මර්දනය, ප්‍රතිරෝධය සහ විශ්ව විද්‍යාලය

අහිලන් කදිර්ගාමර් 

උසස් අධ්‍යාපනය සහ දැනුම් සම්පාදනය සිදුකෙරෙන විවෘත අවකාශයන් වශයෙන් විශ්ව විද්‍යාල නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටු සේ සැළකේ. එහෙත් යථාර්ථය නම් විශ්ව විද්‍යාල යනු ගුරුවරුන් සහ සිසුන් යන දෙකොට්ඨාශය විසින්ම පවත්වාගෙන යනු ලබන තද ධූරාවලිගත පද්ධතීන් සහිත තැන් බවය. මේවා ප්‍රකට වන්නේ ලිංගික හිංසනය සහ නවක වධය වැනි දරුණු භාවිතයන් තුළිනුත්, ඒවා ආමන්ත්‍රණය කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය සහ ශිෂ්‍යයන් ඇතුළු ප්‍රජාව දක්වන අකමැත්ත තුළිනුත්ය. එහෙත් නව පරම්පරාවේ ගුරුවරුන් සහ ශිෂ්‍යයන් විසින් මෙම තත්වය වෙනස් කොට ප්‍රගතිශීලී වෙනසක් ඇති කිරීමට උත්සාහ කරන බවද සැබෑවකි. ඒ අනුව ගත්කළ විශ්ව විද්‍යාල තුළ බාහිර සමාජයේ සහ රාජ්‍යයේ පවතින සමාජ-දේශපාලන ව්‍යුහයන් වල අතිශය ගතානුගතික රූපයක් මෙන්ම, ඒවා කෙරෙහි ඇති රැඩිකල් ප්‍රතිරෝධය සහ ප්‍රජාතාන්ත්‍රීකරණය පිළිබඳ රූපයක්ද අඩංගු වන බව පැවසිය හැකිය.    

මෑත අතීතයේ පද්ධතිමය වෙනසක් ඉල්ලා රටේ සිදුවූ අරගලයේ ප්‍රධාන භූමිකාවක් විශ්ව විද්‍යාල සිසුන් සහ ශිෂ්‍ය ව්‍යාපාර විසින් ඉටු කළ බව අපි දනිමු. ඊට ගුරුවරුන්ගේ වෘත්තීය සමිති සහයෝගයද හිමිවිය. වර්තමානයෙහි දියත් වන දැඩි මර්දනය – විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගැනීම හා යෝජිත පුනරුත්ථාපන පනත මඟින් මර්දනකාරී නීති පද්ධතිය පුළුල් කිරීම – විශ්ව විද්‍යාල ප්‍රජාවන් ඉදිරියේ ඇති විශාලතම අභියෝගයයි. මෙම ලිපියට විෂය වන්නේ ඉතිහාසයේ දරුණුතම සමයක විශ්ව විද්‍යාලයේ සමාජ හා දේශපාලන භූමිකාවයි. 

රාජ්‍ය යාන්ත්‍රණය

විශ්ව විද්‍යාලයේ ප්‍රජාවන් රාජ්‍යයේ කටයුතු පිළිබඳ මෙතරම් කරදර වියයුත්තේ මන්දැයි කෙනෙකුට ප්‍රශ්නයක් නැඟිය හැකිය. විශ්විද්‍යාල හුදු සිය ඉගැන්වීම් සහ සිසුන් සේවා නියුක්තියට සූදානම් කිරීමේ කටයුතු වල පමණක් නියැලිය යුතු බවත්, රාජ්‍යයට අභියෝග කිරීම හෝ එහි කටයුතු වෙනස් කිරීම ඔවුන්ට අයත් කාර්යයක් නොවන බවත් විවේචකයෙකුට තර්ක කළ හැකිය. එහෙත් සැබවින්ම විශ්ව විද්‍යාල සහ රාජ්‍යය අතර ඇත්තේ නොබිඳිය හැකි සම්බන්ධතාවයකි.  

මාක්ස්වාදී චින්තක ලුවී අල්තුසර්ට අනුව පාසල් ඇතුළු අධ්‍යාපන පද්ධතිය රාජ්‍යයේ දෘෂ්ටිවාදී යාන්ත්‍රණයයි. වෙනත් වචන වලින් කියන්නේ නම් රාජ්‍යයේ අභිලාශ සාධනය කරගැනීම සඳහා විවිධාකාරයේ විනය මාදිලීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම, රාජ්‍යයට පක්ෂපාතීත්වය ඇතිකරන්නා වූ චින්තනයක් ජනිත කිරීම, සමාජය තුළ ‘උගත්’ පිරිසගේ සහ අධ්‍යාපනයේ භූමිකාව නිර්වචනය කිරීම, වැනි කාර්යයන් වල දෘෂ්ටිවාදාත්මක කොටස සම්පූර්ණ කිරීමට විශ්ව විද්‍යාල විසින් විශාල භූමිකාවක් ඉටු කරනු ලැබේ. එහෙත් අල්තුසර්ට අනුව මෙම භූමිකාව නිරන්තරයෙන් විශ්ව විද්‍යාලය තුළින්ම අභියෝගයට ලක් වන්නකි: එහිදී දෘෂ්ටිවාදාත්මක ගැටුම්, සාකච්ඡාව, ප්‍රශ්න නැඟීම, විවාදය සහ විරෝධතා වැනි ක්‍රම ඔස්සේ රාජ්‍යයේ ආඛ්‍යානය ප්‍රශ්න කෙරෙන අතර, සමාජ-දේශපාලන වෙනස්කම් සඳහා මෙවැනි දෘෂ්ටිවාදාත්මක අරගල මූලික වේ.

මේ මොහොතේ ප්‍රශ්නය වන්නේ මෙම දෘෂ්ටිවාදාත්මක අරගල ප්‍රචණ්ඩත්වය හා මුහුණට මුහුණ මුණගැසෙන විට කුමක් සිදුවන්නේද යන්නයි. විශ්ව විද්‍යාල ප්‍රජාවන් තුළ සිටින්නා වූ ප්‍රගතිශීලී ක්‍රියාධරයන්, රාජ්‍යයේ මර්දනකාරී යාන්ත්‍රණ – එනම් පොලීසිය, හමුදාව සහ අපරාධ යුක්ති පද්ධතිය – විශ්ව විද්‍යාල අවකාශය තුළ මුදා හැරෙන විට කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුද?

බුද්ධිමය වගකීම 

පසුගිය වසර හතර තුළ රාජ්‍ය බලය භාවිතා කරන ලද ආකාරය නිසා රාජ්‍යයේ නියම ස්වභාවය පුරවැසියන්ට හෙළිදරව් වී ඇත. 2018 ඔක්තෝබර් මාසයේ සිදු වූ දේශපාලනික කුමන්ත්‍රණය හා එමඟින් නීත්‍යානුකූල නොවූ අගමැතිවරයෙකුගේ බලයට පැමිණීම සහ ඊට එල්ල වූ මහජන ප්‍රතිරෝධය, 2019 පාස්කු ප්‍රහාරය සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් කරලියට පැමිණි මුස්ලිම්-විරෝධී චින්තනය හා තීව්‍ර මිලිටරීකරණය, අධිවසංගතය සහ එමඟින් එල්ල කරන ලද ආර්ථික බලපෑම, 2021 කොතලාවල පනතට එරෙහිව සිදුකරන ලද අරගලයෙන් සන්නිවේදනය වූ පාලක පක්ෂයේ සුජාතභාවයෙහි හායනය, සහ අවසාන වශයෙන් මෙම වසරේ සිදුවූ දැවැන්ත විරෝධතා රැල්ලෙහි ප්‍රතිඵලයක් වශයෙන් අගමැති හා ජනාධිපතිගේ ධූරයෙන් ඉවත් වීම මෙන්ම කිසිදු මහජන පිළිගැනීමක් නොමැති නව ජනාධිපතිවරයෙකුගේ පත්වීම යන සියලු සිදුවීම් තුළ මේ බව විද්‍යාමාන වේ.  

දේශපාලන-ආර්ථික සංසිද්ධීන් සහ විශ්ව විද්‍යාලය යනු එකිනෙකින් විනිර්මුක්ත ඒවා නොවේ. ආඥාදායක පාලනය සහ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීම ශාස්ත්‍රීය සංස්කෘතියට සහ ස්වාධීනත්වයට බලපෑම් කරන බව මෑත අතීතයේ සිදුවීම් දෙස බලන විට පැහැදිලි වේ. නිදසුනක් ලෙස පෙර කී මුස්ලිම්-විරෝධී චින්තනය අපේ මුස්ලිම් ශිෂ්‍යයන්ට බලපෑ අතර, විශ්ව විද්‍යාලය ආරක්ෂක යාන්ත්‍රණයේ ත්‍රස්තවාදය පිළිබඳ කතිකාවේ ගොදුරක් බවට පත්කරලීය. කොතලාවල පනතට එරෙහි අරගලයට විශ්ව විද්‍යාලය අවතීර්ණ වූයේ මඳක් ප්‍රමාද වී මුත්, ඉන් සැළකිය යුතු බලපෑමක් එල්ල කෙරුණි. මෙවැනි සන්දර්භයක් තුළ, මෑත කාලීනව ශිෂ්‍ය නායකයන් සහ අරගලයේ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රජාව නිහඬ වීම ඔවුන්ගේ බුද්ධිමය වගකීම ලජ්ජා සහගත ලෙස අත්හැරීමකි.

ඝට්ඨනයේ මාර්ගය

නූතන රාජ්‍යයන් සමාජය කෙරෙහි අධිපත්‍යය පැතිරවීම සඳහා බලහත්කාරය මෙන්ම අනුමැතියද භාවිතා කරයි. එහෙත් වත්මන් අර්බුදය නිසා ලංකා රාජ්‍යයේ මෙම දෙවන හැකියාවට සීමා පැනවී ඇත. වියදම් කපා හැරීමේ නවලිබරල්වාදී ප්‍රතිපත්ති තුළ සිරවී සිටින පාලක පැලැන්තියට සිය සමාජ පදනම ව්‍යාප්ත කරගැනීම සඳහා රාජ්‍යයේ සම්පත් යෙදවිය නොහැකි වී ඇත; ඇත්තෙන්ම සමාජය තුළ දෘෂ්ටිවාදීමය කතිකාවක් ජනිත කිරීමට අවශ්‍ය සම්පත් යෙදවීමේ හැකියාව පවා රාජ්‍යයට තවදුරටත් නොමැත. එම නිසා ඊට ඇති එකම විකල්පය වන්නේ මර්දනය දියත් කිරීමයි. පසුගිය ජූලි 9 වැනිදා අරගලය කූටප්‍රාප්තියට පත්වීමට හේතු වූ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ පහරදීම් වලින්ද විද්‍යාමාන වන්නේ මෙම සත්‍යයයි.   

පළමුව අරගලයට සම්බන්ධ වූ තරුණයින් 3500 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත්, ශිෂ්‍ය නායකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත භාවිතා කිරීමත් සිදුවිය. ඉන්පසුව පැමිණියේ (ඉක්මණින් හකුලා ගත්) අධි ආරක්‍ෂිත කලාප නිවේදනය කිරීම, සියළු විරෝධතා ව්‍යාපාර පෙර දැනුම්දීමකින් අනතුරුව සිදුකිරීම අනිවාර්ය කිරීමේ නීති හඳුන්වා දීම, සහ අවසාන වශයෙන් විවිධාකාරයේ චෝදනා මත අත්අඩංගුවට ගනුලැබ සිටින පිරිස් පුනරුත්ථාපනය කිරීමට පනතක් යෝජනා කිරීම වැනි ක්‍රියාමාර්ගය. අර්බුදයට විසඳුමක් ලබාදීමට අවශ්‍ය දැක්ම නොමැති පාලන තන්ත්‍රය විසින් මේ සිදුකරන්නේ යුධ සමයේ ප්‍රමාණය ඉක්මවා වර්ධනය කරන ලද ආරක්ෂක යාන්ත්‍රණය භාවිතයෙන් ඔවුන්ගේ නොහැකියාව වසා ගැනීම සඳහා මර්දනය දියත් කිරීමයි. 

වික්‍රමසිංහ-රාජපක්ෂ රෙජිමයේ වැඩිම උත්සාහය ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරය බිඳ දැමීමට නිසා, විශ්ව විද්‍යාල ප්‍රජාව වර්තමානයේ රාජ්‍යය සමඟ ඝට්ඨනකාරී මාවතකට එළඹ තිබේ. පසුගිය කාලයේ දියත් කරන ලද මර්දනය නිසා විශ්ව විද්‍යාලය තුළද ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලී ඇත. ඇත්තෙන්ම පසුගිය දශක ගණනාව තුළ දිගහැරුණු ධෛර්ය සම්පන්න ශිෂ්‍ය ව්‍යාපාර නොවන්නට නිදහස් අධ්‍යාපනය මේ වනවිටත් නැතිව ගොස් තිබෙන්නට ඉඩ තිබුණි.මේ තීරණාත්මක සංධිස්ථානයේදී විශ්ව විද්‍යාල ප්‍රජාව විසින් තමා කුමන පැත්තක් ගන්නේද යන්න තීරණය කළ යුතුය: විශ්ව විද්‍යාල ගුරුවරුන් මේ දියත් වන මර්දනයේ නිහඬ පාර්ශ්වකරුවන් වනවාද, නැතිනම් එහි ප්‍රතිරෝධයේ කොටසක් වනවාද?