අරගලය මර්දනය කිරීම; අධ්‍යාපනය සහ සමාජ පන්තිය පිලිබඳ කතිකාව

අනුෂ්කා කහඳගමගේ

අරගලකරුවෝ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කරනු ලැබුවේ, ජනාධිපති, අගමැති ධූර වලින් රාජපක්ෂවරු ඉල්ලා අස්වීමට සැලැස්වීමෙනි. රාජපක්ෂ රාජධානියේ බිඳ වැටීමත් සමඟ, රාජපක්ෂවරුන්ගේ රූකඩයක් වූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විකෘති බහුතරයක් සමඟ ජනාධිපති බවට පත්විය. ජනතා කැමැත්තකින් තොරව ජනාධිපති බවට පත්වූ වික්‍රමසිංහ ඔහුට ජනාධිපති වීමට පාර කැපූ අරගලය මර්දනය කිරීම ඇරඹීය. වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් දී පැය කිහිපයකට පසු එළඹුණු මධ්‍යම රාත්‍රියේ, ගෝටාගෝගම අරගලකරුවන් අරගල භුමිය අතහැර යාමට පොරොන්දු වී සිටියදීත්, වික්‍රමසිංහ හමුදාව යොගා ගනිමින්  කාන්තාවන් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු අරගලකරුවන්ට පහර දුන් අතර, මුළු අරගල භූමියම විනාශ කළේය. හමුදාව, බීබීසී ඇතුළු මාධ්‍යවේදීන්ට පහර දුන් අතර, එම ස්ථානයේ තිබූ ගොඩනැඟිලි විනාශ කළහ. වික්‍රමසිංහ බලයට පත්වූ තැන් පටන් අරගලකරුවන් දඩයම් කිරීම ඇරඹී ඇති අතර, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සුලබ බවට පත්ව ඇත. වසන්ත මුදලිගේ, සිරිධම්ම හිමි ඇතුළු ශිෂ්‍ය නායකයින් මෙන්ම, ජෝශප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින්ද අත් අඩංගුවට ගැනුණි.

කතිකාවේ පන්තිමය ස්වභාවය; විරුද්ධාභාසය

ජාතික සහ ජාත්‍යන්තර සමාජ ක්‍රියාකාරීන් මෙන්ම, ජනමාධ්‍ය වේදීන් සහ ශිෂ්‍යයින් ගෝටාගෝගමට එල්ලවූ ප්‍රචණ්ඩ පහරදීම් හෙළාදකින ලදී. සමාජ මාධ්‍ය, මෙම පහර දීමට සම්බන්ද වීඩියෝ පටවලින් සහ පහර දීම හෙලා දකින්නාවූ ප්‍රකාශ වලින් පිරී ගියේය. බොහෝ සමාජ මාධ්‍ය ප්‍රකාශන හමුදාව වෙත ඇඟිල්ල දිගුකරන ලදි. නමුත් වඩාත් කැපී පෙනෙන ලෙස, සමාජ මාධ්‍ය බොහෝවිට හමුදාවේ අඩු අධ්‍යාපන මට්ටම සහ හමුදාව හැසිරුණු ප්‍රචණ්ඩ ආකාරය අතර සම්බන්ධයක් ගොඩ නැඟීමට උත්සහ කළේය – ‘අට පාස් හමුදාකාරයෝ’. එමෙන්ම පාලක පක්ෂයේ දේශපාලකයෝ සහ ඔවුන්ගේ හිතවතුන්, අරගලකරුවන් හෙළා දකිනු ලැබුවේ ‘කුඩ්ඩෝ’ ලෙස ඔවුන්ව හංවඩු ගැසීමෙනි. රාජ්‍යයට හිතවාදී සහ රාජ්‍යයේ ක්‍රියාකලාපයට එරෙහි කණ්ඩායම් දෙකකින් පැන නැඟුණත්, මේ කතිකා දෙකම සමාජ පන්තිය පදනම් කරගත් සහ පන්තිවාදී භාෂාවක් තුළ ගිලී ගොස් ඇත. එනම් අරගලකරුවන්ට පක්ෂපාති මෙන්ම, අරගලකරුවන් මර්දනය කිරීමට උත්සහ දරන පාර්ශව දෙකම ඒ සඳහා භාවිතාකරන ලද භාෂාව පන්තිවාදී භාෂාවකි – එනම් මොවුන් දෙපිරිසම, පුද්ගල ක්‍රියාව සමාජ පන්තියට හෝ ඒ හරහා පැනනඟින අධ්‍යාපන මට්ටමට ලඝුකර ඇත.

අරගලකරුවන්ට පහර දීම හෙළා දුටු පුද්ගලයින් අතර, ජනාධිපතිගේ අධ්‍යාපන මට්ටම පිලිබඳ ඇතිව තිබුනේ ඉතාම අඩු කතා බහකි, නැතහොත් ඔවුන් එය නොසලකා හැර තිබුණි. ඉතාම ප්‍රචණ්ඩ ඉතිහාසයක් ඇති වික්‍රමසිංහ මෙම පහරදීමට අණකළ බවට සැකයක් නැත. එමෙන්ම අරගලකරුවන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම පිටුපසත් ඔහු සිටින බවට සැකයක් නැත. වික්‍රමසිංහගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් පිලිබඳ ජනතාව දැනුවත්ව සිටියත්, ඒවා ඔහුගේ අධ්‍යාපන මට්ටම සමඟ සම්බන්ධකර සාකච්ඡා නොවන්නේ හෝ එසේ සාකච්ඡා වන්නේ අවම වශයෙනි. අරගල සමය තුළ, වික්‍රමසිංහගේ කොළඹ හතේ පෞද්ගලික පුස්තකාලය ගිනිබත් වූ විට, බොහෝ දෙනා කියා ‘කියවීමේ’ සහ ‘දැනුමේ’ වැදගත්කම අවධාරණය කළහ. රනිල් වික්‍රමසිංහ සැළකෙන්නේ, උගත්, හොඳින් පොත පත කියවූ විදෙස් ප්‍රතිපත්තිය ගැන අවබෝධයක් සහිත දේශපාලන නායකයෙකු වශයෙනි. අතකින් හමුදාවේ ප්‍රචණ්ඩකාරී හැසිරීම ඔවුන්ගේ අඩු අධ්‍යාපන මට්ටම සමඟ සම්බන්ධ කරන අතර (මම මෙයින් හමුදාව උත්කර්ෂයට නැංවීමට උත්සහ නොකරමි), වික්‍රමසිංහගේ අධ්‍යාපන මට්ටම සහ ඔහුගේ ප්‍රචණ්ඩ ක්‍රියා කලාපය සම්බන්ධ කරමින් අදහස් ප්‍රකාශ වන්නේ අවම මට්ටමකිනි.

ප්‍රචණ්ඩත්වය සහ අධ්‍යාපනය

ප්‍රචණ්ඩත්වය සහ අධ්‍යාපන මට්ටම අතර ඍජු හෝ අත්‍යවශ්‍ය සම්බන්ධයක් නැත. නමුත් නිරන්තරව සිදුවන්නේ, ධනවාදය විසින් ‘ප්‍රචණ්ඩත්වය’ අඩු වරප්‍රසාද සහිත කණ්ඩායම් හෝ අඩු අධ්‍යාපන මට්ටම් සමඟ සම්බන්ධ කරන ලෙස බලකර සිටීමයි. විධිමත් අධ්‍යාපන ව්‍යුහ ධුරාවලි, බලය මෙන්ම නව ලිබරල්වාදී වෙළඳපොල ආර්ථික නඩත්තුකර පවත්වාගෙන යයි. විධිමත් අධ්‍යාපනය විසින් ප්‍රධාන සමාජයේ පවතින ඇගයුම්, විශ්වාස සහ ආකල්ප අනුව පුද්ගලයා සමාජානුයෝජනය කරයි. අධ්‍යාපනය විසින් පවතින සමාජ පර්යාය සුජාතභාවයට පත්කරයි. එනම්, විධිමත් අධ්‍යාපනය මඟින් සිදු කරන්නේ, පවතින සමාජ පර්යයට අවශ්‍ය සේවකයින් පුහුණු කිරීම, ඔවුන්ට වඩාත් කාර්යක්ෂම විය හැකි නිපුණතා  වර්ධනය කිරීම මෙන්ම නිෂ්පාදන සම්බන්ධතා වඩාත් ස්වභාවික බව පෙන්වා දීමයි. අධ්‍යාපනය අහිංසක අවකාශයක් නොවන අතර, ඒ වෙනුවට පවතින අසමානතා හා ධුරාවලි පවත්වාගෙන යමින් ප්‍රතිනිෂ්පාදනය කරයි.

අප බොහෝවිට ‘අඩු’ අධ්‍යාපනය සහ වරප්‍රසාද රහිත බව, ප්‍රචණ්ඩත්වය සමඟ සම්බන්ධ කරන්නේ, ‘උගත්’ සහ ‘ධනවත්’ යන දේ උත්කර්ෂයට නංවන දේශපාලනික-ආර්ථික ව්‍යුහ මඟින් එසේ කරන්නට අප පුහුණුකර ඇති බැවිනි. කිසිඳු තත්වයක් යටතේවත් හමුදාව උත්කර්ෂයට නැංවිය යුතු නොවන නමුත්, අප තේරුම් ගත යුතුව ඇත්තේ,  අරගල භූමියට පහර දුන්, වරප්‍රසාද අඩු සමාජ තල වලින් පැමිණෙන හමුදා සෙබළුන්ට එසේ කිරීමට අණ දුන්නේ ‘උගත්’ යයි සම්මත ජනාධිපතිවරයා විසින් බවයි. ප්‍රචණ්ඩත්වය උත්පාදනය කරන්නේ ඊට ඍජුව සම්බන්ධවන පුද්ගලයින් නොව, ඒ සඳහා අණ ලබාදෙන පුද්ගලයින්ය. ධනවාදී අගය පද්ධති තුළින් පැන නඟින විධිමත් අධ්‍යාපන ආයතන මෙවැනි ජනප්‍රියවාදී ආඛ්‍යාන නිෂ්පාදනය කරමින්, ප්‍රති නිෂ්පාදනය කරමින් පවත්වාගෙන යයි. අපගේ ව්‍යාධිමය සමාජ කොන්දේසි සහ අපගේ අධ්‍යාපන පද්ධති අතර අනිවාර්ය සම්බන්ධයක් ඇත. විශාල වශයෙන් වෙළඳපොල මඟින් හසුරුවන ලබන අධ්‍යාපනය, රැකියා ශක්‍යතාව, කාර්යක්ෂමතාව හෝ ඵලදායිතාව යන ආඛ්‍යාන තුළ සිරවී ඇති අතර, මානව ඇගයුම් සහ විචාරශීලී සිතීම පසෙකට තල්ලු වී ඇත. මෙවැනි තත්වයක් තුළ, විකල්ප අධ්‍යාපන ආකෘති ඇතිවීම අත්‍යවශ්‍ය වෙයි.

ප්‍රති ආඛ්‍යාන සහ විකල්ප අධ්‍යාපන ක්‍රම

අධ්‍යාපනය, රාජපක්ෂ රෙජීමය පැරදවූ අරගලයේ තීරක සාධකයක් විය. මේ සන්දර්භය තුළ මා ‘අධ්‍යාපනය’ ලෙස අදහස් කරන්නේ, අරගලය සඳහා මූලික වූ අධ්‍යාපනයයි; ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ අධ්‍යාපනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ අධ්‍යාපනය, අරගල පිලිබඳ ඉතිහාසය, ආර්ථිකය පිලිබඳ දැනුම ආදිය ඒවා අතර ප්‍රධාන වෙයි. ගොටගෝගම වැසියන් මෙන්ම, අරගලයට විවිධ අයුරින් සම්බන්ධ වී සිටි පිරිස් ආර්ථිකය, සමාජ දේශපාලනික ප්‍රශ්න පිලිබඳ ජනතා අවබෝධය වැඩි කිරීමට විවිධ වැඩසටහන් දියත්කළ අතර, නිවැරදි සටන් පාඨ කියන්නේ කෙසේද සහ අරගලය ‘නිවැරදි’ මාවතේ ගෙන යන්නේ කෙසේද යන්න ගැන ජනතා දැනුම වර්ධනය කළහ. ඒ අනුව සිය ගණන් සංවාද සංවිධානය වූ අතර, ලිපි, සමාජ මාධ්‍ය ප්‍රකාශන එලි දැක්වුණි. ගෝටාගෝගම ප්‍රධාන අරගල භූමියේ ජනතාව දැනුවත් කිරීම උදෙසා,  පුස්තකාලයක්, විශ්වවිද්‍යාලයක්, පාසලක්, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ආදිය ගොඩ නැඟුනි.

‘අධ්‍යාපනය’, අරගලය එකට බඳිනු ලැබූ ඇමිණුම් පොටක් විය. අරගලය තුළ අධ්‍යාපනය පිලිබඳ විවිධ ආකාර වාද විවාද පැවතුණු අතර, ආයතනික සහ ධුරාවලිගත අධ්‍යාපනය අභියෝගයට ලක්කිරීම උදෙසා විවිධ විකල්ප අධ්‍යාපන ආකාර යෝජනා විය. විකල්ප අධ්‍යාපන ආකාර හඹා යාමටත්, ප්‍රති-ආඛ්‍යාන ගොඩ නැඟීමටත් අරගලය තෝතැන්නක් විය. අවාසනාවන්ත ලෙස, මෙම විකල්ප අධ්‍යාපන ව්‍යුහ බොහෝමයක්, ඍජුව හෝ වක්‍ර ලෙස, ධුරවලිගත සහ සිංහල බෞද්ධ ආඛ්‍යාන උත්කර්ෂයට නංවන, ප්‍රධාන ධාරාවේ අධ්‍යාපන ව්‍යුහවල ස්වරූපය ගත්තේය. උදාහරණ ලෙස, දැනුවත් කිරීම සඳහා පැවැත්වූ සංවාද බොහොමයක්, අනෙකුත් භාෂා නොසලකා හරිමින් සිංහල භාෂාවෙන් පමණක පැවැත්වුණි.  එමෙන්ම මේ සාකච්ඡා බොහොමයක් ‘විෂෂඥයින්’ ගෙන් පිරී ගොස් තිබූ අතර ඔවුන් විසින් ‘නූගතුන්’ වෙත දේශනා පවත්වන්නට යෙදුනි.

සාරාංශ වශයෙන් කියන්නට ඇත්තේ, පවතින ධනවාදී අධ්‍යාපන පද්ධති, එක ආකාරයක ජීවිතයක් පමණක් සාමාන්‍ය ජීවිතයක් ලෙස පෙන්වා දෙමින්, පන්තිය සහ අධ්‍යාපන මට්ටම පාදක කරගනිමින් ‘අනෙකා’ පීඩාවට පත්කිරීමට පුහුණුවක් ලබා දෙයි. උදාහරණ ලෙස, ප්‍රචණ්ඩත්වය සහ අධ්‍යාපනය ගැන කතිකාවෙන් වික්‍රමසිංහ ඉවත්කර හමුදා සෙබළුන් පමණක් එහි රඳවා ගැනීම පෙන්වා දිය හැකිය. මෙම ධුරාවලි ප්‍රශ්න කිරීම සඳහා විකල්ප අධ්‍යාපන ආකාර හඳුන්වා දිය යුතුව ඇත.