නිදහස් අධ්‍යාපනය, සමාජ සුබසාධනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 

අහිලන් කදිර්ගාමර් 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා පසුගිය සතියේ ස්ථිර කෙරුණු 17 වන සම්මුතිය, ලංකාව මෙතෙක් එසේ ඇතිකරගත් වඩාත්ම හානිකර සම්මුතිය විය හැකිය. ඊට හේතුව වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය විදේශ ණය ගෙවීම ලංකාව විසින් නතර කරදමනු ලැබූ අවස්ථාවක මෙම සම්මුතිය ඇතිකර ගැනීමයි. එම නිසා සිදුව ඇත්තේ මෙම අවස්ථාවේ රටේ බාහිර ණය හිමියන් සමඟ ගනුදෙනු කිරීමේ මූලිකම බේරුම්කරු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වීමය. එමඟින් ලංකාව සිය කොන්දේසි වලට නම්මා ගැනීමේ විශාල කේවල් කිරීමේ බලයක් ඊට ලැබෙනු ඇත.

1970 දශකයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දෙනු ලැබූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වල බලපෑම් වලටත් වඩා මෙම සම්මුතියේ ප්‍රතිවිපාක අපට දැනෙනු ඇත. මෙම ලිපියේදී මගේ බලාපොරොත්තුව මෙමඟින් අධ්‍යාපනයට එල්ල කරන බලපෑම කෙටියෙන් විමසා බැලීමයි. අධ්‍යාපනය යනු සුබසාධනය හා ප්‍රජාතන්ත්‍රවාදය සමඟ නොබෙදිය හැකි ලෙස සම්බන්ධ වූවකි. ඉදිරි වසර කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නවලිබරල්වාදී රාජ්‍යය එක්ව වඩා තීව්‍ර වූ ඒකාධිකාරී පාලනයක් පවත්වාගෙන යනු ඇත. රටේ නිදහස් අධ්‍යාපනයෙහි අනාගතය තීරණය වනු ඇත්තේ සිසුන්, ගුරුවරුන් සහ රටේ සියලු වැඩකරන ජනතාව එක්ව මෙවැනි ප්‍රවණතා වලට දක්වන විරෝධතාවයෙහි ස්වභාවය මතය. 

සුබසාධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය 

ලංකාවේ සමාජ සුබසාධනය 1940 තරම් අතීතයට දිව යයි. ආහාර සහනාධාර, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය වැනි බොහෝ විශ්වීය ආවරණය සහිත සුබසාධන වැඩසටහන් එතුළ අන්තර්ගත විය. 1970 දශකයේ අග භාගයේ සිට වෙළඳපොළ ආර්ථිකයක් වෙනුවෙන් මෙම පද්ධතිය දුර්වල කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ආශිර්වාදය සහිත වැඩසටහන් හරහා උත්සාහ ගැනුණි. අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙළඳපොළකරණය ද ඊට අයත් විය. නවලිබරල්වාදයෙන් ප්‍රමුඛත්වය දෙන්නේ පුද්ගලයාටය. එහිදී තමාගේ සුබසිද්ධිය පිළිබඳ වගකීමද පුද්ගලයා පිටම පටවනු ලැබේ. ගෝලීය මට්ටමෙන් නව ලිබරල්වාදය පැතිරවීමට එවක ඇමෙරිකානු ජනපති රොනල්ඩ් රේගන් හා එකතු වූ හිටපු බ්‍රිතාන්‍ය අගමැතිනි මාගරට් තැචර්ට අනුව “සමාජය කියා දෙයක් නැත”. 

සමාජය ප්‍රතික්ෂේප කිරීමේ මෙම න්‍යාය ය සමාජ සුබසාධනයට පහර එල්ල කිරීම පිටුපස ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් මේ වනවිට සමාජ සුබසාධනය යන්නෙහි නිර්වචනය පවා වෙනස් කරමින්, එය ඉතා පටු ‘ඉලක්කගත මුදල් පැවරීමේ’ (targeted cash transfers) ක්‍රියාවලියක් බවට පත්කරමින් තිබේ. මෙම පරිවර්තනය තුළින් කාට කෙසේ සුබසාධන ආධාර ලැබිය යුතුද යන්න තීරණය කිරීම සඳහා බලයේ සිටින්නන් හට අත්‍යන්ත බලයක් ලබා දීමත්, ජනතාව එම හිමිකම් මූල්‍යමය දීමනා ලෙස දැකීමට හුරු වීමත්, කලක් යනවිට ලැබෙන ඉලක්කගත සහනාධාර වුවද නොලැබී යාමට පටන් ගැනීමත් සිදුකිරීමට පාර කපයි.    

විශ්වීය සමාජ සුබසාධනය ලංකාවට හඳුන්වා දෙන්නේ 1931 සර්වජන ඡන්ද බලය හඳුන්වා දීමෙන් පසුය. ඉන්පසුව 1940 දශකයේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙනු ලැබූයේ ලංකා පුරවැසියන්ට සිය ප්‍රජාතන්ත්‍රවාදය වඩා අර්ථාන්විත ලෙස භාවිතා කළහැකි වනු පිණිස වේ. මෙවැනි පසුබිමක් තුළ සමාජ සුබසාධනයට පහර ගැසීම දැකිය යුත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතයක් ලෙසය. අනෙක් අතට අධ්‍යාපනය පිළිබඳ වත්මන් ආණ්ඩුවේ දැක්ම තුළද අධ්‍යාපනය යනු වෙළඳපොළට අවශ්‍ය කීකරු සේවකයින් තැනීමේ මඟක් ලෙස විනා, ප්‍රජාතන්ත්‍රවාදී මනසක් සහිත, එමෙන්ම සමාජ, ආර්ථික හා දේශපාලනික වෙනසක් අත්පත් කරදිය හැකි පුද්ගලයින් නිර්මාණය කිරීමේ මාධ්‍යයක් නොවේ.

පිරිමැසුම් ආර්ථිකය, අහිමි කිරීම් සහ ප්‍රතිරෝධය

නිදහස් අධ්‍යාපනය කෙරෙහි දියත් වන ප්‍රහාරයට ද්‍රව්‍යාත්මක පදනමක්ද තිබේ. ලබන වසර වනවිට ගෙවුම් ශේෂ අතිරික්තයක් ජනනය කිරීමට රජයට දැඩි පීඩනයක් තිබෙන නිසා අධ්‍යාපනයද ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවක් ලාභ උපයන මාර්ග බවට පත්කිරීමේ උත්සහයක් පවතී. විශ්ව විද්‍යාලය තුළ මෙය ප්‍රකට වන ආකාර කිහිපයක් වන්නේ ගාස්තු අය කරන පාඨමාලා හඳුන්වා දීම, අධ්‍යාපන ණය පහසුකම් සැපයීම සහ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතුළු පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවීම වැනි දේය.

මෙම ණය වැඩසටහනේ කොන්දේසි තුළින් මහජනතාවගේ මූලිකම සුබසාධන අයිතියක් වන අධ්‍යාපනය අහිමි කොට දමයි. පාසල් හැරයාම්, දරුවන් දිනපතා පාසල් නොයාමේ සිද්ධි, ආහාර හිඟකම නිසා පාසල තුළ දරුවන් ක්ලාන්ත වී වැටීම් සහ සිය පැවැත්ම සඳහා දරුවන්ට රැකියා වල නිරත වීමට සිදුවීම වැනි සිදුවීම් වාර්තා වීම දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. විශ්ව විද්‍යාල මට්ටමේදී සිසුන්ට ප්‍රවාහන වියදම් දරාගත නොහැකි මට්ටමට පැමිණ තිබේ; දහවල් බත්පතද දරාගත හැකි සීමාවෙන් එපිටට ගොස් ඇත. පිරිමැසුම් ආර්ථිකය (austerity economy) තුළ ගනු ලබන්නා වූ වියදම් කප්පාදු කිරීමේ තීරණ නිසා සංකෝචනය වූ පද්ධතියක ප්‍රතිවිපාකයන්ය අප මේ අත්දකින්නේ. පසුගිය වසර කිහිපය තුළ අපේ ආර්ථිකය පහෙන් එකකින් සංකෝචනය වී ඇත. 1930 ගණන් වල ගෝලීය මහා ආර්ථික අවපාතයෙන් පසු ලංකාවේ අත්කර ගන්නා ලද සියළු සමාජ සුබසාධන ජයග්‍රහණ, වත්මන් ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන වැඩපිළිවෙල හේතුවෙන් නැතිව යාමේ අවදානමක් මතුව තිබේ. 

මෙම තත්වයට විසඳුම් සෙවිය හැක්කේ සහයෝගිතාව හා ප්‍රතිරෝධය තුළින් පමණි. නවලිබරල් චින්තනයෙන් නැතිකොට දැමූ අපේ සමාජමය භාවය ප්‍රතිස්ථාපනය කොට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතුය. ඒකාධිකාරී ජනාධිපතිවරයෙකු තනතුරින් ඉවත් කිරීමට සමත් වූ පසුගිය වසරේ විරෝධතා ව්‍යාපාරය නිසා වැඩකරන ජනතාවගේ සහයෝගිතාව හා ප්‍රතිරෝධය පිළිබඳව බලාපොරත්තු සහගත භාවයක් ඇතිව තිබේ.   

මේ අප පසුකරමින් සිටින්නේ අපගේ පශ්චාත් යටත්විජිත ඉතිහාසය තුළ දුෂ්කරම අවධියයි. රටේ ආර්ථිකය කඩා වැටෙද්දී පවා දේශීය ප්‍රභූහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ගෝලීය මූල්‍යමය ප්‍රාග්ධනය හා සම්බන්ධ ආයතන හා එක්ව වැඩකරති; අපේ බංකොලොත්භාවය සහ දරාගත නොහැකි ගෙවුම් ශේෂ හිඟය භාවිතයෙන් ඔවුහු අපේ ගෙල සිරකොට ඇත. මෙවැනි පසුබිමක නිදහස් අධ්‍යාපනය – හෝ ඇත්තෙන්ම ඕනෑම ආකාරයේ අර්ථාන්විත අධ්‍යාපනයක් – ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ වගකීම වන්නේ එම සටන සමාජ සුබසාධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව වූ වඩා පුළුල් තැනකින් ඇරඹීමයි.