මැක්-අධ්‍යාපනය: STEM / STEAM අධ්‍යාපනයේ ගැටළු සහ අභියෝග

සුදේශ් මන්තිලක 

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික විද්‍යා පදනම (National Science Foundation) සහ ජාතික අධ්‍යාපන ආයතනය (National Institute of Education) යන ත්‍රිත්වය එක්ව 2023 මාර්තු 31 දින කොළඹ රාජකීය විද්‍යාලයේ උත්සවයක් සංවිධානය කරන්නට යෙදුනි. එහිදී සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත දන්වා සිටියේ 2024 සිට රටේ අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනයක් සිදුවනු ඇති බවත්, ඒ සඳහා STEAM අධ්‍යාපනය [Science (විද්‍යාව), Technology (තාක්ෂණය), Engineering (ඉංජිනේරු විද්‍යාව), Arts (කලා විෂයන්), Mathematics (ගණිතය)] හඳුන්වා දෙන බවත්ය. මෙම STEAM අධ්‍යාපනය මීට පෙර ජාතික විද්‍යා පදනමේ මූලික සම්බන්ධීකාරකත්වයෙන් හඳුන්වා දුන් STEM අධ්‍යාපනයෙන් වෙනස්ය. මෙසේ ක්ෂණිකව වෙනස් කරන තීරණ මගින් රටේ අධ්‍යාපනයෙහි අනාගතය පිළිබඳව වැදගත් ප්‍රශ්න මතු කරයි: මෙවැනි ප්‍රතිපත්ති තීරණයක් ගනු ලැබූයේ නිසි උපදෙස් හා විචාර ක්‍රියාවලියකින් පසුද? STEM අධ්‍යාපනය මෙන් STEAM අධ්‍යාපනයද ඉතා උපයෝගීතාවාදී රාමුවක් තුළ සිරවනු ඇතිද? මෙවැනි ආකාරයේ අධ්‍යාපනයකින් නියෝජනය වන්නේ වාණිජ අරමුණු සාක්ෂාත් කරන ආකාරයේ ව්‍යාපාර මාදිලියක්ද? වඩාත්ම වැදගත් ප්‍රශ්නය වන්නේ STEAM අධ්‍යාපනය තුළින් අපේ අධ්‍යාපන පද්ධතිය තුළ පවතින දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන්නේද යන්නයි.  

STEM හා STEAM අධ්‍යාපනය 

STEM අධ්‍යාපනය ඇමෙරිකාව තුළ ප්‍රචලිත වූයේ 21 වන ශතවර්ෂය ආරම්භයේ එක්රැස් වූ Tapping America’s Potential (TAP) නමැති ව්‍යාපාර කවයෙහි සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි. ඔවුන්ගේ තර්කය වූයේ 21 වන සියවස තුළ ඇමෙරිකාවෙහි තරඟකාරීත්වය රඳවා ගැනීමට නම් අනාගතයේ නව සොයාගැනීම් කළ හැකි විද්‍යාඥයින් හා ඉංජිනේරුවන් බිහි කිරීමට ආයෝජනය කළ යුතු බවයි. 2007 වසර වනවිට ඇමෙරිකානු ජාතික පර්යේෂණ මණ්ඩලය සිය පර්යේෂණ න්‍යාය පත්‍රයෙහි ‘විද්‍යා හා තාක්ෂණික නව නිපැයුම්’ යන්න අඩංගු කොට තිබුණි. මේ අතර STEM විෂයන්වලට ලැබෙන රාජ්‍ය හා වාණිජ අනුග්‍රහය වැඩි වෙත්ම කලා විෂයන්වලට වෙනකොට තිබූ අරමුදල් ප්‍රමාණය අඩුවන්නට පටන් ගැනුණේ අධ්‍යාපන ක්‍රමයේ අසමතුලිතතාවක් ඇති කරමිනි.  

2013 වසරේදී කලා හා විද්‍යා විෂයන් පිළිබඳ ඇමෙරිකානු ඇකඩමිය (American Academy of Arts and Sciences) විසින් ‘කාරණයේ හදවත’ (‘The Heart of the Matter’) යන මැයෙන් වාර්තාවක් පළ කරන්නට යෙදුනේ මෙවැනි පසුබිමක් තුළය. එහිදී මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයන් වෙනුවෙන් පෙනී සිටීමින් එම වාර්තාව පවසා තිබුණේ විද්‍යා විෂයන්වලින් පමණක් සමාජමය අරමුණු සාධනය කරගත නොහැකි බවයි. මේ පිළිබඳ 2022 පෙබරවාරි මස 22 වැනි දින පළ වූ මගේ කුප්පි ලිපියේ අදහස් දක්වා ඇත. ලංකාවේ STEM/STEAM පිළිබඳ ඉතිහාසය ඉතා කෙටි එකක් වුවත්, ලෝක තලයෙහි මීට කලකට ඉහතම STEM අධ්‍යාපනය STEAM අධ්‍යාපනය බවට පරිවර්තනය වන්නේ මා ඉහත කී මානවශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාවල වැදගත්කම පිළිබඳ කතිකාවෙහි ප්‍රතිඵලයක් ලෙසය.   

මැක්-අධ්‍යාපනය

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් යෝජනා කොට ඇත්තේ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනය කිරීම සඳහා ක්ෂණික පැකේජයකි. මැක්ඩොනල්ඩ්ස් ආපනශාලාවල ක්ෂණික ආහාර මෙන්, මෙම මැක්-අධ්‍යාපනය මඟින් ඉක්මන් ප්‍රතිඵල, විශේෂයෙන්ම වඩා හොඳ ‘නිමවුම්’ (එනම් සිසුන්) අපේක්ෂා කෙරේ. එහිදී අනුගමනය කෙරෙන්නේ අධ්‍යාපනය පිළිබඳ වාණිජවේදී දැක්මකි. STEM යන්නට හුදු A අකුරක් එකතු කිරීම විනා ඉන් ඇඟවුම් කරන දේ පිළිබඳ විචාරයක් එහි නොමැත. එය හරියට චීස් නොමැතිව නිපැයූ මැක්ඩොනල්ඩ්ස් බර්ගර් එකකට චීස් පසුව එකතු කොට ඊට ‘චීස් බර්ගර්’ කියන්නාක් වැනිය.

STEM වුවත් STEAM වුවත්, මෙම මාදිලි දෙකෙන්ම කෙරෙන්නේ අධ්‍යාපනය පිළිබඳ ඉතා පටු, වාණිජමය දැක්මක් ප්‍රවර්ධනය කිරීමය. මාර්තු 31 රැස්වීමේදී ඇමතිවරයා කියා සිටියේ “තව අවුරුදු 10-15 ක් යනකොට අද අපි දකින, අපි ඉලක්ක කරන වෘත්තීන් ලෝකෙ නෑ. අලුත් වෘත්තීන් ඒකට ආදේශ වෙනවා. ඒ ගැන හිතලයි අපි කටයුතු කරන්න ඕනේ” යන්නය. STEAM අධ්‍යාපනයද එසේ නම් අරමුණු කරන්නේ අනාගත රැකියා වෙළඳපොළ බව පැහැදිලිය. “රැකියා ලෝකය” තුළ ඉල්ලා සිටින්නා වූ කුසලතා සිසුන්ට ලබා නොදෙන්නේ යැයි කියමින් ටික කාලයක් තිස්සේ කලා පීඨ කෙරෙහි විවේචන එල්ල වන්නේද මෙවන් රාමුවක් තුළයි.  

ගෝලීය තලයේදී STEAM අධ්‍යාපනය වෙත රටවල් ප්‍රවිෂ්ඨ වී ඇත්තේ කරුණු දෙකක් මත පිහිටාය: 1) නව නිපැයුම් සඳහා කලාව හා නිර්මාණශීලීත්වය අත්‍යාවශ්‍ය වේ; 2) විචාරාත්මක, නිර්මාණශීලී සහ සහකම්පනයක් සහිත පුරවැසියෙකු නිර්මාණය කිරීම සඳහා කලා විෂයන් අත්‍යාවශ්‍ය වේ. චීනය වැනි සමහර රටවල් මින් පළමු කරුණට වැඩි වැදගත්කමක් දෙන අතර, සමහර යුරෝපීය රටවල දෙවෙනි කරුණ කෙරෙහි වැඩි අවධානයක් යොමුවනු දැකගත හැකිය. අමාත්‍යවරයාගේ කතාවෙන් පැහැදිලි වන්නේ ලංකාවද පළමු සාධකයට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙන බවය.    

STEM/ STEAM අධ්‍යාපනයෙන් අපේ ගැටළු විසඳිය නොහැක 

ලංකාවේ අධ්‍යාපනය තුළ පවතින ඔඩුදුවා ඇති ගැටළුවලට STEM/ STEAM අධ්‍යාපනය වැනි ආකෘතිවලින් පිළිතුරු සෙවිය නොහැකිය. අධ්‍යාපනය කෙරෙහි වන රාජ්‍ය ආයෝජනය එන්න එන්නටම අඩු වන පසුබිමක පැන නඟින සම්පත් හිඟතාව වැනි අර්බුද මෙම ගැටළුවලට සැලකිය යුතු තරම් දුරට හේතු වී තිබේ. වත්මන් පාසල් ගුරු, විශ්වවිද්‍යාල ආචාර්ය සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය වර්ජනවලටද මෙම ගැටළු විශාල හේතුවක් වී ඇත. ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාර හෙලා දකිමින් අමාත්‍යවරයා කළ කතාවෙන් පැහැදිලි වන්නේ STEM/ STEAM අධ්‍යාපනය සිසුන් ‘හික්මවනු’ ඇති බවට බලාපොරොත්තුවක් පවතින බවයි: “අපේ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න ඕන දරුවෝ, විශ්ව දැනුම ලබා ගන්න ඕන අය, ඒක පැත්තකින් තියලා පොලිසියෙන් කඳුළු ගෑස් කනවා; පාර දිගේ. ඉතිං මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේක වෙනස් වෙන්න ඕනෙ.” ශිෂ්‍ය විරෝධතාවලට හේතු වන සංකීර්ණ කරුණුවලට අමාත්‍යවරයා අවධානය නොදේ. ඔවුන්ගේ ඉල්ලීම් අතර ප්‍රධාන එකක් වන්නේ වඩා හොඳ අනාගතයක් සඳහා වන ඉල්ලීමයි. පවතින පද්ධතිය ඔවුහු විවේචනය කරති. යෝජිත STEM/ STEAM අධ්‍යාපනය එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනු ඇතැයි සිතිය නොහැක.     

ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර පවතින විශමතා කිසිදු අධ්‍යාපන යෝජනාවකට නොසළකා හැර දැමිය නොහැක. ග්‍රාමීය සහ නාගරික ප්‍රජාවන්, සාපේක්ෂව අඩු වරප්‍රසාද ලත් ප්‍රජාවන් (වතුකර ප්‍රජාව වැනි), සිංහල, දෙමළ, ඉංග්‍රීසි වැනි විවිධ මාධ්‍යයන්ගෙන් ඉගෙනගත් ප්‍රජාවන්, දුෂ්කර දිස්ත්‍රික්කවල පවතින පුහුණු ගුරු හිඟය, දරුවන්ගේ අධ්‍යාපනයට දෙමාපියන් දක්වන සහයෝගයේ වෙනස්කම, මේවා සමාජ-ආර්ථික සාධක මත පදනම්වේ. එමෙන්ම මන්ද පෝෂණය සහ වෙනත් සමාජමය ප්‍රශ්න හේතුවෙන් බලපෑමට ලක්වන ශිෂ්‍ය කුසලතා වැනි වෙනස්කම් රාශියක් ඒ අතර පවතියි. කොළඹ නාගරික පාසල් මත පදනම්ව සියල්ලන්ට අදාළ ප්‍රමිතීන් නිර්මාණය කළ නොහැක. සියලු පාසල්වලට විද්‍යා විෂයන් ඉගැන්වීමේ පහසුකම් ඇති බව STEM/ STEAM අධ්‍යාපනය උපකල්පනය කරයි. නමුත් ග්‍රාමීය ප්‍රදේශවල ගුරුවරුන්ගෙන් කී දෙනෙක්ට විද්‍යා විෂයන් ඉගැන්වීමේ හැකියාව තිබේද? විද්‍යා විෂයන් හැදෑරීම සඳහා පාසල්වල පහසුකම් නොමැති නිසා කලා විෂයන් හැදෑරීමට සිදුව ඇති වතුකර දරුවන්ගේ තත්වය කුමක්ද? අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්කරන ප්‍රමාණය ඉහළ දමා, සම්පත් වඩා සාධාරණ ලෙස බෙදා හැරීමට රජය සූදානම්ද? කලා හා විද්‍යා විෂයන් ඒකාබද්ධ කොට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අපගේ විශ්වවිද්‍යාල සූදානම්ද? පීඨ අතර ඒකාබද්ධතාව කෙසේ වෙතත්, එකම පීඨයක් ඇතුළත බඳවා ගැනීම් වළක්වා ඇත. උදාහරණයක් ලෙස, තුලනාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් ආචාර්ය උපධියක් ලත් ශාස්ත්‍රඥයකු ලලිත කලා අධ්‍යයනාංශයට බඳවා ගැනීමට වරක් නොහැකි වූයේ, ඉහළ පරිපාලනයට අනුව සාහිත්‍යය යන්න ලලිත කලාවට අයත් නොවන විෂයක් බැවිනි.

STEAM අධ්‍යාපනය සාර්ථකව හඳුන්වා දුන්නත්, නව නිපැයුම් සිදුකළ හැකි ආකාරයේ කර්මාන්ත පසුබිමක් අපේ රටේ තිබේද? අතීතයේදී නව නිපැයුම් කළ සිසුන්ට අවශ්‍ය සහය රජයෙන් නොලැබුණි. ඉදිරි වසර කිහිපය තුළ එය වෙනස් වේ යැයි අපට ඇති සහතිකය කුමක්ද? STEAM අධ්‍යාපනය තුළින් සිසුන් අතර තරඟකාරීත්වය අඩු කිරීමට අමාත්‍යවරයා කළ යෝජනාව ප්‍රශංසනීය වුවත්, එය කරන්නේ කෙසේදැයි පැහැදිලි නැත. අවස්ථාවල හිඟකම තුළින්ම තරඟකාරීත්වය ඇතිකෙරේ. එසේ නම් වඩා පුළුල් අවස්ථා නිර්මාණය කරන්නේ කෙසේදැයි සිතා බැලිය යුතුය. 

සැබවින්ම විෂයාන්තර ප්‍රවේශයක් 

කලා හා විද්‍යා විෂයන් සංකලනය වූ අධ්‍යාපන ක්‍රමයක් ගොඩනඟා ගැනීම අනාගතය සඳහා විසඳුමකි. එහෙත් කලා විෂයන්, විද්‍යා විෂයන් ඉගැන්වීම සඳහා ඇති මෙවලමක් පමණක් බවට ලඝු නොකළ යුතුය. නිදසුනක් ලෙස විද්‍යා විෂයන්වල කරුණු මතක තබා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස සංගීතය භාවිත වන අවස්ථාවන් තිබේ. මෙය සිසුන්ට ආස්වාදජනක අයුරින් අධ්‍යාපනය ලබාදීමට හොඳ ක්‍රමවේදයක් බව මම පිළිගනිමි. එහෙත් එමඟින් කලා විෂයන් හෑල්ලුවට ලක් කරයි. කලා විෂයන්වල අරමුණ විය යුත්තේ විද්‍යා විෂයන්වලට අත දීම පමණක් නොවේ. දරුවෙකු නර්තනය හැදෑරිය යුත්තේ එමගින් ඔවුන්ගේ ශරීරයේ ශක්තීන්, දුර්වලතා හඳුනා ගැනීමටත්, ඔවුන්ගේ හැඟීම් අවබෝධ කොට ගැනීමටත්, ඔවුන්ගේ චිත්තවේගයන් ප්‍රකාශ කිරීමටත් හැකි වන නිසාය. එම නිසා සිදුකළ යුත්තේ කලාව විද්‍යාව ඉගැන්වීමේ හුදු වෙමලමක් නොකොට, විද්‍යාවට කලාව සමඟත්, කලාවට විද්‍යාව සමඟත් එකට වැඩකළ හැකි සැබෑ විෂයාන්තර වටපිටාවක් ගොඩනඟා ගැනීමයි.

STEM ප්‍රවේශය තුළ ඇති උපකල්පනයක් වන්නේ විද්‍යාව තුළින් පරම සත්‍යය ප්‍රකාශ වන බවත්, එය ඕනෑම තැනක එක සේ වලංගු වන බවත්ය. අධ්‍යාපනය තුළ අප ගනුදෙනු කරන්නේ සුවිශේෂී අනන්‍යතා සහිත සිසුන්ගේ මනස් සමඟය. කැනඩාවේ මැක්ගිල් විශ්වවිද්‍යාලයේ සමාජ සහ සංක්‍රාන්ති සංස්කෘතික මනෝ විද්‍යාව පිළිබඳ ඒකකයේ (Social and Transcultural Psychiatry Division of the McGill University) මහාචාර්ය ලෝරන්ස් කිර්මෙයර්ට අනුව සියලු ආකාරයේ දැනුම (විද්‍යාත්මක දැනුමද ඇතුළුව) සමාජ-සංස්කෘතික සාධකවලින් බලපෑමට ලක්වේ. ස්නායු විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ විචාරාත්මක අධ්‍යයන පදනම් කොට ගෙන ඔවුන් පවසන්නේ විද්‍යාව සහ කලාව අතර විෂයාන්තර සම්බන්ධතාවක් තිබිය යුතු බවයි. එය අපගේ අනාගතය සඳහා ප්‍රාඥාවන්තම මාර්ගයයි.