නවකවදයේ උග්‍ර පැතිරීම: මධ්‍යයන්ගේ සිට අන්තයන් දක්වා

ශාමලා කුමාර්

තම නවකවද අත්දැකීමේ ලිංගික හිංසන පිළිබඳ ප්‍රසිද්ධියේ විස්තර කළ සිසුවෙකුට සැඟවුණු අභිප්‍රායන් ඇති බවට චෝදනා එල්ල විය. තමන් දුටු නවක වද සිද්ධීන් පිළිබඳ අදහස් දැක්වූ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවක් නවකවදය සිදුකරන්නන්ගෙන් පමණක් නොව කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන්ද හිරිහැරයට ලක්විය. නවකවදය නැවැත්වීමට වෙහෙස වූ පීඨ සාමාජිකයෙකු, සිසුන් අතර භේද ඇති කළා යැයි අපකීර්තියට පත්විය. නවකවදය හඳුනා ගැනීමට කොතරම් පෙළඹවීමක් තිබුණද, නවක වදයට දක්වන ප්‍රතිරෝධයට ලැබෙන ප්‍රතිචාර හරහා පෙනී යන්නේ මෙම ගැටලුවේ ඇති සංකීර්ණතා සහ විසඳුම් සෙවීමේ දුෂ්කරතාය. නවකවදය බොහෝ අවස්ථාවන්වල දී අදෘශ්‍යමාන මෙන්ම සැමවිට ම ප්‍රචණ්ඩකාරී නොවේ. බොහෝ අය නවකවදය පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරනු ලබන්නේ විනෝදජනක සිදුවීම් ලෙසය. නමුත් මීට ප්‍රතිරෝධය දක්වන  සිසුන්, ශාරීරික හා මානසික අතවරවලට ලක් වෙයි.

ප්‍රචණ්ඩත්වයේ උප සංස්කෘතිය දිරිමත්  කිරීම

කීකරු ලෙස දෙදෙනා බැගින් පේළියට ගමන් කරන පළමු වසර සිසුන් විශ්ව විද්‍යාල භූමිය තුළ කොතරම් සාමාන්‍ය දර්ශනයක්ද යත් බොහෝ අවස්ථාවල ඔවුන් අපේ අවධානයටවත් යොමු නොවේ.  මින් පෙනී යන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවකවදය කොතරම් මුල්බැසගෙන තිබේද යන්නයි. නවකවදය විසින් පවතින ධූරාවලිය ශක්තිමත් කරනු ලබයි. එහිදී නවක සිසුන් මත ජ්‍යෙෂ්ඨ සිසුන්, සිසුන් මත අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ පරිපාලනය, කාන්තාවන් මත පිරිමින්, සුළු භාෂා කණ්ඩායම් මත ප්‍රමුඛ භාෂා කණ්ඩායම් වශයෙන් පවත්වන්නාවූ බල සම්බන්ධතා ප්‍රතිනිෂ්පාදනය කරනු ලැබේ. කතාකළ හැක්කේ කාටද සහ වැදගත් වන්නේ කාගේ අදහස්ද යන්න පිළිබඳ විධාන සහ පාලන ව්‍යුහයක් එමඟින් ස්ථාපිත කරයි.

නවකවදය ගොඩනඟා ඇත්තේ ස්ත්‍රී විරෝධී සංස්කෘතියක් මතය. නවකවදය අතරතුර ඇය කළ “වැරදි” නිසා, අසල සිටි පළමු වසරේ පිරිමි ළමයෙකුට දඬුවම් දුන් ආකාරය සිසුවියක් විස්තර කළාය. මෙම උප සංස්කෘතිය තුළ කාන්තාවන් ඔවුන්ගේ ක්‍රියාවන්ට වගකිව යුතු නැත. ඔවුන් අවට සිටින පිරිමින්ට එකී වැරදි ‘අයිති’ වන අතර ඔවුන් විසින් අදාළ වැරදි වෙනුවෙන් වන්දි ගෙවිය යුතුය. නවකවදය විසින් නවක සිසුන්ව මේ ආකාර වූ පීඩාව සහ ප්‍රචණ්ඩත්වය මුල් කරගත් පද්ධතියකට හුරුකරයි. 

විශ්වවිද්‍යාල ශාස්ත්‍රඥයින් නිතරම මෙම ධූරාවලිය ප්‍රතිනිෂ්පාදනය කරන්නේ අධිකාරියට අභියෝග කරන්නන්ට දඬුවම් කිරීමෙනි. කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට රැස්වීම් අතරතුර නිශ්ශබ්දව සිටින ලෙස දැනුම් දෙන්නේ, එසේ නැතහොත් ඔවුන් කරදර කරන්නන් ලෙස හෝ කතා කරන විට නොසලකා හැරීම සිදුවිය හැකි නිසාය. මේ ආකාරයෙන් ආන්තිකයේ සිටින අය සමඟ අවංකව සහ අර්ථවත් ආකාරයකින් ගනුදෙනු කරනවාට වඩා ඔවුන්ව “කළමනාකරණය” කරනු ලැබේ. මෙම විෂ සහගත සංස්කෘතිය, උපරිම තලයේදී ලිංගික හිරිහැර හෝ වෙනත් අඩන්තේට්ටම් වලින් අවසන් වේ. මේවා විවෘතව සාකච්ඡා වන්නේ කලාතුරකිනි. මෙම තත්ත්වය මෙවැනි සම්ප්‍රදායන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විහිදී පැතිරී යාමට ඉඩ හරිනු ලබන අතර, අදෘශ්‍යමාන කරයි. ඒ හා සමානම ප්‍රචණ්ඩත්ව සංස්කෘතියක් පුළුල් සමාජය පුරාමද පැතිරී ඇති හෙයින්, නවකවදය මෙම පද්ධතියෙන් පිටත සිටින අයටද අදෘෂ්‍යමානය.

නවකවදය විසින් ශක්තිමත් කරන සමාජ පර්යාය 

නවකවදය යනු සමාජ ධූරාවලි පටිපාටියක් නිර්මාණය කිරීම නම්, එවැනි ක්‍රමයක වාසිය ඇත්තේ කාටද යන්න වටහා ගැනීම වැදගත්ය. දේශපාලන අනුබද්ධතාවන්ගෙන් බලපෑමට ලක් වූ ශිෂ්‍ය සංගම් ඔවුන්ගේ න්‍යායපත්‍ර සඳහා නවකවදය භාවිත කරන බව සත්‍යකි. ඔවුන් නවක වදයට ලක් වූවන් තමන්ගේ පාර්ශවයට එක්කර ගනියි. එසේ වුවත්, සක්‍රීය ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය විශ්වවිද්‍යාලවලට අත්‍යවශ්‍ය වන අතර, ශිෂ්‍ය සංගම් විසින් වැදගත් කරුණු ඉදිරිපත් කරන බවද පිළිගත යුතුය. එහෙත් නවකවදය පිළිබඳ ඔවුන්ගේ දුර්වල ස්ථාවරය සහ ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන පූර්ණ පාලනය පිළිගත නොහැකිය. 

නවක සිසුන් සහ සහ ජ්‍යෙෂ්ඨ සිසුන්, නවකවදය හරහා ගොඩනගා ඇති එකිනෙකා මත යැපෙන්නා වූ ආධාරක පද්ධති වලින් ප්‍රතිලාභ ලබයි. සිසුන්ට ‘කුප්පි’ පන්ති සහ මඟපෙන්වීම් තුළින් අධ්‍යයන සහාය ලැබේ. සිසුන් පෞද්ගලික අර්බුදවලට මුහුණ දෙන අවස්ථාවන්වල මෙවැනි ශිෂ්‍ය කණ්ඩායම් කාර්යක්ෂමව උපකාර කරයි. 

නවකවදය තුළින් දිරිමත් කරන මෙම යටත් වීමේ ස්වභාවය විශ්වවිද්‍යාල පරිපාලනයට ශිෂ්‍ය සංවිධානය ‘හැසිරවීමට’ උපකාරී වේ. නවක වදයට ඍජු අදාළත්වයක් නැති ගැටලු ඇති වූ විට, පරිපාලනය හුදෙක් ශිෂ්‍ය නායකයන් සමඟ සාකච්ඡාකර ඒවා නිෂ්ප්‍රභ කරයි. විචාරාත්මක සිසුන්ගේ බරින් තොරව ගුරුවරුද සුවපහසුවෙන් ඉගැන්වීම් කටයුතුවල යෙදෙති. ඓන්ද්‍රිය ශිෂ්‍ය ව්‍යාපාරවල නැග ඒම සම්බන්ධව තැති ගැනීමකින් තොරව රජයන් ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය කළමනාකරණය කරයි. සමස්තයක් වශයෙන්, නවකවදය විසින් නිර්මාණය කර ඇති සමාජ පර්යාය නිසා බොහෝ දෙනෙක් ප්‍රතිලාභ ලබයි.

නවකවදය අවසන් කිරීම දුෂ්කර ද?

බාහිර පුද්ගලයින් නිතරම ප්‍රකාශ කරන්නේ විශ්වවිද්‍යාල තුළ නවකවදය පවතින බව විශ්වාස කළ නොහැකි බවයි. බලාත්මක කරන ලද නීති, කමිටු සහ කාර්ය සාධක බලකා වැනි දේ හරහා වුවත් නවකවදය පහළ දැමීමට එතරම් දායකත්වයක් සිදුකර නැත. 

පළමු කාරණය නවක වදයේ වපසරිය පිළිබඳ නිවැරදි තක්සේරුවක් නොතිබීමයි. 1998 නවකවද විරෝධී පනත යටතේ  නවකවදය, ඇප මත නිදහස් කිරීමට නොහැකි අනිවාර්ය සිර දඬුවම් ලබා දෙන වරදකි. නමුත් සෑම ආකාරයකම නවකවද සිදුවීම් සඳහා එවැනි දැඩි දඬුවම් සාධාරණීකරණය කළ නොහැකි බැවින් වගකිවයුතු නිලධාරීහු පනත ක්‍රියාත්මක කිරීමට අදිමදි කරති.

නවකවදය යනු, අන් අයට හිංසා කරන අතර ම ඔවුන් ම ගොදුරු බවට පත් වන කණ්ඩායම් ක්‍රියාවලියක් ලෙස සැලකීම, පනත මගින් නොකරයි. සාමාන්‍යයෙන් නවකවදයේ යෙදෙමින් සිටිය දී හසු වූවන්, ඔවුන්ව එවැනි ක්‍රියාකාරකම් වලට බලහත්කාරයෙන් යොමුකළ අයව හෙළිකරයි. මක්නිසාදයත් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් විසින් නවකවදය මෙහෙයවන කණ්ඩායම අධීක්ෂණය කරන බැවිනි. වැඩිහිටි ශිෂ්‍යයන් ඔවුන්ගේ කැමැත්ත පරිදි නවක වදයේ නොයෙදෙන සිසුන්ට දඬුවම් කිරීමට පෙර වසරවල ස්ථාපිත කරගන්නා ලද බලහත්කාර සම්බන්ධතා භාවිත කරයි. එසේම නවක වධ විරෝධී පනත මඟින් වක්‍රාකාරයෙන් නවකවදය අනුමත කරන/ ඊට අනුබල දෙන ආයතන පිළිබඳ අවධානය යොමු නොකරයි. මෙම සංකීර්ණතාවලට මුහුණ දීම සඳහා නවකවධ විරෝධී පනත සූදානම් නැත.

සමහර අවස්ථාවන්හි දී බලධාරීන් විසින් නවකවදය අදෘෂ්‍යමාන කිරීමට හිතාමතාම උත්සාහ දරයි. පැමිණිලිකරුවන්ට සහ වින්දිතයින්ට සැමවිට ම සහාය හෝ ආරක්ෂාව නොලැබෙන අතර, ආයතනයේ ප්‍රතිරූපයට කැළලක් කරන්නේය යන පදනම මත ඔවුන්ට හිරිහැර, චෝදනා එල්ල වන අවස්ථා පවතී.

නවකවදය පාලනය කිරීම සඳහා හමුදාව සම්බන්ධ කරගැනීමට මෑතදී ඉදිරිපත්වූ යෝජනාවද ගැටළු සහගතය. හමුදාව ප්‍රචණ්ඩත්වය, ධූරාවලිය සහ අධිකාරීවාදය පිළිබඳ ඔවුන්ගේම අනුවාදයක් ප්‍රවර්ධනය කරයි. හමුදාවට බැඳීමේදීද නවකවද තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. මෙවැනි බලවේගයකට විශ්වවිද්‍යාලය තුළ නවකවදය පාලනය කිරීම පැවරුවහොත් දැනට පවතින පීඩාකාරී උප සංස්කෘතිය වඩා දරුණු විය හැකිය. එහිදී අපට ගනුදෙනු කිරීමට සිදුවන්නේ දැනටත් වඩා බලගතු බලවේගවල ආශාවන් හා අභිමථාර්ථයන්ට යටත්වය.   

අධ්‍යාපනය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම

මෙම සංස්කෘතියේ අධ්‍යාපන විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පිළිගැනීමකින් තොරව, නවකවදය තුරන් කිරීම හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ශක්තිමත් කිරීම කළ නොහැකි ය. නවකවදය වටහා ගත යුත්තේ ආයතනික ව්‍යුහයන්ට වල කපන සහ අධ්‍යාපන සංකල්පය උල්ලංඝනය කරන, අවිචාරාත්මකව පිළිගත් පුරුෂාධිපත්‍යමය හා ප්‍රචණ්ඩ සංස්කෘතියක් මත ගොඩනැඟුණු, අදෘශ්‍යමාන බලවේගයන්ගේ ප්‍රකාශනයක් ලෙසය.

නවක වදයට මුහුණ දීම සඳහා මෙම ගැටලුව තේරුම් ගන්නා ආකාරයෙහි රැඩිකල් වෙනසක් අවශ්‍ය වන අතර ඒ සමඟම එය පවත්වා ගෙන යන සමාජ පටිපාටීන් හා උපසංස්කෘතිය තරයේ ප්‍රතික්ෂේප කිරීමද අවශ්‍ය වේ. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල තුළ සංවාද ප්‍රවර්ධනය කරන සහ විවිධ දෘෂ්ඨිකෝණයන්ගේ බහුත්වත්වය නියෝජනය වන සාමූහික ක්‍රියාකාරකම් සඳහා අවකාශය පුළුල් කිරීමක් අවශ්‍යය. නවකවදය සම්බන්ධයෙන් පමණක් නොව, පන්ති කාමරයේ ඇති අසංඛ්‍යාත ප්‍රචණ්ඩත්ව සම්බන්ධ සිය අත්දැකීම් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට විවිධ කලා ආකෘතීන් ඇතුළු නොයෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීමට හැකි විය යුතුය.

නවකවදය ආමන්ත්‍රණය කිරීම සඳහා නිර්මාණයකර ඇති නීති සහ ප්‍රතිපත්ති විසින් නවකවදය තුළ ක්‍රියාත්මක වන්නා වූ කණ්ඩායම් ස්වභාවය, එහි ක්‍රියාකාරකම් පරාසය මෙන්ම, නවක වදයේ සියලු ක්‍රියාවන් එකිනෙකට සමාන නොවන බවද හඳුනාගත යුතුය. අනෙක් අතට සමස්තයක් වශයෙන් රටට බලපාන වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්ව වලට අදාළව නවකවදය තේරුම්ගත යුතුය. 

එහිදී ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය මැඩපැවැත්වීම, හා ශාස්ත්‍රීය නිදහස හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම උල්ලංඝනය කිරීම නොකළ යුතුය. නවක වදයට අදාළ ප්‍රතිපත්ති නිර්මාණය කළ යුත්තේ සාකච්ඡා, විවාද සහ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලි මගිනි.

ආයතනික වශයෙන්, සිසුන්ගේ ජීවිත තුළ නවකවදය මගින් පිරවීමට උත්සාහ ගනු ලබන හිඩැස අප තේරුම් ගත යුතු අතර එම හිඩැස පියවීමට අප උත්සාහ කළ යුතු ය. ආයතන විසින් සපයනු නොලබන සේවා රාශියක් සඳහා නවක සිසුන්, ජ්‍යෙෂ්ඨ සිසුන් මත යැපේ. ඉංග්‍රීසි භාෂාව යන්තම් තේරුම් ගන්නා සිසුවෙකු ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනුම් කටයුතු සිදු කරන උපාධි පාඨමාලාවකට මුහුණ දෙන විට කම්පනයට පත්වේ. විශ්වවිද්‍යාල ජීවිතයට හුරුවීම දුෂ්කර කාර්යයකි. එහිදී සිසුන්ට උපකාර කිරීම සඳහා හොඳින් සැලසුම් කළ වැඩසටහන් මෙන්ම ඒ වෙනුවෙන් කැප වූ සහ ඊට අදාළ හැකියාවලින් සන්නද්ධ කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වේ.

නවකවදය විශ්වවිද්‍යාලයේ සමාජ ව්‍යුහය තුළ ගැඹුරින් කිඳා බැස ඇති අතර අප සියල්ලෝම, එනම් කාර්ය මණ්ඩලය, සිසුන්, පරිපාලනය සහ පොදු මහජනතාව, එහි වරදකරුවන්ය. නවකවදය ආමන්ත්‍රණය කිරීම සඳහා විශාල ශක්තියක්, නොසැලෙන කැපවීමක් සහ සාමූහික උත්සාහයක් අවශ්‍යය. නවකවදය රහිත විශ්වවිද්‍යාල පද්ධතියක් සඳහා ධෛර්ය සම්පන්නව කටයුතු කරන අතර මේ ගමනේදී පීඩාවන් හා වේදනාවන් සඳහා අප සූදානම් විය යුතුය.