නිරාගමිකවාදය, මුස්ලිම් ශරීරය සහ සිංහල-බෞද්ධ දේශපාලන ප්‍රජාව

එරන්දිකා ද සිල්වා

මෙම ලිපිය පදනම් වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය තුළ මා ලද ප්‍රබල අත්දැකීමක මතකයක් මතය. එම පන්ති කාමරය පසුකර යන සෑම අවස්ථාවකම ඒ මතකය ඇවිස්සේ. අද මේ ලිපිය තුළින් ඒ මතකයත්, ඒ අවස්ථාවේ මගේ චින්තන දහරාව පිළිබඳ අන්තරාවලෝකනයකුත් කිරීමට  බලාපොරොත්තු වෙමි. වසර 9 කට පමණ පෙර, මා පේරාදෙණියේ ශිෂ්‍යාවකව සිටිනා කාලයේ එක් දිනක් මේ පන්ති කාමරය පසුකර යන විට අබායාවක් හැඳ ගත්, ශිෂ්‍යාවකගේ වයසේ යැයි සිතිය හැකි තරුණ කාන්තාවක් කාමරයේ ඇතුළු කොණේ බිත්ති දෙකට මුහුණ ලා සිටගෙන සිටියාය. එය ටිකක් අසාමාන්‍ය දසුනක් වූ අතර මගේ අවධානය පැහැර ගන්නා ලදී. යමින් සිටි ගමන නවතා අඩි දෙක තුනක් පිටුපසට ගොස් නැවත ඒ දෙස හැරී බැලුවේ එනිසාය. එවිට මා දුටුවේ එම තරුණ කාන්තාව පැදුරක් දිගහැර යාඥා කිරීම සඳහා ඉඳගන්නා ආකාරයයි. එක් වරටම මට සිතුනේ මේ මොහොතේ පන්තියක් කිරීමට ආචාර්යවරයෙකු පැමිණියහොත් කුමක් සිදුවිය හැකිද යන්නයි: ආචාර්යවරයා ඇගේ යාඥාව අවසන් වනතුරු සිටිනු ඇත්ද? එසේ එක්වරම පන්ති කාමරයක් තුළට ගොස් යමෙකුට යාඥා කිරීම ආරම්භ කළ හැකිද? විශ්ව විද්‍යාලය නිරාගමික අවකාශයක් නොවේද? නැවත හැරී බැලීමේදී මට පැහැදිලි වන්නේ මගේ ප්‍රතික්‍රියාව නූතනත්වය පිළිබඳ ප්‍රශ්නයක් පිළිබිඹු කරන බවයි. 

ඒ මොහොතේ මට කල්පනා නොවූ කරුණක් නම් බෞද්ධ ආගමික චාරිත්‍රයක් එතැන සිදුවෙමින් තිබුනේ නම් මගේ ප්‍රතික්‍රියාව මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුනේද යන්නය. දැන් කල්පනා කරන විට පැහැදිලි වන්නේ මගේ ප්‍රතික්‍රියාව ඇත්තෙන්ම ආගමක් ඇදහීම කෙරෙහි වූවක් නොව, ඉස්ලාම් ආගම – එනම් බෞද්ධ නොවන ආගමක් – ඇදහීම කෙරෙහි වූවක් බවයි. හෙගල්ගේ වාග් මාලාව පාවිච්චි කරන්නේ නම් එතැන තිබුණේ ස්වාමියා කොතරම් දුරට (ආගම ප්‍රසිද්ධියේ භාවිත නොකළ යුතු) ඇපකරුව පිළිගන්නේද යන ආකාරයේ ප්‍රශ්නයකි. ප්‍රශ්නය වන්නේ නිරාගමික යැයි සැළකෙන විශ්ව විද්‍යාල අවකාශය තුළ බුද්ධාගම බඳුන් නොවන ආකාරයේ විචාරයකට ඉස්ලාම් දහම බඳුන් වන්නේ කෙසේද යන්නය. නූතනත්වය පිළිබඳ මායාවෙන් මුලා ව සිටි ‘සබුද්ධික’ පුද්ගලයෙකු වශයෙන් ඉස්ලාමීයත්වයට මුහුණ පෑමට මා සූදානම්ව සිටියේ නැත.    

මේ මතකය ගැන කල්පනා කරන විට මට නැවත නැවතත් සිහිපත් වන්නේ එහි ඇති මඟ හැරිය නොහැකි ස්ත්‍රී-පුරුෂ සමාජ භාවීය අනන්‍යතාව පිළිබඳ පැතිකඩයි. මෙතැන මේ වෙනුවට පිරිමි සිසුවකු සිටියේ නම් ඔහු ත්‍රස්තවාදියකු ලෙස වටහා ගැනෙන්නට ඉඩ තිබුණි. එහෙත් ශිෂ්‍යාවක වූ නිසා ඇයට අනුයුක්ත වූයේ අතාර්කික/ බුද්ධි හීන ‘අනෙකා’ යන අනන්‍යතාවයි. සිංහල-බෞද්ධ අනන්‍යතාවට ප්‍රතිමානීය ප්‍රමිතිය ලෙස පැවතිය හැක්කේම එසේ නොවන අනන්‍යතා බිහිසුණුකරණය කිරීමෙනි.   

මෙම ශිෂ්‍යාව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඇති මුස්ලිම් පල්ලියේ යාඥා කරනු වෙනුවට මෙම පන්ති කාමරය තෝරා ගත්තේ ඇයිද යන්නත් මම කල්පනා කෙරුවෙමි. ඊට හේතුව වූයේ නිරාගමික අවකාශයක් වශයෙන් ඕනෑම තැනක ඕනෑම ආගමක් ඇදහිය හැකි නිදහස් හා ආරක්ෂාකාරී තැනක් බවට විශ්ව විද්‍යාලය පත්ව තිබීමද? නැතිනම් සිංහල-බෞද්ධ අධිපති සංස්කෘතියේ ග්‍රහණයට ලක්වූ විශ්ව විද්‍යාල අවකාශය තුළ තමන්ට අනුයුක්ත කොට ඇති අවිනිශ්චිත ස්ථානයට මෙම ශිෂ්‍යාව ප්‍රතිරෝධය දැක්වීමද? විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඇති මුස්ලිම් පල්ලිය කලා පීඨයට ඉතා දුරය. යාඥා කිරීම සඳහා පීඨයේ තනා ඇති කාමරය තුළ වරකට 3-4 දෙනෙකුට එහා සිටිය නොහැක. සමහර විට සිය ආගමෙන් හා ස්ත්‍රීත්වයෙන් යාඥා කළ යුතු තැන පිළිබඳ පනවන සීමාවන්ට ඇය ප්‍රතිරෝධය දැක්වූවා විය නොහැකිද? සිය මානවීයත්වය භාවිත කරමින් කොතැන කෙසේ යාඥා කළ යුතුද යන්න පිළිබඳ තමන්ම තීරණය කිරීමකි ඇය කළේ. සිල්වියා වින්ටර් එය හැඳින්වූයේ ‘සත්භාවවේදී ස්වාධිපත්‍යය’ (ontological sovereignty) ලෙසයි. ස්වාධිපත්‍යය සංකල්පයේ ඇති ගැටළු හඳුනාගෙන, සිංහල-බෞද්ධ දේශපාලන ප්‍රජාවේ අධිපතිවාදී පර්යායෙන් තමන්ව හෙලා ඇති පහත් ස්ථානයෙන් එළියට පැමිණීමට ඇය ක්‍රියාත්මක වෙයි. ප්‍රසිද්ධියේ යාඥා කරන අතාර්කික, බුද්ධි හීන අනෙකාගේ තැනට තමා ලඝු කොට ඇති සාහිත්‍යය, ඉතිහාසය සහ කතිකාවට පයින් ගසමින් එම කාර්යයම පොදු ස්ථානයක කිරීම තුළ එම අනන්‍යතාවට ලබාදී ඇති පහත තැනින් එළියට පැමිණීම ඇගේ උපාය මාර්ගයයි. එම ස්ත්‍රී කය දැකීමෙන් මා තුළ ජනනය වූ අපහසුව මා ඒ මොහොතේ තේරුම් ගත්තේ ප්‍රඥාවේ සහ සබුද්ධිකත්වයේ  ප්‍රතිඵලයක් ලෙසයි. එහෙත් එය මනුෂ්‍යයාගේ ලෝකය පිළිබඳ අර්ධ බුද්ධිමය වටහාගැනීමක් හා සමපාත වීමට කරන ලද උත්සහයක් බව තේරෙන්නේ දැන්ය. 

ප්‍රසිද්ධ ස්ථානයක යාඥා කරන, අබායාවක් හැඳගත් මේ ශරීරය ‘මුස්ලිම් ශරීරයක්’ ලෙස සලකුණු කොට තිබේ. ඇයව ස්ථානගත කොට ඇති දේශපාලන ප්‍රජාව සහ සමාජ සම්බන්ධතා සමූහය තුළ හැමවිටම ඇයව වටහා ගන්නේ ඍණාත්මක ලෙසය. එසේ වන්නේ නූතනත්වයේ දෘෂ්ටිය තුළින් ඇයව දැකීම නිසාය. මේ අවස්ථාවේදී මා සිදුකර ඇත්තේද යුරෝපීය සබුද්ධිකත්වය පරමාදර්ශය ලෙස ගෙන ඇති පිරිමියාගේ දෘෂ්ටිය තුළින් ඇයව දැකීමයි. එසේ දැකීම තුළින් ඇයව බුද්ධි හීන ලෙස හා වඩා උසස් නිරාගමිකවාදයට යටත් කරගත යුතු ලෙස දැකීමයි. එහෙත් වඩා පුළුල් ලෝකය තුළ මගේ වාර්ගීකරණය හා ස්ත්‍රීකරණය කරන ලද ශරීරයද ඒ තරම්ම බුද්ධි හීන සහ අතාර්කික ලෙස දකිනු ලැබේ. එහෙත් ‘නිරාගමිකත්වය’ සහ ‘සබුද්ධිකත්වය’ හැම විටම වාර්ගික අනෙකා තලා දැමීමට භාවිත වන හෙයින් මේ අවස්ථාවේ මා විසින් අතාර්කික බවට පත්කොට ඇත්තේ ඇගේ මුස්ලිම් ශරීරයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සන්දර්භය තුළ නිරාගමිකවාදය පිළිබඳ මේ කතිකාව අධිපති සිංහල-බෞද්ධ සංස්කෘතියේ අනුමැතියට යටත් වූවකි. ඊට නිරගමිකත්වය මතක් වන්නේ සිංහල-බෞද්ධ සංස්කෘතිය තර්ජනයට ලක්වූ අවස්ථා වල පමණි.    

ප්‍රසිද්ධියේ ආගම ඇදහීම ප්‍රශ්නයක් වන්නේ සම්මතය නිරාගමිකත්වය වූ විටය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නිසා ජාතික රාජ්‍යයන් වල හටගෙන තිබෙන බහුතරවාදය තුළින් ඉතා භයානක ප්‍රතිඵල ලබාදී තිබේ. බහුතරවාදය නිසාය සුළුතර කණ්ඩායම් වලට සමාජ සහභාගීත්වය අවම කොට ආන්තීකරණය වන්නට සිදුව ඇත්තේ. එතුළ නිරාගමිකත්වය ඉටුකෙරූ භූමිකාව නම් ආගම, සංස්කෘතිය, චාරිත්‍ර-වාරිත්‍ර වැනි සියළු දේ ප්‍රශ්නකාරී භාවිතයන් බවට පත් කිරීමයි.   

ලංකාවේ සන්දර්භය තුළ ‘මුස්ලිම් ශරීරය’ යනු චකිතය දනවන්නකි. ගෝලීයව පවතින ත්‍රස්තවාදයට එරෙහි සටන සහ මුස්ලිම් ජනගහණයේ අධිකතර වර්ධනය පිළිබඳ මිථ්‍යාව මීට හේතු දෙකක් වී තිබේ. මෑත කාලීනව, ‘එක් රටක් – එක් නීතියක්’ පාඨය යටතේ උත්සහ ගනු ලැබුවේ සිවිල් හා දේශපාලන පර්යායේ නාමයෙන් බහුතරවාදය උසිගැන්වීමටය. නමුත් එය සිදුකරන්නේ නිරාගමිකවාදය, සබුද්ධිකත්වය සහ යුරෝ-ඇමෙරිකානු වටහා ගැනීම තුළ පවතින ‘ප්‍රගතිය’ පිළිබඳ අදහස යන කඩතුරා වලට මුවා වීගෙනය. එහෙත් එහිදී ඇත්තෙන්ම සිදුවන්නේ ප්‍රගතිය සහ ශිෂ්ඨත්වය පිළිබඳ මිරිඟුවක් තුළින් බටහිර සබුද්ධිකත්වය සහ නිරාගමිකවාදය ප්‍රචලිත කිරීමයි. එවැනි ආඛ්‍යාන භාවිතයෙන් සිදුවන්නේ ආධිපත්‍යය සහ යටත් වීම පිළිබඳ ගතිකත්වයන් අපේ සමාජය තුළ ප්‍රතිනිෂ්පාදනය වීම පමණි.  

එහෙත් නිරාගමිකත්වය තරමටම පීඩනය එල්ල කළ හැකි අවියකි ආගම. සිය සිසුන්ගේ අයිතීන් පිළිබඳ නිතර කරදර වන ගුරුවරයෙකු වශයෙන් මම පහත සිතුවිලි සමඟින් මෙම ලිපිය අවසන් කරනු කැමැත්තෙමි: ප්‍රශ්නය වන්නේ යාඥා කිරීම හෝ නොකිරීම නොවේ. එය සියළු දෙනාගේ අයිතියකි. ප්‍රශ්නය වන්නේ ආධිපත්‍යය, බලහත්කාරය, සීමාවට ලක්කිරීම සහ අනෙකා පිළිබඳ ගැටලුව සමඟ අප කුමන පදනමක් මත ගැටෙන්නේද යන්නයි. අප ආරම්භ කළ යුත්තේ මෙතැනිනි. අනන්‍යතාව සංස්කෘතික නොව දේශපාලනික ප්‍රශ්නයක් ලෙස සැළකීමෙන් ආරම්භ කළ යුතුය. මෙවැනි සංවාදයක් අපේ විශ්ව විද්‍යාල අවකාශ තුළ සිදුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.