමේ තැත තුළින් විශ්ව විද්‍යාල වාණිජකරණයට ලක්ව ඇති බව පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස පර්යේෂණ හා මූලික ඉගැන්වීම් කටයුතු වෙනුවට, වැඩි වැඩියෙන් මුදල් ඉපයිය හැකි පාඨමාලා වැනි දේ හඳුන්වා දීමට ඒවා තුළින් උත්සහ ගැනේ. පරිවර්තනීය ආකාරයේ අත්දැකීමකට එතැන ඇති ඉඩ අවමය. වඩාත්ම සැළකිය යුතු කරුණ නම් ගාස්තු අය කරන උපාධි පාඨමාලා හඳුන්වා දීමට කෙරෙන තැතයි: ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් මේ මොහොතේ කොතරම් දරුණු ආර්ථික මට්ටමක සිටින්නේද හා මෙවැනි ආකාරයේ පාඨමාලා වලට ඔවුන්ගේ ප්‍රවේශය කෙතරම් අවහිරද යන්න පිළිබඳ සංවේදීතාවයක් මෙවැනි ප්‍රතිපත්ති වල නැත.
අප සමාජයේ පවතින දුෂ්කෘතීන් අභියෝගයට ලක්කරන, එසේම එම දුෂ්කෘතීන් දිගටම පවත්වා ගන්නා පද්ධතිය පිළිබඳ ප්‍රශ්න නැඟිය හැකි ආකාරයේ ආරක්ෂිත අවකාශයකි නියම වශයෙන්ම නිදහස් අධ්‍යාපනය. එහෙත් ඉගෙනුම් ඵල ළඟා කරගත් බව පෙන්විය හැකි ආකාරයේ ඉගැන්වීම් රටා අනුගමනය කරමින්, පද්ධතියේ ඉහළට යෑමට අවශ්‍ය ලකුණු ලබාගන්නා ආකාරයේ පර්යේෂණ කිරීමට පීඩනයට ලක්වී ඇති ගුරුවරුන් මෙන්ම, දැඩි අනම්‍යශීලී කාලසටහන් වලට සිරවී ඇති සිසුන් බිහිකරන වත්මන් අත්‍යන්ත ව්‍යුහගත විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මෙවැනි ප්‍රශ්න කිරීම් බලාපොරොත්තු විය නොහේ.
අධ්‍යාපනය ප්‍රචණ්ඩත්වයෙන් තොර විය යුතුය; නවක වධයේ සිට, හුදෙකලා කරවන සුළු අන්තර්ගතයක් හැදෑරීමට සිදුවන ප්රචණ්ඩත්වය දක්වා සියළු ආකාරයේ ප්‍රචණ්ඩත්වයෙන් තොර විය යුතුය. නිදසුනක් ලෙස, දාගැබ ගමක අත්‍යාවශ්‍ය අංගයක් ලෙස දක්වන ගුරුවරයකු අතින් ගමක් තුළ පැවතිය හැකි ආගමික බහුවිධතාව මෙන්ම වෙනත් මාදිලි වල ගම් ද ආන්තීකරණය වේ. අධ්‍යාපනය සියළු සිසුන් සඳහා එක ලෙස අපේක්ෂාව දනවන, එමෙන්ම අර්ථාන්විත දෙයක් විය යුතුය. ඔවුන් කවුරුන් වුවත්, කෙබඳු ජීවිතයක් ගත කරන්නවුන් වුවත්, ‘විඳිය හැකි ජීවිතය’ සම්බන්ධ සංවේදනා ඔවුන් තුළ ඇති කළ යුතුය; ඒ සඳහා අවස්ථා ඔවුන්ට සලසා දියයුතුය.
වත්මනේ පවතින තාක්ෂණික අධ්‍යාපනය තුළින් ලබානොදෙන පුහුණුවක් වන, සමාජ ව්‍යුහයන් වල පවතින අයුක්තීන් හඳුනා ගැනීමේ හැකියාව ලබාදෙන මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා අංගයක් සියළුම ආකාරයේ අධ්‍යාපනයට අඩංගු වියයුතුය. හුදු විද්‍යා විෂයන් සඳහා රජයට වියදම් දැරීමට නොහැකි වූ විට ඉතිරි වන සිසුන්ට හව් හරණ දෙන ස්ථාන වෙනුවට, මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයන් වැඩි ආයෝජන තුළින් වඩා ශක්තිමත් කළ යුතුය. මේ විෂයන් සඳහා තාක්ෂණික මෙවලම් වල වැඩි අවශ්‍යතාවයක් නොමැති වුවත්, තමාගේ හා තම ප්රජාවන්ගේ යථාර්ථය පිළිබඳ විචාරාත්මකව විග්රහ කිරීමට සිසුන්ට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබාදිය හැකි ආකාරයේ පුහුණුව ලද ගුරුවරුන් වඩා වැඩි පිරිසක් අවශ්‍ය වේ.
අප පටන් ගත යුත්තේ කොතැනින්ද?
කොතරම් දුර්වලතා තිබුනත්, අපේ අධ්‍යාපන පද්ධතිය තුළ සතුටු වියහැකි දේද සෑහෙන දුරට තිබේ. 2023 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව (sectoral oversight committee) මෑතදී යළි අවධාරණය කොට තිබුනේ එම ප්‍රතිපත්තිය මඟින්: නිදහස් අධ්‍යාපනය පදනම් මූලධර්මයක් ලෙස හා අධ්‍යාපනය මූලික අයිතියක් ලෙස; සමතාව හා සාධාරණත්වය අධ්‍යාපනයේ පොදු වටිනාකම් ලෙස; හා අධ්‍යාපනය සාර්ථක විය හැක්කේ සිසුන්ට තම මූලික අවශ්‍යතා ඉටුකර ගතහැකි පරිසරයක් තිබූ විට පමණක්ය යන්න පිළිගත යුතු බවයි. මෙමඟින් යම් බලාපොරොත්තුවක් දනවයි.
රට තුළ නටබුන් ස්වරූපයෙන් වුවද පවතින, අතීතයේ ශක්තිමත්ව පැවති අධ්‍යාපන පද්ධතියේ ශේෂයන්ද අප හඳුනාගත යුතුය. පාසල්, විශ්ව විද්‍යාල, පුහුණු ආයතන සහ අරමුදල් පද්ධතීන් ගෙන් සමන්විත පද්ධතියක් අපට තිබේ. රාජ්‍ය අරමුදල් මත දිවෙන අධ්‍යාපනයක අරුත වන්නේ වඩා හොඳ පද්ධතියක් තනා ගැනීමට, අසීරු ප්‍රශ්න නැඟීමට, මෙන්ම වඩා හොඳ විකල්ප ඉල්ලා සිටීමට යම් ඉඩක් පවතින බවයි.
අරගලයත් සමඟ ජනතාවගේ අදහස් විමසීම පිළිබඳ අවධාරණය වඩාත් වැඩි වී තිබේ. 2012 FUTA විසින් අධ්‍යාපනය අරබයා දියත් කරනු ලැබූ ‘අත්සන් මිලියනයක්’ ව්‍යාපාරයේදීද පිළිබිඹු වූයේ මහජන මත විමසීමේ වැදගත්කමයි. පරිවර්තනීය අධ්‍යාපනයද එයාකාරයෙන් ඇරඹිය යුතුය. එවැනි උත්සහයක් තුළින් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය වැඩිවිය හැකිවාක් මෙන්ම, රජය තමාට සේවය කරන බවටද ජනතාවට විශ්වාසයක් ඇතිවේ.
ප්‍රතිසංස්කරණ සඳහා ගන්නා මේ උත්සාහයේදී පසුගිය දශක කිහිපයක කාලය තුළ යෝජිත ප්‍රතිසංස්කරණ පිටුපස තිබූ උපකල්පන පිළිබඳවද ප්‍රශ්න නැඟිය යුතුවේ. නිදසුනක් ලෙස, තාක්ෂණික විෂයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බවට වන වත්මන් අවධාරණය තුළින් අපේක්ෂිත ප්‍රතිඵල අද වනතෙක් අපට ලබාගත හැකිව තිබේද? තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය මඟින් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ භූමිකාවට උපකාරයක් වී ඇත්ද, නැතිනම් එය අඩුකොට ඇත්ද? යම් ක්‍රියාවලියක ප්‍රතිඵලය හැමවිටම මිණිය හැකිද? නව අදහසක් හඹා යෑමේ උද්වේගය, අලංකාරයේ විමතිය, හෝ සහයෝගීතාවයේ මානුෂීයත්වය මනින්නේ කෙසේද? ගුරුවරයාව ඉගැන්වීම් කටයුතු හා පර්යේෂණ සිදුකරන ‘වාණිජ කඹුරන්නෙකු’ බවට ලඝුකොට ඇති වාණිජ කළමනාකරණ මූලධර්ම තුළින් අප සිහින දකින ආකාරයේ විශ්ව විද්‍යාලයක් තනාගත හැකිද?
මෙවැනි ප්‍රතිසංස්කරණ නිවැරදි දැක්මකින් තොර ඒවා බව මම විශ්වාස කරමි. මගේ යෝජනාව වන්නේ අපි එක අඩියක් පිටුපසට ගෙන, අධ්‍යාපනයෙන් අප බලාපොරොත්තු වන්නේ මොනවාද යන පැනය නැඟිය යුතු බවයි. මෙතෙක් අප යෝජනා කොටඇති ආකාරයේ ප්‍රතිසංස්කරණ සිදුකළ රටවල් වල අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගැනීම එහිදී වැදගත් වේ. අවාසනාවකට මෙන් වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බාහිර අරමුදල් සපයන ආයතන මඟින් මෙහෙයවනු ලබන ඒවාය; නියමාකාර ප්‍රතිසංස්කරණ සිදුකිරීමට නම් අවශ්‍ය අරමුදල් රාජ්‍යය මඟින් ස්වාධීනව සැපයිය යුතු වේ.
ආපදා සමයක විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවීම
දැන් සැළකිය යුතු කාලයක පටන් මේ රටේ ජනතාව වශයෙන් අපට අධ්‍යාපනය සම්බන්ධයෙන් දැනුනේ අපේක්ෂාභංගත්වය පමණි. ඊට අදාළ වගකීමෙහි යම් කොටසක් රටේ බලැති පිරිස ගත යුතුය; මන්ද, බලාපොරොත්තුව යනු අපට දැරිය නොහැකි සුඛෝපභෝගීත්වයක් බවත්, පවතිනවාට වඩා යමක් ඉල්ලීමට අපට අයිතියක් නැති බවත්, එම ‘වඩා යම’ යනු කුමක්දැයි අර්ථ දැක්වීමේ අයිතිය පවා අපට නැති බවටත් වන මතයක් ඔවුන් විසින් සමාජගත කොට ඇති බැවිනි. නමුත් විකල්ප තිබේ. මේ අර්බුද සමය, අපේ සමාජයේ ගැඹුරු දුෂ්කෘතීන් පිළිබඳ හැදෑරීමටත්, අපට දැනටමත් පවතින ව්‍යුහය පදනම් කොටගෙන නව යමක් ඉදිකිරීමටත් අවස්ථාවක් ලෙස ගත හැකිය. අප සිහින දැකිය යුතුමය. පැහැදිලි දැක්මක් ඉදිරිපත් කොට, එය ළඟා කරගත හැකි අධ්‍යාපන ප්‍රතිපත්තියක් අප විසින් නිර්භයව සම්පාදනය කරගත යුතුය.