කලා පීඨ වල දිශානතිය – ප්රතිපිළිතුරක්

ෆර්සානා හනීෆා

මීට මසකට පමණ පෙර මෙම තීරුවට ලිපියක් ලියමින් මා කියා සිටියේ වත්මන් තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලීන් තුළ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයන් සඳහා ඇත්තේ ඉතා අඩු ඉඩක් බවයි. රුහුණු විශ්ව විද්යාලයේ උපකුලපතිවරයකුව සිටි මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් ඊට පිළිතුරක් වශයෙන් ලියූ ලිපියකට අනුව මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයන් වලින් ලබාදෙන දැනුම වැදගත් වුවත්, මෙම ක්ෂේත්‍ර වලින් සාර්ථක වෘත්තිකයන් බිහි කිරීමට ලංකාවේ විශ්ව විද්‍යාල අසමත් වී ඇත. ඔහුට අනුව, එම නිසා, වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ඇති නවලිබරල්වාදී ප්‍රවණතා පිළිබඳ විවේචනයක් කිරීමට මෙම ක්ෂේත්‍රයේ ශාස්ත්‍රාලිකයන්ට නොහැකි වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ශාස්ත්‍ර පීඨයන්ට ඔවුන්ගේ මූලිකම භූමිකාව වන ‘විශ්ව විද්‍යාලයේ ආත්මය සහ සාරය’ ලෙස හැසිරීමේ හැකියාව නැතිව ගොස් තිබේ.

කලා පීඨ තුළ අර්බුදයක් ඇති බවට වන මහාචාර්ය මෙන්ඩිස්ගේ නිගමනය සමඟ මම බොහෝ කොටම එකඟ වෙමි. එම නිසා කලා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයේදී විවේචනය වැදගත් වන බවටද මම එකඟ වෙමි. එහෙත් ඔහුගේ තවත් සමහර නිගමන හා එකඟ වීම අසීරුය. කලා අධ්‍යාපනය වැටී ඇති තැන පිළිබඳ වගකීම කලා පීඨ වල ශාස්ත්‍රාලිකයන් මත පැටවීම තුළ එකී පීඨ වල ඓතිහාසික විකාශනය පිළිබඳ අවධානය යොමුකොට නැති බව පැහැදිලි වන අතර, ව්‍යුහාත්මක ගැටළු පුද්ගලයාගේ කරපිට දැමීමේ නැඹුරුතාවයක් පෙන්නුම් කරයි. එහෙත් ව්‍යුහාත්මක ගැටළු විසඳීම සඳහා වඩා පුළුල් මැදිහත්වීම් අවශ්‍යය. එසේම මෙම විවේචනය තුළ කලා අධ්‍යාපනය පිළිබඳ කතිකාව වටා පවතින ප්‍රභූවාදී දේශපාලනය සහ පන්තිවාදී ගතිකත්වයන් හොඳින් පිළිබිඹු වේ. මෙවැනි විවේචන වල පවතින පූර්ව විනිශ්චයන් ආමන්ත්‍රණය කිරීමෙන් තොරව මෙම සංවාදය ඉදිරියට ගෙන යා නොහැක.

කලා අධ්‍යාපනයෙහි අර්බුදයක් පවතින බව අමුතුවෙන් කිවයුතු නොවේ. කලා පීඨ වල ගුරුවරුන් වශයෙන් වඩා හොඳ පර්යේෂණ මධ්‍යස්ථාන, අප වෙත පැමිණෙන සිසුන්ට වඩා ඉහළ විචාරශීලී භාවයක් හා ඉංග්‍රීසි කුසලතා, පීඨය තුළ ස්ත්‍රී-පුරුෂ සමාජ භාවීය සබඳතා සම්බන්ධ වඩා යාවත්කාලීන ආකල්ප, රට තුළ දිගහැරෙන වාර්ගික-ආගමික ආතතීන් පිළිබඳ විවෘතව කතාකළ හැකි පරිසරයක්, පශ්චාත් උපාධි වැඩසටහන් වලට වඩා හොඳ අරමුදල් සැපයීමක්, සහ ඒ සියල්ලටමත් වඩා මේ වනවිට අප පීඨ තුළ සිදුවෙමින් පවතින සීඝ්‍රගාමී නවලිබරල්කරණයට එරෙහි වඩා ශක්තිමත් ප්‍රතිරෝධයක් පවතින්නේ නම් අපද කැමතිය. අපේ කුප්පි කතා තීරුවෙන් අරමුණු කරන්නේ මෙම අභ්‍යන්තරික ගැටළු වලට අවධානය යොමු කරවීමටත්, එමෙන්ම මෙම අර්බුදය සම්බන්ධ මහජන කතිකාව තුළ අසනු ලබන්නේ වැරදි ප්‍රශ්න බව හා ප්‍රතිපත්ති සම්පාදකයන් පිළිතුරු දීමට උත්සහ කරන්නේද වැරදි ප්‍රශ්න වලට බව පෙන්වීමටත්ය.

කලා පීඨ වල වර්තමාන තත්වයට ඓතිහාසික හේතු තිබේ. මහාචාර්ය මෙන්ඩිස්ගේ විවේචනය මේ සම්බන්ධයෙන් පවතින බොහෝ විවේචන වලට වඩා විදග්ධ එකක් වුවත්, ඒ තුළද මෙම විෂයන් වල සශ්‍රීක (හා ඉංග්‍රීසියෙන් වැඩ කළ) අතීතය පිළිබඳව පොදුවේ පවතින සාංකාව දැකිය හැකිය. යටත්විජිතකරණයට එරෙහිව මතු වූ චින්තනය හා එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ ස්වභාෂාකරණයෙහි වලංගුභාවය ඔහු ප්‍රශ්න කරයි; දේශීයත්වය අවධාරණය කිරීමට යාමෙන් ගෝලීය දැක්මක් නැති, නිර්මාණශීලීත්වයෙන් තොර, පටු ශාස්ත්‍රාලිකයන් බිහිව ඇති බව ඔහුගේ චෝදනාවය.

මෙම විවේචනය බොහෝ කොටම වලංගු එකකි. ඒ සම්බන්ධයෙන් මීට පෙර කුප්පි කතා තීරුවේ හර්ෂණ රඹුක්වැල්ලත්, වෙනත් ස්ථාන වල පල කරන ලද විශිෂ්ඨ ලිපි ඔස්සේ කුමුදු කුසුම් කුමාර (2013) හා ප්‍රභා මනුරත්න (2018) ත් අදහස් දක්වා ඇත. කුමාරට අනුව ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා ශාස්ත්‍රාලිකයන් බොහෝ පිරිසක් රට හැරගිය අතර, ඉතිරි වූ පිරිසට සිංහල හා දමිළ භාෂා සම්පත් වලට ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැතිව එක්වරම ඉගැන්වීම් කටයුතු කිරීමට සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ දේශනය සටහනකට සීමා වීමයි. පසු කාලීනව වුවද අදාළ පරිවර්තන කටයුතු හා ස්වභාෂා වලින් පර්යේෂණ කිරීමට අවශ්‍ය ආයෝජනය අනුක්‍රමික රජයන් විසින් සිදු නොකෙරුණි. මෙය අද දක්වාද පවතින යථාර්ථයකි. STEM විෂයන් වල ගුරු-ශිෂ්‍ය අනුපාතය 10:1 වනවිට, කලා පීඨ වල එය 18:1 කි. මෙම ඉතිහාසය හා එයින් පැන නැඟි ව්‍යුහාත්මක තත්වයන් කතා නොකොට මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීම ඵල රහිතය. එසේම මෙවැනි තත්වයන් යටතේ වුවද ඉතා විශිෂ්ඨ ගණයේ ශාස්ත්‍රාලිකයන් නිර්මාණය වූ බවත් අමතක නොකළ යුතුය.

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයන් වල ඉහල පුහුණුවක් ලබා ගැනීමට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය බවද අවිවාදිතය. එහෙත් ලංකාවේ ඉංග්‍රීසි භාවිතා වන්නේ කෙනෙකුගේ පන්තිය ලකුණු කිරීමටය. එමඟින් මධ්‍යම පාන්තික අනන්‍යතාව මෙන්ම විශිෂ්ඨත්වය, හැකියාව, හා විශ්වසනීයත්වය සන්නිවේදනය වන බව පිළිගැනේ. වත්මන් උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයද මෙම උපකල්පන මත ක්‍රියාත්මක වනු විනා විෂය දැනුම මුවහත් කිරීම හෝ වඩා පුළුල් දැක්මක් අත්කරගැනීම සඳහා ඉංග්‍රීසි භාවිතා කිරීමක් දක්නට නොලැබේ.

කලා පීඨ කාර්ය මණ්ඩල වල බොහෝ දෙනාට චතුරව ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වීමේ යථාර්ථයෙන් පිළිබිඹු වන්නේ ඔවුන්ගේ නොහැකියාවට වඩා ස්වභාෂා ප්‍රතිපත්තියේ බලපෑම බව සිහිතබා ගත යුතුය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් සංවිධානය කරනු ලබන තත්ත්ව සහතිකකරණ වැඩමුළු වලදී ‘නිවැරදි’ ඉංග්‍රීසි භාවිතා කොට ප්‍රශ්න නොඇසීම නිසා අප පීඨ වල සාමාජිකයන්ට නිතර අඩු සැළකිලි ලැබෙනු මම දැක ඇත්තෙමි. මෙවැනි තත්වයන්ට මුහුණ දීමට, ඉංග්‍රීසි සිය මව්බස නොවන ශාස්ත්‍රාලිකයකු කොතරම් බුද්ධිමය සහ මානසික පරිශ්‍රමයක් දැරිය යුතුදැයි ප්‍රතිපත්ති සම්පාදකයන් දැන්වත් වටහාගත යුතුය. ‘හැකියාව’ යන්නෙහි ලොකු කොටසක් ලෙස ඉංග්‍රීසි ලෙස සැළකීමත්, ඉංග්‍රීසි පිළිබඳ ප්‍රශ්නය කලා පීඨ වල වඩා පුළුල් ‘නොහැකියාව’ යන ගැටලුවට අදාළ කොට සැළකීමත් තුළිනි මෙම සාකච්ඡාව මහාචාර්ය මෙන්ඩිස්ගේ ලිපියට අදාළ වන්නේ.

කලා අධ්‍යාපනය පිළිබඳ සිය ලිපිය තුළින් ප්‍රභා මනුරත්න කතා කරන්නේ කලා පීඨයට ‘ඇත්තෙන්ම පැමිණෙන සිසුවා’ පිළිබඳවය. ඇයගේ පන්ති පසුබිම සහ වසර තුනක් හෝ හතරක් ඇතුළත ඇයගෙන් බලාපොරොත්තු වන පරිවර්තනයෙහි තරම පිළිබඳව මනුරත්න විවේචනයෙන් කතා කරයි. මෑතක පල වූ විගණන වාර්තාවකද සඳහන්ව තිබූ පරිදි අප පීඨ වලට බොහෝ කොටම පැමිණෙන්නේ පාසලේ උසස් පෙළ විද්‍යා විෂයන් නොතිබූ, රටේ දුප්පත්ම දිස්ත්‍රික්ක වලින් පැමිණෙන, වැඩි වශයෙන් ස්ත්‍රීන් වන සිසුන්ය. එම වාර්තාවට අනුව මෙම සිසුන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වන දුර්වලම සිසුන්ය; ඔවුන් තෝරාගන්නේ පද්ධතිය තුළ ඇති අඩුම ප්‍රයෝජනයක් සහිත පාඨමාලාවයි. එසේම විශ්ව විද්‍යාල වලට ඇතුළත් වන්නන්ගෙන් වැඩිම ප්‍රතිශතයක්ද ඔවුහු වෙති. විගණන කාර්යාලයේ නිර්දේශයට අනුව මෙම සිසුන්ට වඩා හොඳ අනාගතයක් තහවුරු කිරීම සඳහා තාක්ෂණ අධ්‍යාපනයක් ලබාදිය යුතු අතර, ඒ හරහා තාක්ෂණික පුහුණුව ලැබූ ශ්‍රම බලකායක් බිහිකළ හැකි වේ. වාර්තාවට අනුව දියුණු වන රටක් වශයෙන් ශ්‍රී ලංකාවට කලා උපාධිධාරීන් මෙතරම් ප්‍රමාණයක් නඩත්තු කළ නොහැකි අතර, ලලිත කලා වැනි විෂයන් වලට ආයෝජනයද කළ නොහැක. ප්‍රතිපත්ති මට්ටමේදී කලා විෂයන් වලට ඇති අඩු තක්සේරුවට මෙම වාර්තාව හොඳ උදාහරණයකි.

කලා පීඨ වලට ඇතුලත් වන සිසුන්ගේ පසුබිම පිළිබඳ සමාජ දේශපාලන විග්‍රහයක් නොමැති වීම තුළ විද්‍යාමාන වන්නේ කලා අධ්‍යාපනය අරබයා ඇති විවේචන වල (මහාචාර්ය මෙන්ඩිස්ගේද ඇතුළුව) පවතින ප්‍රභූවාදීත්වයයි. කලා අධ්‍යාපනය තුළින් සිසුන්ට ලබාදිය යුත්තේ මොනවාද යන සාකච්ඡාවේදීද මෙම යථාර්ථය විද්‍යාමාන වේ. ලංකාවේ කලා පීඨ තුළ අප උත්සහ කරන්නේ අවම වරප්‍රසාද සහිත පසුබිම් වලින් පැමිණෙන සිසුන් සවිබල ගැන්වීමටය. කලා අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශස්තම උදාහරණ ලෙස මහාචාර්යවරයා යොදාගන්නා හාවර්ඩ් වැනි විශ්ව විද්‍යාල ඉතා ප්‍රභූවාදී සහ පීඩිතයා සූරාකෑම තුළින් ඉහළට ආ තැන් බව සිහිපත් කළ යුතුය. පීඩිත පන්ති වල විමුක්තිය උදෙසා අධ්‍යාපනය සහ අවස්ථා විවර කිරීමේ ඉතිහාසයක් ඔවුන්ට නැත.

එවැනි තැන් අනුකරණය කරනු වෙනුවට, කම්කරු අරගල සහ සංස්කෘතික විවේචන කරළියට බසින්නට මංපෙත් සකසා දුන් ආකාරයේ සන්දර්භයන්ය අප ගුරුකොට ගත යුත්තේ. තමා පැමිණෙන ව්‍යුහාත්මක වටපිටාව තේරුම් ගැනීමට හා විවේචනය කිරීමටත්, එම කොන්දේසි වෙනස් කිරීමටත් අවශ්‍ය හැකියා අපේ සිසුන්ට ලබාදිය යුතුය. ඒ වෙනුවට පන්ති සාධකය සැඟවීමට ලක්කරන ‘ව්‍යවසායකත්වය’ වැනි සංකල්ප වැළඳ ගැනීම විසඳුම නොවේ. අනාගත පරම්පරාවන්ද දරිද්‍රතාවයෙහි සිරකර තබන්නා වූ සමාගමක CEO කෙනෙකු වන්නට සිසුන්ට අරමුණු ලබාදෙන නව ලිබරල්වාදී ව්‍යාපෘතියටයි අප වැඩිකොටම ප්‍රතිරෝධය දැක්විය යුත්තේ.