යටත්විජිතහරණය විය යුතු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල

කෞශල්‍යා හේරත්

විශ්විද්‍යාල යටත්විජිතහරණය කිරීම පිළිබඳ සාකච්චාව ගෝලීය දකුණේ පමණක් නොව උතුරේද විශ්වවිද්‍යාල වල ප්‍රචලිත වෙමින් පවතී. ඒ සාකච්චාව අලුත් වන අතර බොහෝ කාරණා තවමත් ඇත්තේ අවබෝධ කරගැනීමට දරන උත්සාහයන් මට්ටමේය. බටහිර අධිරාජ්‍යවාදී පාලනයේ සංස්කෘතික යටත් කරගැනීමේ මාදිලියක් ලෙස ඇරඹුන උසස් අධ්‍යාපන ආයතන නිදහසෙන් පසුත්, තවමත් අධිරාජ්‍යවාදී සෙවනැලි වලින් වැසී පවතී. බටහිර ඥාන මීමාංසාව සහ න්‍යායන් ශිෂ්‍යයින්ට උගන්වන, ඒ හරහා අපගේ ජිවිත, සමාජය සහ අවකාශ තේරුම් ගැනීමට සහ හැඩගස්වා ගැනීමට අනුබල දෙන ආයතන බවට අප විශ්වවිද්‍යාල ලඝු කර ඇත. මෑත කාලීනව ලංකාවේ ඇති වූ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය රටේ ආර්ථිකයට සහ සංවර්ධනයට රුකුල් නොදෙන හෙයින් පලදායී නොවන බවත් එබැවින් විද්‍යාව, තාක්ෂනය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) අංශ වලට ප්‍රමුකතාවය දිය යුතුය යන සාකච්චාව හා සංසන්දනාත්මකව යටත්විජිතහරණය පිළිබඳ සාකච්චාව විශ්ලේෂණය කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

යටත්විජිත දැනුම් පද්ධති

පෙරදිගවාදයේ දී එඩ්වඩ් සයිඩ් තර්ක කරන පරිදි, අපේ ඉතිහාස පිළිබඳ මෙන්ම අප පිළිබඳ අප දන්නා සහ අවබෝධ කර ගන්නා දේවල් බටහිර ඥාන මීමාංසාව හා යුරෝ-කේන්ද්‍රීය දෘෂ්ටිකෝණ තුළින් ගොඩනැඟී ඇත. අන්ද්‍රේ ගුන්ඩර් ෆ්‍රෑන්ක් සහ ආර්තුරෝ එස්කෝබාර් වැනි පශ්චාත්-සංවර්ධන න්‍යායාචාර්යවරුන් තවදුරටත් පෙන්වා දෙන්නේ තුන්වන ලෝකයේ යැයි හැඳින්වෙන රටවල නොදියුණු බව ඇති කළ “සංවර්ධන ක්‍රියාවලිය” විසින්ම එම රටවල් පිලිබඳ දැනුම සහ දැනුම ගවේෂණය කරන ප්‍රාදේශීය ක්‍රමවේදයන් නොසලකා හැරීමට ලක් කර ඇති බවයි. යුරෝ-කේන්ද්‍රීය ඥාන මීමාංසාවේ තවත් ලක්ෂණයක් වන්නේ එය ස්වභාවික විද්‍යා සහ මානව ශාස්ත්‍ර ධුරාවලිගත කිරීමයි. නවලිබරල් වෙළඳපල හරහා සිදු කෙරෙන්නේද මෙවැනිම ආකාරයක ධුරාවලිගත කිරීමකි. අධිරාජ්‍යවාදය සමඟ සංස්කෘතික යටත්විජිතකරණයේ වාහකයින් ලෙස ක්‍රියාත්මක වුන විශ්වවිද්‍යාල නැවත වරක් නව ලිබරල් වෙළඳපල සහ පුද්ගලික සංස්ථාවන්ට ගැලපෙන මානව ප්‍රාග්ධනය නිෂ්පාදනය කරන ආයතන ලෙස එකම යුරෝ-කෙන්ද්‍රීය ඥාන මීමාංසාවන් සහ බල ව්‍යුහයන් ප්‍රතිස්ථාපනය කරන ආයතන බවට පත්වී තිබේ. විශ්වවිද්‍යාල යටත්විජිතහරණය කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ මෙම යුරෝකෙන්ද්‍රීය ක්‍රමවේදයන් හා ඒ හරහා සකස්වෙන බල ව්‍යුහයන් අවබෝධ කරගැනීම, සහ දේශීය සමාජය හා අවකාශය තේරුම් ගැනීමට අවශ්‍ය දැනුම් පද්ධති සහ ඥාන මීමාංසාත්මක ක්‍රමවේදයන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට හඳුන්වාදීමයි. මෙහිදී මෙසේ දේශීය ක්‍රමවේදයන් හඳුනාගැනීම යනුවෙන් අදහස් කෙරෙන්නේ බටහිර න්‍යායන් සම්පුර්ණයෙන් බැහැර කරන ජාතිවාදී අන්තයකට ගමන් කිරීම නොවේ. ඉන් අදහස් වන්නේ වෙනත් සමාජ හා අවකාශ වලින් පැන නැගුණු න්‍යායන් සම්පුර්ණයෙන්ම ආදේශ කරමින් ලාංකික සමාජය තේරුම් ගැනීමට ඔබ්බෙන් ගොස් අප සමාජය හා අවකාශය දෙස විචක්ෂනශීලීව පිරික්සමින් ඒවා තේරුම් ගැනීමට සහ පරිකල්පනය කිරීමට අවශ්‍ය දැනුම සහ න්‍යායන් ගොඩ නැංවීමයි.

දේශීය සමාජ ක්‍රියාවලීන් අවබෝධ කර ගැනීම සඳහා විචාරාත්මක හෝ උද්ගාමී ප්‍රවේශයන් භාවිතා කරන අධ්‍යාපනික ක්‍රම තීරණාත්මක ය. දේශීය දැනුම් පද්ධති අවබෝධ කර ගැනීමට සහ න්‍යායගත කිරීමට විශ්වවිද්‍යාල යාන්ත්‍රණයන් සකස් කළ යුතුය. ජාතිකවාදයේ අනෙක් අන්තයට නොගොස් විශ්වවිද්‍යාල විසින් දැනුම නිපදවීමේ යටත් විජිතකරණය අවසන් කොට මෙම ක්‍රියාවලිය දේශීයකරණය කළ හැක්කේ කෙසේද යන්න තරමක් අපහසු කාර්යයක් වන අතර එයට සංවාද සහ ප්‍රත්‍යවේක්ෂණයන් අවශ්‍ය වේ.

උද්යෝගිමත් හා විචාරාත්මක චින්තනය දැල්වීම

දැනුම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු ලෙස කටයුතු කළ හැකිය සහ ඔවුන්ගේම න්‍යායන් සහ දැනුමක නිම–ාණකරුවන් විය හැකිය යන අදහස සිසුන්ට ඇති කිරීම විශ්වවිද්‍යාල වල වගකීමකි. දැනටමත් යම් ආකාරයක දැනුමක් හා සංවේදීතාවයක් ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ දැනුම සංවාද කිරීමට හා ගොඩනැගීමට හැකි ස්ථාන ලෙස විශ්වවිද්‍යාල ගොඩනැගිය යුතුය. නමුත් අද බොහෝ විශ්වවිද්‍යාල කටයුතු කරන්නේ, යම් විෂයයක් පිළිබඳව ශුන්‍ය දැනුමක් ඇති උපාධි අපේක්ෂකයින්ට දැනුම ගබඩා කර ගැනීමට ආධාරකයක් වශයෙනි. ශිෂ්‍යයින්ගේ ජීවන අත්දැකීම් හා බැදුණු දැනුම මෙහිදී නොසලකා හැරීම හෝ බැහැර කිරීම පීඩාකාරී මෙන්ම ප්‍රචණ්ඩකාරී ය. සමාජ ගැටලු ගවේෂණය කිරීමට සහ අවබෝධ කර ගැනීමට උපාධි අපේක්ෂකයින් තුළ උද්‍යෝගයක් ඇති කිරීමට නම්, අප ඔවුන්ගේ ඉතිහාසය, අත්දැකීම් සහ අභිලාෂයන්ට අදාළව අධ්‍යාපන ක්‍රියාවලීන් ගොඩනැගීම ඉතා වැදගත් වේ. උද්යෝගිමත් සහ විචක්ෂනශීලි චින්තකයෙක් ලෙස වැඩීමට නම් උපාධි අපේක්ෂකයින්ට තමන්ට බද්ධ වූ දැනුමක හවුල් කරුවෙකු විය හැකි අධ්‍යාපන ක්‍රමයක් සහිත යටත්විජිතහරණය වූ විශ්වවිද්‍යාල අවශ්‍ය වේ

රැකියාව සඳහා අධ්යාපනය?

අද බොහෝ උපාධි පාඨමාලා, උපාධිධාරීන් ආයතනික රැකියා සඳහා පුහුණු කිරීම වෙනුවෙන් ප්‍රායෝගික හෝ සීමාවාසික පුහුණුව ඇතුළත් කර තිබේ. එවැනි පුහුණු අවස්ථා තුළින් යමක ප්‍රයෝගික නිරත වෙමින් පුහුණුව ලැබීමට සිසුන්ට හැකි වන නමුත්, මේ ඔස්සේ පෞද්ගලික සංස්ථාවන්ට හා ආයතන වලට ඔවුන් උපාධිධාරීන්ගෙන් බලාපොරොත්තු වන දේ නියම කිරීමට හෝ විෂය මාලාවට බලපෑම් කිරීමට ඉඩ නොතැබිය යුතුය. ආයතනික අංශයේ අවශ්‍යතා අතරට, වැඩ කිරීම සඳහා ඇති දැනුම හා කුසලතාවන් පමණක් නොව සේවා ස්ථානයට ගැලපෙන “මෘදු කුසලතා” ද ඇතුළත් ය. වරෙක සංස්කෘතික යටත්විජිතකරණයේ විධායකයින් වූ විශ්වවිද්‍යාල, ආයතනික අංශය විසින් යටත් කර ගනිමින් පවතින අතර එහිදී විශ්වවිද්‍යාල විසින් ආයතනික සංස්කෘතියට ගැලපෙන පරිදි සේවකයෙකු බිහිකිරීමේ මාවතකට පිවිසෙමින් ඇත. මේ රැකියා ස්ථාන ඉලක්ක කරගෙන පමණක් දැනුම, කුසලතා හා මෘදු කුසලතා උපාධි අපේක්ෂකයින්ට ලබාදෙන ආයතන වීමෙන් විශ්වවිද්‍යාල වල අරමුණ විවේචනාත්මක චින්තකයින් සහ නව දැනුම ගොඩනගන කේන්ද්‍රස්ථානයක සිට නවලිබරල් වෙළඳපලට මානව ප්‍රාග්ධන “මූලද්‍රව්‍ය”  සපයන යාන්ත්‍රණයක් බවට ලඝු වී ඇත.

විවේචනාත්මක චින්තකයින් සහ නව දැනුම ගොඩනගන කේන්ද්‍රස්ථානයක සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍රය අනිවාර්යයෙන්ම සුවිශාල කාර්යභාරයක් ඉටුකරයි. කෙසේ වෙතත්, මෙම තීරුවේ කලින් සාකච්ඡා කළ පරිදි ස්වාභාවික විද්‍යාව සහ කලාව අතර ධූරාවලිය සිසුන්ව ස්වාභාවික විද්‍යා ධාරාවන් තෝරා ගැනීමට තල්ලු කරන අතර, එනිසාම යෞවනයන් බොහෝ විට විෂය ධාරාවන් තෝරා ගන්නේ ආශාවකින් හෝ අරමුණකින් නොව විෂයන් අතර ඇති බල ධුරාවලිය මත පදනම්වය.

සෑම වසරකම උසස් පෙළ විභාගයෙන් පසුව, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ගෙන් මා වෙත ඇමතුම් ලැබේ. දිස්ත්‍රික් පළමුවැන්නන්ගෙන් හෝ ආන්තික ලකුණු ඇති අයගෙන් ලැබෙන පොදු ප්‍රශ්නයක් නම් “කුමන උපාධි පාඨමාලාවෙන් මට ඉක්මනින් රැකියාවක් ලබා ගත හැකිද”? යන්නයි. බොහෝ විට ප්‍රශ්නය වන්නේ උපාධියෙන් පසු කුමන ආකාරයේ රැකියා ඔවුන්ට ලැබෙනවාද යන්න නොව, කෙතරම් ඉක්මනින් ඔවුන්ට රැකියාවක් ලැබෙනවාද සහ එයින් කොපමණ මුදලක් ගෙවනවාද යන්නයි. අධ්‍යාපන ක්‍රියාවලියේ යම් තැනක පුද්ගල ‘සාර්ථකත්වයේ’ භෞතිකවාදී පරමාදර්ශයන් ලුහුබැඳ යාමෙන් ඔබ්බට ගිය අභිරුචිය අහෝසි වී තිබේ.

උද්‍යෝගීත්වය සහ රැකියාව වෙන් කිරීම ද බෙදීම් සහ පාලනය කිරීමේ ආකාරයකි. ඔබ නව ලිබරල් වෙළඳපොල සඳහා වැඩ නොකරන විට ඔබ ලුහුබැඳ යාමට බලාපොරොත්තු වන ඔබේ ආශාව සහ වෙනත් අවශ්‍යතා වලින්, රැකියාව අනුව ආර්ථිකය සඳහා ඔබේ දායකත්වය වෙන්ව පැවතිය යුතුය. රැකියාව සහ නිවාඩු වෙන් කිරීම මෙන්ම රැකියාව සහ අභිරුචිය වෙන් කිරීම යනු යටත්විජිත කාරණයකි.

ස්වභාවික විද්යා සහ මානව ශාස්ත් ඒකකකරණය (Compartmentalisation)

“කුසලතා හෝ සුදුසුකම් නොමැතිකම නිසා වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීමට නොහැකි“ උපාධිධාරීන් බිහිකිරීම හේතුවෙන් කලා හා මානව ශාස්ත්‍ර අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ පිළිකුලෙන් හෙළා දකින තරමට, STEM අධ්‍යාපනය ද ධනේශ්වර ආර්ථිකයට ගැලපෙන උපාධිධාරීන් බිහිකිරීම අරමුණු කරගෙන තාක්‍ෂණික දිශානතියකට පටු වෙමින් පවතී. සමස්තයක් වශයෙන් උසස් අධ්‍යාපනය තුළ එහි මනුෂ්‍යත්වය මෙන්ම දාර්ශනික ස්පර්ෂය ද අහිමි වෙමින් පවතින අතර, මෙම බල අරගලය නිසා ස්වභාවික විද්‍යා සහා මානව ශාස්ත්‍ර වෙන්කර ඒකකකරණය වැඩිවෙමින් පවතී.

ස්වභාවික විද්‍යා උපාධි පාඨමාලා වල බහුවිධ ප්‍රවේශය වියැකී යමින් තිබේ. උදාහරණයක් වශයෙන්, මෙවර මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණ (ගෞරව) උපාධි වැඩසටහනේ, නව අයදුම්කරුවන් සඳහා ඇතුළත් වීමේ නිර්ණායක වෙනස් කර ඇත. මීට පෙර, ඕනෑම විෂය ධාරාවකින් අවශ්‍ය කඩඉම් ලකුණ සම්පූර්ණ කළ සිසුන්ට මේ සඳහා ඇතුළත් විය හැකි නමුත් දැන් අයදුම්පත් භාරගනු ලබන්නේ අ.පො.ස. උසස් පෙළ  ස්වාභාවික විද්‍යාව හදාරන සිසුන්ගෙන් පමණි. උසස් පෙළ ස්වාභාවික විද්‍යා විෂයයන් හැදෑරූ සිසුන්ට පමණක් මෙම බහු-විෂයාත්මක උපාධිපාඨමාලාව සීමා කිරීමට ගත් තීරණය, ස්වාභාවික විද්‍යා හා මානව ශාස්ත්‍ර පිළිබඳ ධූරාවලි අවබෝධය සහ උපාධි පාඨමාලාවන් ඒකකකරණය වැඩි වීම පිළිබඳ පැහැදිලි උදාහරණයකි.  .

බහු-විෂයාත්මක සහ අන්තර්-විෂයාත්මක ක්‍රම ලොව පුරා ප්‍රවධ–නය වෙමින් පවතින කාල වකවානුවකදී, අපගේ උසස් අධ්‍යාපන ආයතන, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර වලින් තොර වීම සඳහා වැඩි වැඩියෙන් සීමා කිරීම් සහ ඒකකකරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරති. මොරටුව උදාහරණය බොහෝ උදාහරණ අතර එකක් පමණි; රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන STEM වැඩසටහන් වල මෑත කාලීන විෂයමාලා වෙනස් කිරීම් ද එවැනිම ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. “සේවා නියුක්තිය” මිණුම් සලකුණක් ලෙස පිළිගැනීම සහ මෙම පදනම මත උපාධි පාඨමාලා අලෙවි කිරීම, STEM අධ්‍යාපනය තුළ මානව ශාස්ත්‍ර රහිත තාක්‍ෂණික විෂයමාලා හැදෑරීමේ ප්‍රධාන පෙළඹවීමක් විය හැකිය.

අවසාන වශයෙන්, ගෝලීය ආර්ථිකය සඳහා සේවකයින් බිහිකිරීමට උත්සාහ කරන උපයෝගීතා ප්‍රවේශයන්ට අනුකූල වීම සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය යටත් විජිතකරණය කිරීම අඛණ්ඩව සිදු වෙමින් පවතී. විශ්වවිද්‍යාල යටත් විජිතකරණයෙන් මිදීමට සහ විවේචනාත්මක චින්තකයින් සහ උද්‍යෝගිමත් උගතුන් ඇති කිරීමට නම්, අපේ උපාධි අපේක්ෂකයින්ගේ සංවේදීතාවන් හා අත්දැකීම් වලට විශ්වවිද්‍යාල විෂය නිර්දේශයන් වඩාත් අදාළ කරවීම හා දැනුම නිෂ්පාදන ක්‍රියාවලිය දේශීයකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම ක්‍රියාවලියේදී සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍රය අනිවාර්යයෙන්ම විශාල කාර්යභාරයක් ඉටු කළ යුතුය.