මහජන විශ්ව විද්‍යාලයක් සහ ජාතික අර්බුදයක් 

ශාමලා කුමාර් 

මේ ලිපිය ගැන මා සිතන්නට පටන් ගත්තේ කුප්පි සාමූහිකය රජයේ යෝජිත කම්කරු ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යයනය කරන්නට ගත් පසුබිමකය. අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳව වඩා හොඳින් තේරුම් ගැනීම සඳහා ශාස්ත්‍රාලිකයන්ද ඇතුළු පාර්ශ්ව සමඟ අප සාකච්ඡා කිරීම අරඹා තිබූ අතර, අපට ඉතා ඉක්මණින් වැටහුණු කාරණාවක් වූයේ ඒවා ඉතා විවාදාපන්න මෙන්ම බැරෑරුම් ප්‍රතිවිපාක වලට තුඩුදිය හැකි ප්‍රතිසංස්කරණ බවයි. එහෙත් ඒ පිළිබඳ සාකච්ඡාවක් විශ්ව විද්‍යාලය තුළින් ජනිත නොවුණු තරම්ය.   

මෙම යෝජනාවන්හි බැරෑරුම් බව හා ඒ සම්බන්ධ විශ්ව විද්‍යාලයේ නිහඬතාවය පිළිබඳ කල්පනා කරන විට, අපේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියේ අත්‍යාවශ්‍ය ආයතන ලෙස විශ්ව විද්‍යාල විසින් සිය භූමිකාව ඉටු කරනවාද යන්න ගැන ප්‍රශ්න මතුවේ. මේ ලිපියේ මගේ අරමුණ වන්නේ වැදගත් කාරණා සම්බන්ධ විවාද වලින් විශ්ව විද්‍යාලය ඉවත් වී ඇති බවක් පෙනෙන්නේ ඇයිද යන්නත්, අධ්‍යාපන ප්‍රතිපත්තියෙහි වෙනස්කම් සහ වත්මන් නව ලිබරල්වාදී මොහොත විසින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් වල ක්‍රියාකාරී කාරකයන් ලෙස අපේ භූමිකාව තවදුරටත් කප්පාදු කොට ඇත්තේ කෙසේද යන්නත් ගවේෂණය කිරීමයි.   

ලාංකික විශ්ව විද්‍යාල ගුරුවරයාගේ රැකියාව තුළ ඇත්තෙන්ම මහජන මැදිහත්වීම් ධෛර්යමත් කරයි. උසස් වීම් සහ වැඩ ප්‍රමාණය ගණන් හදා බැලීම් වලදී ‘ජාතික සංවර්ධනය’ ට ලොකු වැදගත්කමක් ලබාදෙන බව උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කරන බොහෝ අයට අමතක වන කරුණකි. දියුණු රටවල උසස් විශ්ව විද්‍යාලයන්හි සේවයේ නියුතු ශාස්ත්‍රාලිකයන්ගේ භූමිකාවට වඩා මෙය ඇත්තෙන්ම වෙනස්ය. ඔවුන්ගෙන් මූලිකවම බලාපොරොත්තු වන්නේ අරමුදල් රැස්කිරීමත්, වැඩි බලපෑමක් සහිත ශාස්ත්‍රීය සඟරා වල පල කිරීමත්ය.

එසේම රාජ්‍ය අනුග්‍රහය නොමැති විශ්ව විද්‍යාල වල ගුරුවරුන්ගේ භූමිකාවෙන්ද මෙය වෙනස්ය. ඔවුන්ගෙන් වැඩි වශයෙන්ම බලාපොරොත්තු වන්නේ ඉගැන්වීමේ කාර්යයෙහි නිරත වීමයි. ලංකාවේ බොහෝ රාජ්‍ය විශ්ව විද්‍යාල ගුරුවරු සිය විශේෂඥභාවය ට අදාළ ක්ෂේත්‍ර වල ජාතික හා ජාත්‍යන්තර ආයතන සමඟ එකතු වී සිදුකරන කාර්යයන් මඟින් ජනතාවට සේවය කරති. එම නිසා කම්කරු ප්‍රතිසංස්කරණ වැනි මාතෘකා පිළිබඳ ඇති උනන්දුවෙහි මඳ බව ඒ සඳහා අවශ්‍ය ඉඩ මඳ බව නිසා හටගත්තක් නොවන බව සිහිතබා ගත යුතුය. 

බල ව්‍යුහයන් වලට අභියෝග කිරීම

ප්‍රශ්නය ඇත්තේ විශ්ව විද්‍යාල ගුරුවරයා සිදුකරන මැදිහත්වීම් වල ස්වභාවයෙහිය. නෝම් චොම්ස්කි සහ කෝනෙල් වෙස්ට් වැන්නන් දක්වා ඇති ආකාරයට ශාස්ත්‍රාලිකයාගේ භූමිකාව පවතින බල පද්ධතීන් ශක්තිමත් කිරීමට හෝ ඒවාට අභියෝග කිරීමට යොදාගත හැකිය. ලංකාවේ සන්දර්භය තුළ එමඟින් අදහස් වන්නේ අධිකාරිවාදී රෙජිමය සහ නිර්-ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය තවදුරටත් පැවැත්වීමටත්, ප්‍රභූන්ගේ පන්ති අභිලාශ සාධනය කරන නවලිබරල්වාදී අදහස් ප්‍රතිනිෂ්පාදනය කිරීමටත් අපේ දායකත්වය යොදාගත හැකි බවය.

එසේත් නැතිනම් අපේ රටේ සහ ලෝකයේ බහුතරයක් වන ආන්තීකරණය වූ ප්‍රජාවන් හා සමඟ අපට පෙළ ගැසිය හැකිය. පළමු විකල්පය මඟින් රාජ්‍ය සහයෝගය සහ දේශපාලන අනුග්‍රහය ගෙන එනු ලබන අතර, දෙවැන්න නිසා අපේ ජනප්‍රිය භාවය අඩු වීමත්, බාහිර ප්‍රහාර වලට අප නිරාවරණය වීමත් සිදුවේ. අපේ රටේ දේශපාලන හා ආර්ථික පද්ධතීන් වලින් බැහැර කරන ලද ප්‍රජාවන්ට බලපාන කම්කරු ප්‍රතිසංස්කරණ වැනි දේ පිළිබඳ එතරම් සාකච්ඡාවක් විශ්ව විද්‍යාලය තුළ ජනනය නොවීමට මෙය සමහර විට හේතුවක් විය හැකිය.

නමුත් විශ්ව විද්‍යාල ගුරුවරයාගේ තනතුර වරප්‍රසාද ලත් එකකි; කතා කිරීමේ නිදහස එහි තිබේ. වත්මන් මර්දනකාරී මොහොත තුළ මෙය විශේෂ නිදහසකි. නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර වැන්නන් අත්අඩංගුවට පත්වීම තුළින් විද්‍යාමාන වන්නේ විවේචනය සඳහා භාවිතා කළහැකි ප්‍රහසනය හා සමාජ මාධ්‍ය වැනි අවකාශයන් වේගයෙන් හැකිලීගෙන යන බවයි. මීට ප්‍රතිවිරුද්ධව, විශ්ව විද්‍යාල ගුරුවරයාට සිය හඬ අවදි කිරීම සඳහා විශේෂ ආරක්ෂණ ලබාදී ඇත.  

එසේම අපට තොරතුරු වලට විශේෂිත ප්‍රවේශය ඇති නිසා ඒවා භාවිතයෙන් රජයේ ප්‍රශ්නකාරී දෘෂ්ටිවාදාත්මක ස්ථාවරයන් ගැන හඬ අවදි කිරීමටත්, රජයේ තීරණ වල ඇති සැඟවුනු අභිලාශ කරළියට ගෙන ඒමටත්, මේවා දිගහැරෙන්නා වූ ඓතිහාසික සහ ගෝලීය සන්දර්භය පිළිබඳ විශ්ලේෂණය කිරීමටත් හැකියාව තිබේ. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ නොබිඳිය හැකි කොටසක් ලෙස ධනවාදයේ අවශ්‍යතා වලින් යම් තරමක ස්වාධීනත්වයක්ද අපට ලබාදී තිබේ. එම නිසා අරමුදල් සපයන පෞද්ගලික ආයතන වලට අප උත්තර දියයුතු ප්‍රමාණය සීමා සහිතය. 

අපේ අරමුදල් උත්පාදනය වන්නේ මහජනතාවගේ සාමූහික ශ්‍රමය තුළිනි. එම නිසා ඔවුන්ගෙන් වඩාත් ආන්තීකරණය වූවන්ට බලපාන අන්දමේ ප්‍රතිසංස්කරණ ගෙන එන විට ඒ පිළිබඳ අප නිහඬ වීම ඉතා ප්‍රශ්නකාරීය.   

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් නිහඬ කරවීම 

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් මේ නිහඬතාව ඉදිරියේදී වඩාත් තීව්‍ර වනු ඇත. මෙම වෙනස්කම් තුළින් විශ්ව විද්‍යාලය සහ බාහිර සමාජයේ වඩාත් ආන්තීකරණය වූවන් සම්බන්ධ කිරීමට ලබාදී ඇත්තේ අවම දායකත්වයකි.

නිදසුනක් ලෙස, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් පර්යේෂණ වල ගුණාත්මක භාවය පිළිබඳ තක්සේරු කරන්නේ ‘ගෝලීයව අදාලත්වයක් ඇති’ යන නිර්ණායකය මත පදනම්ව මිස ප්‍රාදේශීය ගැටළු හා සම්බන්ධ වීම යන කාරණය මත නොවේ. ඉහළ පෙළේ ශාස්ත්‍රීය සඟරාද මේ භාවිතය ප්‍රතිනිෂ්පාදනය කරයි.   

සිය වැටුපෙහි අඩංගු පර්යේෂණ දීමනාව ලබාගැනීම සඳහාද විශ්ව විද්‍යාල ප්‍රජාවට පර්යේෂණ අරමුදල් සපයන ආයතන වල අවශ්‍යතා වලට වැඩ කිරීමට සිදුව ඇත. එහිදීද ප්‍රාදේශීය අවශ්‍යතා වෙනුවට ගෝලීයව අදාළත්වයක් ඇති පර්යේෂණ කිරීමේ පීඩනයක් ක්‍රියාත්මක වේ. එම නිසා එම දෘෂ්ටිවාද ප්‍රශ්න කිරීමේ හැකියාවද අනාගතයේ තවදුරටත් හීනවී යනු ඇත.  

අප උගන්වන දෙයෙහි අන්තර්ගතයද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මඟ පෙන්වීම යටතේ ‘කුසලතා’ ලබා දීම කෙරෙහි වඩාත් නැඹුරු කොට ඇත.මෙවැනි ඉතා තාක්ෂණික ආකාරයේ පුහුණුවක් ඔස්සේ වත්මන් ගැටළු වලට හේතු වූ දෘෂ්ටිවාදාත්මක සහ ඓතිහාසික හේතූන් පිළිබඳ විචාරයද අපෙන් ගිලිහේ.

නිදසුනක් ලෙස, කෘෂිකර්මය හදාරන සිසුන්ට පොහොර ආනයනය කිරීමේ පිරිවැය අඩු කිරීමට ‘විසඳුම්’ සෙවීමේ කාර්යය පැවරුවේ යැයි සිතමු. නමුත් ඔවුන්ට ලබාදෙන පුහුණුව තුළ පොහොර ලබාගැනීමට අප බාහිර මත යැපීමේ ඉතිහාසයෙහි හේතු-ඵල සම්බන්ධය සාකච්ඡා කෙරෙන්නේ නැත. මෙමඟින් කොතරම් දුරට විචාරාත්මකව ප්‍රශ්නයේ මූලය කරා යා හැකිද යන්න ගැටළුවකි.  

මේවා ලංකාවට සුවිශේෂී ප්‍රවණතා නොවේ. ගෝලීයවද ඒවා දක්නට ඇත. මෙවැනි ආකාරයේ අධ්‍යාපනයක් තුළින් වත්මන් මොහොතට ප්‍රතිචාර දැක්වීමේ ඉඩ ඉතා අවම කරයි. මන්ද එමඟින් අරමුණු කරන්නේ කලින් තීරණය කරන ලද ප්‍රමිතීන් සාධනය කරගැනීම පමණක් වන නිසාය. පසුගිය වසංගත සමය තුළ මේ තත්වය ඉතා පැහැදිලිව පෙනුණි. අප වටා පැවති ලෝකය කඩා වැටෙද්දී පවා අපි එකම දෙය ඉගැන්වූයෙමු. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අධ්‍යාපනයට ඇති අරමුදල් කපා හැරි පසු අධ්‍යාපනයට ඇති ප්‍රවේශය ඒ සඳහා ඇති මූල්‍ය පහසුකම් වලට ඇති ප්‍රවේශය මත තීරණය වනු ඇත. එහෙත් පවතින ආර්ථික අර්බුදය තුළ එය නොවැළක්විය හැකි දෙයක් බව සාධාරණීකරණය කෙරෙනු ඇත.     

එහෙත් ගෝලීයව ධනවාදය මඟින් මෙහෙයවනු ලබන පද්ධතියක අර්බුදය යනු සාමාන්‍ය තත්වය මිස ව්‍යතිරේඛයක් නොවේ. අර්බුද අවස්ථාවන් වල ඉක්මන් ප්‍රතිචාර දැක්වීම බලාපොරොත්තු වන අතර, ගැඹුරු විශ්ලේෂණය අප්‍රායෝගික, කාලය කා දමන, එමෙන්ම භයානක දෙයක් ලෙස පවා සැළකේ. රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා පිළිබඳ විවේචනාත්මක පිරිසටද මෙම චෝදනාව එල්ල වේ. ඒ වෙනුවට කරන්නේ අර්බුද තුළ ඇති ප්‍රශ්න තනි තනි ඒවා සේ ගෙන, ඒවාට පටු විශ්ලේෂණ මත පදනම් වූ විසඳුම් යෝජනා කිරීමයි. නමුත් විශ්ව විද්‍යාලයේ සාමාජිකයන් වන අප ගැටළු දෙස මීට වඩා ගැඹුරින් බැලිය යුත්තේ, එසේ නොකිරීම තුළින් ආන්තීකරණයට ලක් වූවන්ගේ තත්වය තවත් බැරෑරුම් වියහැකි බැවිනි. 

මෙවැනි තත්වයක් තුළ, සමාජයේ අඩුවෙන්ම හඬක් ඇති පිරිස වෙනුවෙන් පෙනී සිටීමට විශ්ව විද්‍යාලය තුළ අප අවකාශය විවෘත කරගන්නේ කෙසේද? අපව තවදුරටත් සමාජයෙන් හුදෙකලා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අප ප්‍රතිරෝධය දක්වන්නේ කෙසේද? මීට ආරම්භයක් ගැනීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ පුළුල් කිරීමෙහිලා අපේ භූමිකාව පිළිබඳ අප සවිඥානික විය යුතුය. එසේම විශ්ව විද්‍යාලය තුළ මහජනතාව උදෙසා අවකාශයන් විවෘත කිරීමට හිතාමතාම උත්සාහ ගත යුතුය.

මෑතදී පැවැත්වූ ‘විවෘත දිනය’ (Open Day) නිවැරදි දිශානතියෙහි තැබූ පියවරක් සේ පෙනේ. නමුත් විශ්ව විද්‍යාලය යනු හුදු ‘විවෘත දිනය’ තුළ පමණක් නොව, සෑම දිනයකම මහජනතාවට විවෘතව පැවතිය යුතු අවකාශයකි. එසේම විශ්ව විද්‍යාලය තුළ ගනු ලබන පරිපාලන තීරණ නිසා රජයක අසාධාරණ ප්‍රතිපත්ති වලට එරෙහිව ක්‍රියාත්මක වීමට අපට ඇති අවකාශය හකුළුවා දමන සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව හඬ නැඟීමට හැකිවන ආකාරයේ පරිසරයක් විශ්ව විද්‍යාලය තුළ නිර්මාණය කළ යුතුය. මේ සඳහා තබන ආරම්භක පියවරක් වශයෙන් වත්මන් අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන යොදාගත හැකිය. එහිදී ගැටළුව මෙතරම් තීව්‍ර වීමට සහ මහජන මුදල් කෝටි ගණනින් ‘අතුරුදන් වීමට’ හේතු වූ බැඳුම්කර වංචාව පිළිබඳ අවබෝධයක් ලබාගැනීම මෙන්ම, වත්මන් අර්බුදකාරී තත්වය තුළ සමාජමය වශයෙන් වඩාත් සාධාරණ වූ ධන බද්දක් (wealth tax) පැනවීම වැනි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමද කළ යුතුය.