ධූරාවලීන්ට අභියෝග කිරීම? රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ ශිෂ්‍ය දුක්ගැනවිලි වලට පිළියම් කිරීමේ යාන්ත්‍රණ 

රම්‍යා කුමාර් 

ධූරාවලීන් අපේ විශ්ව විද්‍යාල වල මූලිකාංගයකි. විධිමත් හා අවිධිමත් ආකාර වලින් ඒවා විද්‍යාමාන වන අතර, ඒවා මඟින් සමාජ පන්තිය, වාර්ගිකත්වය සහ ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ බල අසමානතා තීව්‍ර කරමින් ඉහළ සිටින්නන්ගේ අධිකාරිය සහතික කරනු ලැබේ. වෛද්‍ය අධ්‍යාපනය තුළ මුල සිටම සිසුන්ව මේ ධූරාවලියට හුරු කරන්නේ සාමාන්‍ය කථිකාචාර්යවරුන්ට ඉහළින් මහාචාර්යවරුන්, සායනික පුහුණුව ලබා නොදෙන ගුරුවරුන්ට ඉහළින් එම පුහුණුව ලබාදෙන ගුරුවරුන්, වෛද්‍ය නිලධාරීන්ට ඉහළින් විශේෂඥ වෛද්‍යවරුන් සැළකීම වැනි සැඟවුණු විෂය නිර්දේශයක් තුළිනි. විශ්ව විද්‍යාල (සහ රෝහල්) තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සංවිධිත කිරීම සඳහා ධූරාවලියක් අවශ්‍ය වුවද, ඊට එහා කාර්යයන් වල එය තදින් මුල්බැස ගත්විට නිර්මාණය වන්නේ ඉගෙනීම සඳහා නොගැළපෙන, සිසුන් ප්‍රශ්න ඇසීමට අධෛර්යමත් කරන ආකාරයේ පරිසරයකි. වෙනස්කොට සැළකීම, නින්දා කිරීම, හිරිහැර කිරීම (bullying) ආකාරයේ බලය අවභාවිත කිරීම් සිදුවන්නේ එවිටය. වෛද්‍ය පීඨයට අළුතින් ඇතුළත් වන සිසුන් සඳහා මෑතක පැවති සැසියක නවක වධය පිළිබඳ කතා කිරීම සඳහා එක් ශිෂ්‍යාවකට මා ඇරයුම් කළ විට, “ගුරුවරු අතින් නවක වධය සිද්ද වෙනකොට මේ වගේ වැඩසටහන් වල ප්‍රයෝජනයක් තියෙනවද මැඩම්?” යනුවෙන් ඇය මගෙන් විමසා සිටියාය (උධෘතය මෙහි පල කරන්නේ ඇගේ අවසරය පිටය). මේ ලිපිය ලියවෙන්නේ ඒ සම්බන්ධයෙන් කළ ආවර්ජනා මත පදනම්වය.   

උපාධි අපේක්ෂක සිසුන්ට ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තුළ සහ සියළු විශ්ව විද්‍යාල වල, නවක වධය සහ ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිළිබඳ පැමිණිලි කිරීමේ යාන්ත්‍රණ හඳුන්වා දී ඇත. මේ සියළු ආයතන මෙන්ම සමහර පීඨයන්ගේ පවා වෙබ් අඩවි වල මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් විස්තර කොට තිබේ. මීට අමතරව මෙවැනි පැමිණිලි කෙලින්ම පීඨාධිපති, ශිෂ්‍ය උපදේශකයින්, හෝ කථිකාචාර්යවරුන් වෙත ගෙන යෑමේ හැකියාවද සිසුන් සතුව පවතී. මාර්ගගතව පැමිණිලි කිරීමේ යාන්ත්‍රණ  වලට අමතරව පැමිණිලි පෙට්ටි වැනි නිර්නාමිකත්වය සුරකින, වඩා අවිධිමත් ක්‍රියාමාර්ගද පවතී. එහෙත් ගුරුවරුන් වැනි විශ්ව විද්‍යාල ධූරාවලියේ ඉහළින් සිටින්නන් විසින් කරන බලය අවභාවිතා කිරීම් වලට එරෙහිව මේවා කොතරම් දුරට රැකවරණයක් ලබාදෙන්නේද යන්න පැනයකි.

මෙම යාන්ත්‍රණ පිළිබඳ සිසුන්ගේ විශ්වාසය ඉතා අඩු බව රාජ්‍ය විශ්ව විද්‍යාල වල සේවයේ නියුතු කවුරු වුවත් දන්නා කාරණයකි. ලැබෙන පැමිණිලි වලින් ඉතා සුළු ප්‍රමාණයක් විමර්ශනයක් දක්වා දුර ගියත්, බොහෝ ඒවා එක්කෝ තර්ජන ගර්ජන හමුවේ ඉවත් කරගැනීමට සිදුවේ; නැතිනම් පාලනාධිකාරිය විසින්ම යට ගසයි. මෑත කාලීනව සමහර විශ්ව විද්‍යාල සහ පීඨ වලින් මේ පිළිබඳව පවතින යාන්ත්‍රණ වලට අමතර ඒවා හඳුන්වා දීමට උත්සහ ගෙන ඇත.

නව යාන්ත්‍රණ 

මුළු විශ්ව විද්‍යාලයටම බලපවත්වන මෙවැනි යාන්ත්‍රණයක් හඳුන්වා දී ඇති එකම විශ්ව විද්‍යාලය සබරගමුව ය. ඊට අනුව අදාළ පැමිණිලි පීඨාධිපති හෝ එම පීඨයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකට යොමුකළ යුතු වේ. පීඨාධිපති හෝ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක විසින් ඉන් අනතුරුව ඒ සම්බන්ධව විභාග කිරීම සඳහා කමිටුවක් පත්කළ යුතුය.එය ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත එකක් වන අතර, එහි ‘ස්වාධීන’ සාමාජිකයින් දෙදෙනකු වත් සිටිය යුතුය. එම සාමාජිකයින් දෙදෙනාගෙන් එක් අයෙක් වෙනත් දෙපර්තමේන්තුවකිනුත්, තවත් අයෙක් (අදාළ නම්) ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිළිබඳ සොයාබැලීමේ කමිටුවෙනුත් වියයුතුය. මේ එකදු සාමාජිකයකුට හෝ පැමිණිලිකාර පාර්ශ්වයේ විරුද්ධත්වයක් තිබේ නම් එය ප්‍රකාශ කළහැකි වේ. නමුත් මේ සියළු තොරතුරු කියවිය හැක්කේ විශ්ව විද්‍යාල වෙබ් පිටුවේ අස්සක් මුල්ලක් නෑර සොයාගොස් එබිකම් කරන්නකුට පමණි. 

වෛද්‍ය පීඨ විසින්ද මෙවැනි යාන්ත්‍රණ හඳුන්වා දී තිබේ. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ වෙබ් පිටුවට අනුව “පැමිණිලිකාර පාර්ශ්වයේ වෘත්තීමය/ශාස්ත්‍රීය හැකියාවට සෘණාත්මකව බලපෑම් කරන බවට සැළකෙන තීරණයක් හෝ ක්‍රියාවක් පිළිබඳ පැමිණිලි” අදාළ කමිටුවෙන් විභාග කරනු ලැබේ. ඒ සඳහා අදාළ සිසුවා විසින් පැමිණිල්ල ලිඛිතව පීඨාධිපතිට භාර දියයුතුය. කමිටුවේ සාමාජිකයන් විය හැක්කේ වෛද්‍ය පීඨයේ දැනට සේවයේ නොයෙදෙන අයවළුන්ට පමණක් වන අතර, සැසිවාරය සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය සුබසාධක සංගමයේ සාමාජිකයකුට සහභාගී වන ලෙස ඉල්ලුම් කිරීමේ හැකියාව පැමිණිලිකාර පාර්ශ්වයට පවතී. රුහුණු වෛද්‍ය පීඨයේ මෙම යාන්ත්‍රණයට අදාළ වපසරිය මීටත් වඩා පුළුල්ය. ඊට අනුව කමිටුවෙන් පහත සියළුම ආකාරයේ පැමිණි විභාගය සඳහා භාර ගැනේ: “ඉගෙනුම්-ඉගැන්වීම් පරිසරයේ වෙනස්කම් ඇතිකරවන ආයතනික වෙනස්කම්, තනි සිසුවකුට හෝ සිසුන් කණ්ඩායමකට බලපාන ආකාරයෙන් ශාස්ත්‍රීය කාර්ය මණ්ඩල සාමාජිකයකු විසින් ගනු ලබන තීරණ, අධ්‍යයන පාඨමාලා වල ව්‍යුහයේ සිදුකරන වෙනස්කම්, ඉගෙනුම් සහ ඇගයීම් ක්‍රියාවලියේ ස්වභාවය සහ ප්‍රමිතියට අදාළව සිදුකරන වෙනස්කම්, පර්යේෂණ වල නියැලෙන සිසුන් අධීක්ෂණය කිරීම සම්බන්ධ කටයුතු, කර්තෘත්වය සහ බුද්ධිමය දේපළ [හා] ශිෂ්‍ය සේවා වල ප්‍රමිතිය සහ විශ්ව විද්‍යාල සේවා හා සම්පත් වලට ඇති ප්‍රවේශය.” 

ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිළිබඳ පැමිණිලි ඒ අදාළ කමිටුවෙන් විභාගයට ගන්නා බව වෙබ් පිටුවේ දක්වා ඇති නමුත්, විභාග සම්බන්ධ පැමිණිලි යොමුකිරීමට පවතින යාන්ත්‍රණයක් පිළිබඳ සඳහනක් නැත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මේ සඳහා භාවිතා කරන්නේ මාර්ගගත පැමිණිලි යොමුකිරීමේ ක්‍රමවේදයකි. ඒ ඔස්සේ “විශ්ව විද්‍යාල ජීවිතයට අදාළ ශාරීරික, මානසික, ශාස්ත්‍රීය හෝ වෙනයම් ගැටළුවක්” පිළිබඳ පැමිණිලි යොමුකළ හැකිය. පැමිණිලිකරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පද්ධතිය කැපවන බව එහි සඳහන් අතර, “සිසුවාගේ අවසරයකින් තොරව, ශිෂ්‍ය දුක්ගැනවිලි කමිටුවේ සාමාජිකයින්ගෙන් පිටස්තර පාර්ශ්වයකට අදාළ තොරතුරු ලබානොදෙන” බවට සඳහනක්ද වේ.

පවතින පද්ධතීන් වල හිඩැස් 

මේ පද්ධතීන් විශ්ව විද්‍යාල තුළ පවතින සියළු ආකාරයේ හිරිහැර කිරීම් සහ බිය වැද්දවීම් නතර කිරීමට භාවිතා කළහැකි වුවත්, ඒවා පිළිබඳ උපාධි අපේක්ෂක සිසුන් අතර දැනුවත්භාවය අඩුවීම හෝ ඒවා භාවිතා කිරීමට ඔවුන් මැලි වීම කණගාටුදායකය. ඒ අතින් ගත්කළ මෙම යාන්ත්‍රණ හඳුන්වා දී තිබෙන්නේ තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියේ කොන්දේසි සැපිරීමට පමණක්දැයි ගැටළුවක් පැන නැඟේ. මේ කිසිදු වෙබ් පිටුවක වාර්තා වූ පැමිණිලි වල ප්‍රමාණය හෝ ඒ සම්බන්ධව ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් සඳහනක් නොමැත. සිසුන් විසින් මේ යාන්ත්‍රණ භාවිතා කිරීමට නම් ඒවා විසින් යම් අවම කොන්දේසි කිහිපයක් සම්පූර්ණ කළයුතුය.

ඉන් පළමුවැන්න නම් සිසුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර මේ යාන්ත්‍රණ වල පැවැත්ම පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමයි. මේ තොරතුරු අදාළ ආයතනයේ වෙබ් පිටුවේ ඇතුල් තැනක පමණක් තිබීමේ තේරුමක් නැත. එසේම පැමිණිලි ක්‍රියාවලි වලට අදාළ රහස්‍යභාවය සුරක්ෂිත කරන බවට හා, එහි පළුදු වීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධ ඉක්මන් පියවර ගන්නා බවට විශ්වාසයක් සිසුන් තුළ ඇතිවිය යුතු වේ. පැමිණිලි විභාග කිරීම හා එකී විභාගයන්ගේ ප්‍රගතිය පිළිබඳ පැමිණිලිකාර පාර්ශ්වය දැනුවත් කිරීමද යුතුකමකි. සමස්තයක් වශයෙන් මේ ක්‍රියාවලි වල විනිවිදභාවය හා සාධාරණත්වය සහතික කිරීමට පියවර ගත යුතුය. 

දෙවැන්න පැමිණිලි විභාග ක්‍රියාවලියේ ස්වාධීනත්වය තහවුරු කිරීමයි. සමහර විශ්ව විද්‍යාල/පීඨ වල මේ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය වන්නේ අදාළ ආයතනයේ සේවයේ නොයෙදෙන සාමාජිකයින් පත් කිරීමය. නමුත් වෛද්‍ය ක්ෂේත්‍රය වැනි වෘත්තීමය දෝෂ වසා දැමීමට උත්සාහ දරන ක්ෂේත්‍ර තුළ මෙවැනි ක්‍රියාමාර්ග වලින් ස්වාධීනත්වය තහවුරු වේදැයි යන්න සැක සහිතය. පැමිණිලි විභාග කමිටුවේ සංයුතිය පිළිබඳ ගන්නා තීරණ වලට බලපෑම් කිරීමට පැමිණිලිකාර පාර්ශ්වයට යම් ඉඩක් ලබාදීම තුළින් පද්ධතිය පිළිබඳ විශ්වාසය ඉහළ නැංවිය හැකිවේ. මෙවැනි කමිටු වලට විශ්ව විද්‍යාල වල කාර්ය මණ්ඩල සාමාජිකයින් පත් කරනවාට වඩා, ඔම්බුඩ්ස්මන්වරයකු වැනි පද්ධතියට තනිකරම පරිබාහිර පුද්ගලයකු පත්කිරීම වඩා සුදුසු වේ. 

තුන්වනුව, පැමිණිලිකරුවකුට විශ්ව විද්‍යාල පරිපාලනයෙන් සහ/හෝ කාර්ය මණ්ඩලයෙන් එල්ල වියහැකි තර්ජන පිළිබඳ ප්‍රශ්නයද මේ යාන්ත්‍රණ තුළින් ආමන්ත්‍රණය වියයුතු වේ. මේ සම්බන්ධයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ වෙබ් පිටුවේ දැක්වෙන්නේ “පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිසුවකුට කිසිදු ආකාර වින්දිතභාවයකට හෝ වෙනස් කිරීමකට ලක්වීමට සිදු නොවනු ඇති බවට කමිටුව වගබලා ගත යුතු” බවයි. එහෙත් ඒ සඳහා කුමන ක්‍රියාමාර්ග ගතහැකිද යන්න දක්වා නැත. නිදසුනක් ලෙස, මෙවැනි පැමිණිල්ලක චෝදනා ලද පාර්ශ්වය විභාග කටයුතු වල නොයෙදෙන බව සහතික කිරීමට කිසිදු විශ්ව විද්‍යාලයක කිසිදු පියවරක් ගෙන නැත. එසේම පැමිණිලිකරුවන්ගේ අනාගත ශාස්ත්‍රීය හෝ වෘත්තීමය කටයුතු එම පැමිණිල්ල නිසා අඩාල නොවන බවට සහතිකයක් ද නැත. විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනය තුළ මෙය වැදගත් වන්නේ සායනික කුසලතා සහ සම්මුඛ සාකච්ඡා මාධ්‍යයෙන් සිදුකරන විභාග (viva) වැනි අයදුම්කරුගේ අනන්‍යතාව ප්‍රදර්ශනය වන ඇගයීම් ක්‍රම තිබීමත්, ඉහළ නිලතල දරන්නන් පශ්චාත් උපාධි පාඨමාලාද මෙහෙයවීමත් නිසාය.    

ඉදිරිය සඳහා 

විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය හෝ ප්‍රතිපත්ති නිසා තමාට අසාධාරණයක් සිදුවූ බවට දැනෙන අවස්ථාවකදී ඒ පිළිබඳව ක්‍රියාත්මක වීම සඳහා පැමිණිලි යොමුකළ හැකි විධිමත් හා ව්‍යුහගත ක්‍රියාවලියක් පැවතීම සිසුන්ට වැදගත්ය. එහෙත් දැනට හඳුන්වා දී ඇති යාන්ත්‍රණ ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. මේ සඳහා සියළු විශ්ව විද්‍යාල එක්රැස් කොට ශාස්ත්‍රීය කටයුතු, කාර්ය මණ්ඩල ක්‍රියා කලාපය, සහ පරිපාලනය යන අංශ වලින් සිසුන්ට වඩා සාධාරණ පද්ධතියක් නිර්මාණය කළහැකි වන ආකාරයේ ප්‍රතිපත්තියක් සම්පාදනය කළයුතුය. එවැනි ප්‍රතිපත්තියක් තුළින් සිසුන්ට වඩා හිතකර ඉගෙනුම් පරිසරයක්, විශ්ව විද්‍යාල පරිපාලනය සහ සිසුන් අතර වඩා විශ්වසනීය සම්බන්ධතාවයක්, සහ තර්ජන වලින් සිසුන්ට ආරක්ෂාව යන ප්‍රතිඵල අත්කර දෙන අතරම, එය වඩාත් සාර්ථක වීමට නම් විශ්ව විද්‍යාල වල වර්තමානයේ පවතින දරුණු ධූරාවලිය වෙනස් කිරීමටද පියවර ගතයුතු වේ.