අනාගතය ස්ත්‍රීද?

ෆර්සානා හනීෆා

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ 2020 සංඛ්‍යා ලේඛන අනුව එම වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන්ගෙන් 64.3% ක් ස්ත්‍රීන්ය. ස්ත්‍රී බහුතරයක් නොසිටින්නේ ඉංජිනේරු, තාක්ෂණ සහ පරිගණක විද්‍යා විෂයන් වල පමණි. 2020 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨය තුළ ස්ත්‍රී සිසුන් 2013 ක් (එනම් 85% ක්) සහ පුරුෂ සිසුන් 352 ක් (එනම් 15% ක්) විය; පේරාදෙණියෙහි එය 2962 (82%) සහ 651 (18%) වශයෙන් විය.

තත්වය මෙසේ තිබියදීත්, විශ්ව විද්‍යාලය තුළ වැඩිවන කාන්තා ජනගහණය වෙනුවෙන් තීරණ ගැනීමට විශ්ව විද්‍යාල පරිපාලනය සහ ප්‍රතිපත්ති සම්පාදකයන් යොමුව ඇත්තේ අල්ප වශයෙනි. ද්වීතියික අධ්‍යාපනය තුළ සාපේක්ෂව ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති ස්ත්‍රීන් සැළකිය යුතු ප්‍රමාණයක් සිටීමේ යථාර්ථය, තවමත් අධ්‍යාපන ප්‍රතිපත්ති හෝ විශ්ව විද්‍යාලය පරිපාලනය වන ආකාරයට එතරම් බලපෑමක් සිදුකොට නැත. මෙවැනි තත්වයක ඇති විභවය හඳුනාගෙන එය භාවිතා කරන තැනට අප තවමත් විකාශනය වී නොමැත.

පද්ධතිය අරක්ගත් ස්ත්‍රී-විරෝධය

ලංකාව කොහොමටත් එතරම් ස්ත්‍රී-හිතකර තැනක් නොවේ. මේ බව හොඳින්ම සන්නිවේදනය වන්නේ නිදහසේ සිට මේ දක්වා ව්‍යවස්ථාදායකයේ සහ පලාත් පාලන ආයතන වල කාන්තා සහභාගීත්වය/ නියෝජනය, ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයෙහි තීව්‍රතාවය සහ ස්ත්‍රී ශ්‍රමය සූරාකෑමේ භාවිතයන් තුළිනි. 

දේශපාලනය තුළ කාන්තා නියෝජනය අඩු වීම යම්තාක් දුරකට හෝ නිවැරදි කිරීම සඳහා පසුගිය පලාත් පාලන මැතිවරණයට කාන්තා කෝටාවක් හඳුන්වා දෙන ලදී. මෙවර පලාත් පාලන මැතිවරණ නාම යෝජනා දෙස බැලීමේදී ඒවාට ස්ත්‍රීන් ඇතුළත් කිරීමේ භාවිතය තරමක් දුරට සාමාන්‍යකරණය වී ඇති බව පැහැදිලි වේ. මධ්‍යම පාර්ලිමේන්තුව තුළ ආචාර්ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සහ ආචාර්ය හරිනි අමරසූරිය වැනි මන්ත්‍රිනියන්ගේ ආගමනය නිසා අපේ සිසුන්ට ගුරුකොට ගැනීමට චරිත බිහිවේ තිබේ. නමුත්  පාර්ලිමේන්තුවේ ආසන 225 කින් 12 ක පමණක් මන්ත්‍රිනියන් සිටීම තුළ රටේ දේශපාලන නායකත්වය පිළිබඳ අර්බුදය පමණක් නොව කාන්තාවන් නොසිටීම පිළිබඳ ගැටළුවක්ද සන්නිවේදනය වේ. පාර්ලිමේන්තු නායකත්වය ප්‍රචණ්ඩත්වය වැළඳ ගැනීම සහ මිනිසුන්ගේ දුක් කම්කටොළු වලට අන්ධ වීම තුළ ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය මත පදනම් වූ පැතිමානයක්ද ඇති බව පෙනී යයි. 

විශ්ව විද්‍යාලය තුළ ස්ත්‍රීන්ට වෙනස් කොට සැළකීම 

ස්ත්‍රී-විරෝධී ආකල්ප පවත්නා රටක ඔවුන්ට පවතින අභියෝග තේරුම් ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින තරුණ කාන්තාවන් පුහුණු කිරීම තුළින්, සිය අනාගතය පිළිබඳ උපායමාර්ගික තීරණ ගැනීමට ඔවුන් යොමුකළ හැකිවනු ඇත. කණගාටුවට කරුණ වන්නේ තරුණ කාන්තාවන් ශක්තිමත් කිරීම හා ඔවුන්ගේ නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව විශ්ව විද්‍යාලය තුළින් ලබා නොදීමයි. රටේ සමස්තයක් වශයෙන් ඇති ප්‍රවණතාවම නියෝජනය කරමින් විශ්ව විද්‍යාලය තුළද තීරණ ගැනීමේ මට්ටම් වල බොහෝ කොටම සිටින්නේ පුරුෂයින්ය. කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය තුළ කාන්තා ලේකම්වරු පත්වීම සාමාන්‍ය කරුණක් වුවත්, කාන්තා සභාපතිනියන් පත්ව ඇත්තේ කලාතුරකිනි. පීඨාධිපති තනතුර කාන්තාවක් විසින් හොබවා ඇත්තේ එක් වතාවක් පමණි. විශ්ව විද්‍යාලයේ ඉතිහාසය තුළ ප්‍රධාන මුදල් භාරකරු හා ප්‍රධාන ලේඛකාධිකාරී තනතුරු කාන්තාවන් විසින් එක් වතාව බැගින් දරා ඇත. කාන්තා උපකුලපතිවරු සිට ඇත්තේ තිදෙනෙකි. මේවාද සාමාන්‍ය තත්වයන් නොව ව්‍යතිරේඛයන් බව සිහිතබා ගත යුතුය. 

සංඛ්‍යා ලේඛන වලින් එහාට අවධානය යොමු කළවිට, පීඨ රැස්වීම් වල සිය අධිපත්‍යය පතුරුවන පුරුෂ කථිකාචාර්යවරු දැකිය හැකිවේ. සිය පුරුෂත්වය සහ වාර්ගික අනන්‍යතාව පදනම් කොටගෙන ස්ත්‍රීන් සහ සුළුතර කණ්ඩායම් නිහඬ කිරීමට ඔවුහු ක්‍රියාත්මක වෙති. එමෙන්ම සියළු වාර්ගික කණ්ඩායම් වල පුරුෂ කථිකාචාර්යවරු සිය ස්ත්‍රී සගයන් සහ සිසුවියන් පහත හෙලන ආකාරයේ  හැසිරීම්හිද නිරත වෙති. මේවා සම්බන්ධ නොපැහැදීමක් විවිධ කොටස් තුළ පැවතියද, ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමට පියවර තවමත් ගෙන නොමැත. මෙවැනි භාවිතයන්ට විරුද්ධත්වය එළිපිටම ප්‍රකාශ කිරීමේ සංස්කෘතියක් අප තවමත් නිර්මාණය කරගෙන නැත. මෙවැනි චරිත ඇත්තේ ස්වල්පයක් වුවත්, ඔවුහු ස්ත්‍රී සහ පුරුෂ සිසුන්ට ඉතා නරක පූර්වාදර්ශ සපයති. ස්ත්‍රී ගුරුවරු සහ ශිෂ්‍යාවන් යන දෙපිරිසටම මුහුණ දීමට සිදුවන ලිංගිකමය අතවර පිළිබඳ මෙම තීරුවේ දැනටමත් සාකච්ඡා කොට ඇත. එම නිසා විශ්ව විද්‍යාල තුළ ඇත්තේ කාන්තාවන්ට ඉතා අභියෝගකාරී පරිසරයක් බව පිළිගත යුතුය.

සියලු අභියෝග මධ්‍යයේ… 

ශාස්ත්‍ර පීඨ වල මෙන්ම සමස්තයක් වශයෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ බොහෝ සිසුන් පැමිණෙන්නේ ඉතා දුගී හෝ ආර්ථික අභියෝග රැසක් සහිත පහළ මධ්‍යම පාන්තික පවුල් වලිනි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මඟින් ලබාදෙන ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලැබීමට නම් පවුලේ වාර්ෂික ආදායම රු. 150,000 ට අඩුවිය යුතු බව මෑතදී දැනගන්නට ලැබුණි. ඊට සුදුසුකම් ලත් පිරිසද බොහෝය. එමෙන්ම දිවයිනේ දුගීම දිස්ත්‍රික්ක වල අවම පහසුකම් යටතේ ඉගෙනුම ලබන බොහෝ පිරිසක් ශාස්ත්‍ර පීඨය වෙත පැමිණෙති. සිසුන් සමඟ කළ සාකච්ඡා කිහිපයකදීම වැටහී ගියේ ඔවුන්ගේ පවුල් වල ආර්ථික තත්වය ඉතා බැරෑරුම් බවත්, උපාධිය ලැබීමෙන් පසු මඟක් සොයාගැනීම ඔවුන්ට ඉතා අභියෝගකාරී වනු ඇති බවත්ය. විශේෂයෙන්ම මෙවැනි පසුබිමකින් පැමිණෙන කාන්තා සිසුන් මෙවැනි තත්වයක් තුළ සිය පාඨමාලාවට ඇතුලත් වීමට හා එහි රැඳී සිටීමට විශාල අරගලයක් කරයි. එහෙත් වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ මෙම වෘතාන්ත වලට පිළිගැනීමක් ලබා නොදේ.  

අධ්‍යයන ගණනාවකට අනුව කාන්තා සිසුන් බොහෝ ප්‍රමාණයක් සිය සහකරුගේ ප්‍රචණ්ඩත්වයටද ගොදුරු වේ. 2023 ජනවාරි 17  වැනිදා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයෙන් මෑතදී උපාධිය ලබාගත් චතුරි හංසිකා මල්ලිකාරච්චි සිසුවිය එම පීඨයේම උගෙන ගත් සිය පෙම්වතා අතින් ඝාතනයට ලක් වූවාය. මෙම සිදුවීම අරබයා හටගත් තැති ගැන්ම ආමන්ත්‍රණය කිරීමට ඒ පිළිබඳ පන්ති වල සාකච්ඡා කිරීමේ පියවර ගැනීමට අපි උනන්දු වූයෙමු. 2022 අප්‍රේල් මාසයේ නවසීලන්තයේ වෙලිංටන්හි සිය ආචාර්ය උපාධිය හදාරමින් සිට නිවාඩුවකට ලංකාවට පැමිණි කොළඹ විශ්ව විද්‍යාලයේම කථිකාචාර්යවරියක් වූ අප්සරා විමලසිරි සිය ස්වාමි පුරුෂයා අතින් මරණයට ලක්විය. 2020 ජනවාරි මාසයේදී යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටි දොන් රෝෂිණී කාංචනා, පරන්තන් හමුදා කඳවුරේ වෛද්‍ය අංශයට අනුයුක්තව සේවය කළ සිය සැමියා අතින් මහ දවල් ඝාතනය වූවාය. 2015 දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ CARE International ආයතනය එක්ව සිදුකළ පර්යේෂණයකට අනුව විශ්ව විද්‍යාලය තුළ සිදුවන නවක වධය සහ ලිංගික හිංසන වැනි අත්දැකීම් නිසා දිගු කාලීන ශාරීරික-මානසික බලපෑම් මෙන්ම සමහර විට මරණය පවා සිදුව තිබේ. CARE International ආයතනයේ තවත් පර්යේෂණයක් මත පදනම්ව ඔවුන් සඳහන් කළේ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පුරුෂයින් තම අයිතියක් ලෙස දකින බවත්, එම මානසිකත්වය විශේෂයෙන්ම ඔවුන්ගේ සහකරුවන් තුළ පවතින බවත්ය. ගෘහස්ථව සහ හිතවතුන් අතර කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ප්‍රචණ්ඩත්වය පිළිබඳ මෙය බිහිසුණු මතක් කරදීමක් වන අතර, ඊට ශක්තිමත්ව මුහුණ දීමට, ඒ පිළිබඳ විවෘතව කතා කිරීමට සහ එය ප්‍රතික්ෂේප කිරීමට කාන්තාව සවිබල ගැන්වීමේ අවශ්‍යතාවද සිහි කැඳවයි.   

ප්‍රමාණවත් නොවන ක්‍රියාමාර්ග

වත්මන් තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියෙන් අවධාරණය කර සිටින, සිසුන්ගේ ‘සේවා නියුක්තියට සුදුසු බව’ වැඩි වර්ධනය කරන්නේ යැයි සැළකෙන ඉංග්‍රීසි, පරිගණක කුසලතා සහ ව්‍යවසායකත්වය වැනි හැකියාවන් පිළිබඳ ආඛ්‍යානය, විශ්ව විද්‍යාලය හා බාහිර ලෝකය තුළ පවතින මෙම යථාර්ථයෙන්  බොහෝ බැහැර වූවකි. ඉතා ප්‍රචණ්ඩ ලෙස ස්ත්‍රී-විරෝධී වන ලෝකයක් තුළ සිය මඟ සොයා ගැනීමේදී සිසුන් මුහුණ පාන අභියෝග පිළිබඳ නිසි අවබෝධයක් නොමැති අවධාරණයකි එය. ‘සේවා නියුක්තියට සුදුසු බව’ පිළිබඳ මෙම ආඛ්‍යානය තුළ ශ්‍රම වෙළඳපොළේදී ස්ත්‍රීන් මුහුණ දෙන වෙනස්කොට සැළකීම් – එනම් මාතෘ නිවාඩු, රාත්‍රිය වනතුරු සේවා ස්ථානයේ රැඳී සිටිය නොහැකි වීමේ ගැටළු වැනි කරුණු මත රැකියාවට බඳවා නොගැනීම, දරුවන් රැකබලා ගැනීම සඳහා උපකාරක පද්ධතියක් නොවීම, අතවර සහ ලිංගික හිංසන වැනි කරුණු මත රැකියාවක් තෝරා නොගැනීම ආදී සාධක – සැළකිල්ලට ගන්නා බවක් නොපෙනේ.

විශේෂයෙන්ම ශාස්ත්‍ර පීඨ තුළ ශිෂ්‍ය සංයුතියෙහි සිදුවන මෙම වෙනසට අනුකූල ප්‍රතිචාර දැක්වීමට විශ්ව විද්‍යාල පද්ධතිය වගබලා ගත යුතුය. මෙතනට පැමිණීම සඳහා ඔවුන් කර ඇති සහ කරන්නා වූ අරගලය පිළිගැනීමට ලක්කළ යුතුය; ඔවුන්ට කුමනාකාරයේ උපකාරක පද්ධතියක් තැනිය හැකිද යන්න පිළිබඳව ක්‍රමානුකූලව සිතා බැලිය යුතුය; විෂය නිර්දේශයන් මෙන්ම ඉගැන්වීම් මාදිලි තුළද ඔවුන්ට අනාගතයේ මුහුණ පෑමට සිදුවන අභියෝග වලට සූදානම් කරන ආකාරයේ අන්තර්ගතයක් තිබිය යුතුය; එසේම සමාජයේ ස්ත්‍රී-පුරුෂ භූමිකා විශ්ව විද්‍යාලය තුළ ප්‍රතිනිෂ්පාදනය වන ආකාරය පිළිබඳ කතිකාවක් මෙන්ම, ශිෂ්‍ය ආරක්ෂණ ආයතනගත කිරීමක්ද සිදුවිය යුතුය. 

තමා මුහුණ දෙන ගැටළු වලට නමක් දීමේ හැකියාව මෙම තරුණ කාන්තාවන් තුළ වර්ධනය කළයුතු අතරම, නිහඬතාවය ‘දරාගැනීමේ’ ප්‍රශංසාත්මක නාමයෙන් උසිගන්වනු වෙනුවට ප්‍රතිරෝධය ගැන සිතා බැලීමට අවශ්‍ය ධෛර්යය ඔවුන්ට ලබාදිය යුතුය.