ජාතික දන්ත වෛද්‍ය අධ්‍යාපනයේ අභියෝග වලට මුහුණ දීම 

උදාරි අබේසිංහ 

නිදහස් අධ්‍යාපනයේ මූලිකම ප්‍රතිපත්තියක් නම් උසස් අධ්‍යාපන අවස්ථා හිමිකර දීමය. 2020 වසරේදී එවක ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අමතර සිසුන් 12,000 ක් ඇතුළත් කරගන්නා ලෙස උපදෙස් දෙන්නේ ඒ අනුවය. නමුත් මෙසේ වැඩිකරන ලද සිසුන් ප්‍රමාණය අවශෝෂණය කරගැනීම සඳහා අවශ්‍ය අමතර සම්පත් රාජ්‍ය විශ්ව විද්‍යාල වෙත ලබා නොදුණි.

දිනෙන් දින වැඩිවන සිසුන් සංඛ්‍යාව කළමණාකරණය කරගැනීමට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සිදුව ඇත්තේ වැඩිවන මූල්‍යමය අපහසුතා මධ්‍යයේය. මේ වනවිට රටේ දන්ත වෛද්‍ය විද්‍යා උපාධිධාරීන් බිහි කරන එකම පීඨයේ කාර්ය මණ්ඩල සාමාජිකාවක් ලෙස, ආර්ථික අර්බුද තත්වය තුළ දන්ත වෛද්‍ය පීඨ වලට මුහුණ පෑමට සිදුව ඇති අපහසුතා පිළිබඳ මෙම ලිපියෙන් අවධානය යොමු කිරීම අරමුණු කරමි.

ඉතිහාසයෙන් බිඳක් 

ලංකාවේ පළමු වරට දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය වෙනම වෘත්තියක් හැටියට ලියාපදිංචි කරන්නේ 1915 මැයි 15 වන දිනය. ලංකා වෛද්‍ය සභාව (Ceylon Medical Council) විසින් දන්ත වෛද්‍ය ලියාපදිංචි ආඥා පනත යටතේ  මෙරට පළමු දන්ත වෛද්‍යවරුන් කණ්ඩායම ලියාපදිංචි කෙරුණු අතර, ඔවුන් සියළු දෙනා බ්‍රිතාන්‍ය පුහුණුව ලැබූ අය විය. මුල් කාලීනව ඔවුන්ගේ සේවය වැඩියෙන්ම ලබාදුන්නේ බ්‍රිතාන්‍ය හමුදා ඛණ්ඩාංක, වෘත්තිකයන් සහ එම සේවා ලබාගැනීමට තරම් ක්‍රය ශක්තියක් තිබූ (වැඩිමනත් පෞද්ගලික අංශයේ සේවයේ නියුතු)  කණ්ඩායම් වලටය. පොදු මහජනතාවගේ දන්ත සෞඛ්‍ය අවශ්‍යතා නිල වශයෙන් පිළිගැනීමට ලක්වන්නේ 1925 සිටය. 1930 ගණන් වනවිට සිලෝන් වෛද්‍ය විද්‍යාලයේ (Ceylon Medical College) උපාධිධාරීන් බොහෝදෙනා දන්ත ශල්‍ය වෛද්‍ය වැඩසටහනක බලපත්‍රලාභීන් වීම සඳහා අවුරුදු දෙකක පාඨමාලාවක් හැදෑරුහ.  

1943 රටේ දන්ත වෛද්‍ය ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. එවක කොළඹ පිහිටා තිබූ සිලෝන් විශ්ව විද්‍යාලයට (University of Ceylon) අනුබද්ධිත සිලෝන් වෛද්‍ය විද්‍යාලය විසින් දන්ත වෛද්‍ය ශල්‍යකර්ම පිළිබඳ උපාධි පාඨමාලාවක් හඳුන්වා දෙන්නේ මෙම වසරේය. එහි පළමු සිසුන් කණ්ඩායම සිසුන් 4 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඊළඟ කණ්ඩායම තුළ සිසුන් 6 ක් විය. ලංකාවේ පළමු වරට පැහැදිලිව වෙනමම විෂයක් ලෙස දන්ත වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම ආරම්භ වන්නේ මේ සමඟය. ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු වලට සමගාමීව ප්‍රයෝගික කුසලතා වර්ධනය කිරීමේ වැදගත්කම හඳුනාගෙන, ඒ සඳහා කුඩා දන්ත වෛද්‍ය ඒකකයක්ද හඳුන්වා දෙන ලදී. වත්මනේ කොළඹ දන්ත වෛද්‍ය රෝහල ලෙස හැඳින්වෙන මහල් නවයකින් යුතු ඉදිකිරීම මෙම ගොඩනැගිල්ලයි.     

1953 වසරේදී දන්ත වෛද්‍ය පීඨය කොළඹින් පේරාදෙණියට ගෙන එන ලදී. ඉන් අනතුරුව 1961 දී දෙවන වෛද්‍ය පීඨයක් පේරාදෙණියේ ස්ථාපනය කිරීමෙන් පසු, දන්ත වෛද්‍ය පීඨය එහි දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියාත්මක වන ලදී. එය වෙනම පීඨයක් බවට පත්වන්නේ 1986 දීය. 1998 දී ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (Japan International Cooperation Agency) ව්‍යාපෘතියක් යටතේ පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨය හා රෝහල් සංකීර්ණය ඉදිවේ. 2017 දී සිව් අවුරුදු දන්ත වෛද්‍ය උපාධි පාඨමාලාව ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව පස් අවුරුදු එකක් බවට පරිවර්තනය කෙරුණි. රටේ දන්ත වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ වී වසර 80 කට පමණ පසුව අද වනවිට වාර්ෂිකව නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභීන් වශයෙන් උපාධිධාරීහු 80 ක් පමණ පීඨයෙන් බිහිවෙති. 2021 දෙසැම්බර් මස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව දෙවැනි දන්ත වෛද්‍ය පීඨයක් ස්ථාපනය කරනු ලැබූ අතර, එහි පළමු උපාධිධාරීන් කණ්ඩායම වසර තුනකින් බිහිවීමට නියමිතය.  

දන්ත වෛද්‍ය අධ්‍යාපනයේ අර්බුදය 

UNICEF ආයතනයට අනුව ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට වෙන් වන්නේ 2% ක් පමණක් වන අතර, එය ජාත්‍යන්තරව වෙන් වන 4%-6% ප්‍රමාණයට වඩා ඉතා අඩු එකකි. එමෙන්ම දකුණු ආසියානු රටවල් අතරින්ද මෙම කරුණ අරබයා ලංකාව පසුවන්නේ අන්තිම තැනය. 2020 වසර වනවිට දන්ත වෛද්‍ය සිසුවකුගේ එක් වසරක පිරිවැය රුපියල් මිලියන 1.72 ක් වූ අතර, වසර පහක දන්ත වෛද්‍ය පාඨමාලාවේ එක් සිසුවකු වෙනුවෙන් සමස්ත පිරිවැය රුපියල් මිලියන 8.62 ක් විය. ආනයනිත භාණ්ඩ වල මෑත කාලීනව සිදුවූ මිල වැඩිවීම් හමුවේ මෙම වියදම මීට වඩා ඉහළ ගොස් ඇති බව පහසුවෙන් අනුමාන කළ හැකිය. ලංකාවේ වඩාත් මිල අධිකම උපාධි පාඨමාලාව දන්ත වෛද්‍ය පාඨමාලාව බැවින් මෙම අරමුදල් කප්පාදු කිරීම් වල බලපෑම ඊට දැනෙන ප්‍රමාණය අධිකය. එමෙන්ම මෑතක සිට සිදුව ඇති 50% කින් වැඩිව ඇති ශිෂ්‍ය බඳවා ගැනීම් නිසා තත්වය තවත් දරුණු අතට හැරී තිබේ.  

දන්ත වෛද්‍ය පාඨමාලා වල සායනික සැසි වලදී ශිෂ්‍යයන් පෞද්ගලිකව අධීක්ෂණය කිරීම ඉතා වැදගත් වේ. මෙවැනි ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා විශාල මානව සම්පතක් අවශ්‍ය බව නොකිවමනාය. ලංකාවේ ප්‍රමිතීන් වලට අනුව සෑම ශිෂ්‍යයන් හත් දෙනෙකුටම ගුරුවරයකු සිටින අයුරින් ගුරු-ශිෂ්‍ය අනුපාතය පවත්වා ගත යුතුය. නමුත් මෙම තත්වය යටතේ මෙම අනුපාතය පවත්වාගත නොහේ. මේ නිසා අධ්‍යයන කාර්ය මණ්ඩලය මත ඉතා අධික බරක් පැටවී තිබේ: සිය ඉගැන්වීම් කටයුතු වලට අමතරව ඔවුන් පශ්චාත් උපාධි සිසුන් අධීක්ෂණය කිරීමේ කටයුතු, පර්යේෂණ සිදුකිරීම, සහ සිය පීඨයේ හා විශ්ව විද්‍යාලයේ පරිපාලන වගකීම් දැරීමද සිදුකළ යුතුය. මානව සම්පත හිඟ වීම නිසා ඔවුන්ගේ මෙම සියලු වගකීම් මෙන්ම විශේෂයෙන්ම ඉගැන්වීම් කටයුතු වලද ගුණාත්මක භාවය තරමක් අඩුවී තිබේ.

මඟ සොයා ගැනීම 

2023 සැප්තැම්බර් 05 වන දින පළ වූ මගේ කුප්පි ලිපියෙන්ද පෙන්වා දුන් පරිදි වර්තමානය වනවිට දන්ත වෛද්‍ය පීඨ වල තරුණ කථිකාචාර්යවරුන් රඳවා ගැනීම ඉතා අභියෝගාත්මක වී ඇත. අධ්‍යයනාංශයක් නිසි පරිදි පවත්වාගෙන යෑමට නම් සියළු මට්ටම් වල කථිකාචාර්යවරුන්ගේ දායකත්වය ඊට අත්‍යවශ්‍ය බව නොරහසකි. එහෙත් දැනට දන්ත වෛද්‍ය පීඨය පවත්වාගෙන යන්නේ එකදු තාවකාලික කථිකාචාර්යවරයකු හෝ නැතිවය. තත්වයට මූලිකවම හේතු වී ඇත්තේ තාවකාලික කථිකාචාර්ය පදවියෙහි අඩු වැටුප හා එවැනි කථිකාචාර්යවරුන්ට විශ්ව විද්‍යාලය තුළ අත්විඳීමට සිදුවන අභියෝග වලට සාපේක්ෂව පෞද්ගලික සායනයක් විවෘත කළ විට ලැබෙන ආදායම සහ ප්‍රතිලාභ ඉතා ඉහළ වීමය.  

එවැනි එක් අභියෝගයක් වන්නේ පරිවාස කථිකාචාර්යවරුන්ට විදේශයන්හි සායනික පුහුණුව ලබාගැනීම සඳහා රජය මඟින් ගෙවන දීමනාව අත්හිටුවීමට මෑතදී ගන්නා ලද තීරණයයි. විදේශයන්හි මෙවැනි පුහුණු අවස්ථා ගෙවීමේ පදනමක් මත හිමි වන්නේ කලාතුරකින් බැවින් මෙම දීමනාවෙන් තොරව මෙම අවස්ථා සාධනය කරගැනීම ඉතා දුෂ්කර වනු ඇත. මෙම සුදුසුකමින් තොරව කථිකාචාර්යවරුන්ට සිය සේවයේ ස්ථිර වියහැකි වුවත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට උසස් විය නොහැක. මෙම අභියෝග නිසා දැනට පද්ධතියේ සිටින්නා වූ කනිෂ්ඨ කථිකාචාර්යවරුන් රඳවා ගැනීමත්, අළුතෙන් අය ආකර්ෂණය කරගැනීමත් අභියෝගයක්ව පවතී. මීට අමතරව ඉහතින් සඳහන් කළ පරිදි පශ්චාත් උපාධි පුහුණු වීම් සඳහා දන්ත වෛද්‍ය උපාධිධාරීන්ට ලබාදෙන දීමනාව කප්පාදු කොට ඇති නිසා, සහ දැන් වනවිට එම දීමනාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිය පුහුණු වීම් සම්පූර්ණ කරන්නන්ට ලබාදී ඇති නිසා, බොහෝ දන්ත වෛද්‍ය උපාධිධාරීන් විශ්ව විද්‍යාලය වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා සොයා යති.     

දන්ත වෛද්‍ය සේවා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වල මිල මේ වනවිට තුන් හතර ගුණයකින් ඉහළ ගොස් ඇති නිසා අධ්‍යාපන කටයුතු සඳහා පමණක් නොව එම සේවා සැපයීම සඳහාද අවශ්‍ය ද්‍රව්‍ය වල දරුණු හිඟයක් ඇතිව තිබේ. මේ මොහොතේ දන්ත වෛද්‍ය පීඨය රඳා පවතින්නේ රෝගීන් සහ ආදි සිසුන්ගෙන් ලැබෙන පරිත්‍යාග මතය. මේ වනවිට ඉතා හිඟව පවතින පර්යේෂණාගාර, සායනික උපකරණ, පරිගණක පුහුණු මධ්‍යස්ථාන වැනි සම්පත් ලබාගැනීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලැබෙන සහය අවම වන අතර, එය මූලිකවම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ වගකීමක් බවට පත්ව ඇත.   

පුළුල් දැක්ම 

දන්ත වෛද්‍ය උපාධිය අනිවාර්යයෙන්ම මිල අධික එකකි. ලංකාව තුළ එම අධ්‍යාපනයට ප්‍රවේශය ලබාගැනීමේදී විශේෂයෙන්ම ආර්ථික වශයෙන් අඩු වරප්‍රසාද සහිත පසුබිම් වලින් පැමිණෙන්නන්ට නිදහස් අධ්‍යාපනය ආශීර්වාදයක් වී ඇත. ශාස්ත්‍රාලිකයන් ලෙස අපේ වගකීම වන්නේ එම ප්‍රවේශය දිගටම තහවුරු කිරීමත්, නියමිත ප්‍රමිතීන්ගෙන් යුතුව එම අධ්‍යාපනය ලබා දීමත්ය. වසර 80 ක කාලයක් තුළ දන්ත වෛද්‍ය උපාධි පාඨමාලාව සිසුන් 4 කගේ සිට සිසුන් 80 ක් දක්වා වර්ධනය වී ඇත. එම වෙනස්කම් මධ්‍යයේ පාඨමාලාවේ තිරසාර බව රැකගන්නා ලද්දේ වැඩිපුර අරමුදල් වෙන්කිරීම මඟින් නියමිත ලෙස ක්‍රමිකව එහි සම්පත් ප්‍රසාරණය කිරීම මඟිනි.

මෙවැනි ආර්ථික අර්බුදයක් තුළ නියමිත වගවිභාගයකින් තොරව බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ දැමීම තුළින් දන්ත වෛද්‍ය උපාධි පාඨමාලාවේ ගුණාත්මක බව අඩු වීම වැළැක්විය නොහැක. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පශ්චාත් උපාධි වෛද්‍ය පුහුණු සිසුන් සඳහා දීමනාවක් ලබා දීමටත්, පශ්චාත් උපාධි දන්ත වෛද්‍ය පුහුණු සිසුන් සඳහා එවැනි දීමනාවක් ලබා නොදීමටත් ගන්නා ලද තීරණය තුළින් මේ තත්වය තවත් දරුණු වනු ඇත. රටේ දන්ත වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කරන අතරවාරයේම, අදාළ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් එම අධ්‍යාපනයෙහි දිගු කාලීන තිරසාර භාවය සහ ප්‍රමිතිය පිළිබඳවත්, නිදහස් අධ්‍යාපනය තුළින් දන්ත වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රවේශය දිගටම තහවුරු කිරීම පිළිබඳවත් සිතා බැලීම අත්‍යාවශ්‍ය වන්නේය.