අරමුදල් සම්පාදනය සහ සමාන සාධාරණත්වය (equity) පිළිබඳ මූලධර්මය: උසස් අධ්‍යාපනය සඳහා වියදම් කළ යුත්තේ කවුද?

ෆර්සානා හනීෆා

අධ්‍යාපනය, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳ ලංකාවේ අද වනවිට පවතින විවාදය ඉතා ව්‍යාකූල එකකි. එක් පසෙකින් ඉදිරිපත්ව ඇති තර්කයක් වන්නේ උසස් අධ්‍යාපනය සඳහා අයදුම් කරන සියල්ලන්ට පහසුකම් සැපයීමේ හැකියාව රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට නොමැති හෙයින් පෞද්ගලික අංශය විසින් එම අවස්ථා පුළුල් කළයුතු බවය. තවත් පසෙකින්, රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් බිහිවන උපාධිධාරීන් සේවා නියුක්තියට නුසුදුසු බැවින් (unemployable) ඔවුන් ලබන අධ්‍යාපනයෙහි ප්‍රවේශයන් සහ විෂය නිර්දේශ වෙනස් කළයුතු බවටද අදහසක් තිබේ. විශේෂයෙන්ම කලා උපාධිධාරීන් අරබයා මේ දෙවැනි තර්කය වඩාත් අදාළ බවට පිළිගැනීමක් ඇත. ඊට අනුව ඔවුන් රාජ්‍ය අරමුදල් අවභාවිතා කරමින් දේශපාලනයෙහි යෙදෙමින් සිටින වැඩකට නැති පිරිසකි. මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන්කොට ඇති අරමුදල් රඳවා තබා ගනිමින්, උසස් අධ්‍යාපන වැය ශීර්ෂය කප්පාදු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. එසේ වුවත් බඳවා ගන්නා සිය ශිෂ්‍ය ප්‍රමාණය ඉහළ දැමීමට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට උපදෙස් ලැබී තිබෙන අතර, අවශ්‍ය අරමුදල් ස්වයංව සම්පාදනය කරගැනීම සඳහා ගාස්තු අයකරන පාඨමාලා හඳුන්වා දීමටද පීඩනයක් එල්ල වේ.   

උසස් අධ්‍යාපනයට අරමුදල් සැපයීමෙන් රාජ්‍යය දුරස්ථ වීමේ වෑයමක් ඇති බව පැහැදිලිය. මේ යටතේ ඉදිරිපත් වන එක් දුර්වල තර්කයකට අනුව, ද්වීතීයික අධ්‍යාපනයට සාපේක්ෂව තෘතීයික අධ්‍යාපනය සඳහා සිදුකරන ආයෝජනයට ලැබෙන ඵලය අඩුය. (මෙය දුර්වල තර්කයක් ලෙස මා හඳුන්වන්නේ එහි පදනම ප්‍රශ්නකාරී බැවිනි. සමස්තයක් ලෙස රාජ්‍යය අධ්‍යාපනයට කරන ආයෝජනය අවමය. එවැනි ක්ෂේත්‍රයක ආයෝජනයට සාපේක්ෂව ලැබෙන ඵලය පිළිබඳ කතා කිරීම අදාළ ප්‍රතිශත අගයන් කපට ලෙස භාවිතා කිරීමකි.) එමෙන්ම උසස් අධ්‍යාපනය පෞද්ගලික ප්‍රාග්ධනයට විවෘත කිරීමට පෞද්ගලික අංශයෙන් සෑහෙන තරමේ තල්ලුවක් සිදුකරන බවද අප සිහිතබා ගත යුතුය. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභී සිසුන් බොහොමයක් අඩු වරප්‍රසාද සහිත මධ්‍යම පාන්තික හෝ දුගී පසුබිම් වලින් පැමිණෙන්නන් බව මේ කෝලාහලය තුළ බොහෝවිට අමතක වන කරුණකි. මෙම ලිපියේ අරමුණ වන්නේ උසස් අධ්‍යාපනයේ අරමුදල් කප්පාදු කිරීමට ලංකාවේ මේ මොහොතේ ගැනෙන උත්සාහය වෙනත් රටවල අත්දැකීම් හා සසඳා බැලීමටය.    

එක්සත් රාජධානියේ අත්දැකීම මේ සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් එකකි. එරටෙහි 1962-1998 කාලය තුළ පැවති නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා විශාල අර්බුදයක් නිර්මාණය වී ඇත. 1990 දශකය තුළදී එවක කම්කරු පාක්ෂික රජය විසින් නාමමාත්‍රික පදනමක් මත ගාස්තු අය කිරීමේ පාඨමාලා ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. ඉන්පසුව කලින් කලට ඉහළ දමන ලද්දේ මෙම ‘නාමමාත්‍රික’ ගාස්තුවය. අද වනවිට එය වසරකට එක් සිසුවෙකුට බ්‍රිතාන්‍ය පවුම් 9250 ක් තරම් වූ අගයක් වන අතර, ලෝකයේ වඩාත් මිල අධිකම අධ්‍යාපන ක්‍රමයන්ගෙන් එකකි. බොහෝ සිසුන් මේ සඳහා අවශ්‍ය ආදායම් උත්පාදනය කරගන්නේ ණය වලිනි. සෑම වසරකම ශිෂ්‍ය ණය (student loans) සඳහා පොළිය, එම වසරේ රටේ සිල්ලර මිළ දර්ශකයට වඩා 3% කට නොවැඩි අගයක රඳවා ගැනුණි. වර්තමානයේ උද්ධමනය වැඩිවී ඇති තත්වයක් තුළ මෙම අගය 6.25% සහ 7.3% අතර අගයක දෝලනය වේ.    

බ්‍රිතාන්‍යයේ ආර්ථික පර්යේෂණ කාර්යාංශය විසින් 2018 නිකුත් කළ වාර්තාවකට අනුව ගාස්තු ගෙවීමේ පාඨමාලා ක්‍රියාත්මක වූ වසර 20 ක කාලය තුළ අධ්‍යාපනයේ තත්වය, ශිෂ්‍ය බඳවා ගැනීම් සහ පාඨමාලා (equity) යන කරුණු තුනේම වර්ධනයක් පෙන්නුම් කොට තිබේ (Murphy et al 2017). වාර්තාවට අනුව අධ්‍යාපන ගාස්තු ගෙවීම සඳහා ශිෂ්‍ය ණය ලබාගත්තවුන්ගෙන් ඒවා නැවත ගෙවීම බලාපොරොත්තු වන්නේ යම් ආදායම් මට්ටමකට ළඟා වීමෙන් පසුව පමණක් බැවින්, අඩු ආදායම් පසුබිම් වලින් පැමිණෙන සිසුන්ට එය වැඩි පහසුවක් වුණි. ගාස්තු නිසා එක් එක් විශ්ව විද්‍යාලයට සිය සිසුන් වෙනුවෙන් කළහැකි ආයෝජනයද වැඩිවූ අතර, ඒ හේතුවෙන් අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ ගිය බව වාර්තාව පෙන්වා දේ. වාර්තාවට අනුව, මේ හේතු නිසා මේ කාලය තුළ ශිෂ්‍ය බඳවා ගැනීම්ද ඉතා ඉහළ ගිය බැවින් ගාස්තු අය කිරීමට පක්ෂ තර්ක ඒ ඔස්සේ ගොඩනැඟුණි. 

එසේ වුවත් මෙම කාලය තුළ එක්සත් රාජධානියේ අඩු ආදායම්ලාභී පසුබිම් වලින් පැමිණෙන සිසුන්ගේ අධ්‍යාපන ණය බරෙහි ප්‍රමාණය උපාධිය ලබන අවස්ථාව වනවිට බ්‍රිතාන්‍ය පවුම් 55,000 ක සාමාන්‍යයක් දක්වා පැමිණ තිබුණි. මෙම ණය, උපාධිය ලබා වසර 30 ක උපරිමයක් තුළ නැවත පියවිය යුතුව තිබූ අතර, බොහෝ අයට එම කොන්දේසිය සම්පූර්ණ කරගත නොහැකි වීම නිසා ණය මත පදනම් වූ මෙම අධ්‍යාපන ක්‍රමය ඵල රහිත බවට මතයක් ගොඩනැගුණි. 2022 දී ණය නැවත පියවීමේ කාල සීමාව වසර 40 ක් දක්වා දීර්ඝ කෙරුණු අතර, නැවත පියවීම ආරම්භ කළයුතු අවම වැටුප් මට්ටමේ සීමාව පහළ දැමුණි. 2017 දී Guardian  පුවත්පතේ පල කරන ලද ලිපියකින් එවක අධ්‍යාපන උපදේශක තනතුර දැරූ ඇන්දෘ ඇඩෝනස් කියා සිටියේ මෙම සමස්ත යාන්ත්‍රණයම නවතා දැමිය යුතු බවයි. සිසුන්ට කවදාවත් නැවත ගෙවාගත නොහැකි ණය බරක් ඔවුන් මත පටවන, එනිසාම එහි පාඩුව රජයට දරාගැනීමට සිදුවන මෙම ක්‍රමය ඉතා ප්‍රෝඩාකාරී එකක් බව ඔහුගේ මතය විය. මේ සියල්ල මධ්‍යයේ ශිෂ්‍ය විරෝධතා නොතකා පාඨමාලා ගාස්තු කිහිප වතාවක් ඉහළ දැමුණු බවද සිහිපත් කිරීම වටී.

2023 දී, එනම් ඉතා මෑතක, එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන පද්ධතිය තුළ තවත් මූල්‍යමය අර්බුදයක් වාර්තා විය. ඊට හේතු වී ඇත්තේ විදෙස් සිසුන් එම විශ්ව විද්‍යාල වලට බැඳීම අඩු වීමයි. ඔවුන්ගෙන් ලැබෙන ගාස්තු වල ප්‍රමාණය ඊට සාපේක්ෂව පහත බැසීම නිසා මෙම අර්බුදය හටගෙන තිබේ. Brexit ලෙස හඳුන්වන, යුරෝපා හවුලෙන් එක්සත් රාජධානිය ඉවත් වීමේ සිද්ධිය සහ එරට ආගමන-විගමන රෙගුලාසි පිළිබඳ යථාර්ථය නිසා තත්වය තවත් දරුණු වී ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාදෙන රාජ්‍ය සහය වැඩි කිරීම පිළිබඳ සංවාදයක් අදිමදියේ ගොඩනැඟෙන්නේ මෙවැනි තත්වයක් තුළය. ධනේශ්වර පුවත්පතක් වන Financial Times පවා මෑතදී පවසා ඇත්තේ බ්‍රිතාන්‍යය තුළ උසස් අධ්‍යාපනයට ලබාදෙන රාජ්‍ය සහය ජර්මනියේ ලබාදෙන සහයෙන් අඩක් පමණ වන බවයි.   

එක්සත් රාජධානියේ අත්දැකීමෙන් අපට උගත හැකි පාඩම නම් රාජ්‍යයකට උසස් අධ්‍යාපනයේ අරමුණ අමතක වූ විට විශ්ව විද්‍යාලයක් පැවතිය යුත්තේ ඇයිද යන්න පිළිබඳ හැඟීමක් නැතිව යාහැකි බවයි: එනම් රටක අනාගත පරපුරට සිය උපරිම විභවය (potential) සාධනය කරගත හැකි කොන්දේසි සම්පූර්ණ කර දීමයි. අධ්‍යාපන ආයතන වල පැවැත්ම තහවුරු කරගැනීම සඳහා සිසුන් ණය කන්දකට යට කිරීමෙන් මේ අරමුණ ළඟා කරගත නොහැකිය. එසේම මේ අරමුදල් හිඟය පියවා ගැනීම සඳහා විදෙස් සිසුන් භාවිතා කිරීමද සදාචාරමය ප්‍රශ්න මතු කරයි. ප්‍රශ්නය විසඳන අයුරු පිළිබඳ තවමත් එකඟතාවයක් නොමැත. කෝබින්ගේ කම්කරු පක්ෂය පාඨමාලා ගාස්තු සම්පූර්ණයෙන්ම නැති කිරීම යෝජනා කොට තිබේ.  

එක්සත් ජනපදය තුළ 2000 වර්ෂයේ සිට මේ දක්වා උසස් අධ්‍යාපන ගාස්තු 69% කින් ඉහළ දමා ඇත. එය ඔවුන්ගේ උද්ධමන වේගයට වඩා ඉතා ඉහළ ප්‍රතිශතයකි. එරට සිව් අවුරුදු පාඨමාලා හදාරන උපාධි අපේක්ෂකයෝ එක්කෝ මිළෙන් ඉතා ඉහළ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යති; නැතිනම් සාපේක්ෂව මිළ අඩු රජයේ විශ්ව විද්‍යාල තෝරාගනිති; එහෙත් නැතිනම් සිය උපන් ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයක් තෝරාගන්නේ ප්‍රාන්ත වැසියන්ට ගාස්තු අඩු කිරීමක් සිදුකරන නිසාය. වඩාත් මිළ අඩු ප්‍රජා විද්‍යාල (community colleges) පවතී. ඒවායෙහි උපාධි පාඨාමාලා අවුරුදු දෙකේ ඒවාය. 1700 ගණන් වල සිට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල වර්ධනය වූ ඉතිහාසය දෙස බැලූ විට පෙනී යන්නේ සමාන සාධාරණත්වය  පිළිබඳ සැළකිල්ලක් නිතරම දක්වා ඇති බවත්, එම සැළකිල්ල රටේ උසස් අධ්‍යාපනය තුළ අදටත් විද්‍යාමාන වන බවත්ය. එම මාදිලිය තුළ සම්පූර්ණයෙන් රාජ්‍යයේ අරමුදල් වලින් පවත්වා ගන්නා විශ්ව විද්‍යාල නොතිබුණත්, දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ සොල්දාදුවන් හා අඩු ආදායම් පවුල් වල සිසුන් වෙනුවෙන් 1944 සහ 1965 වසර වල පිළිවෙලින් සහන පැකේජ හඳුන්වා දීමේ උත්සහයන් ගැනුණි. අද වන විට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල වල සිසුන් සිය මූල්‍යමය ප්‍රතිපාදන සම්පාදනය කරගන්නේ මූලිකවම ශිෂ්‍යත්ව සහ ණය ක්‍රම මඟිනි. 2020 වසර වනවිට ඇමෙරිකාවේ සමස්ත ශිෂ්‍ය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියනයක් විය. වසරකට ඩොලර් 125,000 කට අඩුවෙන් උපයන කුටුම්බ සඳහා අධ්‍යාපන ණය නැවත ගෙවීම සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදීමට බයිඩන් රජය උත්සහ දරමින් සිටී. 2021 වසරේ Brookings Institute ආයතනය විසින් පල කරන ලද වාර්තාවකට අනුව උසස් අධ්‍යාපනය නොමිලේ ලබාදීම එන්න එන්නටම වඩාත් හොඳ අදහසක් ලෙස පෙනෙන්නට පටන්ගෙන තිබේ (Harris, 2021).        

මෙම අත්දැකීම් වලින් අපට කුමක් උගත හැකිද? බ්‍රිතාන්‍යයේ උදාහරණයෙන් පැහැදිලි වන්නේ අධ්‍යාපනය සඳහා අරමුදල් සම්පාදනයේ වගකීම තනි තනි සිසුන් පිට පැටවීම සාර්ථක වී නැති බවයි. උද්ධමනය නිසා සිය සන්තකයේ ඇති අරමුදල් සිඳී යනවිට එම විශ්ව විද්‍යාල සිදුකරන්නේ විදෙස් සිසුන්ගෙන් දේශීය සිසුන්ගෙන් අය කරන්නාක් මෙන් තුන් ගුණයක මුදල් අය කිරීම මඟින් එම හිඟය පියවා ගැනීමට උත්සහ දැරීමයි. ඊට අමතරව කථිකාචාර්යවරුන් මත පැටවෙන බරද වැඩි වී ඇත; වඩා විශාල පන්ති කළමණාකරණය කිරීමට සිදුවීම, පරිපාලන වගකීම් වැඩි ප්‍රමාණයක් ඉටු කිරීමට සිදුවීම හා සිය පර්යේෂණ සඳහා අරමුදල් සම්පාදනය කරගැනීමට සිදුවීම එය සිදුවන ප්‍රධාන ක්‍රම වේ. එහි ප්‍රතිඵලයක් ලෙස වඩා හොඳ වැටුපක්, වඩා ඉහළ විශ්‍රාම වැටුපක් මෙන්ම වඩා සාධනීය භාවිතයන් සහිත රැකියා ස්ථානයක් ඉල්ලමින් එක්සත් රාජධානිය පුරා කථිකාචාර්යවරු වැඩ වර්ජන වල නිරත වෙති. විදෙස් සිසුන් මත රඳා පැවතීම එක්සත් රාජධානියට උදව්වක් වූ බව පෙනෙන්නට නැත. විදෙස් සිසුන් ආකර්ෂණය කරගැනීමට උත්සුක වන ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන් මෙම තත්වය සිහිතබා ගත මානය. මෙවැනි දේ ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා විශාල මුදලක් වැය කිරීමට පෙර, ලංකාව වැනි රටක අධ්‍යාපනය ලැබීම සඳහා විදෙස් සිසුවකු ලොකු මුදලක් වියදම් කරාවිද යන්න අප අපගෙන්ම අසාගත යුතු ප්‍රශ්නයකි.  

ලංකාවේ විශ්ව විද්‍යාල වල මේ වනවිට පවතින්නේ දරුණු මූල්‍යමය අර්බුදයකි. සිය අරමුදල් තමන්ටම සම්පාදනය කරගැනීමට විශ්ව විද්‍යාල මත විශාල පීඩනයක් පැටවී ඇත. මෙහි අරමුණ වන්නේ ක්‍රමිකව තනිකරම ශිෂ්‍ය ගාස්තු මඟින් අරමුදල් සම්පාදනය කරගන්නා තැනට විශ්ව විද්‍යාලය පත්කිරීමය. අප අනුකරණය කරන්නට තතනන රටවල් තුළමත් මෙම මාදිලිය අර්බුදයට ලක්වී ඇත; එමඟින් අඩු ආදායම්ලාභී සිසුන්ට කරන්නේ විශාල අසාධාරණයකි. එම නිසා අපේ අධ්‍යාපන පද්ධතිය කුමන මූලධර්ම මත ගොඩනඟනවාද යන්න පිළිබඳව සිතීමටත්, ප්‍රත්තිපත්ති සම්පාදනයේදී සමාන සාධාරණත්වය පිළිබඳ මූලධර්මයට මුල්තැනක් දීමටත් මෙය අප අවස්ථාවක් කරගත යුතුය. අපේ රාජ්‍ය විශ්ව විද්‍යාල මඟින් සමාජයේ ඉතා ආන්තීකරණය වූ කොටස් වලට ප්‍රගමනය වීම සඳහා අවස්ථා උදාකරදේ. එම අරමුණ අප අමතක නොකළ යුතුවාක් මෙන්ම, අප අනුකරණය කරන්නට උත්සහ දරන මාදිලි වත්මන වනවිට අර්බුදයට ලක්ව ඇති බවද සිහිතබා ගත යුතුය.