මහේන්ද්‍රන් තිරුවරන්ගන්
ගෝලීය අවශ්‍යතා වලට සරිලන පරිදි ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම නව රජයේ අවධානය මූලිකවම යොමුව ඇති මාතෘකාවක් බවට පත්ව ඇති බැව් පෙනේ. මේ කරුණ මුල් වරට මතුවූයේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ වෘත්තීය පුහුණු අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදීය. පසුව 2024 ඔක්තෝබර් මාසයේ ජනපති අනුර කුමාර දිසානායක කියා සිටියේ ගෝලීය අවශ්‍යතා වලට සරිලන පරිදි අපේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළයුතු බවයි. 2024 දෙසැම්බර් මාසයේ කළ කතාවකදී අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය කියා සිටියේ දේශීය හා ගෝලීය ශ්‍රම වෙළඳපොළ වල ඉල්ලීම් ආමන්ත්‍රණය කළහැකි ආකාරයේ හැකියාවෙන් අනූන ශ්‍රම බලකායක් බිහි කිරීම රජයේ සංවර්ධන දැක්මෙහි මූලිකාංගයක් බවය.
අපේ පාසල් හා විශ්ව විද්‍යාල වලින් නික්මෙන සිසුන් රැකියා ලබාගැනීම හා ජාතික සහ ජාත්‍යන්තර ආර්ථික වලට සිය දායකත්වය දැක්වීම කෙරෙහි අධ්‍යාපනය දායක වන (හෝ නොවන) අයුරු පිළිබඳ සිතා බැලීම වැදගත් වන්නාක් සේම, ‘ගෝලීය’ සහ ‘ගෝලීය ශ්‍රම වෙළඳපොළ’ යන පද වල අරුතත්, ඒවා මඟින් අධ්‍යාපනය සහ ශ්‍රම වෙළඳපොළ තුළ ජනිත කරන අධිපති ආඛ්‍යාන හා බැහැර කිරීම් පිළිබඳ සිතා බැලීමද අතිශයින් වැදගත් වේ.
‘ගෝලීය’ පදය පිළිබඳ දැක්මවල් දෙකක්
වත්මන් දේශපාලන කතිකාවන් තුළ ‘ගෝලීය’ යන පදය එකිනෙකට ප්‍රතිවිරුද්ධ අර්ථ දෙකකින් භාවිතා කෙරේ. ඉන් එකකට අනුව එම පදයෙන් අදහස් වන්නේ ප්‍රාග්ධනයට නිදහසේ ගලා යා හැකි අන්දමේ, දේශසීමා වලින් තොර ලෝකයක් නිර්මාණය කිරීමය. මෙවැනි ලෝකයක් කොතරම් බලාපොරොත්තු දනවන හා ප්‍රගතිය ජනිත කරන ආකාරයේ එකක් බව බැලූ බැල්මට පෙනී ගියත්, පාරජාතික ප්‍රග්ධනයේ නිදහස් ගලා යාම නිසා සිදුවූ බොහෝ ඛේදවාචක වලින් ගෝලීය දකුණ බැට කා ඇති බවද අමතක නොකළ යුතුය. 1984 භෝපාල් වල සහ 2012 බංග්ලාදේශයේ ඇඟළුම් කම්හලක ගිනි ඇවිලීම නිසා සිදුවූ ඛේදවාචක මේවාට උදාහරණ දෙකක් පමණි. වාර්ගික, ජාතික හා ස්ත්‍රී-පුරුෂ වශයෙන් ගෝලීය ශ්‍රම වෙළඳපොළ විසින් යම් යම් යාන්ත්‍රණ ඔස්සේ කරනු ලබන බෙදීම් වල බලපෑම නිසාය මෙවැනි විපත් සිදුවන්නේ. ධනපතීන්ගේ ධනය උපරිමයෙන් වැඩි කරන්නා වූ මේ පද්ධතිය තුළ, ගෝලීය දකුණ හා එහි වැඩ කරන පන්තිය, විශේෂයෙන්ම ස්ත්‍රීන් සහ ආන්තීකරණයට ලක් වූවන්, අත්‍යන්ත උපද්‍රව වලට නිරාවරණය කරයි.
මීට ප්‍රතිවිරුද්ධව, සමාජ සාධාරණත්වය හා අන්තර්ජාතිකත්වයට කැපවීමක් සහිත පිරිස් විසින් ‘ගෝලීය’ යන්න භාවිතා කරන්නේ නිදහස හා සමානත්වය විප්ලවීය අයුරින් ප්‍රති-පරිකල්පනය කිරීමටත්, ඒ මත පදනම්ව සහයෝගීතාවන් ගොඩනැඟීමටත්ය. දේශීය හා ගෝලීය යන මට්ටම් දෙකේම පවතින සියළුම ආකාරයේ පීඩන මුලිනුපුටා දැමීම මතය මේ ගෝලීයත්වය පදනම් වන්නේ.
අධ්‍යාපනය සම්බන්ධ අපේ සාකච්ඡා, ගෝලීයත්වය පිළිබඳ මේ ප්‍රතිවිරුද්ධ වටහා ගැනීම් දෙකම මත පදනම් වන බැව් පෙනේ. එක් අතකින් රජය, ජාත්‍යන්තර මූල්‍ය ආයතන, අරමුදල් සපයන ආයතන සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු අතරින් යම් පිරිස් විසින් යෝජනා කරන්නේ පෞද්ගලික අංශයේ සේවයෙහි නියුතු වියහැකි ගෝලීයකරණය වූ ශ්‍රම බලකායක් අපේ විශ්ව විද්‍යාල වලින් සම්පාදනය කළයුතු බවයි. එහෙත් අපේ ප්‍රජාවන් සහ රටවල් වල අසමානතා පිළිබඳව විචාරාත්මකව සිතිය හැකි, එමෙන්ම නිර්මාණශීලීව ඒවාට ප්‍රතිරෝධය දැක්විය හැකි පිරිස් බිහිකළ හැකි ආකාරයට අධ්‍යාපනය නැවත පණ ගැන්විය යුතුබව සිතන පිරිසක්ද සිටී. ගෝලීය දකුණ තුළ නවලිබරල්වාදය නිසා සමාජ-ආර්ථික අසමානතා තීව්‍ර වන මෙබඳු මොහොතක, ගෝලීයත්වය පිළිබඳ මේ දෙවැනි කියවීම අධ්‍යාපන කතිකාවේ මධ්‍යයට ගෙන ආ යුතුය.
ගෝලීය ශ්‍රම වෙළඳපොළ සහ ගෝලීය අර්බුද
ගෝලීය ශ්‍රම වෙළඳපොළ යනු නවලිබරල් අදහසකි. ඒ මඟින් ගෝලීය ධනවාදයේ සූරාකන සුළු, නව යටත්විජිතවාදී න්‍යාය පත්‍ර සාධනය කරගත හැකිවන ආකාරයේ හීලෑ ශ්‍රම බලකායක් සම්පාදනය කරන ලෙසට ලොව පුරා අධ්‍යාපන පද්ධතීන් වලට පීඩනය එල්ල කරයි. මේ වෙළඳපොළ සැකසී ඇත්තේ පවතින අසමානතා තීව්‍ර වන ආකාරයටය; එතුළ මූලික අවශ්‍යතා (නිවාස, සෞඛ්‍ය පහසුකම්, ප්‍රවාහනය, විදුලිය වැනි) සන්තර්පණය කරගැනීමේ හැකියාව ඇති පිරිස සීමා සහිතය. එවැනි වෙළඳපොළකින් ලැබෙන අධ්‍යාපන නියෝග දෙස එම නිසා ප්‍රවේශමෙන් බැලිය යුතුය.
ගෝලීය ශ්‍රම වෙළඳපොළේ ඉල්ලීම් සහ මේ මොහොතේ ලොව පවතින දරදඬු යථාර්ථයන් අතර ඇති විසම්මතිය අධ්‍යාපනඥයින්ගේ අවධානයට බඳුන් විය යුත්තකි. ගාසා තීරයේ සිදුවන සංහාරය, ලොව බොහෝ තැන් වල අන්තවාදී දක්ෂිණාංශික කණ්ඩායම් වල නැඟී ඒම, රටවල් තුළ දිනෙන් දින වැඩිවන ඇති-නැති පරතරය, පාරිසරික හායනය, ස්ත්‍රී සහ ලිංගික සුළුතර කණ්ඩායම් මුහුණ දෙන අඩන්තේට්ටම් මේ ප්‍රශ්න වලින් සමහරක් පමණි.
ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි අරමුදල් සපයන ආයතන විසින් අපේ අධ්‍යාපනයෙන් ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණ නවලිබරල්වාදී දැක්ම සමඟ සමපාත වේ. ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ ජීවිත වලට මේ මොහොතේ බලපෑම් කරන ආර්ථික සහ දේශපාලනික ප්‍රශ්න වල සන්දර්භය සැළකිල්ලට ගනිමින් අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය පිළිබඳ සාකච්ඡා කිරීමේ සූදානමක් ඔවුන් තුළ නැත; එමෙන්ම මෙම අර්බුද වල ඓතිහාසික වර්ධනයත්, ඒවා වත්මන් තත්වය දක්වා ඔඩුදුවා යෑමෙහි ලා අධ්‍යාපනයේ අසමත්කම හේතුවී ඇති අයුරුත් පිළිබඳ සිසුන් තුළ අවබෝධයක් ඇතිකිරීමටද ඔවුන්ට අවශ්‍යතාවයක් නැත.
නවලිබරල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
නවලිබරල්වාදී අරමුදල් සම්පාදන ආයතන වල මූලිකම අරමුණක් වන්නේ අපේ අධ්‍යාපන ආයතන ගෝලීය ශ්‍රම වෙළඳපොළේ කොන්දේසි වලට යටත් කිරීමයි. අධ්‍යාපනය පෞද්ගලීකරණය කොට, ගාස්තු අය කරන පාඨමාලා හඳුන්වා දීමට ඔවුහු අපේ රජයන් යොමු කරති. අධ්‍යාපනය වෙළඳපොළ භාණ්ඩයක් බවටත්, අධ්‍යාපන ආයතන ලාභ ලබන මෙවලම් බවටත් පරිවර්තනය කිරීම ඔවුන්ගේ අරමුණයි. වෙනසක් සඳහා අවශ්‍ය වන්නා වූ දේශීය සහ ගෝලීය සහයෝගිතා ජනනය කරන මාධ්‍යයක් වෙනුවට, ප්‍රාග්ධනයේ ඉදිරි ගමන සහතික කරන මෙවලමක් ලෙස අධ්‍යාපනය පරිවර්තනය කිරීමය ඔවුන්ගේ අවශ්‍යතාව වනුයේ. ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණයට මුල්තැන ලබා දෙමින් 2000 වසරේ සිට ලංකාවේ සිදුකොට ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මීට හොඳ නිදසුනකි. පාරජාතික ධනේශ්වර සමාගම් විසින් පාලනය කරනු ලබන ශ්‍රම වෙළඳපොළ තුළ පැවතීමට අත්‍යාවශ්‍ය සුදුසුකම් දෙකක් ලෙස මේ හැකියා ප්‍රවර්ධනය කෙරුණි.
අධ්‍යාපනයේ විචාරාත්මක කොටස ඉවත් කොට, ඒ වෙනුවට නායකත්වය, ආචාර ධර්ම, සන්නිවේදනය හා කථනය වැනි ‘මෘදු කුසලතා’ හඳුන්වා දීම තුළින් මෙම ආයතන උත්සහ ගන්නේ වාණිජ ඇඳුම් ඇඳගත්, ගෝලීය මුහුණුවරක් ඇති, ඉංග්‍රීසි කතා කරන, ප්‍රශ්න නොනඟන ව්‍යවසායකයින් පන්තියක් නිර්මාණය කොට ඒ ඔස්සේ සිය නවලිබරල්වාදී න්‍යාය පත්‍ර වලට අවශ්‍ය සහයෝගය ලබාගැනීමටයි. එවැනි පාඨමාලා වලින් යටත්විජිත හර පද්ධතීන් විශ්වීයව වලංගු තත්වයට පත් කරනවා පමණක් නොව, කුසලතා විචාරාත්මක බවිනුත්, තාක්ෂණය දේශපාලනයෙනුත්, රැකියා නියුක්තිය දේශපාලන ක්‍රියාවාදයෙනුත් වියුක්ත කරයි.
මෙවැනි ආකාරයේ ප්‍රතිසංස්කරණ වලදී ස්වභාවික විද්‍යා, තාක්ෂණික අධ්‍යාපනය, කළමනාකරණය, විගණනය සහ ඉංග්‍රීසි භාෂාවට මුල්තැනක් ලබා දේ. බොහෝ රටවල සමාජයීය විද්‍යා නොවැදගත් තැනකට පත්ව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය. සමහර විශ්ව විද්‍යාල වල සාහිත්‍ය සහ භාෂා පාඨමාලා විෂය නිර්දේශයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ වෑයම් ද ගෙන තිබේ. ඒවා උගන්වන කාර්ය මණ්ඩලයේ රැකියා අහිමිවීමේ අවදානමක්ද එම නිසා පවතී.
ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම මූල්‍යමය වශයෙන් ඉතා වැදගත් ආයෝජනයක් ලෙස සළකන නමුත්, සාහිත්‍යය සහ ස්වභාෂා අධ්‍යාපනය ඉගෙන ගන්නාට එවැනි ආකාරයේ වාසියක් ලබානොදෙන ඒවා වශයෙන් සැළකේ. මානව ශාස්ත්‍ර වලට මෙවැනි පද්ධතියක ලබාදී ඇති එකම වැදගත්කම වන්නේ ක්‍රය ශක්තිය ඇත්තවුන්ගේ පිනවීම සඳහා වන මාධ්‍ය ලෙස කටයුතු කිරීමයි. සම්භාව්‍ය රෝමානු කවියකු වූ හොරස් ට අනුව කවිය තුළින් ඉගැන්වීම සහ පිනවීම යන දෙකම කළ යුතුය.
මානව ශාස්ත්‍ර වල මේ ද්වි-විධ අරමුණු නවලිබරල් ශ්‍රම වෙළඳපොළ මඟින් එකිනෙකින් වියුක්ත කොට ඇත. එම රාමුව තුළ එම විෂයන් ආශ්වාදය ජනිත කරන කර්මාන්ත වල කොටසක් පමණි. සමාජමය වෙනසක් ඇති කිරීමෙහිලා ඒවායෙහි කාර්යභාරය ඒ අනුව මකා දමා තිබේ. අපේ අධ්‍යාපන පද්ධතිය නැවත පණ ගැන්වීමේ ක්‍රියාවලියේදී ගෝලීය වෙළඳපොළට එහා ගිය දැක්මක් රජයට තිබීම අත්‍යාවශ්‍ය වන්නේ එබැවිනි.
ජාතික ජනබලවේග රජයේ ඉදිරි ගමන් මඟ
වෙනසක් පොරොන්දු වෙමින් බලයට පැමිණි ජාතික ජනබලවේග රජය සිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට නව ලිබරල් කොන්දේසි පදනම් කර නොගත යුතුය. 2022 මහජන නැඟී සිටීමට තුඩු දුන් ආර්ථික අර්බුදය බොහෝ කොටම රට නව ලිබරල්වාදය වැළඳ ගැනීමේ ප්‍රතිඵලයකි. එම ප්‍රපාතයෙන් රට ගොඩ ගැනීමට රජයට අවංක අවශ්‍යතාවයක් තිබේ නම්, අධ්‍යාපනයද ඇතුළුව සියළුම අංශ තුළ නව ලිබරල්වාදය පරාජය කළ යුතුය. මේ පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් නොගෙන, එක් අතකින් සමාජ සාධාරණත්වයට කැපවන ගමන් අනෙක් අතින් ගෝලීය ශ්‍රම වෙළඳපොළට ප්‍රතිචාර දැක්වීම වැනි ව්‍යාකූල සංඥාවන් ලබාදීම අධ්‍යාපන පද්ධතිය තවදුරටත් දුර්වල කරවන්නකි. මේ ව්‍යාකූලත්වයට එක හේතුවක් වන්නේ බාහිර අරමුදල් සපයන ආයතන වල දැඩි පීඩනයත්, අධ්‍යාපනය එම අරමුදල් මත බොහෝ දුරට රඳා පැවැත්මත් ය.
අයවැය තුළ සිය ප්‍රමුඛතා නිවැරදිව හඳුනාගෙන, ගෝලීය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට ප්‍රතිරෝධය දැක්විය හැකි සිසුන් නිර්මාණය කළහැකි වන අයුරින් අධ්‍යාපනය වෙනස් කිරීම සඳහා රජය වැඩිපුර මුදලක් වෙන්කළ යුතු වේ. මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා වලට ලබාදෙන සහයෝගය පුළුල් කරන අතරම, සමාජ-ආර්ථික අසමානකම් අවම කරන සහ පරිසරයට වඩාත් හිතකර වූ තාක්ෂණික විසඳුම් සම්පාදනය කිරීම සඳහා ස්වභාවික විද්‍යා උපාධි පාඨමාලා නැවත සකස් කිරීමද කළයුතුය. සමස්තයක් වශයෙන් ගත්කළ, සමානාත්මතාවය අරමුණු කරගත් සමාජ විපරිවර්තනයකට සුදුසු අයුරින් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම රජය අරමුණු කළයුතු වේ.