අනාගතය ස්ත්‍රීන්ගේය 

ෆර්සානා හනීෆා 

2023 පෙබරවාරි මාසයේ ‘අනාගතය ස්ත්‍රීද?’ යන මැයෙන් මා විසින් ලියන ලද ලිපියේ සාකච්ඡා වූයේ අපේ උපාධි අපේක්ෂකයින්ගෙන් බොහොමයක් ස්ත්‍රීන් බවත්, සමාජයේ පවතින ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රී විරෝධය ආමන්ත්‍රණය කිරීමට විශ්ව විද්‍යාල පද්ධතිය විසින් ඔවුන් බලගන්වනු නොලබන බවත්ය. සිසුන් මෙන්ම පොදුවේ අප රටේ ස්ත්‍රීන් මුහුණ දෙන ස්ත්‍රී විරෝධයෙහි ස්වභාවයද එම ලිපිය තුළ මම සාකච්ඡා කළෙමි. 

ඉන් වසර දෙකකට පසු අද මා මේ ලිපිය ලියන්නේ මෑත සිදුවූ දේශපාලනික වෙනස්කම් හමුවේ පෙර ලිපියෙහි සඳහන් කළ කරුණු දෙස නැවත බැලීමටය. ස්ත්‍රී නායකයින් බොහෝ දෙනෙකුගෙන් සමන්විත, එමෙන්ම ශක්තිමත් ස්ත්‍රී ඡන්ද පදනමක සහයෝගය සහිතව නව රජයක් පත්ව ඇති මේ අවස්ථාව සැමරිය යුත්තකි. අප සමාජයේ දැඩිව මුල්බැසගෙන පවතින ස්ත්‍රී විරෝධය ආමන්ත්‍රණය කිරීමේ දිගු ගමනෙහි ඉතා වැදගත් ලක්ෂ්‍යයකි පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රී නියෝජනය වැඩි වීම. මගේ කලින් ලිපිය තුළ මා සඳහන් කළ එක් කරුණක් වූයේ විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබා පිටවන තරුණ කාන්තාවන් එළඹෙන්නේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සැබෑ තර්ජනයක් පවතින සමාජයකට බවයි. එවැනි සමාජයකට මුහුණ දීමටත්, එය පරිවර්තනය කිරීමටත් ඔවුන් බලගැන්විය යුතු බව මම එහිදී තර්ක කළෙමි. එකී පරිවර්තනයට අත්‍යාවශ්‍ය කොන්දේසියකි ස්ත්‍රීන් නායකත්ව ධූර දැරීම. අත්දැකීම් සහිත, හැකියාවෙන් අනූන ස්ත්‍රීන් බොහෝ දෙනෙකුට පාර්ලිමේන්තුවේ දොර විවර කිරීම ඔස්සේ නව රජය විසින් එවැනි පරිවර්තනයකට මුල පුරා ඇති බව පෙනේ. මේ ලිපිය තුළින් උත්සහ කරන්නේ එම පරිවර්තනයට නිසි පිළිගැනීමක් ලබා දීමට හා අපේ ස්ත්‍රී ශිෂ්‍ය ප්‍රජාවට එහි බලපෑම කෙබඳු දැයි තක්සේරුවක් කිරීමටය.   

මෑතදී Himal South Asian සඟරාව තුළ පලකළ ලිපියකින් ගමගේ සහ දසනායක පෙන්වා දී ඇති පරිදි, ජාතික ජන බලවේගය විසින් ස්ත්‍රීන් සචලීයකරණය කරනු ලැබූයේ පෙර නොවූ විරූ ලෙසය. ස්ත්‍රීන්ගේ වැටුප් නොලබන සුරැකුම් වැඩ මෙන්ම විවිධ කතිකා වල ස්ත්‍රී ශරීරය නිරූපණය වන ආකාරය වැනි ගැටළු ඔවුන් විසින් හුවා දක්වන ලදී. ලංකාවේ ස්ත්‍රීන් අනෙක් අංශ වලින් ලබා ඇති දියුණුව සළකා බැලීමේදී, දේශපාලන නායකත්ව ධූර දැරීමට ඔවුන් මුහුකුරා ඇති බව මෙම ලිපිය තුළ තර්ක කෙරේ. 2024 නොවැම්බර් 14 පැවැත්වුණු මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින් නම් කළ ස්ත්‍රී අපේක්ෂකයින් සංඛ්‍යාව 36 කි; ඉන් 20 ක් තේරී පත්වන ලදී. ඒත් සමඟම නිදහසෙන් පසුව දිගින් දිගටම 5% ක් ව පැවති පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය 10% දක්වා ඉහළ ගියේය. එහෙත් කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර පත් කිරීම් වලදී ජාතික ජන බලවේගය විසින් ස්ත්‍රී පාර්ලිමේන්තු සභිකයින්ගේ හැකියා සැළකිල්ලට නොගැනීම කණගාටුදායකය. ඔවුන් විසින් කැබිනට් මණ්ඩල සාමාජිකත්වය සඳහා සුදුසු බව තීරණය කොට තිබුණේ ස්ත්‍රීන් දෙදෙනෙකු පමණි: අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය, සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් යනු ඒ දෙදෙනාය.   

ඉතා දිගු කලක් තිස්සේ පුරුෂ බලකොටුවක්ව පවතින අපේ පාර්ලිමේන්තුව, රටට අවශ්‍ය නායකත්වයට ආදර්ශයක් නොවේ. ස්ත්‍රීන් සහ වෙනත් ලිංගික සුළුතර කණ්ඩායම් වලට සිය හඬ අවදි කිරීමට එහි මෙතෙක් ලැබී ඇති ඉඩ අවමය. සමරිසි සබඳතා තහනම් කරන වික්ටෝරියානු නීති තවමත් අපේ නීති පොත් වල ඇත. 1950 ගණන් වල හඳුන්වා දුන් ප්‍රශ්නකාරී සහ යල්පැන ගිය මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත දශක ගණනාවකට පසු අදටත් බලාත්මකය. ස්ත්‍රීන් සඳහා වූ යම් නීතියක් වේ නම් එය දිගු සහ දුෂ්කර අරගලයක ප්‍රතිඵලයකි. ඇත්තෙන්ම ස්ත්‍රීන් අරබයා වැඩියෙන්ම වෙනස් කොට සළකන, හෙලා දකින සුළු, එමෙන්ම පරිභවාත්මක කතිකාවන් දිගහැරෙන අවකාශයක් බවට පාර්ලිමේන්තුව පත්ව තිබේ (කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 2016 එළිදුටු ප්‍රකාශනයක් තුළ මේ සම්බන්ධ උදාහරණ බොහෝ ඇත). නීති හඳුන්වා දීම සම්බන්ධයෙන් මත පල කිරීමට තරම් කාලයක් තවම ගතවී නැතත්, පාර්ලිමේන්තුවේ ස්ත්‍රී සභික සංඛ්‍යාව වැඩි වීමෙහි ප්‍රතිඵලයක් ලෙස සභාව තුළ ස්ත්‍රීන් පිළිබඳ සාකච්ඡා කරන අයුරෙහි හෝ අවම වශයෙන් පැහැදිලිව හඳුනාගත හැකි වෙනසක් සිදුවී ඇත. එමෙන්ම සමහර ස්ත්‍රී සභිකයින්ගේ මැදිහත්වීමෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය හා සමාජ ආරක්ෂණ වැනි මාතෘකා පිළිබඳ සාරවත් විවාද දිගහැරෙමින් පවතී.   

පාර්ලිමේන්තුව තුළ සිය ප්‍රථම කතාවේදී ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න පවසා සිටියේ ශ්‍රී ලංකාව සිය ස්ත්‍රීන්ගේ ශ්‍රමය මත කොතරම් රඳා පැවතුනත්, ඔවුන්ට ලබා දී ඇති අයිතිවාසිකම් අවම බව හා ඔවුන්ව අවභාවිතයට ලක්කරන බවයි. ස්ත්‍රීන් මෙන්ම වෙනත් ලිංගික සුළුතර කණ්ඩායම් මුහුණ දෙන විවිධාකාරයේ වෙනස්කොට සැළකීමේ අත්දැකීම් ගැනද ඇය සභාවට සිහිපත් කර දුන්නාය. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට අපොහොසත් වීම සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් නීති පැනවීමට නොහැකි වීම පිළිබඳ පෙර රජයන් වගවිය යුතු බවද ඇය කියා සිටියාය. එම පෙරමුණේම ලක්මාලි හේමචන්ද්‍ර කියා සිටියේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සංශෝධනය කිරීමට උත්සහ නොගන්නේ රනිල් වික්‍රමසිංහ රජයේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යෑමට නොව, පසුගිය වසර වලදී රටේ ආර්ථිකයෙන් අතහැරී ගිය කණ්ඩායම් නැවත ඊට සහභාගී කරවාගැනීමට අවශ්‍ය ඉඩ විවර කිරීම සඳහා බවයි. මේ කරුණු සම්බන්ධයෙන් අපේ පෞද්ගලික ස්ථාවරය කෙසේ වුවත්, මෙවැනි මාතෘකා පාර්ලිමේන්තු විවාද වල මතු වීමම සැළකිය යුතු තරමේ දියුණුවක් බව පිළිගත යුතුය.

අග්‍රාමාත්‍ය ධූරයට අමතරව හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධූරයද දරයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇගේ වසර ගණනාවක සක්‍රීයත්වය සමඟ, එහි තත්වය දියුණු කිරීමෙහිලා ඇය සාර්ථක වන්නේ නම්,එහි බලපෑම අධ්‍යාපන ක්ෂේත්‍රයට පමණක් නොව ස්ත්‍රී නායකත්වය සම්බන්ධ කරුණු වලට පවා තදින් දැනෙනු ඇත. සරෝජා පෝල්රාජ් ටද අභියෝගයක් පවතී. ඇය යටතට පත්කොට ඇති කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඓතිහාසිකවම සාපේක්ෂව නොවැදගත් සේ සැළකූ, එසේම එහි ප්‍රතිඵලයක් ලෙස සැළකිය යුතු තරමේ සහයෝගයක්ද නොලබන ලද එකකි. ඊට හොඳම මෑත කාලීන උදාහරණයක් වන්නේ පසුගිය රජය යටතේ සිදුකළ 50% ක අරමුදල් කප්පාදුවයි. එම සීමාකම් යටතේ එම අමාත්‍යාංශයෙන් මේ තාක් ඉටුවී ඇත්තේ සමාජ සේවා මිස, ස්ත්‍රීන්ගේ තත්වය පරිවර්තනය කරන ආකාරයේ වැඩ කොටසක් නොවේ. නව රජය හා එහි ස්ත්‍රී නායකත්වය යටතේ තත්වය වඩා හොඳ අතට වෙනස් වනු ඇතැයි අපේක්ෂාවක් පවතී. මේ සියල්ලෙහි සාර්ථකත්වය තීරණය වන්නේ පක්ෂයේ/පෙරමුණේ සහයෝගය සහ, එවැනි සහයෝගයක් ලැබෙන තැනට ඇතිකෙරෙන මහජන පීඩනය මතය. එවැනි පීඩනයක් ඇතිවීමට නම් ස්ත්‍රී දේශපාලනඥයින්ගේ දායකත්වය ජනතාව හඳුනාගත යුතු වේ. මෙම ලිපිය එකී හඳුනාගැනීමෙහි ලා උදව් වනු ඇතැයි යන්න මගේ අපේක්ෂාවයි.  

එහෙත් පාර්ලිමේන්තුව තුළට පැමිණ සිටින මේ ශක්තිමත් කාන්තාවන්ගේ දක්ෂතාවය හෝ ඔවුන්ගේ පරිවර්තනීය බලපෑම පිළිබඳ සමාජ මාධ්‍ය මෙන්ම මධ්‍යම හා ඉහළ මධ්‍යම පාන්තිකයින් කරදර වන්නේ කලාතුරකිනි. ඒ වෙනුවට ඔවුන්ගේ අවධානය පවතින්නේ අග්‍රාමාත්‍යවරියගේ ලිංගික රුචිකත්වයන් මතය. පාර්ලිමේන්තුවේ වඩා ලාබාල මන්ත්‍රීවරියන් සම්බන්ධ ප්‍රතිචාරය මීටත් දරුණුය. ඔවුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් දැනටමත් සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය වෙමින් පවතී. මෙවැනි පුවත් පතුරුවන සමාජ මාධ්‍ය හා ජනමාධ්‍යද එය සිදු කරන්නේ ඉමහත් ප්‍රමෝදයකිනි; මන්ද, ඊට ප්‍රතිවිපාක ඔවුන් අපේක්ෂා නොකරන බැවිනි. මෙය අපේ සමාජයේ පවතින ස්ත්‍රී විරෝධී චින්තනයට හොඳ නිදසුනකි.

දේශපාලන ආයතන මඟින් ස්ත්‍රීන් හා ඔවුන්ගේ ගැටළු නොවැදගත් සේ සළකා බැහැර කිරීමේ දිගු ඉතිහාසයක ප්‍රතිඵලයක් ලෙසය මෙවැනි දේ සිදුවන්නේ. අප රට තුළ ගෘහස්ථ හිංසනය පිළිබඳ සිදුවීම් ප්‍රමාණය ඉතා විශාලය (2016 දී නිකුත් කළ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාව බලන්න). මෙවැනි හිංසන පොලිසිය හා වෙනත් රාජ්‍ය ආයතන විසින් නොසැළකිල්ලෙන් බැහැර කළ අවස්ථා ද ලේඛනගත වී තිබේ. සමාජ මාධ්‍ය හා වෙනත් අවකාශ වල ස්ත්‍රීන්ට කරන පරිභව වල ස්වභාවය සම්බන්ධයෙන් [පන්ති හා වාර්ගික කණ්ඩායම් රැසක] පුරුෂ පාර්ශ්වය තුළ කිසිදු වගවීමක් ඇති බවක් නොපෙනේ. වාර්තාකරණයේදී මාධ්‍ය වලටද මේ කරුණු සම්බන්ධව සංවේදී බවක් නැත.

අපේ සිසුන් ඉදිරියට එළඹෙන ලෝකය එසේ නම් ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඉහළ විභවතාවක් පවතින එකකි. සමාජයේ පවතින ස්ත්‍රී විරෝධීත්වය නැති කිරීමට බොහෝ කලක් තිස්සේ නීති රෙගුලාසි ආදිය ඔස්සේ අරගල කිරීමට සිදුවනු ඇත. එහෙත්  කාලාන්තරයක් මුළුල්ලේ ස්ත්‍රී ගැටළු සම්බන්ධ ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකොට ඇති පිරිස් වල පාර්ලිමේන්තු ආගමනය නිසා දැන් අපේ සිසුන්ට, විශේෂයෙන්ම ස්ත්‍රී සිසුන්ට, අනුකරණය කළහැකි ආකාරයේ දේශපාලන නායකත්වයක් ලැබී තිබේ. තවත් බොහෝ දුරක් යාමට තිබුණත්, නව වසරේ බලාපොරොත්තු සහගත බවකට ඉඩ විවර වීඇත.