ප්‍රතිඵල-පාදක අධ්‍යාපනයෙන් ‘කාරණයේ හදවත’ට එළඹිය හැකිද?

සුදේශ් මන්තිලක

මෙම ලිපියෙන් අරමුණු කරන්නේ මගේ ශාස්ත්‍රීය පුහුණුව සහ පුද්ගලික අත්දැකීම් ආවර්ජනය කරමින්, ලෝක බැංකුවේ අරමුදල් සහිත ව්‍යාපෘතියක කොටසක් ලෙස දැනට ක්‍රියාත්මක වෙමින් පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල උපාධි අධ්‍යයන වැඩසටහන් සමාලෝචනය සඳහා සකස් කරන ලද අත්පොත්වල “ප්‍රතිඵල-පාදක අධ්‍යාපනය” (OBE) අර්ථ නිරූපණය කර ඇති අයුරු සහ එයට ලබා දී ඇති අවධාරණය ප්‍රශ්න කිරීමයි. නර්තනය සහ ලලිත කලා උගන්වන කථිකාචාර්යවරයකු ලෙස මාගේ පෞද්ගලික අත්දැකීම් මත පදනම්ව, විශේෂයෙන් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවන්හි ගුණාත්මකභාවය සහ ප්‍රතිඵල මැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එහි ප්‍රවේශය නැවත සලකා බැලිය යුතු බව මම ප්‍රකාශ කරමි.

ප්‍රතිඵල-පාදක අධ්‍යාපනය සහ ක්‍රියාවලි-පාදක අධ්‍යාපනය

“අධ්‍යාපනික අත්දැකීම අවසානයේ සෑම සිසුවෙකු විසින්ම [අභිප්‍රාප්ත ඉගෙනුම් ප්‍රතිඵල – ILOs] සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම සඳහා අධ්‍යාපන පද්ධතියක ඉගැන්වී,ම් ඉගෙනීම් සහ ඇගයීම් සංරචක අපේක්ෂිත ප්‍රතිඵල වටා පදනම් වන අධ්‍යාපනික න්‍යායක්” ලෙස ඉහත අත්පොත විසින් OBE අර්ථ දක්වයි. අධ්‍යාපනික න්‍යායක් ලෙස, අපට OBE පිළිබඳ විවාද කිරීම, එයට එකඟ වීම/නොවීම සිදු කළ හැක. සත්‍ය වශයෙන්ම, OBE සමහර අධ්‍යාපනික අත්දැකීම් සඳහා අදාළ විය හැක. නිදසුනක් වශයෙන්, නර්තනයේ ව්‍යුහ විද්‍යාව ඉගැන්වීමෙන් පසු, පාඨමාලාව අවසානයේදී, නර්තන ශිල්පියෙකු සඳහා කොඳු ඇට පෙළේ වැදගත්කම පැහැදිලි කිරීමට සිසුන්ට හැකි වියයුතු බවට අපට එකඟ විය හැකිය. නමුත් සිසුන්ගේ නිර්මාණශීලිත්වය සහ චිත්තවේගීය පරිණතභාවය මැනීමට OBE උපකාරී නොවේ. ෆර්සානා හනිෆා මෙම තීරුව තුළ මීට පෙර සඳහන් කළ පරිදි, අධ්‍යාපනික ප්‍රතිඵල නිර්වචනය කළ යුත්තේ “සිසුන්ගේ දියුණුව සඳහා, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය දිරිගැන්වීම සඳහා සහ ඔවුන්ගේ කුසලතා පෝෂණය සඳහා අත්‍යවශ්‍ය සූදානම් කිරීමේ ක්‍රියාවලියක්” ලෙසිනි. කෙසේ වෙතත්, වත්මන් තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලිය තුළ, OBE පටු ලෙස අර්ථ දක්වා ඇත. “තත්ත්ව සහතික” අවශ්‍යතා සපුරාලීම සඳහා විශ්වවිද්‍යාල සහ පීඨ විසින් සකස් කරන ලද ආයතනික සමාලෝචන වලට අනුකූල වීමට අපට බල කෙරෙන්නේ, අදාළ විෂයට/ පුහුණු වැඩසටහනට එහි ඇති අදාළත්වය පිළිබඳ එතරම් සැලකිල්ලක් නොමැතිවය.

පෙර දක්වන ලද අත්පොතෙහි, තත්ත්ව තක්සේරුව යටතේ, ‘නිර්ණායක සහ ප්‍රශස්ත භාවිතයන්’ පිළිබඳ 3.3 වගන්තියෙහි පළමු නිර්ණායකය යටතේ (‘පාලනය සහ කළමනාකරණය’) සඳහන් වන්නේ “විශ්වවිද්‍යාලයේ සාර්ථකත්වය රඳා පවතින්නේ අධීක්‍ෂණය, ඇගයීම සහ වාර්තා කිරීමේ යාන්ත්‍රණයන්හි කාර්යක්ෂමතාව සහ සඵලතාවය මත” බවයි. මෙය ක්‍රියාවලියට වඩා ප්‍රතිඵල මත පදනම් වේ. තවද ප්‍රමිති පිළිබඳ 4.2 වගන්තියේ, ‘සාක්ෂි සඳහා උදාහරණ සහ ලකුණු මාර්ගෝපදේශය’, නිර්ණායක 1 (‘පාලනය සහ කළමනාකරණය’) යටතේ, “ක්‍රියාවලි සහ යෙදවුම්වලට වඩා කාර්ය සාධනය, ප්‍රතිදානය/ප්‍රතිඵල ගැන ආවර්ජනය කිරීමට විශ්වවිද්‍යාල නායකත්වයේ දැඩි කැපවීමක් ඇති බවට විශ්වවිද්‍යාල සහතික විය යුතු බව” සඳහන් වේ. මෙම අවස්ථා දෙකේදී, මෙම අත්පොත “ප්‍රතිඵල මත පදනම් වූ” ප්‍රවේශයක් අවධාරණය කරනවා පමණක් නොව, අධ්‍යාපනය සඳහා “ක්‍රියාවලිය පදනම් කරගත්” ප්‍රවේශයන් ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙහිදී “ප්‍රතිඵලය” යන්න පටු ලෙස අර්ථ දක්වා ඇත්තේ එය හරියට කර්මාන්ත ශාලාවකින් නිකුත් වන ක්ෂණික නිෂ්පාදනයක් ලෙසිනි. විශ්වවිද්‍යාල මෙම අත්පොත මත පදනම්ව තමන්ගේම මාර්ගෝපදේශ සකස් කරන විට, ඔවුන් “ප්‍රතිඵලය” නිර්වචනය කරන්නේ සේවා නියුක්තිය, ආරම්භක වැටුප, වාර්ෂික වැටුප යනාදී නිර්ණායක භාවිතා කරමිනි. මෙයාකාර ඉලක්ක වලට ළඟාවීම් යුද්ධ වලදී සුදුසු විය හැකිය; නමුත් මා විශ්වාස කරන පරිදි, මානව ශාස්ත්‍ර අධ්‍යාපනය, ඉලක්කගත ඉගෙනීමට වඩා, වඩාත් පරිපූර්ණ සහ සහයෝගී ඉගෙනුම් ක්‍රියාවලියක් දිරිමත් කළ යුතුය.

ප්‍රතිඵල-පාදක අධ්‍යාපනය සහ ‘කාරණයේ හදවත  

ලලිත කලාවේ ද අපි “ගුණාත්මකභාවය” ගැන සැලකිලිමත් වන අතර ගුණාත්මක ප්‍රතිඵලයක් නිර්මාණය කරන බවට සහතික වෙමු. එහෙත් මෙම ගුණාත්මක ප්‍රතිඵලය නාට්‍යයක චිත්තවේගීය අත්දැකීමක් වැනි ගණනය කළ නොහැක්කක් විය හැකිය. සමහරුන්ට, ප්‍රතිඵලයේ බලපෑම ක්ෂණික විය හැකි අතර, තවත් සමහරුන්ට එය වසර ගණනාවකට පසුව බලපෑමක් ඇති කළ හැකිය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ, තත්ත්ව සහතිකයේ නාමයෙන්, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යාපනයේ “ගුණාත්මකභාවය” සහ “ප්‍රතිඵල” අප දකින ආකාරයට මූලිකව පටහැනි ලෙස දැකීමට හා මැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අපව තල්ලු කරනු ලබයි.

2013 දී ඇමරිකානු කලා හා විද්‍යා ඇකඩමිය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක මෙය පැහැදිලිව හඳුනාගෙන විස්තර කර ඇත. එමඟින් මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාව හඳුනා ගන්නේ ‘කාරණයේ හදවත, ජනරජයේ ආරක්ෂකයා’ ලෙසයි. වාර්තාවට අනුව:

“මානව ශාස්ත්‍ර සහ සමාජවිද්‍යාවන් හුදෙක් වෛකල්පිත නොවේ. එසේම ඒවා ප්‍රභූ හෝ ප්‍රභූවාදීද නැත. ක්ෂණිකත්වය සහ මෙවලම්වාදීත්වයෙන් එහා ගොස් අතීතය සහ අනාගතය තේරුම් ගැනීමට ඒවා අපට උපකාර කරයි. එම නිසා අභියෝගාත්මක කාලවලදී මෙන්ම සමෘද්ධිමත් කාලවලදී ද ඒවා පවත්වාගත යුතුය. අපගේ ජාතියේ නිර්මාතෘවරුන් විසින් විස්තර කර ඇති පරිදි, අපගේ ජීවිතය, නිදහස සහ සතුට ලුහුබැඳීම සඳහා ඒවා ඉතා වැදගත් වේ. ඔවුන් මෙම කාරණයේ හදවතයි.”

මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යාවන්හි වටිනාකම ක්ෂණික ප්‍රතිඵල මගින් තක්සේරු කළ නොහැක. අපගේ පාඨමාලාවක බලපෑම අධ්‍යයන වාරය අවසානයේදී නිරීක්ෂණය කළ නොහැක. ඔවුන් ශිෂ්ටාචාරයේ ජීවිතය, නිදහස සහ සතුට සඳහා වූ ගවේෂණය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ගෝලීය උතුරෙන් පැමිණෙන තත්ත්ව සහතික සහ ප්‍රතීතන ක්‍රියාවලීන් වැලඳ ගන්නා අතරම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ තත්ත්ව සහතික කවුන්සිලය එම භාවිතයන් පිළිබඳ ගෝලීය උතුරෙන් පැමිණෙන විවේචනයන් එතරම් බැරෑරුම් ලෙස නොසැලකීමෙහි උත්ප්‍රාසයක් ඇත. යමෙක් “කාරණයේ හදවත” බැරෑරුම් ලෙස සලකන්නේ නම්, මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යාවන්ට අදාළ  ‘ගුණාත්මකභාවය’ සහ ‘ප්‍රතිඵල’ නොසලකා හැරිය නොහැක.

ප්‍රතිඵල-පාදක තත්ත්ව සහතිකය සංදර්ශනයක් ලෙස

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලිය අපි විවිධ භූමිකාවන් ඉටු කරන සංදර්ශනයක් ලෙසයි මම දකින්නේ. පිටපතට අනුව ප්‍රතිඵලය සංදර්ශනයක් ලෙස බලාපොරොත්තු වන නමුත් නිර්මාණාත්මක ක්‍රියාවලිය නොසලකා හැර ඇත. සංදර්ශන අධ්‍යයන විශාරද ෂැනන් ජැක්සන්, ඇයගේ Professing Performance (2004) ග්‍රන්ථයේ, “වෘත්තීය-කළමනාකරණ පන්තියේ” (PMC) සාමාජිකයන් බවට පත් වූ පුද්ගලයන් එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ක්‍රියා කරන ආකාරය පෙන්වයි. ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද මෙයට අයත් බව ඇය අපට සිහිපත් කරයි. එහි තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලිය හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ශ්‍රී ලංකාව තුළද මෙම පන්තිය නිර්මාණය කරයි. ඔවුන් විසින් තත්ත්ව සහතිකයේ සංදර්ශනය සඳහා පිටපත ලියන අතර, අනෙක් අයට පෙරහුරුවක් ඇතුව හෝ නැතිව එය අනුගමනය කිරීමට සිදුවේ.

අධ්‍යාපනික ප්‍රතිඵල සෑම විටම “නිෂ්පාදන” නොවේ. නර්තනය සහ කාර්ය සාධනය පිළිබඳ ගුරුවරයෙකු ලෙස මගේ පෞද්ගලික අත්දැකීම් අනුව, අවසාන දර්ශනයට වඩා, මම කාර්ය සාධනයේ නිර්මාණාත්මක ක්‍රියාවලිය අගය කරමි. මා හට නම් නිර්මාණාත්මක ක්‍රියාවලියක් සොයා ගැනීම ලලිත කලා අධ්‍යාපනයේ ප්‍රතිඵලයකි. තරුණ නර්තන ශිල්පීන් වශයෙන්, වාර්ගික සහජීවනය ප්‍රදර්ශනය කිරීම සඳහා “බහු සංස්කෘතික” ප්‍රසංග පවත්වන ලෙස රජයන් සහ වෙනත් සංවිධාන විසින් අපගෙන් නිතර ඉල්ලා සිටියේය. සිංහල නර්තන ශිල්පියෙක් ලෙස 1990 දශකයේදී ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතීන් ප්‍රදර්ශනය කළ “බහු සංස්කෘතික සංදර්ශන” රාශියකට මම සහභාගි වී ඇත. අප සිංහල නැටුම්කරුවන් වුවද, සිංහල හැරුණු විට වේදිකාවේ දෙමළ ජනයා සහ සංස්කෘතිය නියෝජනය කිරීමද අපෙන් බලාපොරොත්තු විය. බහු සංස්කෘතික නැටුම් ප්‍රසංගයක් සඳහා නියමිත ක්‍රම්වේදයක් තිබූ බැවින් මෙම නැටුම් ඉදිරිපත් කිරීම සහ ප්‍රසංග ගත කිරීම එතරම් අපහසු නොවීය. නිදසුනක් වශයෙන්, නර්තනය මගින් මුලින්ම සිංහල නර්තනයේ සුවිශේෂත්වය හඳුන්වා දෙන අතර පසුව දෙමළ නර්තනයේ ලක්ෂණ හඳුන්වා දෙනු ඇත; අවසානයේ සිංහල සහ “දෙමළ” නර්තන ශිල්පීන් එකම තාලයට ඉදිරිපත් කරන කණ්ඩායම් නර්තනයකින් ප්‍රසංගය අවසන් වේ. ඒවා අපූර්ව දර්ශනයන් විය; නමුත් ඒවා සංහිඳියාවට හෝ එකමුතුකමට සැබවින්ම උපකාර කරනු ලැබුවේද?

තත්ත්ව සහතික කිරීමේ අරමුණු සඳහා ආකර්ශනීය ලියකියවිලි නිර්මාණය කිරීමේ සංදර්ශනය අපගේ අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක භාවය සහතික නොකරනු ඇත. අපේ සමාජයේ බහු-සංස්කෘතික ස්වභාවය පිළිබඳ මතුපිටින් හැඟීමක් ඇති කරන බහු සංස්කෘතික සංදර්ශන මෙන්, තත්ත්ව සහතික සංදර්ශනය අපගේ විශ්වවිද්‍යාල තුළ ගුණාත්මකභාවය පිළිබඳ මතුපිට හා හිස් හැඟීමක් සපයයි. තත්ත්ව සහතිකය සහ බහු සංස්කෘතික සංදර්ශන යන දෙකෙහිම මෙම සංදර්ශනීය ස්වභාවය අහිංසක එකක් නොවේ. මෙම අවස්ථා දෙකේදීම අපි අපවම රවටා ගන්නා අතර, අධිපති මතවාදයන්ට අප මත බලය පැටවීමට ඉඩ දෙන්නෙමු. මේ සංදර්ශන ඉදිරිපත් කිරීම වෙනුවෙන් අපි රාජ්‍ය හා පෞද්ගලික මුදල් යොදවන්නෙමු. තත්ත්ව සහතිකයේ මෙම මතුපිටින් පෙනෙන සංදර්ශන සඳහා අප අපගේ සම්පත් සහ ශක්තිය යොදවන විට, අපගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ සැබෑ අවස්ථාව අපට අහිමි වේ.

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ කතිකාවේදී මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යාව බැරෑරුම් ලෙස ගත යුතු අතර, ‘කාරණයේ හදවත’ ලෙස සැලකිය යුතුය. OBE හි අපේක්ෂා කරන පරිදි, “ප්‍රතිඵල” සෑම විටම නිරීක්ෂණය කළ නොහැකි සහ අධ්‍යයන වාරය අවසානයේ මැනිය නොහැකි බව ජීවිතයේ අරුත, නිදහස, සමානාත්මතාවය, සාධාරණත්වය සහ සතුට වැනි සංකල්ප හරහා අපට මතක් කර දීමෙන් මෙම විෂයන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.