පන්ති කාමරය තුළ නිහඬතාව: ‘ඌණතාව’ පිළිබඳ ගතිකත්වයන් වලට මුහුණ දීම 

රූත් සුරෙන්තිරරාජ් 

පන්ති කාමරය තුළ නිහඬතාව පිළිබඳ මගේ පළමු අත්දැකීම මට අද මෙන් මතකය. අපේ උපාධි අපේක්ෂක පන්තියට ඉගැන්වූ කථිකාචාර්යවරයකු, කියවාගෙන එන්නට යැයි කියා අපට ලබාදුන් ඉතා සංකීර්ණ මූලාශ්‍රයක් යන්තම් උඩින් පල්ලෙන් කියවාගෙන අප පන්තියට ගියේ, ප්‍රශ්නයක් ඇසුවොත් උත්තර දීමට කවුරු හෝ සූදානම්ව ඇතැයි අපේක්ෂාවෙනි. නමුත් එය වැරදුණි. කථිකාචාර්යවරයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමට තරමක් ගැඹුරින් කල්පනා කිරීම අවශ්‍ය විය. කලබලයෙන් අප දෙන්නට තැතනූ පිළිතුරු තවදුරටත් පැහැදිලි කරන ලෙස උපදෙස් ලැබුණි. අවසානයේ අපි නිහඬ වීමු. එම නිහඬතාව තුළ පිළිතුරක් දීමට අපේ සිතුවිලි ගොනුකර ගැනීම සඳහා අවකාශය ලබාදී කථිකාචාර්යවරයාද නිහඬ විය.      

ශිෂ්‍යයන් ලෙස මෙය අප ඉමහත් අපහසුතාවයට පත්කළ සිදුවීමක් විය. ඊට හේතු වූයේ කථිකාචාර්යවරයා එම අවස්ථාව කළමණාකරණය කළ අයුරු නොවේ. මට දැන් පෙනෙන පරිදි එම අපහසුතාව ඇති වූයේ පන්ති කාමරය තුළ නිහඬතාව සෘණාත්මක දෙයක් ලෙස දැකීමට අප ලබා ඇති පුහුණුව නිසාය. එම සිදුවීමෙන් පසු පන්ති කාමරය තුළ නිහඬතාව පිළිබඳ ආවර්ජනය කිරීමට යෙදුනෙමි.

මෙය තරමක් අඩුවෙන් පර්යේෂණ කොට ඇති මාතෘකාවක් වුවත්, පන්ති කාමරය තුළ නිහඬතාවයට යම් යම් අරුත් දීමේ උත්සාහයන් ගෙන තිබේ. ඉන් එකක් ආගමිකය. අපේ බොහෝ ආගමික සම්ප්‍රදායන් වල නිහඬතාව යනු ගැඹුරු ආවර්ජනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. අනෙක් අතට බ්‍රසීලියානු චින්තක පවුලෝ ෆ්‍රෙරේ වැන්නන් ඉතා කණගාටුවට පත්කළ ‘නිහඬතාව පිළිබඳ සංස්කෘතියක්’ ද තිබේ. එතුළ සමාජීය, ආර්ථික හා සංස්කෘතික වශයෙන් ආන්තික කණ්ඩායම් වල හඬ නැතිකොට ඇත. තමා වටා ඇති යථාර්ථය පිළිබඳ ප්‍රශ්න නොනැඟීමට ඉන් පුද්ගලයන් උත්සුක කරවනු ලැබේ. වාග් විද්‍යාත්මකවද නිහඬතාව අර්ථ ගැන්විය හැකි බොහෝ ආකාර තිබේ.  

ඒ කෙසේ වෙතත් පන්ති කාමරය තුළ නිහඬතාව අප බොහෝවිට දකින්නේ සෘණාත්මක දෙයක් හැටියටය. අධ්‍යාපනඥයින් වශයෙන් නිහඬතාව යනු සිසුවාගේ පැත්තෙන් උනන්දුව මඳකම හෝ විචාරාත්මක භාවය අඩුබව පිළිබඳ දර්ශකයක් ලෙස අපි සාමාන්‍යයෙන් දකින්නෙමු. සමහරක් අවස්ථා වල එය දැනුමේ මඳ බව පිළිබඳ දර්ශකයක් ලෙසද සැළකේ. නමුත් නව දැනුම ග්‍රහණය කරගන්නට උත්සහ කරන විද්‍යාර්ථීන් පිරුණු පන්ති කාමරයක නිහඬතාවට වෙනත් අරුත් තිබිය නොහැකිද? 

පළමුවැන්න නම් නිහඬතාව තුළ සංස්කෘතිකමය වශයෙන් අප තුළ රෝපණය කරන ලද ගැඹුරු බියක් ප්‍රකට වියහැකි බවයි: එය ‘වැරදි’ පිළිතුර දීම පිළිබඳ බියකි. මෙවැනි අවස්ථා වල සිසුන්ට බනින කථිකාචාර්යවරුද නැතුවාම නොවේ. සිසුවාගේ පිළිතුරට හේතු විමසනු වෙනුවට, ඔවුන් අපේක්ෂිත මට්ටමට පැමිණ නොතිබීම පිළිබඳ නොසතුටෙන් අප බොහෝවිට ඔවුන් නිහඬ කරන්නෙමු. එහෙත් ඉගෙනීමේ ක්‍රියාවලියේදී ‘වැරදීම්’ යනු සාර්ථක වීම් තරමටම වැදගත් සිදුවීම් බව අපි බොහෝවිට අමතක කරන්නෙමු. යමක් පිළිබඳ වඩා ගැඹුරු අවබෝධයක් බොහෝවිට ලැබෙන්නේ වැරදීම් තුළිනි. පිළිතුරක් දීමට තරම් දැනුමක් තමාට නැති බවට වූ ආකල්පය සිසුවා අන්තරීකරණය කරගත් විට, යම් දැනුමක් පවතින අවස්ථා වලදී පවා නිහඬ වීමට ඔවුන් යොමුවේ. එහෙත් පන්ති කාමරය යනු ඕනෑම ආකාරයක පිළිතුරක් දීමටත්, ඒ පිටුපස චින්තන ක්‍රියාවලිය දෙස විචාරාත්මකව බැලීම ප්‍රවර්ධනය කිරීමටත් හැකි අවකාශයක් විය යුතුය. 

අභිනිර්මාණවාදී (constructivist) ප්‍රවේශයක් ගතහොත් සිසුන් හිස් කඩදාසි නොවන බව අපට පෙනී යනු ඇත: සිය ජීවන අත්දැකීම් මත පදනම් වූ දැනුම් ආකෘති ඔවුන් තුළ තිබේ. මෙම දැනුම් ආකෘති නව දැනුම හා සම්මුඛ වූ විට ඊට හුරුවීම සඳහා යම් කාලයක් අවශ්‍ය වේ. එය ලෝකය අප දකින ආකාරය විපරිවර්තනයට ලක්වීම පිළිබඳ කාරණයකි. ඇත්තෙන්ම පරිවර්තනීය අධ්‍යාපනයක් මෙසේ වියයුතුය. කෙටියෙන් කිවහොත් නිහඬතාව යනු නව දැනුම අවශෝෂණය කරගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ දර්ශකයක් වුවද විය හැකිය. මේ නිහඬතාවය පිළිතුරු ලබාගැනීමට බල කිරීම සඳහා භාවිතා කළහොත් ගැඹුරු ආවර්ජනයක යෙදීමේ හැකියාව සිසුවා වෙතින් මඟහැරේ. මෙවැනි අවස්ථා වල නිශ්චිත පිළිතුරක් දීම වෙනුවට, සිසුන් අතරේ කණ්ඩායම් සංවාද වලට ඉඩ විවෘත කිරීමෙන් නව දැනුම වඩා හොඳින් අවශෝෂණය කිරීමේ හැකියාව ලැබේ.  

සියවස් ගණනාවක පටන් අධ්‍යාපනයේ පවතින තවත් ගැටළුවක් වන්නේ ගුරුවරුන් අධ්‍යාපනය ‘විෂබීජහරණය’ කිරීමේ ක්‍රියාවලියක නිරත වීමයි. එනම් න්‍යාය හා භාවිතය වෙන්කොට ඉගැන්වීමේ ක්‍රියාවලියයි. මෙමඟින් පන්ති කාමරයේ ලබන දැනුම එදිනෙදා ජීවිතයට අදාළ අයුරින් තේරුම් ගැනීම අපහසු වන අතර, එම දුරස්ථ භාවයෙන් පැන නඟින අනවබෝධයද පන්ති කාමරය තුළ නිහැඬියාවට තුඩු දෙයි.  

අවසාන වශයෙන් පන්ති කාමරය තුළ නිහැඬියාවට තුඩුදෙන ප්‍රධානම කාරණයක් වන්නේ තම මව්බස නොවන භාෂාවකින් පිළිතුරු දීමට සිසුන්ට සිදුවීමයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන උපාධි අපේක්ෂක පාඨමාලා වල ප්‍රමාණය එන්න එන්නටම වැඩිවන තත්වයක් තුළ මේ අර්බුදය තවත් තීව්‍ර වනු ඇත. මෙවැනි තත්වයක නිහැඬියාව යනු නොදැනුමෙහි දර්ශකයක් සේ සැළකීම පැහැදිලිවම ගැටළු සහගත වේ. දෙවැනි භාෂාව වශයෙන් ඉංග්‍රීසි උගන්වන්නෙකු ලෙස, අලුත් දැනුම අවශෝෂණය කරගැනීමේදී මතුවන නිහඬතා වලට ඉඩ දීමට විශේෂයෙන්ම සැළකිලිමත් විය යුතුය. නිහඬතාව පිරවීමට භාෂා භාවිතයේ නීති-රීති නැවත මතක් කරදීම තුළින් සිදුවන්නේ එම නිහඬතාවයෙන් ඇති වනවාට වැඩි අපහසුතාවයක් සිසුවාට දැනීමයි.

මෙහි අරුත ‘නිහැඬියාව’ යනු කිසිවිටෙකත් උනන්දුව හෝ දැනුමෙහි මඳ බව පිළිබඳ දර්ශකයක් නොවන බව නොවේ. නමුත් මෙය හැමවිටම එසේ වන බව උපකල්පනය කිරීම තුළ තත්වයේ වැඩි කොටස මඟ හැරී යයි. සංකීර්ණ බුද්ධිමය ජීවියෙක් ලෙස පන්ති කාමරය තුළ ගුරුවරයා හා එළඹීමට සිසුවාට ඇති අයිතිය එමඟින් අහෝසි කොට දමනු ලබයි. නිහඬතාවය හා වඩාත් ගැඹුරු එළඹීමක් තුළින් පන්ති කාමරය තුළ මේ ගතිකත්වයන් සාධනීය ලෙස පරිවර්තනය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.