ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර අවතක්සේරු කිරීම

ෆර්සානා හනීෆා

2021 වර්ෂයේදී  ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර වල සිය 100 වැනි සංවත්සරය සනිටුහන් කළේය. මේ සඳහා විශේෂ සම්මන්ත්‍රණයක්ද සංවිධානය කෙරුණු අතර ඒ තුළින් මෙම ක්ෂේත්‍රය සෞඛ්‍යමත්ව පවතින බවට හැඟීමක්ද ලබාදෙන ලදී.

එහෙත් මෙම විෂයන් මඟින් සම්පාදනය කරන දැනුමට කිසිදු ආකාරයේ පිළිගැනීමක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මඟින් සම්බන්ධීකරණය කරනු ලබන තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය තුළින් ලබා නොදේ. මේ සම්බන්ධ මෑත කාලීන අත්දැකීමක් සිහිපත් කරනු කැමැත්තෙමි.

දැනට විශ්ව විද්‍යාල වලට අරමුදල් ගලා එන ප්‍රධාන ක්‍රමයක් වන AHEAD ව්‍යාපෘතිය බොහොකොටම පදනම් වී ඇත්තේ ‘රැකියා නියුක්තියට සුදුසු’ උපාධිධාරීන් සම්පාදනය කිරීම හා ඒ සඳහා විශ්ව විද්‍යාලය සූදානම් කිරීමේ අරමුණ මතය. ඒ සම්බන්ධයෙන් සංවිධානය කොට තිබූ වැඩමුළුවකට අපිද සම්බන්ධ වීමු. මෙවැනි පාඨමාලා මේ වනවිට බොහෝ පවතින අතර ඒවා සිදුකරන්නේ තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය තුළ බොහෝ කලක් තිස්සේ සිටින්නා වූ ශාස්ත්‍රඥයන් පිරිසකි.

මේ වනවිට අප උගන්වන පාඨමාලා සහ උපාධි වැඩසටහන් වල ‘අපේක්ෂිත ඉගෙනුම් අරමුණු’ (intended learning outcomes) එකම අච්චුවකට ප්‍රමිතිගත කිරීමේ ක්‍රියාවලියෙහි එක කොටසකි මෙම වැඩමුළුව. එහිදී උත්සහ ගැනුණේ එක් එක් පාඩමට අදාළව එසේ ඉගෙනුම් අරමුණු සම්පාදනය කිරීමටයි.

වැඩමුළුවේ පළමු මිනිත්තු 15 ගතකළේ ‘ප්‍රතිඵල පාදක අධ්‍යාපනය’ (outcome-based education) යන්න හඳුන්වා දීමටයි. අප බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබාගැනීමට නම් පාඨමාලාව තුළදී සිසුන්ට ලබාදෙන ක්‍රියාකාරකම් වලට ඒවා මුල සිටම ‘කැවිය’ යුතු බව එහිදී අපව දැනුවත් කරන ලදී. මෙවැනි ව්‍යායාම වලින් එළිබසින ‘නිෂ්පාදනය’ සමාජයට දායකත්වය සපයන ‘යහපත් පුරවැසියෙකි’. මෙහිදී අප ලද උපදෙස වූයේ ගොඩනැගිල්ලක් හෝ මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සිතා බලන ලෙසයි. එවැනි නිෂ්පාදනයක් කිරීම සඳහා සැලසුම්කරණය සහ ඒ වෙනුවෙන්ම වූ පිටපතක් අවශ්‍ය වන්නාක් මෙන්ම, ‘මානව නිෂ්පාදනයක්’ නිර්මාණය කිරීමේදීද සැලසුම් කිරීමේ ක්‍රියාවලියක් අවශ්‍ය වේ. එහෙත් ‘මානව නිෂ්පාදනයක්’ නිර්මාණය කිරීමේදී වඩාත් පරෙස්සම් වියයුතු බවත්, එසේ පරෙස්සම් වියයුත්තේ අදාළ පුද්ගලයාගේ පුද්ගලභාවය නැති නොවන පරිදි එම ක්‍රියාවලිය සිදුකළ යුතු නිසා බවත් මෙහිදී උපදෙස් ලැබුණි. මෙම ක්‍රියාවලිය කොතරම් දුෂ්කර වුවත්, සැලසුමක් තිබෙන තාක් අප විසින් ‘නිෂ්පාදනය’ කරන්නන් අතර යම් මූලික සමානකම් කිහිපයක් හෝ දැකීමට හැකිවන බවද මෙහිදී අපට වාචික සහතිකයක් ලැබුණි.   

අපේ පාඨමාලා වල අප බොහෝ කොටම සිසුන්ට කියාදෙන්නේ ‘සාමාන්‍ය’ යැයි අප පිළිගෙන තිබෙන දැනුම හැකිතරම් ආපසු හරවන (එනම් එදෙස විවේචනාත්මකව බලන) ලෙසයි. එනයින් බලන කළ ඇත්තෙන්ම අපේ සිසුන්ව පෞද්ගලික ඉතිහාසයන්, තමුන්ටම අනන්‍ය පෞරුෂයන් සහිත, අප සමඟ සම්බන්ධතා ඇතිකර ගන්නා මෙන්ම ඔවුන්ගේ හැකියා අප විසින් දියුණු කළයුතු පුද්ගලයන් ලෙස දකිනු වෙනුවට නිර්-මනුෂ්‍ය කොට දක්වන්නා වූ මෙවැනි ආකාරයේ ක්‍රියාවලීන් ලෙස සැකයෙන් බලන්නට අප ඔවුන් පුහුණු කළ යුතුය. මෙම වැඩමුළුවේත්, සමස්ත ක්‍රියාවලියේත් අරමුණ ‘සේවා නියුක්තියට සුදුසු කුසලතා’ සිසුන් තුළ ඇති කිරීමයි. මෙම තීරුවෙන් දිගින් දිගටම පෙන්වා දී ඇති පරිදි සේවා නියුක්තියට සුදුසු බව පිළිබඳ මෙම කතිකාවම බරපතල ලෙස සීමාවට ලක්කරන සුළු එකකි.  

පාඨමාලාවේ අවසාන කොටසේදී පාඩමක ඉගෙනුම් අරමුණු ඉටුවූ බව තහවුරු කරගන්නා අයුරු පැහැදිලි කිරීමට සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර වලින් උදාහරණයක් යොදාගැනුනි. එනම් යහපත් සෞඛ්‍යයට බලපාන සමාජීය සාධක යන්නයි. අප ලද පළමු උපදෙස නම් යම්කිසි පැහැදිලි ක්‍රියා පදයක් වාක්‍යය තුළ යොදාගන්නා ලෙසයි. මෙම අවස්ථාවේ නිදසුනක් ලෙස “යහපත් සෞඛ්‍යයට බලපාන සමාජීය සාධක ලැයිස්තුගත කර දක්වන්න” යන්න පෙන්වා දෙන ලදී. මෙහිදී ‘ලැයිස්තුගත කිරීම’ යන්න මූලික කුසලතාවයක් ය යන තර්කය ඉදිරිපත් වුණි.

දෙවැනි ඉගෙනුම් අරමුණට යන විට තත්වය වඩාත් ව්‍යාකූල විය. එහිදී වඩා දියුණු කුසලතාවක් ලෙස සැළකෙන ‘පැහැදිලි කිරීම’ යන්න යොදාගෙන පහත ආකාරයේ වාක්‍යයක් තැනිය හැකිබව යෝජනා වුණි: “දුම්පානයට ඇබ්බැහි වූවෙකුගේ සෞඛ්‍යයට බලපාන සමාජීය සාධක පැහැදිලි කරන්න”. 

ප්‍රශ්නයට පිළිතුරු ලෙස උපදේශකවරිය පැවසූයේ “සමහරවිට සමාජ පීඩනය හේතුවෙන් කෙනෙක් දුම්පානයට යොමුවිය හැකියි. එය ඇත්තෙන්ම ඔහුගේ රැකියාව විය හැකියි; සමහර රැකියා වලින් නොමිලයේ සිගරට් ලබාදෙනවා.”

තුන්වනුව, උපදේශකවරියට අනුව අප සිසුන්ට යම් සෞඛ්‍ය ප්‍රශ්නයක් ලබාදී එහි සමාජීය සාධක ‘විශ්ලේෂණය’ කිරීමට අවස්ථාව ලබාදිය යුතුය. ඉන්පසුව එම සාධක වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රමවේද නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡා කළ යුතුය. ටික වේලාවක් යනවිට අපෙන් සමහරුන්ට වැටහුනේ මෙම උපදේශකවරියට ‘සමාජීය සාධක’ යන්න පිළිබඳ අවබෝධයක් නොමැති බවයි: එනම් මිනිසුම් ජීවත් වන අසමාන ආකාරයන් කෙරෙහි බලපාන සාර්ව මට්ටමේ සමාජීය කොන්දේසි මිස, ඇය උපකල්පනය කළ පරිදි තනි පුද්ගලයෙකුගේ සමාජ සම්බන්ධතා හෝ සමාජ ජීවිතය නොවන බවයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයද මා හඳුනාගත් ආකාරය හා සමපාත වේ. එයින් පෙනී යන්නේ සිය මාතෘකාව පිළිබඳ අන්තර්ජාල විමර්ශනයක් තරම්වත් කිරීමට මෙම උපදේශකවරිය කරදර වී නොමැති බවය.

මෙයින් මා පෙන්වන්නට උත්සහ කරන්නේ සමාජීය විද්‍යා දැනුම උපදේශකයින් විසින් වුවත් කොතරම් සැහැල්ලුවෙන් සළකන්නේද යන්නයි. ඒ හා සම්බන්ධ මාතෘකාවක් ඉගැන්වීමට පෙර සූදානමක් හෝ විශේෂඥභාවයක් අවශ්‍ය බව බොහෝදෙනා නොසිතති. අසමානත්වය හා ආන්තීකරණය හඳුනාගැනීමට, ඒවායෙහි ඉතිහාසයන් පැහැදිලි කිරීමට, ඒවා භෞතිකමය වශයෙන් කුමන ප්‍රතිඵල වලට තුඩු දෙන්නේද යන්න පෙන්වා දීමට හා එම තත්වයන් මඟ හරවා ගැනීමට අප වසර ගණනාවක් තිස්සේ ලබන්නා වූ පුහුණුව මෙවැනි උපකල්පන වල සම්පූර්ණයෙන්ම නිශේධ කොටදමා ඇත. 

මෙහිදී මගේ වඩා පුළුල් කතාන්තරය එදිනෙදා වෘත්තීමය ජීවිතය තුළ සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර වල නියැලෙන්නන්ගේ දැනුම හා විශේෂඥභාවය නිතර අවතක්සේරුවට ලක්වීම පිළිබඳ එකකි. ‘සේවා නියුක්තියට සුදුසු’ කතිකාව තුළ මෙම විෂයන් කොන්වීම ආරම්භ වන්නේ මෙම ආඛ්‍යානය තුළය. අපේ පාඨමාලා එන්න එන්නටම ආන්තීකරණයට ලක්වන්නේ මෙම පරිසරය තුළ හා ඒ නිසාවෙනි.