නිදහස් අධ්‍යාපනය උදෙසා

ශාමලා කුමාර්

රට යළි ගොඩනැගීමට සහ එහි අර්බුද ජය ගැනීමට නම් ව්‍යුහය සහ ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදී වන ශක්තිමත් නෛතික, ආර්ථික සහ රාජ්‍ය ආයතන පද්ධතියක් අවශ්‍ය වේ. එවැනි උත්සාහයක් සඳහා අධ්‍යාපනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි. අධ්‍යාපනය සහ ප්‍රජාතන්ත්‍රවාදය උපත ලබන්නේ එකිනෙකිනා තුළිනි; පරිපූර්ණත්වය ළඟා කර ගැනීම සඳහා එකක් අනෙකා පෝෂණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදී රාමු අධ්‍යාපනය සඳහා අවකාශයන් සපයන අතර, ඒ ඔස්සේ අපගේ පොදු මෙන්ම වෙනස් යථාර්ථයන් අවබෝධ කර ගැනීමට අපට හැකියාව ලැබේ. අපගේ සත්‍යයන් සෙවීමට, පිළිගැනීමට සහ සාකච්ඡා කිරීමට ඉඩ ලබාදීම මගින්, සෞඛ්‍යය, ආහාර පද්ධති, තාක්ෂණයන්, ජීවනෝපායන් සහ යහපැවැත්ම වැනි අපගේ එදිනෙදා ජීවිතයේ පැතිමානයන් පිළිබඳ අධ්‍යාපනය ගැඹුරු අවබෝධයක් ලබා දෙයි. එවැනි ප්‍රවේශයක් පවතින ව්‍යුහයන්, ආයතන සහ ක්‍රියාවලීන් පිළිබඳ සහජයෙන්ම විවේචනාත්මක වන අතර, වසංගත තත්වයක් තුළදී මෙන්ම ඉන් පිටතදීද අප සැමගේ හඬ නියෝජනය කිරීමට උත්සාහ කරයි. එබැවින් ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් තුළින් විකාශනය වන ගැටලුවලට දක්වන ප්‍රතිචාර ප්‍රජාතන්ත්‍රවාදී වනු ඇති අතර, එම නිසා ප්‍රජාතන්ත්‍රවාදයට හෝ අධ්‍යාපනයට එකිනෙකා නොමැතිව පැවතිය නොහැක.

අධ්‍යාපනය යන්නෙන් මා අදහස් කළේ නිදහස් අධ්‍යාපනයයි. නිදහස් නොවන අධ්‍යාපනය යනු අධ්‍යාපනය නොව පීඩාකාරී ව්‍යවසායයකි. නිදහස් නොවන විට, එය වංචාකාරයෙකි; අපේ වියදමින් වෙස් වළාගෙන සිටින භයානක හොරෙකි. වසර ගණනාවක් තිස්සේ මෙම වෙස්වලා ගැනීම අධ්‍යාපනය යන සංකල්පයම හිස්කර ඇත. “අධ්‍යාපනය” යන්නෙන් යම් යම් සන්දර්භයන් තුළ අදහස් කරන්නේ රැකියා පුහුණුවයි. වෙනත් සන්දර්භයන් තුළ එය (මිලිටරි ආකාරයේ) විනය පිළිබඳ සංකල්පයකි. තවත් සන්දර්භයන් තුළ අධ්‍යාපනය යනු නිපුණතා වෙළඳසැලක් වන අතර, එයින් අපි අපව නිවැරදි කර ගැනීම සඳහා ගුණාංග මිලදී ගනිමු. එය සැබැවින්ම අපව හොඳ පෙනුමක් ඇති කර ගැනීම සඳහා – සමහර විට විකිණීම සඳහා – අලංකාර ඇඳුමක් මිලදී ගැනීම හා සමාන වේ. දේශපාලකයන්ට, සංස්ථාපිතයන්ට සහ ලෝක බැංකුවට “අධ්‍යාපනය” යනු හුදෙක් ගෝලීය ආර්ථිකයේ දැති රෝද බවට මිනිසුන් හැඩගස්වා ගැනීමේ මෙවලමකි. එය අනාගතය පිළිබඳ මිනිසුන්ගේ බිය සහ අනාරක්ෂිත බව දඩමීමා කරගෙන උපයන, ජාතික භාණ්ඩාගාරය තර කිරීම සහ ලාභ ලැබීම සඳහා හොඳින් පැසුණු, පහල අත්තක එල්ලෙන පලතුරකි. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, අධ්‍යාපනය, ධනවතුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා භාවිතා කරන, බලවතුන්ගේ ප්‍රාග්ධනයක් සහ වරප්‍රසාද ලත් අයගේ වරප්‍රසාදයක් බවට පත්ව ඇත. කණගාටුදායක ලෙස, “අධ්‍යාපනය” අධ්‍යාපනයේ ආත්මයටම පහර දී ඇති අතර එය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදයට සමාන නොවේ.

අධ්‍යාපනය”

කාලයාගේ ඇවෑමෙන්, අධ්‍යාපනය සෙමෙන් නමුත් නිර්දය ලෙස එහි වර්තමාන ස්වරූපයට විකාශය වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මහජනතාව, පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය, නිදහස් නොවන “අධ්‍යාපනයක්” පිළිගන්නා තත්ත්වයට පත්ව ඇත. නිදසුනක් වශයෙන්, අධ්‍යාපනය සඳහා අසමාන ප්‍රවේශය වර්තමානයේ පිළිගත හැකි දෙයක් බවට පත්ව තිබේ. වසංගත පසුබිමක මාර්ගගත අධ්‍යාපනය එකම විසඳුම ලෙස ඉදිරිපත් කළ විට සහ එය සිසුන් විශාල ප්‍රමාණයක් බැහැර කළ විට පවා ඊට ප්‍රගතිශීලී යැයි කියමින් ප්‍රශංසා කරනු ලැබීය. දැනට කල් දමා ඇති KNDU පනත අධ්‍යාපනයේ නාමයෙන් ගාස්තු අයකිරීමේ අභ්‍යාසයට මග පාදයි. එහි ගාස්තු සහ බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටි තුළින් මුදල් ගෙවීමට නොහැකි අයට සහ (වඩාත් දැඩි ඇතුළත් වීමේ නිර්ණායක ඇති) කාන්තාවන්ට ප්‍රවේශය දුෂ්කර කරවයි. එමෙන්ම සමහර විශ්වවිද්‍යාලවල පෙර නොවූ විරූ ගාස්තු අයකිරීමේ වැඩසටහන් තුළින් ගාස්තු අය කරන රාජ්‍ය “අධ්‍යාපනය” ආයතනගත කරයි.

වෙනත් ආකාරවලින් ද අධ්‍යාපනය නිදහස් බවින් මිදෙයි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් තහනම් කර ඇති අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි විරෝධතා, විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළ පවා පොලිස් මර්දනයන්ට මුහුණ දෙයි. අධ්‍යාපනය මාර්ගගතව බෙදා හැරීම සම්බන්ධ තීරණවලට අභියෝග කිරීමට ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ඇති ඉඩකඩ සීමිතය. නවක වදය, ලිංගික හිරිහැර සහ අයුතු බලපෑම් සිදුකිරීම්, පාසල් සහ විශ්වවිද්‍යාල වල ව්‍යංගයෙන් හෝ පිළිගැනීමක් සහිත භාවිතයන්ය. එබැවින් රට ක්‍රමක්‍රමයෙන් අධ්‍යාපනයෙන් ඈත් වෙමින් “අධ්‍යාපනය” දෙසට ගමන් කරයි. එය ප්‍රජාතන්ත්‍රවාදයෙන් ද ඈත් වෙමින් පවතී.

අධ්‍යාපනයට නැවත පැමිණීම

අධ්‍යාපන ව්‍යුහයන් තවදුරටත් අධ්‍යාපනයෙන් ඈත් කරන බව පෙනෙන ප්‍රතිසංස්කරණ සාධාරණීකරණය කිරීම සඳහා ප්‍රතිපත්ති කවයේ බොහෝ දෙනෙක් අධ්‍යාපනයේ ගෝලීය ප්‍රවණතා පෙන්වා දෙති. එහෙත්  අපගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ගෝලීය ප්‍රවණතා මත ගොඩනැගුණු එකක් නොව, රැඩිකල්, මතභේදාත්මක සහ අපේ රට සඳහා අපගේ අවශ්‍යතා පිළිබඳ අපගේම තක්සේරුව මත හඳුන්වා දෙන ලද එකකි. සත්‍ය වශයෙන්ම, එය ගෝලීය ප්‍රවණතා කණකට නොගැනීමෙහි ප්‍රතිඵලයක් ලෙස සැළකිය හැකිය. එය මහජන පීඩනයට ප්‍රතිචාරයක් වූ අතර ප්‍රජාතන්ත්‍රවාදයට උපහාරයක් විය.

අපගේ අධ්‍යාපන ක්‍රමය ඇත්තෙන්ම වෙනත් අධ්‍යාපන ක්‍රම වල නොමැති අවස්ථා වලින් පිරී පවතී. අවාසනාවකට මෙන්, ප්‍රශස්ත අධ්‍යාපන ක්‍රමයක් තර්ජනයක් ලෙස සලකන පාලකයන් විසින් සිර කරන ලද ලෝක බැංකු චිරන්තන දෘෂ්ටියෙන් අපි අන්ධ වී සිටිමු. එසේම මෙම නොවටහා ගැනීමෙන් පෝෂණය වීමට බලා සිටින පුද්ගලික අංශයේ කෑදරකමද  අපව අතරමං කර දමා ඇත. ගෝලීය ප්‍රවණතාවලට, ලෝක බැංකුවට, දේශපාලකයන්ට සහ බඩගෝස්‌තරවාදී ව්‍යාපාරික අවශ්‍යතාවලට ඇති අපගේ ගැතියාව අමතක කළ හැකි නම්, සැබවින්ම අපූර්ව අධ්‍යාපන ක්‍රමයක අඩිතාලම දෘෂ්‍යමාන වේ.

අපට පුළුල් පාසල් සහ ගුරු පුහුණු යටිතල ව්‍යුහයන් ඇත. න්‍යායාත්මකව, ඕනෑම ශිෂ්‍යයෙකුට ක්‍රය ශක්තිය නොතකා තෘතියික අධ්‍යාපනයට ප්‍රවේශ විය හැක. අධ්‍යයන වැඩසටහන් පැවැත්වීම සඳහා උපයාගත් ආදායම හෝ පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් මත විශ්වවිද්‍යාල සැලකිය යුතු ලෙස රඳා නොපවතින අතර, එම නිසා  ප්‍රජාතන්ත්‍රවාදයට ගැළපෙන අධ්‍යාපනික වැඩසටහන් – එනම් පරිවර්තනීය සහ පවතින තත්ත්වය විවේචනය සහ අභියෝගයට ලක් කරන වැඩසටහන් – නිර්මාණය කිරීමට සැලකිය යුතු නිදහසක් පවතී.

කෙසේ වෙතත්, පද්ධතිය වසර ගණනාවක් තිස්සේ නොසලකා හැර ඇත. පාසල් පද්ධතිය පිරිහී ඇත. විශ්වවිද්‍යාල ප්‍රවේශය පෞද්ගලික උපකාරක පන්ති මතින් තීරණය වේ. එය වසංගතයෙන් පසුව වඩාත් කැපී පෙනෙන ප්‍රවණතාවකි. ගුරුවරුන් සඳහා වන පුහුණු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, ක්‍රමානුකූල කිරීම සහ පුනර්ජීවනය කිරීම අවශ්‍ය වේ. ගුරුවරුන්ට ඔවුන්ගේ සේවයට ගරුත්වයක් ලබාදෙන වැටුප් අවශ්‍යය. විශ්වවිද්‍යාල සහ පාසල් තුළ නවක වදය අහෝසි කළ යුතු අතර සිසුන්ට තමන්ට අවශ්‍ය පරිදි කතා කිරීමට, ඇඳුම් ඇඳීමට, සිතීමට, ආගම ඇදහීමේ කටයුතු සිදුකිරීමට හැකි අවකාශයන් නිර්මාණය කළ යුතුය. කාන්තාවන්, සුළු ජාතීන්, ආබාධ සහිත පුද්ගලයින් සහ LGBTIQ ප්‍රජාවේ අය සඳහා පාසල් සහ විශ්වවිද්‍යාල වල සංස්කෘතිය විවෘතව තිබිය යුතුය. කෙනෙකුගේ පවුලේ ආදායම, පංතිය සහ කුලය සැබවින්ම නොවැදගත් විය යුතුය. අවසාන වශයෙන්, අවංකව නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා ගැළපෙන විෂයමාලා නැවත ගොඩනැගිය යුතුය. මේවා දුෂ්කරය. නමුත් අවශ්‍ය ය.

ආවර්ජනා අධ්‍යාපනය දියුණු වීමට නම් එය පවත්වාගෙන යාමට ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, අධ්‍යාපනය විසින් ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කරන නිසාත්, ප්‍රජාතන්ත්‍රවාදය විසින් අධ්‍යාපනය පෝෂණය කරන නිසාත්, නූතනයේ “අධ්‍යාපනය” විසින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංකල්පයම ප්‍රශ්න කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව විවෘතව කතා කරන්නන්ට මැතිවරණ ජයග්‍රහණය කිරීමට මෙය මග පාදා ඇත. අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍රීකරණය මත පදනම් විය යුතුය. ඒ හා සමානව, ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා වන ඕනෑම ප්‍රයත්නයක්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රයත්නයක් ලෙස අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. අපි කවුරුත් ආශා කරන ආකාරයේ අනාගතයක් නිර්මාණය කිරීමට අත්තනෝමතික පාලන තන්ත්‍රයන් අසමත් සහ දුර්වල බැවින්, ප්‍රජාතන්ත්‍රවාදය දෙස හොඳින් අවධානය යොමු කළ යුතු යැයි යෝජනා කරමි.