රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තරුණ කථිකාචාර්යවරුන් ආකර්ෂණය කරගැනීම සහ රඳවා තබාගැනීම: කනිෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ දෘෂ්ටිකෝණයෙන්  

උදාරි අබේසිංහ  

පසුගිය සතියේ කුප්පි තීරුවෙන් කෞෂල්‍යා පෙරේරා කතා කළේ විශ්ව විද්‍යාල තුළ වත්මනේ පවතින ශ්‍රම ගැටළු මෙන්ම, බඳවා ගැනීම් හා රඳවා ගැනීම් සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති හරහා ඒවා වඩාත් තීව්‍ර වන ආකාරයයි. මේ සතියේ මගේ බලාපොරොත්තුව මෙම ගැටළුව තරුණ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලයට බලපාන ආකාරයත්, එමඟින් ඔවුන්ගේ වෘත්තීය උන්නතියට බාධා කරන අයුරුත් හඳුනා ගැනීමය. ඒ සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය පීඨ කිහිපයක සේවය කරන තරුණ කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු හා සිදුකරන ලද සාකච්ඡා මෙන්ම මගේ පෞද්ගලික අත්දැකීම්ද යොදාගැනේ. 

වෘත්තීය උන්නතියට බාධා වන අයුරු  

මෑත කාලීනව නිකුත් කෙරුණු තේරුමක් නැති චක්‍රලේඛ සහ බඳවා ගැනීම් පිළිබඳ අනම්‍ය රෙගුලාසි නිසා වෛද්‍ය හා දන්ත වෛද්‍ය පීඨ තුළ තරුණ කථිකාචාර්යවරුන්ට සිය වෘත්තීය උන්නතිය පිළිබඳ බිය සැක වර්ධනය වී තිබේ. 

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ චක්‍රලේඛ අංක 08/2022 ට මෑතදී හඳුන්වා දුන් සංශෝධනයකට අනුව, වෛද්‍ය හා දන්ත වෛද්‍ය පීඨ වල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පළමු හා දෙවන ශ්‍රේණි වලට බඳවා ගැනීම් කිරීමේදී පහත සුදුසුකම් දෙකෙන් එකක් සම්පූර්ණ වියයුතුය: 1) වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ අනුමැතිය ලැබූ වෛද්‍ය විද්‍යා ආචාර්ය උපාධියක් හෝ 2) පූර්ණ කාලීන පර්යේෂණ පදනම මත (එනම් මාස 24 ක කාලයක්) අදාළ විෂය ක්ෂේත්‍රයකින් ලබාගත් ශාස්ත්‍රපති උපාධියක්. ඒ අනුව අදාළ විෂය ක්ෂේත්‍රයක වුවද අර්ධ කාලීන ශාස්ත්‍රපති උපාධියක් ලබාගෙන ඇත්නම් බඳවා ගැනීම, සේවයෙහි ස්ථිර වීම, හෝ උසස් වීම් සඳහා සළකා බැලෙන්නේ නැත.      

මෙමඟින් සිදුකොට ඇත්තේ රැකියාව කරන අතරවාරයේ අවශ්‍ය ශාස්ත්‍රීය සුදුසුකම් සම්පූර්ණ කරගැනීමට තරුණ කථිකාචාර්යවරුන්ට ඇති අවස්ථාව අහිමි කිරීමයි. මෙම අවස්ථාව ලබාදෙන්නේ නම් අදාළ කාල සීමාව තුළදී තරුණ කථිකාචාර්යවරුන්ගේ ශාස්ත්‍රීය සහ පරිපාලන සේවය ලබාගැනීමට විශ්ව විද්‍යාලයට හැකියාව ලැබෙන්නාක් මෙන්ම, සිය සේවා ස්ථිර කිරීමේ කටයුතු සම්පූර්ණ කරගැනීමට අදාළ කථිකාචාර්යවරයාටද හැකියාව ලැබේ. නව බඳවා ගැනීම් නවතා දමා ඇති මෙවැනි අවස්ථාවක එය දෙපාර්ශ්වයටම වාසිදායක විසඳුමකි.  

එසේම බඳවා ගැනීම් සම්බන්ධ රෙගුලාසි නිසා නිර්මාණශීලී පර්යේෂණ සිදුකිරීමටත්, සිය වෘත්තීය ගමන ඒ ඔස්සේ සාධනය කරගැනීමටත් ඇතිකරන්නේ බාධාවකි. අදාළ විෂයෙන්ම මූලික උපාධිය ලබාගත් අයදුම්කරුවන්ට මුල්තැන ලැබෙන නිසා අන්තර්-විෂයික උපාධි පාඨමාලා හැදෑරීමට බොහෝදෙනා මැලි වෙති. එසේම සමහර දෙපාර්තමේන්තු වල ආචාර්ය උපාධියට වඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියට වැඩි පිළිගැනීමක් පවතින නිසා, ආචාර්ය උපාධි දරන අයදුම්කරුවන්ට අතිරේක අභියෝගයක් එල්ල වී තිබේ. විවිධ උපාධි පාඨමාලා වලින් විවිධ කුසලතා ලබාදෙන බවත්, එම විෂය විවිධත්වය  අධ්‍යයනාංශයකට ශක්තියක්ම පමණක් බවත් බඳවා ගැනීමේ ක්‍රියාවලීන් විසින් පිළිගත යුතුය.

විදේශ පුහුණුව ලබාගැනීමේ දුෂ්කරතා

වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය පීඨයක සායනික අධ්‍යයනාංශයකට බඳවා ගැනෙන තරුණ කථිකාචාර්යවරුන්ගෙන් සායනික පශ්චාත් උපාධියක්ම අපේක්ෂා කෙරේ. ලංකාවේ මෙම උපාධි ලබාදෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයෙනි (PGIM). මෙම සුදුසුකම ලබා ගැනීමෙන් අනතුරුව වසරක විදේශ පුහුණුවක් ලැබීම අනිවාර්ය වේ. අනුමත විශේෂඥ වෛද්‍යවරයකු වියහැක්කේ එවිටය. විදෙස් පුහුණුව සඳහා අවස්ථාවන් සොයාගැනීම තරුණ කථිකාචාර්යවරයාගේ වගකීමකි. මෙම විදෙස් පත්වීම් සඳහා බොහෝවිට ගෙවීම් කරනු නොලැබේ. එබැවින් විදෙස් පුහුණුව සඳහා මාසික දීමනාවක් ලබා දෙනු ලැබේ. 

මෙම තත්වය තුළ රජයේ අරමුදල් භාවිතයෙන් විදෙස් පුහුණුව ලබාදීම් නැවැත්වීමේ මෑත කාලීන තීරණය දැඩි ප්‍රතිවිපාක ඇතිකොට තිබේ. ශාස්ත්‍රපති උපාධියෙන් පසු සේවයේ ස්ථිර වියහැකි වුවද, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුර සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද‍ය පශ්චාත් උපාධි ආයතනයෙනි අනුමත විශේෂඥ වෛද්‍යවරයකු වීම අත්‍යාවශ්‍යය. මෙනිසා තරුණ කථිකාචාර්යවරුන් පද්ධතිය තුළ රඳවා ගැනීම පමණක් නොව, ඔවුන් ආකර්ෂණය කරගැනීමත් ගැටළුවක් බවට පත්වෙමින් තිබේ. වසර ගණනක් වෙහෙස වී වැඩ කළ පසුත් කනිෂ්ඨ තනතුරකින් ඔබ්බට යා නොහැකි රැකියාවක් පිළිබඳ යමෙකු උනන්දු වෙතැයි සිතිය හැකිද? 

ආර්ථික අර්බුද තත්වය තුළ සිය පශ්චාත්/ ආචාර්ය උපාධි නිවාඩු ලබාගැනීම සඳහා අවශ්‍ය බැඳුම්කරයට අත්සන් තැබීමට පිරිස් සොයාගැනීමේ අපහසුවද තරුණ කථිකාචාර්යවරුන් පෙළයි. බැඳුම්කර ගිවිසුමේ කොටසක් වශයෙන් උපාධිය ලබා නැවත පැමිණි පසු යම් අනිවාර්ය සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුය. විශ්ව විද්‍යාල අරමුදල් භාවිතයෙන් තොරව, බාහිරින් අරමුදල් සොයාගන්නා තරුණ කථිකාචාර්යවරුන්ට, බැඳුම්කරයේ වටිනාකම ශිෂ්‍යත්වයේ සමස්ත වටිනාකමින් තුනෙන් එකකි. විශ්ව විද්‍යාල හරහා ශිෂ්‍යත්ව අරමුදල් භාවිතා කරන්නන්ට එය ශිෂ්‍යත්වයේ සමස්ත වටිනාකම හා සමානය. රුපියලේ අවප්‍රමාණය හේතුවෙන් සමහර අවස්ථා වල මෙම වටිනාකම රුපියල් කෝටි දෙක ද ඉක්මවයි. අර්බුදය නිසා රටින් පිටවන්නන් නැවත පැමිණේද යන සැකය හේතුවෙන් මෙවැනි වටිනාකම් සහිත බැඳුම්කර වලට අත්සන් තැබීමට කිසිවෙකු සොයාගැනීම දුෂ්කර වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ තරුණ කථිකාචාර්යවරු සේවය හැරයන තත්වයකට පත්ව තිබේ.  

බුද්ධිමය කොල්ලයන්  

බුද්ධිමය කොල්ලයක් වශයෙන් හඳුන්වන්නේ යමෙකුගේ අදහස් අවසරයකින් තොරව, පර්යේෂකයාට දිය යුතු ගෞරවය ලබා නොදෙමින් පර්යේෂණ හෝ වෙනත් බුද්ධිමය කටයුතු සඳහා භාවිතා කිරීමයි. මෙවැනි කරුණු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයක්ද විශ්ව විද්‍යාල පද්ධතිය තුළ නැත. මෙහිදී සිදුවන්නේ කොල්ලයකි. සාර්ථක පර්යේෂකයින් රඳවා ගැනීමේදී මෙවැනි පරිසරයක් ඉතා අවැඩදායකය. තමන්ට මෙවැනි අසාධාරණයක් සිදුවන අවස්ථා වලදී කනිෂ්ඨ කාර්ය මණ්ඩලය බොහෝවිට නිහඬ වේ. මන්ද, සිය රැකියා සුරක්ෂිතතාව රඳා පවතින්නේ ජ්‍යෙෂ්ඨයන් මත වන බැවිනි. 

ශාස්ත්‍රීය කටයුත්තක් යනු අත්‍යන්ත ශ්‍රමයක් හා කාලයක් වැය වන්නකි. සාරවත් මාතෘකාවක් හෝ පර්යේෂණ ගැටළුවක් නිර්මාණය කරගැනීම, තොරතුරු එක්රැස් කිරීම, ප්‍රතිඵල අර්ථ කථනය කිරීම, අදාළ පූර්ව මූලාශ්‍ර ඇසුරු කිරීම වැනි දේට බොහෝ කාලයක් වැය වේ. එවැනි උත්සහයකින් පසු තම අදහස් තවකෙකු විසින් කොල්ල කෑම තරුණ ශාස්ත්‍රාලිකයන්  බෙහෙවින් අධෛර්යමත් කරන්නකි. එවැනි භාවිතයන් සුලබ වශයෙන් පවතින යම් පීඨයක් හෝ දෙපාර්තමේන්තුවක් වේ නම්, එවැනි තැන් වලට තරුණ කථිකාචාර්යවරුන් ආකර්ෂණය කරගැනීම ඉතා දුෂ්කර වේ.  

ලිංගික හා ආයතනික හිංසනය

ලිංගික හිංසනය නැවත්වීම සඳහා කොතරම් ප්‍රතිපාදන ආයතනික මට්ටමින් පැවතියද, එවැනි හිංසන ක්‍රියා වල අඩුවක් නැත. කාන්තා සිසුන් සහ කාර්ය මණ්ඩලය සුවිශේෂයෙන් මෙම අනතුරට ලක්විය හැකි කුලකයෙහි සිටිති. කාන්තාවක් සහ කනිෂ්ඨ කථිකාචාර්යවරියක් වශයෙන් මමද මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් අතර, ඒ පිළිබඳ පැමිණිලි කළෙමි. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අදාළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාගේ දෝෂ සහගතභාවය ඔප්පු වූ නමුත්, ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගැනීමට විශ්ව විද්‍යාලය අසමත් වූවා පමණක් නොව, විශ්ව විද්‍යාල මණ්ඩලය මඟින් විමර්ශන වාර්තාව ප්‍රතික්ෂේප කරන්නට පවා යෙදුනි. මෙම කාල වකවානුව තුළ මගේම හොඳට (අඩු වශයෙන් මම එසේ සිතමි) ලබාදුන් සියලු උපදෙස් වලින් කියවුනේ විශ්ව විද්‍යාලය හැරයන ලෙසත්, නැවත නොඑන ලෙසත්ය. ලිංගික අඩන්තේට්ටම් වලට අභියෝග කරන්නන් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට විශ්ව විද්‍යාලය අසමත් වන අවස්ථා වල ඔවුන් විශ්ව විද්‍යාලය හැරයනවා පමණක් නොව, එවැනි සිදුවීම් නිසා කාන්තාවන් විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් වීමද අධෛර්යමත් කෙරේ.    

ධූරාවලිය සහ වෙනස් කොට සැළකීම 

පරිවාස (ආධුනික) කථිකාචාර්යවරුන් ශාස්ත්‍රීය ධූරාවලියේ පහතින්ම සිටින්නෝ වෙති. දේශන පැවැත්වීමේ වැඩි බරක් ඔවුන් මත පැටවෙන අතර, සමහර දෙපාර්තමේන්තු වල ජ්‍යෙෂ්ඨයින්ගේ ආවතේව කිරීමද ඔවුන්ගේ වගකීමක් බවට පත්ව තිබේ. පරිපාලන සහ පර්යේෂණ කටයුතු බොහොමයකට ඔවුන් සිය කාලයෙන් වැඩි ප්‍රමාණයක් මිඩංගු කළද, එම දායකත්වය ප්‍රසිද්ධියේ පිළිගැනෙන්නේ කලාතුරකිනි. මේ නිසා සිය පෞද්ගලික පර්යේෂණ කටයුතු වලට මිඩංගු කිරීමට ඔවුන් අත ඉතිරි වන්නේ ඉතා අඩු කාලයකි. එහි ප්‍රතිඵලයක් ලෙස තරඟකාරී ශිෂ්‍යත්ව සඳහා ඔවුන්ට ඇති අවස්ථා අවම වේ. වර්තමානයේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවතින ප්‍රමිතියකින් තොර, ඇල් මැරුණු පර්යේෂණ කිරීමේ සංස්කෘතිය මෙයාකාරයෙන් චක්‍රීයව ප්‍රතිනිෂ්පාදනය වේ. මෙම වෙනස් කොට සැළකීමේ වෙනත් ප්‍රතිවිපාකද තිබේ. ඉන් එකක් වන්නේ ජ්‍යෙෂ්ඨත්වය මත නවාතැන් පහසුකම් ලබාදීමේ භාවිතයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කනිෂ්ඨ කථිකාචාර්යවරුන්ට ශිෂ්‍ය නේවාසිකාගාර වල තනි කාමර ඉල්ලුම් කිරීමේ හැකියාව ඇත. එහෙත් දුරබැහැර ප්‍රදේශ වලින් සිය දරුවන් හා පැමිණෙන්නන්ට මෙම පහසුකම හිමි නොවේ. ජ්‍යෙෂ්ඨත්වය නොමැති වීම හේතුවෙන් වෙනත් ආකාරයක නේවාසික පහසුකම් වලටද ඔවුහු සුදුසුකම් නොලබති. පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ගේ ආදායම තුළ කුලී නිවෙස් සෙවීමේදී මතුවන අභියෝග එමටය. මේ නිසා සුදුසුකම් සහිත වුවත් සමහර තරුණ පිරිස් දුරබැහැර ප්‍රදේශ වල විශ්ව විද්‍යාල වලට අයදුම් නොකරති.

වඩා පුළුල් යථාර්ථය

මෙම ගැටළු වලින් සමහරක් විසඳිය යුත්තේ ඉහළම පරිපාලන මට්ටමිනි. තවත් සමහර ඒවා විශ්ව විද්‍යාල සහ පීඨ මට්ටමින් විසඳිය හැකිය. චක්‍රලේඛ නිකුත් කිරීමට පෙර උසස් අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදකයන් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කළ යුතුය. රුපියල අවප්‍රමාණය වීම හමුවේ දිනෙන් දින ඉහළ යන බැඳුම්කර වල වටිනාකමත්, එමඟින් වෛද්‍ය හා දන්ත වෛද්‍ය පීඨ වල විදෙස් පුහුණු වීම් වලට ඇති කරන අභියෝගත් පිළිබඳ ගැටළු වලට පිළිතුරු සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාකාරීව මැදිහත් විය යුතුය. ලිංගික හිංසන හා බුද්ධිමය කොල්ලයන් වැළක්වීම සඳහා ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සියලු දෙනා දැනුවත් කිරීමත්, ඒ සඳහා සාර්ථක උපකාරක පද්ධතීන් නිර්මාණය කිරීමත් වැදගත් වේ. සම්පාදනයේදී හෝ ක්‍රියාත්මකකරණයේදී හොඳින් සිතා නොබලන ලද ප්‍රතිපත්ති වලින් කිසිවෙකුටත් වැඩක් නොවේ. පවතින ප්‍රතිපාදන භාවිතයෙන් සිය ආරක්ෂාව සලසා ගැනීමටත්, විශ්ව විද්‍යාල බලධාරීන් වගවීමට යටත් කිරීමටත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට අවශ්‍ය ශක්තිය ලබාදෙන්නා වූ ආකාරයේ යාන්ත්‍රණයන් නිර්මාණය කළ යුතුය. මෙම ගැටළු නොවිසඳුනොත් වෛද්‍ය හා දන්ත වෛද්‍ය පීඨ ඇතුළු සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය ළඟදීම කඩා වැටීම නැවැත්විය නොහැකි වනු ඇත.