ඉංග්‍රීසි හරහා හඬ අහිමි කිරීම 

සෙල්වරාජ් විශ්විකා 

පසුගිය සතියේ පළවූ මහේන්ද්‍රන් තිරුවරන්ගන් ගේ කුප්පි ලිපියෙහි ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන, විචාරාත්මක හෘදය සාක්ෂිය පිළිබඳ අවකාශ බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවත්, වර්තමානය වනවිට ඒ අතින් ඒවා පසුබසින බවත් අවධාරණය කෙරුණි. මෙම පසුබැස්මට දායක වන තවත් හේතුවක් වන්නේ ශිෂ්‍යයන් පවසන දෙයට ඇහුම්කන් දෙනු වෙනුවට ඔවුන්ගේ භාෂාව නිවැරදි කිරීමේ පුරුද්දට ගුරුවරුන් ලෙස අප වැටී තිබීමයි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපදේශකයකු ලෙස අප පවත්වා ගන්නට තතනන මෙම භාෂා ප්‍රමිතීන් ගැන මම නිතර සිතමි. මෙහිදී භාෂා ප්‍රමිතීන් ලෙස මා අදහස් කරන්නේ ශිෂ්‍යයාට සිය අදහස් ප්‍රකාශ කිරීමට වැඩියෙන්ම ඉඩ ලබාදෙන ආකාරයේ ඉංග්‍රීසි භාෂාවක් වෙනුවට ගෝලීයව සම්මත කරගන්නා ලද මිණුම් දඬුවකට අනුව ඉංග්‍රීසි කතා කිරීමට ඔවුන් උත්සුක කිරීමය. මේ දෙක අතර සමබරතාවයක් සොයාගත නොහැකි වීම නිසා සම්මත මිනුම් දණ්ඩට අනුව ඉංග්‍රීසි කතා කිරීමට අපි අපේ ශිෂ්‍යයන් යොමුකරන අතර, ඒ නිසා ඔවුන් බලවිරහිත තැනකට ඇද දමනු ලබයි. 

භාෂාවක් යනු ආත්ම ප්‍රකාශනයේ මාධ්‍යයක් මිස වෙන කුමක්ද? ව්‍යුහයට උවමනාවට වැඩි වැදගත්කමක් ලබාදෙමින් එහි මුරබල්ලන් ලෙස අප හැසිරීමේදී පවසන දෙයට ලබාදෙන වැදගත්කම යට යයි. පවුලෝ ෆ්‍රෙරේ පවසා ඇති පරිදි “ව්‍යුහය විසින් සංවාදය වළක්වන්නේ නම් ව්‍යුහය වෙනස් කළ යුතුය.” ලංකාව තුළ යටත්විජිතකරණයේ ඉතිහාසය නිසා ඉංග්‍රීසි වරප්‍රසාද ලත් අයගේ භාෂාවක් බවට පත්ව ඇති අතර, අධ්‍යාපන ක්‍රමයේ සම්පත් බෙදීයාමේ විෂමතා හේතුවෙන් එම භාෂාවට ප්‍රවේශය ලබාගැනීමේ හැකියාව බොහෝ ලාංකිකයින්ට අවහිර වී ඇත. ලිඛිත අයුරින් ඉංග්‍රීසි ඉගෙන ගැනීම අප කුඩා කල පටන් සිදු කළද, එම දැනුම භාවිතයේ යෙදවීමට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි. මෙම පරතරය පියවීමට ක්ෂේත්‍රයේ ‘ප්‍රවීණයන්’ විසින් විවිධ ප්‍රයත්න ගෙන ඇති අතර, අපේම ආරක ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි භාෂාවක් නිර්මාණය කරගැනීම ඉන් එකකි. නමුත් මෙම ප්‍රවණතා පිළිබඳ කී දෙනෙකු දැනුවත්ද යන්න ගැටළුවකි. 

පසුගිය වාරයේ තුන්වන වසරේ ශිෂ්‍යයන්ට සාරාංශයක් ලිවීම පිළිබඳ පන්තියක් මම පවත්වමින් සිටියෙමි. ඉන්පසු පුහුණු අභ්‍යාසයක් සඳහා ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි භාවිතා කරමින් මැණික් ගුණසේකර විසින් රචනා කරන ලද කෘතියක උධෘතයකට අවධානය යොමුවිය. ටික වෙලාවක් යනවිට පැහැදිලි වූයේ මෙවැනි ආකාරයේ ඉංග්‍රීසි භාවිතයක් සමඟ බොහෝ සිසුන් ගනුදෙනු කරන්නේ පළමු වතාවට බවය. ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි ප්‍රවර්ධනය කිරීම සඳහා මේ තාක් සිදුව ඇති සංවාද වල මෙම සිසුන් කොටස්කරුවන් නොවූ නමුත්, සිය එදිනෙදා සන්නිවේදනය සඳහා තමන්ට වඩා පහසු අයුරින් ඉංග්‍රීසි භාෂාව අනුවර්තනය කරගැනීම තුළ ඔවුහු ඊට නොදැනුවත්ව වුවද ජීවය දී තිබේ. නමුත් ප්‍රශ්නය පැන නඟින්නේ ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි වන්නේ හා නොවන්නේ කුමක්ද යන්න පිළිබඳ නිර්ණායක නොමැති වීම හේතුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගුරුවරුන් තමාට කැමති කැමති දේ තෝරා ගැනීම තුළය. වාක්‍යයක අගට ‘no’ එකක් හෝ ‘අනේ’ එකක් එකතු කිරීම තුළින් ඉංග්‍රීසි ලාංකිකකරණය වන බව ඔවුහු විශ්වාස කරති. ශ්‍රී ලාංකිකයන් වන අප සියළු දෙනාටම අපේ වන්නේ කුමක්ද සහ එසේ අපේ වන දේ තුළින් ප්‍රයෝජනයක් ලබන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් නොමැති වීම සැළකිය යුතු තත්වයකි. අපි සියළු දෙනා කතා කරන සියළුම දේ, ව්‍යාකූලත්වය කැටිකර ගත් එහි සියළු උත්කර්ෂය, මේ සියල්ලම ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි නේද?  

පාසල් අධ්‍යාපනය තුළ ඉංග්‍රීසි අරබයා ඇති කරන අසමානතා වල බලපෑම අඩු කිරීමට රාජ්‍ය විශ්ව විද්‍යාල වල සියළු සිසුන් සඳහා අනිවාර්ය ඉංග්‍රීසි පාඨමාලා පැවැත්වේ. ඉංග්‍රීසි නිපුණතාවය මත පදනම්ව ස්ථර කිහිපයකට බෙදා ඇති මෙම පාඨමාලාව භාෂා කුසලතාව වැඩිකර ගැනීමට හොඳ මාර්ගයකි. එහිදී අප සිසුන් උනන්දු කරවන්නේ භාෂාව ප්‍රකාශනයේ මාර්ගයක් ලෙස දැකීමටය. එහෙත් සිය ප්‍රථම භාෂාව සිංහල හෝ දෙමළ වන බහුතරයක් සිසුන්ට වෙනත් පැවරුම් අතරේ මෙසේ ඉංග්‍රීසි ඉගෙන ගැනීම අනිවාර්යයෙන්ම ඉතා අභියෝගාත්මකය. විශ්ව විද්‍යාලයේ නුහුරු නුපුරුදු පරිසර හා ව්‍යුහය මේ අභියෝගාත්මක බව තවත් තීව්‍ර කරයි. ඉංග්‍රීසි දේශන සතියට පැය 4-6 ප්‍රමාණයක්, බොහෝවිට දවසේ නරකම වේලාවන් වල පැවැත්වීම තුළ මෙම පාඨමාලාවෙහි සාර්ථකත්වය ආශ්චර්යයක් වන බවද විටෙක සිතේ. එසේම 30 කට ආසන්න ප්‍රමාණයක් සිසුන් සිටින පන්තියක තනි තනි සිසුවාට ලබාදිය හැකි අවධානයද සීමා සහිතය. මෙම සියළු සීමා මැද වාරයක් අවසානයේ යම් පොදු විෂය නිර්දේශයක් ආවරණය කරන ගුරු සිසු සියල්ලන්ටම අත්පොළසන් දිය යුතුය.

ඉංග්‍රීසි අපේම භාෂාවක් කරගැනීම පිළිබඳ කොතරම් කතා කළද, විභාග වලදී අපට සිසුන් මැනීමට සිදුවන්නේ පෙර කියන ලද, මුහුදු ගණනක් එහා රටවල සම්පාදනය කරන ලද ‘සම්මත’ මිණුම් දඬු වලට අනුවය. භාෂාවක ප්‍රමිතිකරණය තුළින් එහි වර්ධනය අඩාල කරන බවට වන අපේ සංවාද, මෙවැනි භාවිතයන් තුළින් උපහාසයට ලක්කරයි. කොතරම් චතුර ලෙස ඉංග්‍රීසියෙන් කතා කරන සිසුවකු තුළ වුවත්, උත්පත්තියෙන් ඉංග්‍රීසි කතා කරන්නෙකු භාවිතා කරන භාෂා ව්‍යුහය සහ යෙදුම් දැකගත නොහැක. ව්‍යාකරණ වලදී අපි පදනම් කරගන්නා ප්‍රමිතීන් වුවද සමහර විට ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන්ට පවා එතරම් හුරුපුරුදු නැති ඒවාය. විභාග පමණක් නොව සමහර විට පන්ති කාමරයේදී පවා ශිෂ්‍යයාගේ වාක්‍ය කොතරම් නිවැරදි කිරීම් වලට ලක්වන්නේද යත්, අවසානයේ ඒ පවසන දෙය ඔවුන්ගේ නොවන තත්වයට පත්වේ. වරක් එක් සංවාදයකදී මිතුරකු පැවසූ පරිදි, භාෂාව ඉගෙනීම සඳහා පවතින පුහුණු අභ්‍යාස පොත් අපෙන් කොතරම් දුරස්ථද යත්, ඒවා ‘සාමාන්‍ය භාෂාවෙන්’ කවුරුන් හෝ තේරුම් කරදෙන තුරු අපේ අවධානය වෙනතක දුවයි. සිසුවකු පහත දැක්වෙන ආකාරයේ ව්‍යාකරණ අතින් වැරදි සහගත වාක්‍යයක් කිව්වේ යැයි සිතන්න: “Bird is eat a fruits.” මෙය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සම්මත රීතීන් වලට අනුගත නොවුනත්, ශිෂ්‍යයා කුමක් වටහාගෙන සන්නිවේදනය කරන්නේද යන්න පැහැදිලිය. 

ඉංග්‍රීසි භාෂාවෙන් සමහර වචන වල තේරුම් අප ඉගෙන ගත් පසු එම වචන ව්‍යාකරණ රීතීන් වලට අනුව ප්‍රකාශ කිරීම ද්වීතීයික කාරණයකි. අප ලකුණු දෙන්නේ සිසුන් පවසන දෙයෙහි අන්තර්ගතය මත පදනම්ව වුවත් ව්‍යාකරණ භාවිතය පිළිබඳ මිණුම් දඬු නිසා ඔවුන්ට ලබාදෙන තක්සේරුව අඩු කිරීමට සිදුවේ. මේ නිසා ඔවුන්ගේ නිර්මාණශීලීත්වය එළියට එන්නේද නැත. ඔවුන්ගෙන් බලාපොරොත්තු වන මේ ප්‍රමිතීන් ගුරුවරු වශයෙන් අපද ළඟා කරගන්නේ වසර ගණනාවක ක්‍රියාවලියකින් පසුය. නමුත් වාස්තවික නිර්ණායක විසින් අපේ අත්ද බැඳ දමා තිබේ. ශිෂ්‍යයන්ගේ ගැටළු අප තේරුම් ගන්නා බව අප පැවසුවද, ව්‍යාකරණ දෙවිවරු උදහස් කිරීමට ඇති නොහැකියාව නිසා ඔවුන්ගේ ප්‍රකාශනය හා නිර්මාණශීලීත්වය ඇගයීමට අපට හැකියාවක් නැත. එමඟින් කොළය මත අකුරු කළ සිසුවාගේ නිමේෂයක ආත්ම ප්‍රකාශනය සහ බලය අහෝසි කර දමනු ලැබේ.  

ආදර්ශ ප්‍රමිතියක් පිළිබඳ අපේ අවධාරණය නිසා ඉංග්‍රීසි භාෂාව අපේ ශිෂ්‍යයන් කෙසේ අත්දකින්නේද යන කරුණ අපට මඟ හැරී යයි. එහෙටත් නැති මෙහෙටත් නැති ප්‍රමිතීන් වලට ඔවුන් අනුගත කිරීමට යාම තුළ, අදහස් ප්‍රකාශන මාධ්‍යයක් ලෙස ඉංග්‍රීසි භාවිතා කිරීම අප විසින්ම අවහිර කරදමනු ලබයි. ඉංග්‍රීසි භාවිතයේදී දේශීය වචන කිහිපයක් ඇතුළත් කිරීමෙන් පමණක් මේ පරිවර්තනය සිදුනොවේ. ‘ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි කතා කිරීම’ යන්නෙන් හැඟවෙන දේ වැළඳ ගැනීමට අප සූදානම්ද? ශිෂ්‍යයින් පවසන දේ අපට ඇසෙන්නේ ව්‍යාකරණ හා ව්‍යුහාත්මක රීති වලින් අප සීමා නොවුනහොත් පමණි. භාෂාව අදහස් හා ආත්ම ප්‍රකාශනයේ මාධ්‍යයක් ලෙස දකින විටය මෙම දම්වැල් වලින් එපිට පවතින අර්ථය දැකිය හැකි වන්නේ. අපේ උසස් අධ්‍යාපන ආයතන වල අප සූදානම් කරන්නේ කවුරුන්ද? එය භාෂාව පිළිබඳ විසංයුක්ත අවබෝධයක් මිස එදිනෙදා ජීවිතයේ එය භාවිතා කිරීම පිළිබඳ දැනුමක් නැති පුද්ගලයෙක්ද?