උතුරුකරයේ කුලය සහ අධ්‍යාපනය

මහේන්ද්‍රන් තිරුවරන්ගන්

අසමාන සම්පත් වෙන් කිරීම සහ සංවර්ධනය, සිවිල් යුද්ධය, දිග්ගැස්සුනු මිලිටරිකරණය සහ රාජ්‍යයේ වාර්ගික-ජාතිකවාදය විසින්, උතුර සහ එහි අධ්‍යයන ආයතන පරිධිය බවට පත්කර ඇතිනම්, උතුරේ කුල හා පන්ති පදනම් වූ අසමානතා මෙම පරිධිය තුළ තවත් පරිධීන් නිර්මාණය කරයි. අද ලිපිය අවධානය යොමු කරන්නේ උතුරුකරයේ කුලය මත පදනම් වූ අසමානතාවයන් විසින් නිදහස් අධ්‍යාපනය අසමාන භූමියක් බවට පත් කරන්නේ කෙසේද යන්න වෙතටයි.

අධ්‍යාපනය තුළ කුලවාදය

මෑතකදී යාපනයේ වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ පංචමාර් කුල ප්‍රජාවක් දරුණු කුලවාදී ප්‍රචණ්ඩත්වයකට මුහුණ දුන්නේය (පංචමාර් යනු ඓතිහාසික වශයෙන් පද්ධතිමය පීඩනයට හා සූරාකෑමට ලක් වූ කුල මූලික ප්‍රජාවන් පහක එකතුවකි. අද ඔවුහු යාපනයේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසකි). එම ප්‍රජාවට අනුව, මෙම ප්‍රචණ්ඩත්වය දිග හැරුණේ අධ්‍යාපනය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල, කුලය මත පදනම් වූ දිග්ගැස්සුනු සහ සංවිධිත පීඩනයක සන්දර්භයක් තුළය. එහි සාමාජිකයන් ගමේ පාසල්වල විභාග, ක්‍රීඩා සහ තරඟවලදී තම දරුවන් මුහුණ දෙන වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කළහ; අධිපති වෙල්ලාල කුලයේ ගුරුවරුන් සහ පරිපාලකයන් තම දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා නොසලකා හරින ආකාරය; ආර්ථික හිඟකම අතර ඔවුන් ඉගෙනුම් කටයුතු කරන ආකාරය; ඔවුන්ගේ දරුවන් පාසල්වල සහ සමාජය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මත්පැන්වලට ඇබ්බැහි වූවන් සහ ලිංගික විකෘතිකයන් ලෙස ඒකාකෘතිකරණය කිරීම ඉන් ප්‍රධාන වේ.

කුලය අතීතයට අදාළ සාධකයක් බවත්, නිදහස් අධ්‍යාපන ක්‍රමය යටතේ පංචමාර් ජනයාට ලබාදෙන අධ්‍යාපන අවස්ථා විසින් සමාජ අසමානතා සමතලා කර ඇති බවත් ඇතැම් උගතුන් සහ දෙමළ මාධ්‍ය ප්‍රකාශ කළද, අධ්‍යාපනයේ කුලවාදය උතුරේ බොහෝ පංචමාර් දරුවන්, ගුරුවරුන් සහ අධ්‍යාපන පරිපාලකයන් දිනපතා මුහුණ දෙන සංසිද්ධියකි.

කුලවාදී අතීතයක්

ඓතිහාසික වශයෙන්, අධිපති වෙල්ලාල ප්‍රජාවට උතුරේ අධ්‍යාපනය අරබයා සැලකිය යුතු පාලනයක් තිබේ. දහහත, දහඅට, දහනව වැනි සියවස්වල අධ්‍යාපනය ලබා දුන් වෙරන්දා පාසල් පංචමාර් දරුවන්ට විවෘත නොවීය. සමහර ප්‍රමුඛ මිෂනාරි පාසල් පවා දහනවවන ශතවර්ෂයේ “එහි පල්ලිවල සහ පාසල්වල වෙල්ලාල සාමාජිකයන් කිහිප දෙනෙකු විසින් ඉල්ලා සිටින කුල වරප්‍රසාද ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමට අවසර දී තිබුණි…” දහනවවන සියවසේ අවසාන දශකවල පිහිටුවන ලද බොහෝ ශෛව-දෙමළ පාසල් පංචමාර් දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ප්‍රතික්ෂේප කළේය. විසිවන ශතවර්ෂයේදී, හින්දු පුනර්ජීවන ව්‍යාපාරවල කොටස්වලට තම පාසල්වල පංචමාර් ජනයාට ඉඩප්‍රස්ථා අවශ්‍ය බව හැඟී ගියහ. නමුත් ඒ හුදෙක් මිෂනාරි පාසල්වලට එරෙහි වීමේ උපාය මාර්ගයක් ලෙස ය. වෙල්ලාර් ප්‍රභූන් කිහිප දෙනෙක් පංචමාර් දරුවන් සඳහා ශෛව පාසල් පිහිටුවීමට සහාය දුන්නේ ඔවුන් වෙල්ලාල දරුවන්ගෙන් වෙන් කිරීමේ රහසිගත චේතනාවෙනි.

යාපනයේ යටත් විජිත අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලැබූ අය අසමානුපාතිකව වෙල්ලාල සාමාජිකයන් විය. මෙම සමාජ කණ්ඩායම සහ ඔවුන්ගෙන් පැවත එන්නන් පසුව යටත් විජිත රාජ්‍යයේ පරිපාලන තනතුරු දැරූ (ඉංග්‍රීසි) උගත් මධ්‍යම පන්තියක් පිහිටුවා ගත්හ. මෙම කාල පරිච්ඡේදයේ අධ්‍යාපනික සංවර්ධනය පංචමාර් ජනයාගේ ජීවිතවල සැලකිය යුතු දියුණුවක් ඇති කළේ නැත.

නිදහසින් පසු, සමහර පංචමාර් කිතුනුවන්ට මිෂනාරිවරුන් විසින් පිහිටුවන ලද සමහර පාසල්වලට නොමිලේ ඇතුළත් වීමට හැකි විය. කෙසේ වෙතත්, හින්දුවරුන් අතර පංචමාර් ප්‍රජාවට මෙම පාසල් සඳහා මුදල් ගෙවීමට නොහැකි විය. ක්‍රිස්තියානි පාසල් තුළ පවා පංචමාර් ප්‍රජාවට අයත් දරුවන් සහ ගුරුවරුන් කොන් කිරීම් වලට මුහුණ දුන්හ. පරිපාලන තනතුරු සාමාන්‍යයෙන් වෙල්ලාල සාමාජිකයන් විසින් දරන ලදී.

මෙම අතීතය පිළිබඳ විවේචනාත්මක විමසීම් වැදගත් වන්නේ කුලවාදයේ මෙම දිගු ඉතිහාසය පංචමාරයේ ප්‍රගතිය ප්‍රමාද කිරීමට හා අඩපණ කිරීමට බහු-පරම්පරා ප්‍රතිවිපාක ඇති කර ඇති බැවිනි. අධ්‍යාපනයෙන් ලද කුල බලය මත වෙල්ලාලයන්ට අදටත් අන් අය කෙරෙහි තම ආධිපත්‍යය පැතිරවීමට හැකි වී තිබේ. වර්තමානයේ පංචමාර්වරුන් අතර බහුලව පවතින දිළිඳුකමට අධ්‍යාපනයේ බැහැර කිරීම් ප්‍රධාන හේතුවකි.

නිදහස් අධ්‍යාපනය සහ එහි සීමාවන්

1940 සහ 1960 අතර කාලයේ නිදහස් අධ්‍යාපනය සහ පාසල් ජනසතු කිරීම නිසා පංචමාර්වරුන්ට තිබූ අධ්‍යාපන අවස්ථා වැඩි විය. කෙසේ වෙතත්, පුත්තූර්හි පාසලක් ජනසතු කිරීමෙන් පසු පංචමාර් දරුවන්ට එහි ද්වාර විවෘත කිරීමට වසර පහළොවක් පමණ ගත විය. සමානාත්මතාවය සහතික කිරීමට උත්සාහ කළ ජනසතු පාසල්වලට කුලවාදී බලවේග පහර දුන්නේය. අදටත් සමහර රජයේ පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් සහ පාසල් සංවර්ධන සමිතිවල ආධිපත්‍යය දරන්නේ වෙල්ලාලයන් විසිනි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම්, ස්ථාන මාරුවීම් සහ උසස්වීම් සඳහා කුල ධූරාවලිය දිගින් දිගටම බාධා පමුණුවයි. මීට වසර කිහිපයකට පෙර පළමු ශ්‍රේණියේ විදුහල්පති ධූරය සඳහා අවශ්‍යතා සැපිරූ අපේක්ෂිකාවක් පංචමාර් වූ නිසා සම්මුඛ පරීක්‍ෂණ සඳහාවත් කැඳවා නැත. අධිපති කුලයේ සාමාජිකයන්, බහුතරවාදී රාජ්‍යයට දොස් පවරන අතරම, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පංචමාර් ප්‍රජාවගේ සංචලනයට බාධා කිරීම සඳහා එම රාජ්‍යයේම මෙවලම් භාවිතා කරයි.

නිදහස් අධ්‍යාපනය සහ කුල ප්‍රතිරෝධය මගින් සක්‍රීය කරන ලද සංචලනය පංචමාර් ප්‍රජාවන් තුළ කුඩා මධ්‍යම පන්තියක් බිහිවීමට හේතු වී තිබේ. කෙසේ වෙතත්, බොහෝ පංචමාර් ජනයා අදටත් ඉඩම් නොමැතිකම, නිවාස නොමැතිකම, විරැකියාව සහ දරිද්‍රතාවයට මුහුණ දෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉදිකිරීම් කර්මාන්තයේ, කෘෂිකාර්මික කම්කරුවන් හෝ ගෘහ සේවකයින් ලෙස සේවය කරති. ඔවුන්ගේ දරුවන් තම දෙමාපියන්ට උපකාර කිරීම සඳහා පාසලෙන් ඉවත් වීමට නැඹුරු වෙති. වසංගතය සහ ආර්ථික අර්බුදය ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට අසමාන ලෙස බලපා ඇත. පංචමාර් පවුල් සඳහා මාර්ගගත අධ්‍යාපනය මිල අධික සහ ප්‍රවේශ විම අපහසු මාධ්‍යකි. මෙම ප්‍රවණතා පංචමාර් දරුවන්ගේ සහ අනෙකුත් ආන්තික කණ්ඩායම්වල විශේෂිත අවශ්‍යතා සපුරාලීමට අපගේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ ආධාරක පද්ධති නොමැතිකමේ ප්‍රතිඵලයකි. පංචමාර් වැනි ප්‍රජාවන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීමේදී, කුල සහ පංති ධුරාවලි‍යට අන්ධ වූ සමජාතීය ක්‍රමයක සිට, අනන්‍යතාවයේ බහුවිධත්වය ආමන්ත්‍රණය කරන අමතර යාන්ත්‍රණ සහිත ක්‍රමයක් ලෙස නිදහස් අධ්‍යාපනය නැවත පරිකල්පනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ යුතුය.

විශ්වවිද්‍යාල තුළ කුලය

යාපනය විශ්වවිද්‍යාලයේ අවස්ථා කිහිපයක හැර කුලය පිළිබඳ විවෘත සාකච්ඡා දිරිමත් කරන්නේ නැති තරම් ය. කුලය පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීම දෙමළ ජනයා අතර අසමගිය ඇති කිරීමට හේතුවන බවට විද්වත් ප්‍රජාවේ කොටසක් විකෘති අදහස් දරනු ලබයි. බහු සංස්කෘතිකවාදයේ දෝෂ සහිත රාමු තුළ පිහිටා, කුලය සමාජ විද්‍යාත්මක යථාර්ථයක් දක්වා අඩු කිරීමට ශාස්ත්‍රාලිකයන් ගන්නා උත්සාහය සහ පන්ති කාමරය තුළ සහ ඉන් පිටත බලය ක්‍රියාත්මක වන ප්‍රධාන මාර්ගයක් ලෙස කුලය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම අප අභියෝගයට ලක් කළ යුතුය. උතුරේ උසස් අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස විශ්වවිද්‍යාලය, එහි පර්යේෂණ සංස්කෘතිය තුළ කුලය සහ එහි ක්‍රියාකාරීත්වය සමාජ සාධාරණත්වයට ඇති කරන බලපෑම පිළිබඳ ප්‍රශ්න සඳහා ප්‍රමුඛ ස්ථානයක් ලබා දිය යුතුය.

යුක්තිය සඳහා ගවේෂණය

අධ්‍යාපනය ඇතුළු විවිධ පැතිවලින් දිගුකාලීන වෙනස්කම් තිබියදීත්, පංචමාර් ප්‍රජාව තම දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයට ප්‍රවේශය ඉල්ලා සිටිති. යුද්ධයෙන් අවතැන් වූවන් සඳහා වන කඳවුරුවල ජීවත් වන ඉඩම් නොමැති පංචමාර් පවුල් රජයෙන් ඉල්ලා සිටින්නේ තම දරුවන්ට හොඳ පාසල්වලට යාමට හැකි වන පරිදි ඔවුන් දැනට ජීවත් වන ප්‍රදේශවල ඉඩම් ලබා දෙන ලෙසයි. වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේදී පසුගිය කාලයේ සිදුවූ කුල ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පීඩාවට පත් ප්‍රජාවේ දෙමාපියන් තම දරුවන් පාසල් තුළදී කම්පනයට පත්වන ආකාරය පිළිබඳව විරෝධය පළකරමින් සිටියි. වෙනස්කම්වලට මුහුණ දුන්, ඉහත දැක්වූ අයදුම්කරු වැනි පංචමාර් කුලවල වෘත්තීයවේදීන් විසින් ලබා ගන්නා ලද අධිකරණ ජයග්‍රහණ, යුක්තිය සඳහා වන ඔවුන්ගේ අරගලයන් ඉදිරියට ගෙන යාමට ප්‍රජාවට බලාපොරොත්තුවක් ලබා දෙයි. ඔවුන්ගේ වර්තමාන අරගල, අතීතයේ කුල විරෝධී අරගලවලින් ද අනුප්‍රාණයක් සහ මග පෙන්වීමක් ලබා ගනියි. තම වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට සහ වැඩි කර ගැනීමට අධ්‍යාපන ක්‍රමය (අනිසි ලෙස) භාවිතා කර ඇති ආකාරය සහ, යුක්තිය සඳහා වන ගවේෂණයේදී පංචමාර් සහ අනෙකුත් කුල කණ්ඩායම් සමඟ සම්බන්ධ වීම පිළිබඳව අධිපති කුල ප්‍රජාවන් ස්වයං විමර්ශනයක් කිරීමට කාලයයි මේ. තවද දෙමළ ජනතාව අතර පවතින කුල භේදයෙන් ප්‍රයෝජන ගැනීම හෝ දෙමළ ජනයාගේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ලෙස කුලය කොටු කිරීම වෙනුවට රාජ්‍යය, අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් කුලභේදය තුරන් කිරීමේ කාරණයේදී තමන්ගේ අසාර්ථකත්වය පිළිගෙන පංචමාර් සහ අනෙකුත් ඓතිහාසික වශයෙන් අවාසි සහගත ප්‍රජාවන්ට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් නිදහස් අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රීයකරණය කළ හැකි භාවිතයන් හඳුන්වා දීමට මේ කාලය බව සිහිපත් කළයුතුය.