තත්ව සහතිකකරණය පිළිබඳ මහා කලබලය

හසිනි ලේකම්වසම්

ආර්ථික අර්බුදය එන්න එන්නටම දරුණු වන පසුබිමක, තමන් වෙනුවෙන් මහජන අරමුදල් වලින් වෙන්කොට ඇති වැය සාධාරණීකරණය කිරීම සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල වෙත එල්ල වන පීඩනය වැඩි වෙමින් තිබේ. ඒ බව තහවුරු කිරීම සඳහා ගැනෙනු ලබන එක් ක්‍රියාමාර්ගයක් වන තත්ව සහතිකකරණ ක්‍රියාවලිය මඟින් යම් යම් සාමාන්‍යකරණය කරන ලද ප්‍රමිතීන් පවත්වා ගැනීම හා ඒ බව පෙන්වීම සඳහා ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීම අරමුණු කරයි. ඒ අනුව එම සාක්ෂි සම්පාදනයට, පිළිගත හැකි මට්ටමේ ඇගයුම් ප්‍රතිඵලයක් ලබාගැනීමට, සහ තමන්ට ගෙවනු ලබන වේතනයට සාධාරණයක් කරන බව පෙන්වීමට දේශපාලන හස්තයෙන්, ඉහළ පරිපාලනයෙන් මෙන්ම මහජනතාවගෙන්ද එල්ල වන පීඩනයට ප්‍රතිචාර දැක්වීම සඳහා මේ වනවිට විශ්ව විද්‍යාල ඇතුළත පවතින්නේ මහා කලබලයකි.

එහෙත් වත්මන් අර්බුදය වැනි සමාජ, දේශපාලන සහ ආර්ථික වශයෙන් අභියෝගාත්මක අවස්ථාවක එම යථාර්ථයන් නොසළකා හරිමින්, ඒවායින් විශ්ව විද්‍යාල තුළ අපේ කාර්යභාරයට කිසිදු බලපෑමක් නොවන්නාක් සේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකරගෙන යා හැකි නොවේ. මෙම ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ තත්ව සහතිකකරණ ක්‍රියාවලියෙහි අරමුණු සහ පටිපාටීනුත්, එමඟින් බලාපොරොත්තු වන දේ වත්මන වැනි අර්බුදකාරී තත්වයක් තුළ ඉටුකර ගත හැකිද යන්නත් පිළිබඳ තක්සේරුවක් කිරීමයි.

දෝෂ සහගත පදනම් සහ සාවද්‍ය පොරොන්දු  

තත්ව සහතිකකරණ ක්‍රියාවලියෙන් අපේක්ෂා කරන ප්‍රමිතීන් ළඟා කරගැනීම හරහා රැකියා වෙළඳපොළෙන් බලාපොරොත්තු වන ආකාරයේ කුසලතා සිසුන්ට ලබාදිය හැකි බවත්, ඒ හරහා ඔවුන් ‘රැකියා නියුක්තියට සුදුසු’ (employable) භාවයට පත් කෙරෙන බවත් උපකල්පනයක් පවතී. එහෙත් අප මේ දිගින් දිගටම ප්‍රතිචාර දක්වන සංඥා එන්නේ ගරා වැටෙන වෙළඳපොළකින් නොවේද? එම වෙළඳපොළ පාලනය වන වඩා විශාල ගෝලීය වෙළඳපොළද කොවිඩ් වසංගතයෙන් ඇතිවූ කම්පනය හමුවේ අවපාතයක් කරා ඇදෙමින් පවතී. එවැනි අවපාතයක් ඇති වුවහොත් එමඟින් සිය ආර්ථිකයන්ට ඇතිවිය හැකි බලපෑම අවම කරගැනීම සඳහා විදෙස් වෙළඳපොළවල් ආර්ථික දේශසීමා වසා දමන බවත්, එමඟින් අප වැනි පරායත්ත ආර්ථික අති දැවැන්ත අර්බුදයක් වෙතට තල්ලු කොට දමන බවත් එෛතිහාසිකවම අපි දනිමු. එම නිසා මේ මොහොතේ ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදයකටය. එවැනි සංවාදයකින් තොරව අධ්‍යාපනය තුළ පමණක් තත්ව සහතිකකරණය සිදුකිරීමට දැඟලීම තුළින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රමාණය ආර්ථිකයට දරාගත නොහැකි ලෙස ඉහළ යාම සහ/ හෝ දැනටත් දරුණු වශයෙන් සිදුවන බුද්ධි ගලනය තවදුරටත් තීව්‍ර වීම සිදුවිය හැකිය.

තත්ව සහතිකකරණ ක්‍රියාවලියෙහි ඇති තවත් දෝෂයක් නම් එමඟින් ප්‍රගතිශීලී වාග්මාලාව අයිති කරගෙන තිබීමයි. නිදසුනක් ලෙස ‘අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීම’ යන්න මෙම කතිකාව තුළ යොදා ගැනෙන්නේ පෞද්ගලීකරණය සාධාරණීකරණය කිරීමේ තර්කයක් වශයෙනි. එහෙත් පෞද්ගලීකරණය තුළින්ද බලාපොරොත්තු වන විසඳුම වන රට තුළ මුදල් රඳවා ගැනීම සාර්ථක වේ යැයි සිතිය නොහැක. මන්ද ලාභයෙන් වැඩි කොටස ගෝලීය මධ්‍යය වෙත නැවත ගලායන හෙයිනි. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බොහෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වල මව් විශ්ව විද්‍යාල පවතින්නේ විදෙස් රටවලය. සෞඛ්‍ය අංශය තුළ වුවද ඖෂධ සහ යන්ත්‍රෝපකරණ බොහොමයක හිමිකාරීත්වය ගෝලීය උතුරේ රටවල් විසින් දරයි. මීට අමතරව මෙම දෙඅංශයේම ලාභය පෞද්ගලිකව අනුයුක්ත කරගන්නා බොහෝ ලාංකිකයන් ඒවා බදු සහන ඇති විදේශ රටවල ආයෝජනය කිරීමද අමතක නොකළ යුතුය.

තත්ව සහතිකකරණ ක්‍රියාවලිය තුළ පවතින ඥානමය සහ දේශපානික ගැටළුද එමටය. ඉන් එකක් වන්නේ සංකල්පීමය කාරණා නාමමාත්‍රික ඒවා බවට ලඝු කිරීමයි. මෑතක පැවති තත්ව සහතිකකරණ රැස්වීමකදී අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් ලෙස හැඳින්වීමට විරුද්ධ වූ අවස්ථාවක මා ලද පිළිතුර නම් “වෙළඳ භාණ්ඩයක් නැතිව ඊට වෙනත් නමක් යෙදිය හැකි” බවය. මෙතැන ප්‍රශ්නය තිබෙන්නේ එම නමින් හැඟවුම් කරන දේශපාලනයෙහි මිස ලේබලයෙහි පමණක් නොවේ!

දෙවැන්න ඉතා වෙනස් ආකාරයේ අධ්‍යාපන වැඩසටහන් සමූහයක් ඇගයීම සඳහා එකම මිණුම් දඬු භාවිතා කිරීමයි. මෙම ගැටළුව පිළිබඳ කුප්පි තීරුවේ හා ඉන් පිටතද බොහෝ කරුණු මතුවී ඇති නිසා මේ අවස්ථාවේ පහත කරුණ පමණක් හුවා දැක්වීම සෑහේ යැයි සිතමි: එනම් මෙම ඇගයීම් සඳහා පැමිණෙන කණ්ඩායමට “සියළු විස්තර සොයා බැලීමට හා කියවීමට කල්වේලා නොමැති වීමේ” පදනම මත මෙවැනි සාමාන්‍යකරණය කරන ලද මිණුම් දඬු භාවිතා කිරීම තුළින් කුමනාකාරයේ තත්වයක් සහතික කරන්නේද යන්න පිළිබඳ ගැටළුවක් පවතින බවය.

අනෙක් අතට මේ අවස්ථාවේ පවතින අමතර අභියෝගයක් නම් මෙම මිණුම් දඬු සාමාන්‍ය තත්වයන් යටතේ නිපදවූ ඒවා වීමත්, ඒවා භාවිතයෙන් මේ ඇගයීමට සැරසෙන්නේ ව්‍යතිරේඛ තත්වයක් වීමත්ය. එම තත්වය මඟින් අප උගන්වන දේ, ඒවා උගන්වන ආකාරය, ඒවා සිසුන් ග්‍රහණය කරගන්නා අයුරු මෙන්ම, එම නිසා එම ක්‍රියාවලිය තක්සේරු කළයුතු අයුරු යන සියල්ලම බලපෑමට ලක්කරයි. ඉතා දරුණු අසමානතා පවතින සමාජයක් තුළ මුලින්ම ගෝලීය අධි වසංගත තත්වයකිනුත් ඉන්පසුව මෙවැනි දැවැන්ත ආර්ථික අර්බුදයකිනුත් බැට කෑ පද්ධතියක් ඇගයීම සඳහා මෙම තත්වයට සංවේදී සහ ඊටම සුවිශේෂී නිර්ණායක භාවිතා නොකිරීම අයුක්ති සහගතය.

තත්ව සහතිකකරණ ක්‍රියාවලිය කොයිබට යන්නේද?

තත්ව සහතිකකරණ ක්‍රියාවලිය අරබයා ඇති මහා කලබලයෙන් ඇඟවෙන්නේ සීඝ්‍රයෙන් වෙළඳපොළකරණය වන සමාජයකට තවදුරටත් අදාළ වීම සඳහා ආයතනයක් වශයෙන් අප ගෙනයන අරගලයයි. නමුත් උසස් අධ්‍යාපන අවකාශයක් වශයෙන් අපගේ ලොකුම දුර්වලතාව සැඟවී ඇත්තේද මෙතැනය: එනම් මෙවැනි ආඛ්‍යාන බලගන්වන ආර්ථික සහ එෛතිහාසික සන්දර්භය පිළිබඳ ප්‍රශ්න නැඟීමට අපේ ඇති නොහැකියාව තුළයි. ගෝලීය දැනුම් සම්පාදන කේන්ද්‍රස්ථාන, ඔවුන් සම්පාදනය කරන දැනුම, එමෙන්ම කලාපීය වශයෙන් මෙම ක්‍රියාවලීන් වඩාත් සාර්ථකව අභ්‍යන්තරීකරණය කරගෙන තිබෙන්නා වූ ආයතන වලට වැඩි තැනක් ලබාදෙන, යටත්විජිත ධූරාවලීන් ප්‍රතිනිෂ්පාදනය කරන මෙවැනි ආඛ්‍යාන අපේ ක්‍රියාවන් වල දේශපාලනික මෙන්ම ආර්ථික අරුතද ප්‍රශ්න කිරීමකට ලක් කරයි .

එහෙත් විශ්ව විද්‍යාලය තුළ පවතින සදාචාරමය අර්බුදය හේතුවෙන් තත්ව සහතිකකරණය වැනි ක්‍රියාවලීන් සාධාරණීකරණය වන බවද මම පිළිගනිමි. පද්ධතිය තුළ ඇති ධූරාවලිය සහ වගවීමක් නොමැති බව ඊට මූලික වේ. නමුත් තත්ව සහතිකකරණ ක්‍රියාවලියෙන් සිදුකරන්නේ මෙම ධූරාවලිය හුදු වැඩ කරවා ගැනීම සඳහා භාවිතයට ගැනීමයි. තත්ව සහතිකකරණ ක්‍රියාවලියෙන් ඉල්ලා සිටින්නා වූ අත්‍යන්ත ලේඛන කන්දට මුවා වී වැඩ කරන බව පෙන්වීමට අවස්ථාවද හිමිවන නිසා එමඟින් අවිශිෂ්ට ප්‍රමිතීන් සාමාන්‍යකරණය වීමද තවත් අනතුරකි. එසේම අරමුදල් හිඟ පද්ධතියක තමන් මත පතිත වන අධිකතර කාර්ය ප්‍රමාණයෙහි බරින් දැනටත් ඉතා වෙහෙසට පත්ව සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කාලය මෙවැනි ක්‍රියාවලීන් හේතුවෙන් තවදුරටත් වැය වන බැවින්, ඇත්තෙන්ම ඔවුන්ගේ නියම රාජකාරි ඉටුකිරීම මඟහැරී යයි.

එම නිසා තත්ව සහතිකකරණ ක්‍රියාවලිය තුළින් සහතික කිරීමට උත්සුක වන තත්වය මඟින් අදාළ අරමුණු ඉටු නොවන බව පැහැදිලි වේ. මෙම තත්වයෙන් ගොඩ ඒම සඳහා තත්ව සහතිකකරණ ක්‍රියාවලිය සහ එමඟින් ඇගයුම් කරනු ලබන වැඩසටහන් යන දෙපාර්ශ්වයේම කැපවීම අවශ්‍යය: තත්ව සහතිකකරණ ක්‍රියාවලිය වැඩසටහන් මෙන්ම ඒවා ක්‍රියාත්මක වන සන්දර්භයටද අදාළ වන අන්දමේ තක්සේරුවක් කළ යුතු වන අතර, ඇගයුමට ලක්වන වැඩසටහන් විසින් සිය ප්‍රමිතිය වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ කාලය සහ කැපවීම ලබාදිය යුතුය. නමුත් මෙම කාරණා දෙකටම අවශ්‍ය පූර්ව කොන්දේසියක් වන ‘වැඩි ප්‍රතිපාදන’, පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව නිදහස් අධ්‍යාපනයම නැතිකර දැමීමට පෞද්ගලීකරණය සූදානම් වන මෙවැනි අවස්ථාවක බලාපොරොත්තු විය හැක්කක්ද යන්න ගැටළුවකි.