අධ්‍යාපනය සහ විචාරාත්මක චින්තනය යටත්විජිතහරණය කිරීම

දර්ශි තෝරදෙණිය

මෙම තීරුවේ මීට පෙර හර්ෂණ රඹුක්වැල්ල විසින් ප්‍රකාශ කරන ලද අධ්‍යාපනය යටත් විජිතහරණය පිළිබඳ ප්‍රකාශනයේ දිගුවක් ලෙස, විශේෂයෙන්ම ඉතිහාස ඉගැන්වීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය තුළ විචාරාත්මක චින්තනයේ වැදගත්කම පිළිබඳ අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි.

යටත්විජිතකරණයට අධ්‍යාපනය දායක වූයේ යම් සේද, යටත්විජිතහරණ ව්‍යාපෘතියටද අධ්‍යාපනය එතරම්ම වැදගත් විණි. උදාහරණයක් ලෙස ඉතිහාසය විෂය පථය තුළ අප නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අතීතය පිළිබඳ නිර්මාණය කර ඇති දැනුම යටත්විජිතහරණය කර විචාරාත්මක විමර්ශනයක් තුළින් අතීතය පිළිබඳ නව දැනුමක් ඇති කිරීමට ය. වෙනත් වචන වලින් කිවහොත්, විචාරාත්මක විමර්ශනය යනු දැනුම යටත්විජිතහරණය කිරීමට භාවිතා කරන මෙවලමයි. මේ අනුව, මෙම මූලිකාංග ද්විත්වය – දැනුම යටත් විජිතහරණය සහ විචාරාත්මක චින්තනය – ශ්‍රී ලංකාව වැනි පශ්චාත් යටත්විජිත පසුබිම් තුළ උසස් අධ්‍යාපනය පිළිබඳ අපගේ සාකච්ඡා වලදී එකිනෙක හා සම්බන්ධ කළ යුතුය.

ලුවී අල්තුසර් තර්ක කළ පරිදි, අධ්‍යාපන ආයතන යනු අධිපති පංතිවල දෘෂ්ටිවාදය ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය භාවිතා කරන මෙවලමකි. ශ්‍රී ලංකාවේ ජාතික විෂය මාලාව හරහා, රජයේ සහ පෞද්ගලික පාසල් මෙම කාර්යය ඉතා සූක්ෂ්ම ආකාරයෙන් ඉටු කරයි. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාලවලට ජාතික විෂය මාලාවක් නොමැත; ඒ වෙනුවට ඔවුන්ට පිළිගත යුතු විෂය මිණුම් දණ්ඩක් ඇත. මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා විෂයමාලා සැලසුම් කර ඇත්තේ ප්‍රධාන සංකල්ප, න්‍යායන්, මූල ග්‍රන්ථ සහ සිදුවීම් සමඟ විචාරාත්මක සම්බන්ධයක් ජනනය කිරීම සඳහා ය. මේ අනුව, පාසල් විෂය මාලාව ඈත් කරන විවේචනාත්මක චින්තනය අධ්‍යනය කරනු ලබන්නේ විශ්වවිද්‍යාලයේදී ය.

විමර්ශන ක්ෂේත්‍රය අනුව විචාරාත්මක චින්තනය විවිධ ස්වරූප ගත හැකි නමුත් පවතින දැනුම ප්‍රශ්න කිරීමට හැකිවීම විචාරාත්මක චින්තනයේ තීරණාත්මක අංගයකි. දැනුම නිපදවූයේ කවුරුන්ද, එය කවුරුන් සඳහා නිෂ්පාදනය කළේද, දැනුම නිර්මාණය කිරීම සඳහා කුමන මූලාශ්‍ර මත පදනම් වීද වැනි ප්‍රශ්න ඇසීමෙන්, පාසල් විෂය මාලාව හරහා අප විසින් ගොඩනඟා පෝෂණය කරන ලද යටත්විජිත මානසිකත්වය පිළිබඳ අවබෝධයක් ඇති වේ.

පාසල්වල සහ සමහර විට සමහර විශ්වවිද්‍යාලවල පවා ඉතිහාසය උගන්වන ආකාරය සහ ඉගෙන ගන්නා ආකාරය තුළින් මෙය වඩාත් හොඳින් පැහැදිලි වේ. පාසල් විෂයමාලාව තුළ ඉතිහාසය ඉගැන්වෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය වසර 2500ක් පුරා පැවත එන පිරිසිදු, දූෂිත නොවූ සංස්කෘතියක් ලෙසිනි. මෙවැනි මතවාද මූලිකවම ඉදිරියට එන්නේ මූලාශ්‍ර අවිචාරාත්මක ලෙස පරිහරණය කිරීම තුළිනි. මහාවංශය ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැඩගස්වා ඇති ප්‍රධාන මූලාශ්‍රයකි. මහාවංශය රචනා කරන ලද කතුවරයාගේ, විශ්ලේෂණය කළ මූලාශ්‍රවල හෝ ශ්‍රාවක පිරිසගේ අභිප්‍රාය ප්‍රශ්න කිරීමට පාසල් මට්ටමින් අපට උගන්වන්නේ නැත. 1800 ගණන්වල මුල් භාගයේදී මහාවංශය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී බලගතු කාර්යභාරයක් ඉටු කළ, 1811 සිට 1819 දක්වා ලංකාවේ අගවිනිසුරු ලෙස කටයුතු කළ ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් වැනි යටත් විජිත පරිපාලකයන්ගේ මැදිහත්වීමත් සමඟ සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටෙහි අධිපති දෘෂ්ටිවාදය බවට පත්විය. මෙම කරුණු නොසලකා හැරීමෙන්, 12 වන සියවසේ සිට මෙම දිවයින බටහිර සහ නැගෙනහිර අතර වෙළඳ මාර්ගයේ පිහිටා ඇති බව සහ එහි පිහිටීම අනුව වෙනත් ජනවාර්ගික ආඛ්‍යාන මතුවිය හැකි බව අපි අමතක කරන්නෙමු.

යටත් විජිතවල ඉතිහාසය ලිවීම අත්‍යවශ්‍යයෙන්ම යටත් විජිත ස්වාමින්ගේ නිෂ්පාදනයක් වූ අතර එම නිසාම එය යටත් විජිත දැනුමේ නිෂ්පාදනයකි. මෙම ඉතිහාස ලියා ඇත්තේ ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගම හෝ බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය සමාගම වැනි යුරෝපීය සංචාරකයින්, මිෂනාරිවරුන්, නිලධාරීන් සහ වෙළඳ සමාගම්වල පරිපාලකයන් විසිනි. සුප්‍රකට ඉන්දීය ඉතිහාසඥ රොමිලා තාපර්, යුරෝපයේ 19 වැනි සියවසේ උපයෝගීතාවාදී සහ ජාතිකවාදී අදහස් ස්කොට්ලන්ත ආර්ථික විද්‍යාඥ සහ දේශපාලන න්‍යායාචාර්ය ජේම්ස් මිල්ට බලපෑ ආකාරය ප්‍රස්ථාරගත කරයි. එම අදහස් ඔහුගේ History of British India (1817) කෘතියේදී ඉන්දියානු ශිෂ්ටාචාරය ස්ථිතික ලෙස අර්ථකථනය කිරීමට සහ ඉන්දියානු ඉතිහාසය කොටස් තුනකට එනම් – හින්දු ශිෂ්ටාචාරය, මුස්ලිම් ශිෂ්ටාචාරය සහ බ්‍රිතාන්‍ය යුගය ලෙස බෙදීමට ඔහුව යොමු කළේය. බ්‍රිතාන්‍ය යටත් විජිත පරිපාලකයින්ට යටත් විජිත ඉන්දියාවේ රාජකාරි භාර ගැනීමට පෙර මෙය කියවීමට නියම කිරීමත් සමඟ ඉන්දියානු සමාජයේ ස්ථිතික ස්වභාවය ඉන්දියානු ඉතිහාසයේ “සත්‍යය” ලෙස පිළිගැනුණි. පෙරදිග ඒකාධිපතිවාදය පිළිබඳ අදහස ඉන්දියාවට බ්‍රිතාන්‍ය නීති හා පරිපාලන ක්‍රමය හඳුන්වාදීම සාධාරණීකරණය කරයි. 20 වැනි සියවසේ මැද භාගයේ ඉන්දියාවේ දැනුමේ යටත්විජිතහරණය සිදු වන තෙක් මෙම ඉතිහාස ලේඛනය අභියෝගයට ලක් නොවී පැවතුනි.

ලංකාවේ ඉතිහාස ලේඛනය දෙස බලන විට භාරතීය ඉතිහාස ලේඛනය හා සමාන්තරතා රාශියක් අපට දැකගත හැකිය. එමර්සන් ටෙනන්ට් සහ කොඩ්‍රින්ටන් වැනි යටත් විජිත පරිපාලකයෝ අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ සහ කෝට්ටේ යන රාජධානි කේන්ද්‍ර කර ගනිමින් සිංහල බෞද්ධ ආඛ්‍යානයක් අවධාරණය කරමින් ලංකාවේ තරමක් රේඛීය අඛණ්ඩ ඉතිහාසයක් ලිවීය. 1970 ගණන් වන විට, මාක්ස්වාදී ඉතිහාසඥයින් පිරිසක් ඉතිහාස විෂය පථය සඳහා විවේචනාත්මක විමර්ශනයක යෙදීමට සහ ඓතිහාසික දැනුම සක්‍රීයව යටත්විජිතහරණයට ලක් කිරීමට පටන් ගත්හ.

Black Skin, White Masks (1952) කෘතියේදී, දේශපාලන දාර්ශනික ෆ්‍රාන්ට්ස් ෆැනොන්, යටත් විජිතකරණය වූවන්ට නිදහස ලබා ගැනීමටත්, දැනුම යටත්විජිතහරණය කිරීමටත්, ස්වභාෂා වල වැදගත්කම පෙන්වා දුන්නේය. මිනිස් පරිකල්පනය සැබෑ ලෙසම ප්‍රකාශ කළ හැක්කේ ස්වදේශීය භාෂාවෙන් පමණක් බවත් යටත් විජිත ස්වාමියාගේ භාෂාවෙන් එය කිසිදා ඉටු කළ නොහැකි බවත් ඔහු විශ්වාස කළේය. මෙම භාෂා තර්කය තවදුරටත් ගෙන යමින්, පලස්තීන ඇමරිකානු චින්තකයෙකු වන එඩ්වඩ් සයිඩ් ඔහුගේ Orientalism (1978) කෘතියේදී, යුරෝ කේන්ද්‍රීය පූර්ව විනිශ්චයන් විසින් පෙරදිග (එනම් මැද පෙරදිග සහ ආසියාව) ම්ලේච්ඡ, පසුගාමී සහ සම්ප්‍රදායික ස්ථානයක් බවට මිනිසුන්ගේ පරිකල්පනය හැඩගස්වන ආකාරය සහ එවැනි අවබෝධයන්ට අවසානයේ ‘විද්‍යාත්මක දැනුම’ තත්ත්වය ලබා දුන්නේ කෙසේද යන්න පෙන්නුම් කළේය.

ලතින් ඇමරිකානු සංස්කෘතික මානව විද්‍යාඥ වෝල්ටර් මිග්නෝලෝ විශ්වාස කරනුයේ මිනිසුන්ගේ මනස විජිතහරණය කිරීම සඳහා යටත් විජිතවාදීන් විසින් පිහිටුවන ලද විධිමත් අධ්‍යාපන ආයතන විසුරුවා හැරිය යුතු බවයි. එසේ නොමැති නම්, මෙම ආයතන විසින් නිපදවන දැනුම තුළ මිනිසුන්ගේ පරිකල්පනය සිරවී පවතිනු  ඇත. මිනිසුන්ට ඥානාන්විත දැනුම නිදහසේ පරිකල්පනය කිරීමට සහ අත්දැකීමට නම්, ඔවුන් විධිමත් සීමාවන්ගෙන් නිදහස් විය යුතුය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨවලට මේ අරබයා ඇත්තේ යෝධ කාර්යයකි. නිශ්චිත දැනුමක් නිපදවන දේශීය සංස්කෘතීන් අවබෝධ කර ගැනීම සඳහා සියලු මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා උපාධි අපේක්ෂකයින්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම ආරම්භ කිරීම පළමු පියවර විය හැකිය. වර්තමානයේ ඉතිහාස අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් ද්විභාෂා සහ ඉතා කලාතුරකින් ත්‍රෛභාෂා පදනමක් මත සිදුවේ. තුන්වන භාෂාව (එනම්, සිංහල හෝ දෙමළ) තේරුම් ගැනීමට නොහැකි වීම, ඊනියා ‘අනෙකා’ගේ මානසිකත්වය අවබෝධ කර ගැනීමෙහිලා ඉතිහාසඥයාට සීමා පනවනු ලබයි. අපි යටත්විජිතකරණයට ලක්වූ  ‘අනෙකා’ නොදන්නේ නම්, අපි ශ්‍රී ලංකාවේ ඉතිහාසයක් ලියන්නේ කෙසේද? අනෙකාගේ භාෂාව නොදැන සිටීම යන්නෙන් අදහස් කරන්නේ අපට දැනුම නිපදවිය හැක්කේ සමාජයේ එක් කොටසක් ගැන පමණක් යන්නයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂා කතා කරන ඉතිහාසඥයින් අධිපති කතිකාවට (එනම්, සිංහල බෞද්ධ මතවාදයට) සේවය කරන අතර, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා කතා කරන ඉතිහාසඥයින් ප්‍රධාන ධාරාවේ ඉතිහාසයට ළඟා වීමට ඉතා අපහසු විකල්ප ආඛ්‍යානයක් නිර්මාණය කරයි. මේ සම්බන්ධව එක් යෝජනාවක් වනුයේ ජාතික විශ්වවිද්‍යාලවල දෙපාර්තමේන්තු අතර හුවමාරු වැඩසටහන් ආරම්භ කිරීම වන අතර, එමඟින් උපාධි අපේක්ෂකයින්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ද යටත් විජිතහරණය කිරීමේ ව්‍යාපෘතිය සමඟ පරිපූර්ණ ලෙස සම්බන්ධ වීමට හැකි වනු ඇත.