තෘතීයික අධ්‍යාපනයේ අරමුදල් කපා හැරීම ඇත්තෙන්ම මේ මොහොතේ අවශ්‍යතාවයද?

ෆර්සානා හනීෆා 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණු කරගත් රජයේ නවතම මැදිහත්වීම වන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මේ වනවිට තදින් විවේචනය වී, අදාළ නොවන තත්වයට පත්ව ඇත (කුප්පි තීරුවේ මෙවැනි විවේචනයක් කියවීම සඳහා 2024 මාර්තු 19 වන දින රම්‍යා කුමාර්ගේ ලිපිය බලන්න). අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින්ද යෝජිත ප්‍රතිපත්ති රාමුවේ භාවිත භාෂාව සහ එහි නිර්දේශ සමහරක් සම්බන්ධයෙන් විසම්මතිය පල කොට, ප්‍රයෝජනවත් නිරීක්ෂණ ඉදිරිපත් කොට තිබේ.

එම කාරක සභාවට අනුව, යෝජිත ප්‍රතිපත්ති රාමුව මූලධර්ම හතරක් මත පදනම් විය යුතුය: නිදහස් අධ්‍යාපනය කප්පාදු නොකිරීම, අධ්‍යාපනය මූලික අයිතියක් ලෙස පිළිගැනීම, අලුතෙන් යෝජනා කරන සියළු අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ වල ප්‍රතිමානීය පදනම සහ ප්‍රමිතිය ලෙස සමතාව සහ සමාජ සාධාරණත්වය පිළිගැනීම, හා වත්මන් සන්දර්භය තුළ ඉතාම වැදගත් කරුණක් වන මූලික අවශ්‍යතා සන්තර්පණය කිරීම අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසියක් ලෙස ස්ථාපනය කිරීම යනු ඒවාය. මෙම මූලධර්ම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව අවම වශයෙන් අවධානය යොමුකර ඇති ඒවා වුවද, දශක ගණනක් තිස්සේ අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පදනම්ව ඇත්තේ ඒවා මතය. එසේම වත්මන් ආර්ථික අර්බුදය රටේ මෙතෙක් ඇතිව ඇති දරුණුම අර්බුදය බව කාරක සභාව මඟින් පිළිගෙන තිබේ. තවද, ප්‍රතිපත්ති රාමුවේ ඇතුළත් කොට ඇති උසස් අධ්‍යාපන අරමුදල් සම්පාදනය ප්‍රතිව්‍යුහගත කිරීම හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කිරීම වැනි වඩාත්ම විවාදාපන්න කරුණු සමහරක් සම්බන්ධයෙන් තීරණ ගැනීම කාරක සභාව විසින් කල්දමා ඇත. නමුත් සමස්තයක් වශයෙන් ගත්කළ පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියක කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ හොඳින් සිතාබලන ලද නිර්දේශ සමූහයක් මෙම කාරක සභාව මඟින් ඉදිරිපත් කොට ඇති බවද පිළිගත යුතු වේ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සංශෝධනය කිරීමේ තැත පිළිබඳ අපට සැනසුම් සුසුමක් හෙළිය හැකි වුවද, ඊට පදනම් වූ අදහස් කිහිපයක් විමසා බැලීම වටී. මේ ආශ්‍රිත මූලිකම චරිතයක් වන ආචාර්ය සුජාතා ගමගේ දැනට වසර කිහිපයකට පෙර සිටම උසස් අධ්‍යාපන අරමුදල් සම්පාදනය අරබයා එකිනෙක හා බැඳුනු අදහස් ද්විත්වයක් ප්‍රවර්ධනය කරමින් සිටී. ඇගේ මූලිකම තර්කය වන්නේ ප්‍රාථමික හා ද්වීතීයික අධ්‍යාපනයට සාපේක්ෂව තෘතීයික අධ්‍යාපනය වෙනුවෙන් අප රට වැය කරන මුදල සාධාරණීකරණය කළ නොහැකි බවයි. ඇගේ මතයට අනුව, සාපේක්ෂව රටේ වඩා වැඩි ජනගහණයකට ප්‍රයෝජනවත් වන, කරන ආයෝජනයට සාපේක්ෂව වඩා වැඩි ප්‍රතිලාභ ළඟා කරදෙන ප්‍රාථමික හා ද්වීතීයික අධ්‍යාපනයට අප වැඩි බරක් තැබිය යුතුය. ඇයට අනුව දෙවැනි ප්‍රශ්නය නම් තෘතීයික අධ්‍යාපනයෙහි වැඩිම ප්‍රතිලාභය පෞද්ගලිකව අනුයුක්ත වීමත්, ප්‍රාථමික හා ද්වීතීයික අධ්‍යාපනයෙන් අනුයුක්ත වන ප්‍රතිලාභය ඊට වඩා සමාජමය ස්වරූපයක් ගන්නා එකක් වීමත්ය. මෙම තර්කයට ඇය පදනම් කරගන්නා දත්තය වන්නේ තෘතීයික අධ්‍යාපනය ලද්දවුන් ගෙවන බදු වල ප්‍රතිශතයයි. මෙම ප්‍රශ්න දෙක නිසා රජය තෘතීයික අධ්‍යාපනයට කරන ආයෝජනය අඩුකොට, ප්‍රාථමික හා ද්වීතීයික අධ්‍යාපනයට කරන ආයෝජනය වැඩිකළ යුතු බව ඇය කියා සිටී. එසේම තෘතීයික අධ්‍යාපනය කෙරෙහි රජය තවදුරටත් ආයෝජනය කරන එකම හේතුව රජයේ විශ්ව විද්‍යාල වල සිටින ආත්මාර්ථකාමී සිසුන් සහ ගුරුවරුන්, තවත් වෘත්තීය සමිති හා ඒකාබද්ධව, උසස් අධ්‍යාපනය කෙරෙහි පෞද්ගලික ආයෝජන අපකීර්තියට පැමිණවීම බව ඇය තර්ක කරයි. යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙහි විවිධ තැන්වල මේ භාෂාවත්, කරුණු මේ ආකාරයෙන් රාමු කිරීමත් දක්නට ලැබේ. (මේ සම්බන්ධයෙන් ඇගේ මතය මා දක්වන්නේ පහත මූලාශ්‍ර මත පදනම්වය: උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු තේරීම් කමිටුවට ඇය ඉදිරිපත් කළ ප්‍රකාශය, News First නාලිකාවේ The People’s Platform වැඩසටහනෙහි සොනාලි වනිගබදුගේ සමඟ ඇය දැක්වූ අදහස්, 2021 වර්ෂයේ The Financial Times පුවත්පතට ඇය ලියූ ලිපි.)   

ආචාර්ය ගමගේ ගේ ස්ථාවරය සම්බන්ධයෙන් මා විවේචනයක් ඉදිරිපත් කිරීමට යෝජනා කරන්නේ පහත ප්‍රශ්න පදනම් කරගෙනය: ලංකාවේ අධ්‍යාපනය කෙරෙහි රජය කරන ආයෝජනය පොදුවේ ඉතා අඩු මට්ටමක පවතින තත්වයක් තුළ, එම සමස්ත ආයෝජනය වැඩි කිරීමට යෝජනා නොකරන්නේ ඇයි? උසස් අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම කප්පාදු කොට පාසල් අධ්‍යාපනය සඳහා කරන වියදම වැඩි කිරීමට යෝජනා කරන්නේ ඇයි? අධ්‍යාපනයට කරන වියදමට සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනට කෙරී ඇති පර්යේෂණ සහ ගෝලීය අධ්‍යාපන ප්‍රතිපත්ති සැළකිල්ලට ගත්විට මෙවැනි ස්ථාවරයක් ඇත්තෙන්ම ගත හැකිද? ලාභය සඳහා වූ උසස් අධ්‍යාපන ආයතන කෙරෙහි කරන්නා වූ පෞද්ගලික ආයෝජන පිළිබඳ විවේචනයක් මෙවැනි සාකච්ඡා වල ඇතුළත් නොවන්නේ ඇයි (මෙය වෙනත් ලිපියක විෂය ප්‍රස්තුතයට යෝජනාවක් වශයෙන් සැළකිය හැකිය)?  

කරන ආයෝජනයට සාපේක්ෂව අධ්‍යාපනයේ ප්‍රතිලාභ පිළිබඳ කතිකාව කරළියට එන්නේ ‘මානව ප්‍රාග්ධනය’ එක්කාසු කිරීමේ මාධ්‍යයක් වශයෙන් අධ්‍යාපනය සැළකීමට පටන් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි. 1960 ගණන් වල ශෝල්ට්ස්, බෙකර් සහ මින්සර් යන ආර්ථික විද්‍යාඥයින් විසින් ආරම්භ කරන ලද මෙම ප්‍රවනතාව තුළ අධ්‍යාපනය ආයෝජනයක් ලෙස දැකීමක් සිදුවේ; ඊට අනුව අධ්‍යාපනය ලබන අවුරුදු ගණන සහ ඉපයීමේ හැකියාව අතර ධන සම්බන්ධයක් පවතී. මෙමඟින් පුද්ගලයාට සහ සමාජයට යන දෙකට අනුයුක්ත වන ආර්ථික වාසිය පිළිබඳ පමණක් සළකා බලාය ආර්ථික විද්‍යාඥයින් විසින් ‘මානව ප්‍රාග්ධනය’ පිළිබඳ සංකල්පය හඳුන්වා දුන්නේ. එහිදී උසස් අධ්‍යාපනය ලබන වසර ගණන තුළ නොඉපයීම නිසා නැතිවන ආදායම, අධ්‍යාපනය සඳහා දරන පිරිවැයට එකතු කොට, අධ්‍යාපනයෙන් පසු කරන ඉපයීම් හා සංසන්දනය කෙරේ. මෙහිදී සමාජයට සහ පුද්ගලයාට අනුයුක්ත වන ප්‍රතිලාභ ගණන් බැලෙන්නේ එකිනෙකට වෙනස් ක්‍රම වලිනි. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බලසම්පන්න ක්‍රියාධරයින් විසින් අද වනවිට අධ්‍යාපනය අර්ථකථනය කරන එකම ආකාරය බවට මානව ප්‍රාග්ධන ප්‍රවේශය පත්ව ඇත. ලෝක බැංකුවද මෙම ආඛ්‍යානය ප්‍රවර්ධනය කිරීමෙහිලා දැවැන්ත ආයෝජනයක් සිදුකොට තිබේ. මෑතදී නියන්තිනී කදිර්ගාමර් විසින්ද පෙන්වා දී ඇති පරිදි මෙම ප්‍රවේශයට සෑහෙන විවේචන එල්ල වී ඇත.  

ලංකාව තුළ අධ්‍යාපනයේ සමාජමය වශයෙන් අනුයුක්ත වන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳ කතිකාව ප්‍රවර්ධනය කරන්නේ ජෝර්ජ් සැකරාපලස් ගේ ලිපි මත පදනම්ව ලෝක බැංකුව විසිනි. 1985 දී ඔහු විසින් රචනා කරන ලද ලිපියකට අනුව සමාජයකට වඩාත්ම ප්‍රයෝජනවත් ආයෝජනය වන්නේ ප්‍රාථමික අධ්‍යාපනයට කරන ආයෝජනයයි; එහි දෙවැනි තැන ද්වීතියික අධ්‍යාපනයට හිමිවේ. එම පදනම මත රාජ්‍යයන් තෘතීයික අධ්‍යාපනයට කරන ආයෝජනය අඩුකොට, එම අරමුදල් ප්‍රාථමික අධ්‍යාපනයට හැරවිය යුතුය (ඔහුගේ පසුකාලීන ලිපියක මෙම තර්කයට සංශෝධනයක් එක් කරමින් ඔහු කියා සිටින්නේ විශ්ව විද්‍යාල වලට පැමිණෙන්නේ ඒ සඳහා බරපැන දැරිය හැකි පිරිස බව පවසමිනි). එහෙත් 2018 දී රටවල් 169 ක දත්ත පදනම් කරගනිමින් කරන ලද සමීක්ෂණයකට අනුව, අධ්‍යාපනයේ සමාජමය වශයෙන් අනුයුක්ත වන ආර්ථික ප්‍රතිලාභ අතින් ප්‍රාථමික අධ්‍යාපනය තවමත් ප්‍රථම තැන සිටියත්, ද්වීතියික අධ්‍යාපනය පරදවා තෘතීයික අධ්‍යාපනය ඉදිරියට පැමිණ තිබේ.

වසංගතයට පසු ලෝකය තුළ, සමතාව සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනයට මෙන්ම, තාක්ෂණික විපරිවර්තන හා දේශගුණික විපර්යාස වැනි තත්වයන්ට වඩා සාර්ථක ලෙස මුහුණ දීමේ පුද්ගලයන්ගේ හැකියාව වැඩි කිරීම සඳහා, අධ්‍යාපනයට වැඩි ආයෝජනයක් කිරීම වැඩි වැඩියෙන් අවධාරණය කෙරේ. යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේද පිළිගෙන ඇති පරිදි අප ඉගෙන ගන්නා කුසලතා අදාළ නොවන තත්වයන් පැමිණිය හැකිවාක් මෙන්ම, නව කුසලතා ඉගෙන ගැනීමත්, ජීවිත කාලය පුරා ඉගෙනීමේ ක්‍රියාවලියේ නිරත වීමත් දැන් අත්‍යවශ්‍ය වී තිබේ. මෙම හැකියාව ලබාදිය හැක්කේ තෘතීයික අධ්‍යාපනය තුළින් පමණි. මෑතදී ලෝක බැංකු බ්ලොග් පිටුවේ පැට්‍රිනොස් විසින් දක්වන ලද අදහස් මේ අරබයා වැදගත් වේ. ඔහුට අනුව දියුණු වෙමින් පවතින රටවල භෞතික සම්පත් වලට සාපේක්ෂව මානව ප්‍රාග්ධනයේ සමාජමය වශයෙන් අනුයුක්ත වන ආර්ථික ප්‍රතිලාභ ඉතා වැඩිය. එසේම මෙවැනි පදනමක් මත තීරණ ගන්නා විට ඉන් අඩු ආදායම්ලාභී, ග්‍රාමීය සහ ස්ත්‍රී සිසුන්ට වැඩි වාසියක් අත්වේ. 1970 ගණන් වල පින්ලන්තය සහ 2000 ගණන් වල පෝලන්තය උදාහරණ වශයෙන් ගනිමින් ඔහු පෙන්වා දෙන්නේ දිගින් දිගටම අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීම තුළින් කාලයක් යනවිට නවෝත්පාදන වැඩි වීමත්, සංවර්ධනය වඩාත් සාධාරණ එකක් වීමත් සිදුවන බවය.     

එම බ්ලොග් ලිපියට අනුව සමාජමය වශයෙන් අනුයුක්ත වන ආර්ථික ප්‍රතිලාභ වැඩියෙන්ම හිමිවන්නේ තෘතීයික අධ්‍යාපනය තුළින් වන අතර, එය දියුණු වන රටවලටද පොදුය. ඉහළ අධ්‍යාපන මට්ටම් සහ දේශගුණික විපර්යාස මඟහැරෙන ආකාරයේ ප්‍රතිපත්ති තීරණ වලට සහය දැක්වීම අතර ඇති සහ සම්බන්ධය ගෙනහැර පාමින් ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ ඉහළ අධ්‍යාපනයක් ලද තරුණ පරම්පරාවක් සිටින රටවල තමාටත්, තම සමාජයටත් වඩාත් හිතකර ආකාරයේ තීරණ ගැනීමේ හැකියාව වැඩිවන බවයි. එවැනි තත්වයක් තුළ අධ්‍යාපනයට කෙරෙන අඩු අරමුදල් වෙන්කිරීම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව විසින් ප්‍රශ්නයක් වශයෙන් නොදැකීම කැපී පෙනේ.

මානව ප්‍රාග්ධනය පිළිබඳ සීමා සහිත රාමුව තුළ වුවත් තෘතීයික අධ්‍යාපනයේ අරමුදල් කපාහැරීමට පක්ෂ තර්කයක් සොයාගැනීම අසීරුය. ඇත්තෙන්ම මෑත කාලීන පර්යේෂණ තුළින් වැඩි වැඩියෙන් පෙන්වා දෙන්නේ තෘතීයික අධ්‍යාපනයට වෙන්කරන අරමුදල් වැඩිකළ යුතු බවයි. එම නිසා තෘතීයික අධ්‍යාපනයේ අරමුදල් කපාහැරිය යුතු බවට තර්ක කරන අයවළුන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට එරෙහි දෘෂ්ටිවාදයක් සහිත, ඒවාට මහජන සහයෝගය නොලැබිය යුතු බව සහ ඒවායෙහි සිසුන් ‘අයිතිවාසිකම් මානසිකත්වයක්’ සහිත අය බවට ඒත්තු ගැන්වුණු පිරිසක් බව පැහැදිලිය. 

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපනය වෙනුවෙන් අඩුම වියදමක් කරන රටකි ලංකාව. මෙය ආචාර්ය ගමගේද සඳහන් කරන කාරණයකි. මෙවැනි අවම මූල්‍ය ප්‍රතිපාදන යටතේ පවත්වා ගන්නා මෙම පද්ධතිය රැකගැනීම සඳහා ප්‍රතිසංස්කරණ මෙන්ම වැඩි වැඩියෙන් ප්‍රතිපාදනද අවශ්‍ය වේ. දුෂ්කර පසුබිම් වලින් පැමිණෙන්නන්ගේ සමාජ ප්‍රගමනය සඳහා නිදහස් අධ්‍යාපනය විසින් ඉටුකොට ඇති මෙහෙවර සළකා බැලූ විට, එය ‘ප්‍රතිසංස්කරණය’ කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳ අප විමසිල්ලෙන් බැලිය යුතුය. විශේෂයෙන්ම එවැනි යෝජනා තුළ අධ්‍යාපන පද්ධතිය මුහුණ දෙන අරමුදල් කප්පාදුව පිළිබඳ යථාර්ථය ගැන සාකච්ඡා නොකරන විට අප වැඩිමනත් ප්‍රවේසම් විය යුතු වේ. ලෝක බැංකුව විසින් පවා සමතාව සහ සමාජ සාධාරණත්වයට මූලිකත්වය ලබාදෙන අවස්ථාවක, අපේ පද්ධතීන් තුළ ඇති සාධනීය ලක්ෂණ හකුළුවා දැමීම නොව රැකගැනීම කළයුතු බව අප සිහිතබා ගත යුතුය.