ඉංග්‍රීසි පිළිබඳ ප්‍රශ්නය

නිකොලා පෙරේරා

ඒකාකෘතිය: රාජ්‍ය අධ්‍යාපනය අසාර්ථකය

බොහෝ කලා උපාධිධාරීන් ඉංග්‍රීසි දැනුම නොමැතිකම නිසා රැකියා විරහිතව සිටින බව පෞද්ගලික අංශය පවසයි. විශ්වවිද්‍යාලය තම සිසුන් තුළ ඉංග්‍රීසි කුසලතා ඇති කිරීමට අසමත් වීම කලා හා මානව ශාස්ත්‍ර උපාධි අදාළ නොවීමේ ඒකාකෘතිය ශක්තිමත් කිරීමක් ලෙස සලකනු ලැබේ. කලා උපාධිධාරියා මහජන පරිකල්පනය තුළ අසාර්ථක ලෙස ගොඩනඟන ආකාරය සහ විශ්වවිද්‍යාලය තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා වඩාත් විවේචනාත්මක අධ්‍යාපනික ප්‍රවේශයක අවශ්‍යතාවය වෙත මෙහිදී මම අවධානය යොමු කරමි.

මෙම ඒකාකෘතිය හුරුපුරුදු එකකි: STEM උපාධියක් හෝ වඩා ආර්ථික වටිනාකමක් ඇති වෙනත් විෂයයක් වැනි ප්‍රයෝජනවත් දෙයක් ඉගෙන ගන්නවා වෙනුවට කලා හා මානව ශාස්ත්‍ර උපාධියකින් නිෂ්ඵල දේවල් ඉගෙන ගන්නා සිසුන්, බිහිසුණු නවක වදයේ යෙදී ඉන්පසු රජයට නිදහස් අධ්‍යාපනය සුරකින ලෙස සහ ඔවුන්ට රාජ්‍ය අංශයේ රැකියා ලබා දෙන ලෙස ඉල්ලා පාරට බැස උද්ඝෝෂණ සිදු කරයි. මහජන පරිකල්පනයේ සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මෙයයි: සෑම අවස්ථාවක්ම ලැබුණත් තමන්ගේ කටයුතු නොකර ගන්නා තැනැත්තා. ඒ අතර සිසුන්ට පවසනු ලබන්නේ හොඳින් මුදල් ඉපයිය හැකි පෞද්ගලික අංශයේ රැකියා ඔවුන්ට ලබාගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුමෙහි මඳ බව නිසා බවයි.

දෘෂ්ටිවාදය: රාජ්‍ය අධ්‍යාපනය යනු ප්‍රයෝජනයට නොගත් ලාභයේ ගැඹුරු උල්පතකි

ඒකාකෘතියේ දැනටමත් නව ලිබරල්කරණය සාධාරණීකරණය කිරීම සිදු වේ: සිසුන් විසින් අලෙවි කළ හැකි කුසලතා ඉගෙන නොගනී, එබැවින් විශේෂයෙන් කලා හා මානව ශාස්ත්‍ර විෂයයන් සහ පොදුවේ රජයේ විශ්වවිද්‍යාලයන් මහජන මුදල් නාස්තියක් වන අතර, මේ හේතුවෙන් පුද්ගලික ගාස්තු අය කරන විශ්වවිද්‍යාල අනාගතය වේ. එහෙත් වඩාත් නිවැරදි තර්කයක් වනුයේ පෞද්ගලික ගාස්තු අය කරන විශ්වවිද්‍යාල ඒවායේ හිමිකරුවන්ට මෙන්ම අනුබද්ධ සේවාවන් රාශියකට දැවැන්ත ලාභයක් ලබා දෙන බවත්, මෙම විකල්පය වඩාත් ආකර්ෂණීය කිරීමට නම්, හැකි තරම් රාජ්‍ය අධ්‍යාපනය සඳහා අරමුදල් කපා හැර එය අකාර්යක්ෂම බවට පත් කිරීම අවශ්‍ය වන බවත්ය. මෙම ක්‍රියාවලිය දැනටමත් දශක ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින අතර ඔවුන්ට ඉගැන්වීමට ඇති සම්පත් වෙන කවරදාටත් වඩා පටු ය. රජයට නිදහස් අධ්‍යාපනය සඳහා කැපවීමක් නොමැත්තේ අනාගතයේ මිල අධික අධ්‍යාපනයක් තුළ සිසුන්ට හැර අන් සියල්ලන්ටම ඉපැයීමට විශාල මුදලක් තිබෙන බැවිනි.

කලා උපාධි අපේක්ෂකයාගේ අවිනිශ්චිත ඉංග්‍රීසි භාවිතය, රාජ්‍යයේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය තුළ නිදහස් අධ්‍යාපනය මරාදැමීමේ විනාශකාරී ප්‍රතිඵලයකි. එහි සමාජ ආඛ්‍යානය විසින් ගැටලුවේ මූලාරම්භය මුවා කරනු ලබයි. සැබෑ යථාර්ථය වන්නේ ඉංග්‍රීසි ඉගෙනීමට අධිෂ්ඨානශීලී සහ බියෙන් සිටින විශ්වවිද්‍යාල සිසුන් පිරිසකි. ඔවුන් කතා කරන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ සමාජ අසමානතා පිළිබඳව ය. අපට කිසිදා ඉංග්‍රීසි ගුරුවරයෙකු සිටියේ නැත. සිටියානම් ඒ විටින් විට ය. ප්‍රමාණවත් තරම් පෙළපොත් තිබුණේද නැත. ඉංග්‍රීසි ගුරුවරයා පවා ව්‍යාකූල වූ බවක් පෙනෙන්නට තිබුණි. පෙළ පොත කියවයි; පන්තියට පැමිණයත් උගන්වන්නේ නැත; හෝ වෙනත් වැඩක නිරත වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නව ලිබරල් මතවාදය තුළ ගැටළු සහ විසඳුම් දෙකම ඛණ්ඩණීකරණය සහ පුද්ගලීකරණය කරන ආකාරය නිසා සිසුහු දැඩි අපහසුවට පත්ව සිටිති. ඔවුන්ගේ සමාජ ප්‍රාග්ධනය නොමැතිකම, එනම් ඔවුන් නිවසේ කතා නොකරන භාෂාවක් ඉගෙන ගැනීමට පන්ති කාමරය මත රඳා සිටින බව පිළිබඳව විඥානිකව දැනුවත්ව, ශිෂ්‍යයා දැනටමත් පද්ධතිමය ගැටළු පුද්ගලික අසාර්ථකත්වයන් ලෙස අභ්‍යන්තරීකරණය කර ඇත. අඩු සම්පත් සහිත පාසල් සහ දුර්වල පුහුණුව සහ දුර්වල වැටුප් සහිත ඉතා අඩු ගුරුවරුන් සංඛ්‍යාවක් මෙහි මූලාරම්භයේ හඳුනාගත හැකිය.

අධ්‍යාපනය සාමූහික සමාජ යහපතකට වඩා ප්‍රභූන් කිහිප දෙනෙකුගේ වෙළඳ භාණ්ඩයක් ලෙස සැලකීම අපට පහසු වූයේ  පටන්ද?

භාෂා ඉගැන්වීම වෙනත් කිසිදු විෂයයක් ඉගැන්වීමට වඩා වෙනස් ය. භාෂාවක මූලික කරුණු ඉක්මනින් ලබා දිය හැකි ආකාරයේ  සිද්ධාන්ත වලින් සමන්විත නොවේ. මෙම වැරදි වැටහීම නිසා අධික ලෙස සරල කළ ඉගැන්වීම් සහ මූලික කරුණු පිළිබඳ ප්‍රමාණවත් ආවරණයක් නොමැති වීම සිදු වී ඇත. නමුත් මූලික කරුණු යනු භාෂාව ඉගෙනීමේ දුෂ්කරම කොටස වන අතර ඒවා ප්‍රගුණ කිරීම සඳහා සිසුන්ට කියවීමට, කථා කිරීමට සහ ලිවීමට පුරුදු වීමට කාලය සහ අවකාශය ලබා දීම අවශ්‍ය වේ. සියල්ලටම වඩා, භාෂාව සහජයෙන්ම සමාජීය සහ සන්නිවේද්‍ය වේ: සිසුන්එම නිසා එය ඉගෙන ගත යුත්තේ එකටය.

ප්‍රතිපත්තිමය ගැටළු: විසඳුම් සඳහා ගන්නා ලද අතීත උත්සාහයන්ගෙන් ඉතිරි වූ ප්රශ්න

කලා හා මානව ශාස්ත්‍ර උපාධිය වඩාත් “අදාළ” සහ “වෙළඳපොල හිතකාමී” ලෙස පෙනෙන පරිදි සැකසීමේ උත්සාහයක් ලෙස ඇතුළත් වීමේ ප්‍රවීණතා පරීක්ෂණයෙන් ප්‍රමාණවත් තරම් සමත් විය නොහැකි සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කර ඇත. නමුත් භාෂා ඉගෙනීමට වඩා විභාග ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කිරීම ධනාත්මක ප්‍රතිඵලවලට වඩා අපේක්ෂිත ප්‍රතිඑලයට විරුද්ධ ප්‍රතිඑලයක් ලබා දෙන තත්ත්වයන් ගොඩනගා ඇත. ප්‍රායෝගිකව මෙයින් සිදු කර ඇත්තේ විභාග කිසිදු අදාළත්වයක් නැති තැනකට දියාරු කර හැරීමකි. ඉංග්‍රීසි පාඨමාලාව හුදු නිල අවශ්‍යතාවයක් ලෙස දැකීමට සිසුන් මෙනිසා යොමුව ඇති අතර, ඒ හේතුවෙන් හැකි සෑම විටම පන්ති මඟ හැරීමට ඔවුහු පියවර ගනිති. මෙය භාෂාව ඉගැන්වීමේ සහ ඉගෙනීමේ ක්‍රියාවලීන් තරයේ විකෘති කරයි. සිසුන් සැබවින්ම ඉගෙනීමට පෙළඹවීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉංග්‍රීසි භාෂාව, විධිමත් සුදුසුකමක් පමණක් සංකේතවත් කරන හා සැබෑ ඉගෙනීම ද්විතීයික තැනකට ඇද දමන විභාගවලින් වෙන් කළ යුතුය.

පන්ති කාමරය සාමූහික, විචාරාත්මක කතෘත්වයේ අවකාශයක් ලෙස

ඉංග්‍රීසි ගුරුවරුන් ආරම්භ කළ යුත්තේ උපාධි අපේක්ෂකයින්ට කුඩා ළමුන් මෙන් සැළකීමෙන් තොරව ය. මෙය හුදෙක් ඉංග්‍රීසි ගුරුවරයාට දැනුම ලබා දෙන කාරුණික චරිතයක තනතුරක් ලබා ගැනීමට ඉඩ සලසයි, එය ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසියේ අශෝභන බල ගතිකත්වය තවදුරටත් ප්‍රතිනිර්මාණය කරයි. එමෙන්ම ඉගැන්වීමට යොදාගන්නා මූලාශ්‍ර හා විෂය කරුණු වැඩිහිටි ඉගෙන ගන්නෙකුගේ බුද්ධියට හෝ පුද්ගලික/සමාජීය ස්වීයත්වයට අපහාසයක් නොවිය යුතුය. උපාධි අපේක්ෂකයින්ගේ ඉංග්‍රීසි ප්‍රවීණතාවයේ මට්ටම අඩු වුව ද, ඉගෙනීම සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ උනන්දුව පවත්වා ගත හැකි පෙළ මිස ඉතා කුඩා දරුවන් සඳහා ලියන ලද පාඨ නොවේ. යථාර්ථයෙන් බැහැර වූ දෙයක් ලෙස ව්‍යාකරණ ඉගැන්වීම අප නවතා දැමිය යුතුය. ඒ වෙනුවට කළ යුත්තේ එදිනෙදා ජීවිතය තුල භාෂාව ඇත්තෙන්ම භාවිතා වන අයුරු පන්ති කාමරය තුළ ප්‍රතිනිර්මාණය කිරීමත්, ඒ හරහා වාක්‍ය සහ පරිච්ඡේද තුල ව්‍යාකරණ විසින් ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳ ඔවුන්ට අවබෝධයක් ලබාදීමත්ය.

සංවාදශීලී පන්ති කාමරයකදී සිසුන් ඉංග්‍රීසියට නිරාවරණය කිරීම සඳහා අපි ඔවුන්ගේම සමාජ පරිසරයෙන් උදාහරණ භාවිතා කළ යුතුය. සිසුන්ට අදාළ පොදු අත්දැකීම් නම් කිරීමට සහ ඊට භාෂාවක් ලබා දීමට මඟ පෙන්වීම වෙනුවෙන් අපි එම පොදු අත්දැකීම් පිළිබිඹු කරන ඉගෙනුම් ද්‍රව්‍ය භාවිතා කළ යුතුය.

ඉංග්‍රීසි භාෂා පන්ති කාමරය, මාර්ගගත හෝ එසේ නොවන ලෙස වුවත්, සිසුන් සඳහා සාමූහික කතෘත්වයේ සහ ප්‍රතිරෝධයේ අවකාශයක් බවට පත් විය යුතුය. ඉංග්‍රීසි නොහැකි වීම ඔවුන්ව ජීවිතයේ පසුබෑමකට ලක් කරන ප්‍රබල සහ සංයුක්ත සමාජ සලකුණක් බව සිසුන්ට පවසන බැවින්, එය ඉගෙනීමට ඇති ආශාව එම බලය නැවත ලබාගැනීමේ සාමූහික උනන්දුවකින් පැමිණෙන්නක් වියයුතුය. එමඟින් උසස් අධ්‍යාපනයේ හුදෙකලා අත්දැකීම සාමූහිකත්වය සහ සහයෝගීතාව මත පදනම් වූ අත්දැකීමක් බවට පරිවර්තනය වනු ඇත. සත්‍ය වශයෙන්ම ඉංග්‍රීසි ඉගෙනීම පිළිබඳ මහජන පරිකල්පනය තුළ මෙන්ම සිසුන්ගේ අවබෝධය තුළ ද විශාල වැදගත්කමක් තිබියදී පවා, විශේෂයෙන් කලා පීඨවල ඉංග්‍රීසි පන්ති කාමරය, කිසිදු වැදගත්කමක් හෝ ප්‍රතිඵලයක් නැති, අමතක කළ හැකි අවකාශයක් ලෙස සැලකේ. එම අවකාශය තුළ පවතින දැවැන්ත බලය සහ විභවය ගුරුවරුන් මෙන්ම සිසුන් ද අවබෝධ කරගත යුතුය.