අනුකූලතාවයේ සංස්කෘතිය: මනස සහ සිරුර හික්මවීම 

හර්ෂණ රඹුක්වැල්ල

ගුණදාස අමරසේකරගේ ‘ඉණිමගේ ඉහළට’ නවකතාවෙහි එන, ග්‍රාමීය පරිසරයකින් පැමිණෙන තරුණ විශ්ව විද්‍යාල සිසුවකු වන පියදාසගේ චරිතයට, කතරගම දේවාලයේ දිනපතා සිදුවන දේව පූජාව බලා ඉන්දැද්දී යමක් එක්වරම අවබෝධ වෙයි: පූජාවෙහි නැටුම්කාරියන්ගේ රිද්මයට ආකර්ෂණය වන ඔහුට මුලින්ම දැනෙන්නේ තද ශෘංගාරාත්මක හැඟීමකි. නමුත් ස්වල්ප මොහොතකින්ම ඒ පිළිබඳ පසුතැවිල්ලක් දැනෙන ඔහු ඉන්පසු කිරි වෙහෙර දෙසට ගමන් කරන්නේ තමන් විඳි ආශාවෙන් සිත පවිත්‍ර කරගනු පිණිසය. මේ සිදුවීම ගැන කල්පනා කරන පියදාසට මතුවන ගැටලුව වන්නේ තමන් සමඟ සිටි මාමා – බාල මහත්තයා – හට මෙවැනි සිතුවිලි පහළ නොවන්නේ ඇයිද යන්නයි. මීට පිළිතුරක් ලෙස පියදාස එළඹෙන නිගමනය තරමක් නීරස, කවුරුත් දන්නා ආකාරයේ එකකි: එනම් ‘චැටර්ලි ආර්යාවගේ ආදරවන්තයා’ වැනි කෘති පරිශීලනය කෙරෙන ආකාරයේ අධ්‍යාපනයක් තමා ලැබීමත්, එවැන්නක් බාල මහත්තයා නොලැබීමත් එම වෙනසට හේතුව බවයි. ‘කරුමක්කාරයෝ’ සහ ‘දෙපා නොලද්දෝ’ වැනි ලිංගික වශයෙන් ඉතා නිර්භීත තේමා ගවේෂණය කළ අමරසේකරගේ පසුකාලීන කෘති බොහොමයක මෙවැනි ආකාරයේ සදාචාරාත්මක යටි නූලක් දිව යයි. දූෂිත ‘බටහිර’ භාවිතයන් සහ නිකැළැල්, ග්‍රාම්‍ය සිංහල අනන්‍යතාවයක් අතර අමරසේකර මතුකොට පෙන්වන ගැටුමෙහි යම් නොපැසුණු ගතියක් තිබේ.  

නවකතා කලාවට අදාළ මෙවැනි උදාහරණයකින් මා මෙම ලිපිය ආරම්භ කළේ ඇයි? මෙහි දක්වන ලද ජවනිකාව තුළ ලාංකේය සමාජයේ තදින් මුල්බැසගෙන ඇති – මධ්‍යම පාන්තිකයින්ට සුවිශේෂයෙන් අදාළ වන – ගැටළුවක් නිරූපණය වන අතර, එය අධ්‍යාපනය තුළද ප්‍රතිනිෂ්පාදනය වන්නකි: එනම් අනුගත වීම පිළිබඳ ගැටළුවයි. ‘බටහිර’ හර පද්ධතිය තුළින් තමා කෙලෙසීමට ලක්වුණි යැයි සිතූ පියදාස තුළින්, අමරසේකරගේ ජීවිතයේ පැවති සංස්කෘතික අනුකූලතාව රඟ දැක්වුණි. ග්‍රාමීය සිංහල සංස්කෘතිය විකෘති කරන බවට වූ මාටින් වික්‍රමසිංහගේ ප්‍රසිද්ධ අවලාද හමුවේ තමා කලින් කියූ දේවල් වෙනස් කොට, සංස්කෘතික වශයෙන් වඩා අනුගත වන්නා වූ ආකාරයේ නවකතා ලිවීමට අමරසේකර පෙළඹුණි.  

මේ ආවර්ජනය සිදු කරන්නට මා යෙදුනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය මණ්ඩල (senate) ගොඩනැඟිල්ල ඉදිරිපිට වැළඳ ගත්තේ යැයි කියූ සිසු යුවලකට ශාරීරික සහ වාචික වාරණ පැනවීමේ සිද්ධියක් නිසාය. ප්‍රසිද්ධියේ ආදරය පෙන්වීම දෙස කොහොමත් ඔරවා බලන රටක, වඩා ‘ප්‍රගතිශීලී’ වියයුතු විශ්ව විද්‍යාලයද එවැනිම හර පද්ධතියක් අභ්‍යන්තරීකරණය කොටගෙන ඇත. මෙම නොඉවසීම කොතරම් දුරදිග යා හැකිද යන්නට හොඳ උදාහරණයක් 2016 වසරේදී හමුවිය. එහිදී පේරාදෙණියේ සුප්‍රකට එළිමහන් රංග පීඨය ‘වල’ හි රඟ දක්වන්නට නියමිතව තිබූ නාට්‍යයක වූ සිප ගැනීමේ දර්ශනයක් නිසා එම නාට්‍යයම නවතා දමන්නට සිදුවිය. නවක වදය තුළින් ප්‍රකට වන්නේද මෙම නොඉවසීමෙහිම තවත් කූට ප්‍රභේදයකි. එහිදී සංස්කෘතික සහ දේශපාලනික අනුකූලත්වය සාමාන්‍යකරණය කෙරේ. මෙහි රසවත් ප්‍රතිවිරුද්ධතාවක්ද ඇත. එනම් මෙම විශ්ව විද්‍යාල අවකාශය තුළම පරිපාලනයේ උවමනාවට වැඩි අත පෙවීම්, රටේ දේශපාලන සංස්කෘතිය මෙන්ම ආර්ථික අර්බුදය වැනි කරුණු වලට එරෙහිව සිසුන් විසින් විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීමයි. මේවා බොහෝ විට සංවිධානය කෙරෙන්නේ පසුගිය වසරේ අරගලයටද ඉමහත් දායකත්වයක් දැක්වූ ශිෂ්‍ය සංගම් විසිනි. සමහර විට මෙහි ප්‍රතිවිරුද්ධතාවයක් නැති වන්නටද පුළුවන. මන්ද, ශක්තිමත්  දේශපාලන බලවේගයක් ලෙස ශිෂ්‍ය ප්‍රජාවගේ සුජාතභාවය රඳා පවතින්නේම මෙම සංස්කෘතික අනුකූලතාව තුළ වන බැවිනි. නමුත් මෙම අනුකූලත්වය සඳහා සමාජමය වශයෙන් ඉහළ මිලක් ගෙවීමට සිදුවේ. ඊට ප්‍රතිරෝධය දැක්වීම වැදගත් වන්නේ එනිසාය. 

එක් අතකින් ගත්විට විශ්ව විද්‍යාලය තුළ ඇත්තේ ශිෂ්‍ය සිරුර සහ මනස බලෙන් හික්මවන ආකාරයේ සංස්කෘතියකි. විශ්ව විද්‍යාල ප්‍රවිෂ්ඨය ලබා ගන්නා වසරේදී නියම කර ඇති ආකාරයේ ඇඳුමක් ඇඳ, යටහත් පහත් ආකාරයෙන් ජීවත් වී, ‘ගරුසරු ඇතිව’ ජ්‍යෙෂ්ඨයන් අමතන ආකාරය බලෙන්ම කියාදෙනු ලැබේ. මෙය ශිෂ්‍ය පෞරුෂ වර්ධනයට හානියකි. මෙම අනුකූලතා සංස්කෘතිය සිය නිවෙස්, පාසල් සහ වඩා පුළුල් සමාජය තුළින්ම උකහාගෙනය බොහෝ සිසුන් පැමිණෙන්නේ. එම නිසා විශ්ව විද්‍යාලය තුළ එවැනි භාවිතයන් සම්මුඛ වනවිට වැඩි ප්‍රතිරෝධයක් නොදක්වා ඊට අනුගත වීමට ඔවුහු යොමුවෙති. එබැවින් මෙතැන යම් ප්‍රවිරුද්ධතාවයක්ද ඇති බව පැවසිය හැකිය: එක් අතෙකින් මෙසේ අනුකූලතාවය සඳහා ශිෂ්‍යයා පුහුණු කරන විට, අනෙක් අතින් එම ශිෂ්‍ය හවුලම රටේ දේශපාලනය සහ පවතින ක්‍රමයට අභියෝග කිරීමට යොමුවෙයි; විශ්ව විද්‍යාලය තුළ පවතින බල ව්‍යුහය ප්‍රශ්න කිරීමට යොමු නොවන ශිෂ්‍යයා, වඩා පුළුල් සමාජයේ බල ව්‍යුහයන් ප්‍රශ්න කිරීමට යොමුවේ; පෞද්ගලික නිදහස කප්පාදු කරන්නේ ‘පොදු යහපත’ යැයි සම්මත කරගත් දෙය රැකීම සඳහාය. සිංහල හා දෙමළ ප්‍රජාවන් ද්විත්වය තුළම ‘පොදු යහපතෙහි’ නාමයෙන් ජාතිවාදය දියත් වූ රටක, මෙවැනි අනුකූලතා නිසා සමාජ ප්‍රගතියට සිදුවන හානිය අමුතුවෙන් කිවයුතු නොහේ.  

අනුකූලතාවය ධෛර්යමත් කරන තවත් සාධකයක් වන්නේ විශ්ව විද්‍යාලය තුළම පවතින්නා වූ සංස්කෘතියයි. විචාරාත්මක සහ ස්වාධීන චින්තනයක් වර්ධනය කරනු වෙනුවට, පද්ධතිය තුළ පවතින බොහෝ භාවිතයන් තුළින් අනුකූලතාව දිරිමත් කරයි. පන්ති කාමරය තුළ බොහෝවිට අධිපති බවක් දරන්නේ ගුරුවරයාගේ මතයයි; එම මතය විභාගයේදී ප්‍රතිනිෂ්පාදනය කිරීමෙන් වැඩි ලකුණු ලබාගත හැකි බව ශිෂ්‍යයෝද දනිති. ශිෂ්‍ය ජීවිතය සහ දේශපාලනය තුළ පවතින අනුකූලතාව මෙවැනි භාවිතයන් ඔස්සේ බුද්ධිමය ජීවිතයටද ගලා ඒමක් සිදුවේ. විචාරාත්මක චින්තනය ගැන කොතරම් කතා කළද බොහෝ අවස්ථා වල ගුරුවරු ඇත්තෙන්ම සිය ශිෂ්‍යයන්ගෙන් මෙය බලාපොරොත්තු වීමද අවාසනාවකි.   

විශ්ව විද්‍යාල පද්ධතියේ සංස්කෘතිය තුළ පවත්නා මෙම අනුකූලතාව පරිපාලනය විසින්ද ප්‍රිය කරන එකකි. නිදසුනක් ලෙස පරිපාලන නිලධාරීන් විසින් ශිෂ්‍යයින් ‘පුතා’ හෝ ‘දුව’ ලෙස හැඳින්වීම බැලූ බැල්මට ආදරණීය දෙයක් සේ පෙනුණත්, එමඟින් කරන්නේ නෛතික වශයෙන් වැඩිහිටියන් වන ශිෂ්‍යයින්ට බාලයින් සේ සැළකීම හරහා බල සම්බන්ධතාවයක් ස්ථාපනය කිරීමයි. එසේම ගුරුවරයකු පන්ති කාමරයට පැමිණෙන විට අසුනින් නැඟී සිටීමද අනුකූලතාව නිහඬව දිරි ගැන්වීමකි. ඉහත දැක්වූ වැළඳ ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ ප්‍රතිරෝධය, අනුකූලතාව සම්බන්ධයෙන් පද්ධතිය තුළ නිල වශයෙන් පවතින කතිකාව හා ශිෂ්‍ය බහුතරයකගේ මතය එකිනෙක සමපාත වූ විරල අවස්ථාවන්ගෙන් එකක් වීම උත්ප්‍රාසයට කරුණකි.  

ශිෂ්‍යයින්ට ‘පුතා’ හෝ ‘දුව’ ලෙස ආමන්ත්‍රණය කරන ආයතනයම ක්ෂණයකින් ප්‍රචණ්ඩ වී ඔවුන් හික්මවීම සඳහා රාජ්‍ය මර්දනය භාවිතා කිරීමටද යොමුවිය හැකිය. සමහර විශ්ව විද්‍යාල වල ආයතනික චාරිත්‍ර වාරිත්‍ර තුළින්ම අනුකූලතාව දිරිමත් කරනු දැකිය හැකිය: රාජකාරී වේලාවන් තුළ ජාතික ගීය වාදනය කිරීමත්, තමුන් කුමන කාර්යයක නිරතව සිටියද ඊට ‘ගරු කිරීම’ ගුරුවරුන්ගෙන් හා ශිෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු වීමත් එවන් භාවිතයකි. මෙය මෑත කාලීනව රාජ්‍ය ආයතන ගණනාවක පැන නැඟ ඇති වඩාත් ජාතිකවාදී ආකාරයේ අනුකූලතාවකි. 

මින් මට පෙනී යන්නේ අනුකූලතාව වනාහි දිශානති ගණනාවකින් නැවත නැවතත් ප්‍රතිනිෂ්පාදනය වන භාවිතයක් බවයි. ලංකාවේ පාසල් පද්ධතියද ආරම්භයේ පටන්ම සිසුන් හික්මවීම සිය මූලික කාර්යයක් සේ සළකයි. බොහෝ (විශේෂයෙන්ම මධ්‍යම පාන්තික) නිවෙස් වලද මෙවැනි භාවිතයන් පවතින නිසා, පාසල හුදු නිවසෙහි දිගුවක් සේ දැකීමට සිසුහුද පෙළඹෙති. එම නිසා ‘පාසල’ යන්න විමුක්තියේ අවකාශයක් ලෙස දැකීමේ හැකියාව නැතිව යයි. ලිබරල් සහ ප්‍රගතිශීලී අවකාශයක් වියයුතු විශ්ව විද්‍යාලයට ඔවුන් පැමිණීමේදී මේ ඛේදවාචකය තවත් උත්සන්න වේ. එම නිසා අනුකූලතාව අභියෝගයට ලක්කිරීම හදිසි අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. මෙවැනි ආකාරයේ ගැටළු වලට කෙටි කාලීන විසඳුම් නොපවතී. එය ආමන්ත්‍රණය කිරීම සඳහා පළමු පියවරක් විය හැක්කේ මෙතැන ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීමයි. ඉන්පසු එවැනි භාවිතයන් අභියෝගයට ලක්කිරීම පිළිබඳ සිතා බැලිය හැකිය. නමුත් එය සිදුකිරීම සඳහා විශ්ව විද්‍යාලය තුළ අඩු වශයෙන් සිව් ආකාර පද්ධතීන් සමූහයක් ප්‍රතිසංවිධානය කළයුතු වේ: ශිෂ්‍ය විශ්වාස සහ භාවිතයන්; ආයතනික ක්‍රියාකලාප හා භාවිතයන්; සහ වඩාත්ම වැදගත් අංගය ලෙස ශිෂ්‍යයින් සමඟ වන අන්තර් ක්‍රියා වලදී ගුරුවරුන් සහ පරිපාලන නිලධාරීන්ගේ විශ්වාස සහ භාවිතයන් යන ඒවාය. මෙය තරමක් පරමාදර්ශී අපේක්ෂාවක් වුවත් මෙම සංවාදය කොතනකින් හෝ ඇරඹිය යුතුය.