උත්පාදක කෘතිම බුද්ධි යුගයක ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ සිතුවිලි කිහිපයක් 

මදුරංග කළුගම්පිටිය 

උත්පාදක කෘතිම බුද්ධිය (Generative AI, Gen-AI ලෙසද හැඳින්වේ) ශාස්ත්‍රීය කවයන් තුළ මෑත කාලීනව දැඩි උනන්දුවට ලක්ව ඇති මාතෘකාවකි. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම (English Language Teaching – ELT) සම්බන්ධයෙන් මෙය වඩාත් වැදගත් වී තිබේ. සමහරු එය ELT හි තත්වය දියුණු කිරීම සඳහා වන වැදගත් මෙවලමක් ලෙස සළකනු ලබන අතර, තවත් සමහරු Gen-AI මඟින් ඇතිකරන සෘණාත්මක බලපෑම පිළිබඳ සැළකිලිමත් වෙති. මේ සම්බන්ධ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ ද බොහොමයක් සංවිධානය වේ. එන්න එන්නටම වැඩිවන ශාස්ත්‍රීය ලිපි වලින්ද කියවෙන්නේ මෙය ශාස්ත්‍රීය විමසුමට වැඩි වැඩියෙන් භාජනය වන ක්ෂේත්‍රයක් බවට පත්ව ඇති බවයි.

ප්‍රධාන පසුබිම් කරුණු කිහිපයක් 

මගේ දැක්මට අනුව ලංකාවේ සන්දර්භය තුළ ELT සඳහා Gen-AI භාවිතා කිරීමේදී සැළකිල්ල යොමුවිය යුතු ප්‍රධාන පසුබිම් කරුණු කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න Gen-AI තාක්ෂණයට ප්‍රවේශය තීරණය කරන සමාජ-ආර්ථික පසුබිමය. Gen-AI ගැන බොහෝවිට කතා වෙන්නේ ඕනෑම කෙනෙකුට භාවිතා කළහැකි මෙවලමක් වශයෙනි. එහෙත් තාක්ෂණික සම්පත් වලට ඇති ප්‍රවේශයෙහි සීමාකම් පිළිබඳ සළකා බැලූ විට මෙය එසේ නොවන බව පෙනී යයි. එවැනි තත්වයක් තුළ Gen-AI යනු ඕනෑම කෙනෙකුට භාවිතා කළහැකි මෙවලමක් යැයි පැවසීම තරමක පන්තිවාදී කතාවකි. 

දෙවැනි කරුණ ලංකා සමාජය තුළ ඉංග්‍රීසි පිළිබඳව වන ආකල්පයයි. ව්‍යවස්ථාව තුළ ඊට නිල භාෂාවක තත්වය ලබාදී නොතිබුනත්, එය රටේ බලසම්පන්නම භාෂාව බව කීම අතිශයෝක්තියක් නොවේ. ජීවිතයේ නව අවස්ථා වලට පාර කපන භාෂාවක් ලෙස එය සළකනු ලැබේ. අනෙක් අතට ඒ හා බැඳී ඇති සමාජ-ආර්ථික පසුබිම පිළිබඳ කියවීම් නිසා එය තර්ජනයක් වශයෙන්ද සළකනු ලබයි. ඉංග්‍රීසි සමඟ මතුවන මේ පන්තිවාදී පසුබිම නිසා එම භාෂාව ඉගෙන ගැනීමට බොහෝදෙනා මැලිවෙති. මෙවන් තත්වයක් තුළ ELT දිගහැරෙන පසුබිම ලොකු ආතතියක් සහිත එකක් බවට පත්ව ඇත.

තුන්වන කරුණ රටේ භාවිතා වන ඉංග්‍රීසි වල ස්වභාවය පිළිබඳවය. සාමාන්‍යයෙන් අප භාෂා වටහා ගන්නේ ඉතා සමජාතීය දේවල් ලෙස වුවත්, යථා තත්වය ඊට සහමුලින්ම වෙනස් වේ. ප්‍රභේදනය ඕනෑම භාෂාවක ලක්ෂණයක් වන අතර, ඉංග්‍රීසි වැනි ජාත්‍යන්තර භාෂාවක් සම්බන්ධයෙන් එය සුවිශේෂයෙන් අදාළය. ලංකා සන්දර්භය තුළ අප කතා කරන්නේ ‘ලාංකේය ඉංග්‍රීසි’ ය. මේ ප්‍රභේදය සම්බන්ධ ආකල්ප පුළුල් පරාසයක විහිද පවතී: ඉන් එක් ආකල්පයකට අනුව ‘ලාංකේය ඉංග්‍රීසි’ යනු ‘කැඩිච්ච’, ප්‍රමිතියෙන් බාල ඉංග්‍රීසියකි; තවත් මතයකට අනුව එය ඉංග්‍රීසි කතා කිරීම සඳහා පවතින ඉතා සුජාත මාර්ගයක් වන අතර, ලංකාවේ පවතින යථාර්ථයන් හා ගනුදෙනු කිරීමට ඇති හොඳම මාර්ගයද වේ. කෙනෙකු මේ ආකල්ප වලින් කුමක් දැරුවත්, තර්කය වන්නේ ලංකාව තුළ ELT දිග හැරෙන්නේ ශ්‍රී ලාංකික පසුබිමක බවය. එම පසුබිම තුළ ඊටම ආවේණික අර්ථ සම්පාදන ක්‍රියාවලියක් පවතී. ලංකාවේ භාවිතා වන ඉංග්‍රීසි වල ඇති මේ සන්දර්භය හා බැඳුනු ලක්ෂණ වලට Gen-AI තාක්ෂණය සංවේදීද යන්න පැනයකි. 

සාමාන්‍ය මතය 

Gen-AI නිසා ඉංග්‍රීසි ගුරුවරුන් අනවශ්‍ය වන තත්වයක් ඇතිවනු ඇති බවට පොදුවේ පිළිගත් මතයක් පවතී. මීට කරුණු දෙකක් පදනම් වේ: පළමුවැන්න, භාෂාව ඉගෙන ගන්නකුට සිය ගැටළු නිරාකරණය කරගැනීම සඳහා සෘජුව AI තාක්ෂණය වෙත යා හැකි වීමයි. දෙවැන්න සිසුන්ට සිය භාෂා පැවරුම් සම්පූර්ණ කරගැනීම සඳහාද මෙම තාක්ෂණය භාවිතා කළහැකි වීමය. මෙමඟින් සිසුන්ට ලබාදෙන ස්වාධීනත්වය තුළ ගුරුවරයාගේ භූමිකාවෙහි අදාලත්වය පිළිබඳ ගැටළුවක් පැන නඟින බව තර්ක කළ හැකිය. 

භාෂාව සහ භාෂාව ඉගැන්වීම පිළිබඳ වත්මන් න්‍යාය

මේ මතය පවතින්නේ භාෂාව සහ භාෂාව ඉගැන්වීම පිළිබඳ එක්තරා න්‍යායාත්මක වැටහීමක් අප තුළ ඇති නිසා බව මගේ හැඟීමයි. භාෂාව වනාහි මූලිකවම ව්‍යුහගත වස්තුවක්, එනම් රීති සමූහයකින් එකට බැඳි හඬවල් සහ වාග් මාලාවක් බව අප බොහෝ දෙනාගේ වැටහීම වේ. ස්වර ශාස්ත්‍රය (phonology) යනු භාෂාවක ශබ්ද බිහිවන අයුරු පිළිබඳව වන රීති සමූහයයි. වචන බිහිවීම පිළිබඳ රීති මාලාව පද විචාරය (morphology) නම් වේ. මෙහි අදහස වන්නේ භාෂාවක සෑම සියළු වචනයක් සඳහාම ව්‍යුහයක් ඇති බවත්, එම ව්‍යුහය ක්‍රියාත්මක වන්නේ යම්කිසි රීති මාලාවකට අනුව බවත් ය. එවිට භාෂාව හැදෑරීම එම ව්‍යුහයන් හැදෑරීම බවට පත්වේ. මේ දැක්මට අනුව යමක අනන්‍යතාව තීරණය වන්නේ එහි ව්‍යුහාත්මක බව තුළිනි. භාෂාව යනු  රීති සමූහයකින් එකට බැඳි හඬවල් සහ වාග් මාලාවක් බවට වන අපේ වැටහීම, මේ දැක්ම විදහා පායි.

මෙබඳු වැටහීමකින් භාෂාවට එළඹි විට, භාෂාව ඉගැන්වීම යනු අදාළ රීති හා ව්‍යුහයන් ඉගැන්වීමේ කාර්යයක් බවට පත්වේ. ව්‍යාකරණ ඉගැන්වීමට මෙතරම් අවධානයක් යොමුව ඇත්තේ එනිසාය. මෙහි අරමුණ වන්නේ භාෂාවේ රීති සහ ව්‍යුහයන් දක්ෂ ලෙස හැසිරවිය හැකි පුද්ගලයකු බිහි කිරීමය. මෙවැනි ප්‍රවේශයක ලොකු කොටසකි වැරදි නිවැරදි කිරීම. භාෂාවක ව්‍යුහයන් හා රීති උල්ලංඝනය කිරීම වරදක් ලෙසත්, නිවැරදි කළයුතු දෙයක් ලෙසත් මේ ප්‍රවේශයේදී සළකනු ලැබේ. 

Gen-AI තාක්ෂණය විසින් භාවිතා කෙරෙන්නේද මේ ක්‍රමය වේ. එම තාක්ෂණය පරයා මූලික තැනක් ගැනීමට භාෂා ගුරුවරයා උත්සාහ දැරුවද, AI තාක්ෂණය එම තරඟය දිනන බවට ලකුණු පහළව ඇත.

දිශානතිය වෙනස් කිරීමේ අවශ්‍යතාව 

මගේ දැක්මට අනුව Gen-AI තාක්ෂණය විසින්, භාෂාව සහ භාෂාව ඉගැන්වීම පිළිබඳ අපේ න්‍යායන් නැවත විමසුමට ලක්කළ යුතු සන්ධිස්ථානයකට අපව ගෙනැවිත් තිබේ. ඇත්තෙන්ම භාෂාව පිළිබඳ ඉතා ව්‍යුහවාදී දැක්මකින් බැහැරව, යථාර්ථය විවරණය කිරීමේ එක් ක්‍රමයක් හැටියට එය දැකීමේ ස්වර්ණමය අවස්ථාවකි මෙය. බොහෝ චින්තකයන් විසින්ද ගෙන ඇති මේ දෙවැනි ප්‍රවේශයට අනුව, විවිධ භාෂාවන් යනු ලෝකය හා එතුළ අපේ පැවැත්ම පිළිබඳ විවිධාකාරයෙන් සිතීමේ හා සාකච්ඡා කිරීමේ මාර්ග වේ. ඒ අර්ථයෙන් ගත්කළ විවිධ භාෂාවන් යනු වෙනස් හඬවල් වශයෙන් වුවද වටහාගත හැකිය.

භාෂාව පිළිබඳව වන වැටහීම මෙයාකාරයෙන් වෙනස් කිරීම තුළ භාෂාව ඉගැන්වීම වෙනස් කිරීමක්ද ගම්‍ය වේ. භාෂාවක් ඉගෙනීම තුළින් කෙනෙකු අයත් කරගන්නේ ලෝකය පිළිබඳ සිතීමට හා කතා කිරීමට අළුත් ක්‍රමයකි. මින් අදහස් වන්නේ මෙවැනි ප්‍රවේශයක් තුළ ව්‍යාකරණ හා වැරදි නිවැරදි කිරීමට තවදුරටත් තැනක් හිමිනොවන බව නොවේ. මෙහි අදහස නම් භාෂාව ඉගැන්වීම එම ක්‍රියාකාරකම් දෙකට පමණක් සීමා නොවනු ඇති බවයි. මෙවැනි ආකාරයේ දිශානතිය වෙනස් කිරීමක් සිදුවුවහොත් විචාරාත්මක අධ්‍යාපනයකුත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් සිසුවාට හඬක් ලැබීමත්, තමා ස්ථානගතව සිටින වඩා පුළුල් බල සම්බන්ධතා ජාලයේ සිය ස්ථානය ස්ථාපනය කරගැනීමේ බලයත් යන ප්‍රතිඵල අත්කරගත හැකිවේ.