පරතරය ගැන අවධානයෙන් (mind the gap): SGBV ප්‍රතිපත්තිය සහ යථාර්ථය

උදාරි අබේසිංහ

Mind the Gap යන වාක්‍ය ඛණ්ඩය මුලින් දුම්රිය ස්ථානවල භාවිතා කරන ලද්දේ දුම්රිය මගීන්ට දුම්රිය දොර සහ පදික වේදිකාව අතර ඇති ඉඩ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස අනතුරු ඇඟවීමටය. මෙමඟින් හිඩැස් පිළිබඳ අවධානය යොමු කර මගීන් එයට වැටීමෙන් වැළකී සිටීමට පියවර ගැනීම අරමුණු කරයි. මෙම ලිපියෙන් මම පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රතිපත්ති සහ යථාර්ථය අතර ඇති පරතරය, විශේෂයෙන්ම ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (SGBV) පිළිබඳ ප්‍රතිපත්ති සහ අපගේ විශ්වවිද්‍යාලවල යථාර්ථය අතර ඇති පරතරය පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි.

ප්‍රතිපත්තීන්හි මුහුණත

ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම විශ්වවිද්‍යාල තුළ තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලීන්ගේ කොටසකි. බොහෝ විට, “නව” ප්‍රතිපත්ති මඟින් කරන්නේ වෙබ් අඩවියක් හෝ කඩදාසියක් මත පදනම්ව විශ්වවිද්‍යාලය කරදරකාරී ගැටලුවක් ආමන්ත්රණය කරන බව ඒත්තු ගැන්වීමයි. සාරා අහමඩ් ඇගේ Complaint! ග්‍රන්ථයේ පවසන පරිදි, “යමක් කරන බවට සාක්ෂි නිර්මාණය කිරීම යමක් කිරීම හා සමාන නොවේ.” විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල වල SGBV ප්‍රතිපත්ති කඩදාසි මත ඇති හොඳ පෙනුමැති ප්‍රතිපත්ති සඳහා හොඳ උදාහරණයකි.
විශ්වවිද්‍යාලවල SGBV ප්‍රතිපත්තිවල විෂය පථයට සියලු පුද්ගලයන්ගේ අභිමානය සහ සමානාත්මතාවයට ගරු කරන සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම ඇතුළත් වේ. නමුත් විශ්වවිද්‍යාලයක් හිරිහැර/ප්‍රචණ්ඩත්වය වැලැක්වීමටඇත්තෙන්ම කරන කැපවීම සහ කැපවීමක් කරන බව පෙන්වීමට ගනු ලබන තීරණ සහ ක්‍රියාමාර්ග අතර හිඩැසක් පවතී.

ද්විත්ව ප්‍රමිතීන්

උදාහරණයක් ලෙස, එක් විශ්වවිද්‍යාලයක “නේවාසිකාගාර නීතිය”, “ප්‍රමාද වී පැමිණීම” සහ “වේලාසනින් පිටත්ව යාම” සඳහා සීමා පැනවීමෙන් ශිෂ්‍යාවන්ගේ සංචලනය අවම කරයි. නේවාසිකාගාර නීතිවලට අනුව ශිෂ්‍යාවක් නැවත නේවාසිකාගාරයට පැමිණිය යුත්තේ රාත්‍රී 7.30 ට පසු වීමට පෙරය. ශිෂ්‍යාවකට ඉන් පසුව නේවාසිකාගාරයට යාමට අවශ්‍ය නම්, ඇය රාත්‍රී 7.30 ට පසුව නේවාසිකාගාරයට ඇතුළු වීමට අවසර ලබා දෙන ‘ප්‍රමාද වී පැමිණීමේ අවසර පත්‍රයක්’ ඉල්ලා සිටිය යුතුය, නමුත් එයද වලංගු වන්නේ රාත්‍රී 10 දක්වා පමණි. එසේම, මෙම විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරවල සිටින ශිෂ්‍යාවන්ට උදෑසන 6 සිට නේවාසිකාගාරයෙන් පිටවීමට අවසර ඇත, නමුත් පෙරවරු 4.45 ත් 6 ත් අතර කාලය තුළ පිටත් වීමට නම් වේලාසනින් පිටත්ව යාමේ අවසර පත්‍රයක් ලබා ගත යුතුය. කෙසේ වෙතත්, පිරිමි නේවාසිකාගාරවල එවැනි නීති නොමැත; පිරිමි සිසුන්ට තමන් කැමති පරිදි නේවාසිකාගාරවලට ඇතුළුවීමට සහ පිටවීමට අවසර ඇත.

වර්තමානයට කිසිදු අදාළත්වයක් නොමැති ඓතිහාසික ස්ත්‍රී පුරුෂ සමාජභාවී සම්මතයන් ශක්තිමත් කරන මෙම භාවිතයන් පිළිබඳ සිසුන්ට හැඟෙන ආකාරය පිළිබඳව මම ඔවුන් සමඟ සංවාද කර ඇත්තෙමි. විශ්වවිද්‍යාල උත්සවවලට හෝ ක්ෂේත්‍ර චාරිකාවලට සහභාගි වන විට පවා ප්‍රමාද වී පැමිණීමේ අවසරපත් ලබා ගත යුතු නිසා එය තමන්ට අනවශ්‍ය බරක් බව ශිෂ්‍යාවන් බොහෝ විට ප්‍රකාශ කරයි. මෙම ක්‍රියාව “අසාධාරණ” බව ශිෂ්‍ය ශිෂ්‍යාවන් යන දෙකොට්ඨාසයම දැන සිටියද, මෙම ප්‍රතිපත්තිය දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වී සාමාන්‍යකරණය වී ඇත. එනිසා, SGBV සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ප්‍රතිපත්ති තිබියදීත්, මෙම ප්රතිපත්තියෙහි වෙනස් කොට සැලකීමේ ස්වභාවය ශිෂ්‍ය සංගම් සහ විද්වතුන් විසින් නොසලකා හරිනු ලැබේ.

දෝෂ සහිත තර්කනය

මෙම නීතිය ශිෂ්‍යාවන් ආරක්ෂා කිරීමට, විශේෂයෙන්ම ලිංගික විලෝපිකයන්ගෙන් ආරක්ෂා කිරීමට භාවිත වේ යැයි සැලකේ. එබැවින් මේ නීතිය පනවා ඇත්තේ සද්භාවයෙන් යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල සිසුන් බහුතරයක් ලෙස කාන්තාවන් සිටින යුගයක, කාන්තාවන් රාත්‍රී ගමන් අවශ්‍ය කරන රැකියා ඇතුළු ශ්‍රම බලකායට බැඳීමට ආසන්නයේ සිටින යුගයක, මෙම නීතිය විහිළුවකි. එය ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනීම ප්‍රවර්ධනය කරනු ලබන, උද්දීපනය කරන සුළු සහ “නවෝත්පාදන” ඉගෙනුම් පරිසරයක් උපාධි අපේක්ෂකයින්ට පිරිනැමීම සම්බන්ධ විශ්වවිද්‍යාලයේ ප්‍රතිඥාවට පටහැනිය.
විශ්වවිද්‍යාල නීතිරීති ස්ත්‍රී පුරුෂ භාවය මත වෙනස් නොකළ යුතුය. මම තාවකාලික කථිකාචාර්යවරයකු ලෙස නේවාසිකාගාරයක සිටියදී, රැකියාවෙන් පසු මිතුරන් සමඟ සැලසුම් රහිතව හමුවූ අවස්ථා තිබුණි. ප්‍රමාද වී පැමිණීමේ අවසර පතක් ලබා ගැනීම සඳහා පෙර ඉල්ලීමක් කිරීමට නොහැකි වූ නිසා, මා වෙනුවෙන් ඉල්ලීමක් කිරීමට මගේ මිතුරියට සිදුවීම අප දෙදෙනාටම අනවශ්ය කරදරයකි. විශේෂයෙන් මේ මොහොතේ, ආර්ථික අර්බුදයත් සමඟ සමහර සිසුන්ට ඔවුන්ගේ දෛනික වියදම් දරා ගැනීමට අර්ධකාලීන රැකියාවක් කිරීමට බල කෙරෙන විට, මෙම අවසරපත් වලින් ඔවුන්ට අමතර බරක් යොදවන්නේ ඇයි?

සමස්තයක් ලෙස තත්වය

බැලූ බැල්මට සුළු දෙයක් ලෙස පෙනෙන මෙම අවසර පත් නීතිය වැනි සම්මතයන් නිසා විශ්වවිද්‍යාලය තුළ කාන්තාවන්ට වෙනස් කොට සැලකීමේ ක්‍රියාවන්ට පදනම වැටේ. කාන්තා හඬ යටපත් කිරීම විශ්වවිද්‍යාලය තුළ විවිධ මට්ටම්වලින් සිදුවේ. ඉහත විස්තර කර ඇති ආකාරයට කාන්තා නිදහස සීමා කිරීම ඔවුන්ට විශ්වවිද්‍යාලයේ සමාජීය හා අධ්‍යයන ජීවිතයට සහභාගී වීමට ඇති හැකියාව සීමා කරයි; විශ්වවිද්‍යාලයේ පූර්ණ සාමාජිකයින් ලෙස ඔවුන්ගේ සංවර්ධනය අඩාල කරයි; තවද, එය ඔවුන් ළදරුවන් සේ සැළකීමට භාජනය කරයි; ඔවුන් පද්ධතියක ගොදුරු බවට පත් කරයි; එමෙන්ම කාන්තාවන් වීමේ පදනම මත ඔවුන්ට දඬුවම් පමුණුවනු ලබයි.

ආරක්ෂාවේ නාමයෙන් ගමන් කිරීමේ නිදහස සීමා කිරීම ආරක්ෂාව සහතික කරයිද? කොහෙත්ම නැත. සීමාවන් වැඩි වන තරමට, රාත්‍රී 7.30 න් පසු විශ්වවිද්‍යාල අවකාශයන්හි ශිෂ්‍යාවන් අඩු වනු ඇත; එමඟින් වටාපිටාවෙහි “කාන්තා-හිතකාමී” බව අඩුවීම නිසා ඇත්තෙන්ම අඩු ආරක්ෂිත බවක් නිර්මාණය කරනු ලබයි. විශ්වවිද්‍යාලය සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කැමති නම්, පරිපාලනය විසින් කිසිදු ආකාරයක ප්‍රචණ්ඩත්වයක් පිළිගත නොහැකි ආරක්ෂිත සහ සියල්ල ඇතුළත් පරිසරයක් නිර්මාණය කළ යුතුය. විශ්වවිද්‍යාලය විසින් ක්‍රියාත්මක කරන වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්තිවලට එරෙහිව, පළිගැනීම්වලට බියෙන් තොරව, පැමිණිලි ක්‍රියාපටිපාටි භාවිතා කිරීමට සිසුන් දිරිමත් කළ යුතුය. අනෙකුත් ක්‍රියාමාර්ග අතරට ළඟින් බලා සිටින්නන් පුහුණු කිරීමේ වැඩසටහන් (ළඟින් බලා සිටින්නන් යනු ගැටළුකාරී තත්වයක් දකින සහ එම තත්වය පිළිබඳ කථා කිරීමට හෝ ඊට බාධා කිරීමට හෝ එය උත්සන්න වීම වැළැක්වීමට පියවර ගන්නා පුද්ගලයෙකි) හෝ සිසුන් තුළ අවිහිංසාව සඳහා කැපවීමක් ඇති කරන වෙනත් අධ්‍යාපනික වැඩසටහන් ඇතුළත් විය හැකිය. SGBV ප්‍රතිපත්ති, උපදේශන වැඩසටහන් සහ වෙනත් ආයතනික මුල පිරීම් ශක්තිමත් කිරීම ද වැදගත් වේ. ශිෂ්‍ය සංගම්වල කාන්තා ක්‍රියාකාරී සහභාගීත්වය දිරිමත් කළ යුතුයි. විශ්වවිද්‍යාලයේ විධිමත් හෝ අවිධිමත් කාන්තා සභා මගින් තම අවශ්‍යතා සහ ආශාවන් නිදහසේ ප්‍රකාශ කිරීමට අවකාශයක් අවශ්‍ය වන ශිෂ්‍යාවන්ගේ දෑත් ශක්තිමත් කරනු ඇත. සියල්ලටත් වඩා, විශ්වවිද්‍යාල‍යේ වෙනස් කොට සැලකීමේ භාවිතයන්, විශ්වවිද්‍යාල සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී දේහය බරපතළ ලෙස ඛාදනයට ලක්කොට ඇති අතර, සියල්ලන්ම ඊට අභියෝග කළ යුතුව ඇත.