ලිංගික හිරිහැර සහ ලිංගික හිංසනය (වරදවා) හඳුනා ගැනීම: විශ්ව විද්‍යාල අවකාශයන් ප්‍රජාතාන්ත්‍රීකරණය

සිවමෝහන් සුමති

අප අතර ප්‍රචණ්ඩත්වය හා සබැඳි ප්‍රධාන අංශයක් වන්නා වූ, නමුත් කතාබහට ලක් නොවන එකක් ලෙස ලිංගික හිරිහැර සහ ලිංගික ප්‍රචණ්ඩත්වය හඳුනා ගත හැක. අප වාසය කරන පුරුෂ මූලික ව්‍යුහයන් තුළ, ස්ත්‍රීය සහ ස්ත්‍රීත්වය සාපේක්ෂව යටහත් තැනක තබා ඇත. ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දීම සැබැවින්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ගැටලු, එනම් අධ්‍යාපනයේ අවකාශයන්හි කාන්තාවන් සහ අනෙකුත් ලිංගික අනන්‍යතා කොන් කිරීම සඳහා වන, වඩා විශාල ව්‍යාපාරයක කොටසකි.

ලිංගික හිංසනය බොහෝ විට අසාමාන්‍ය සිදුවීමක් ලෙස සැලකේ. එය ස්‌වාභාවික ස්‌ත්‍රී පුරුෂ භේදය තුළින් හටගත් ක්‍රියාවක්‌ ලෙස ද විටෙක තේරුම් ගැනේ. එහිදී “වින්දිතයාගේ” සමාජ ආන්තිකභාවය සැලකිල්ලට ගැනෙන්නේ කලාතුරකිනි. බොහෝ විට වින්දිතයා වැරදි පාර්ශවය ලෙස සලකනු ලබන අතර, “අහිංසක” අපරාධකරුවා ආකර්ෂණය කර ගැනීම සඳහා “ඇයගේ” ලිංගිකත්වය භාවිත කළ බවට චෝදනා ලබයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය  අවකාශයන් ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම වෙනුවෙන් අප ක්‍රියා කරන විට, ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජ හැසිරීම් ස්වාභාවීකරණය කිරීම පිටුදැකිය යුතු අතර, බලයේ ක්‍රියාවක් ලෙස ලිංගික ආක්‍රමණය හඳුනා ගැනීමට ප්‍රවේශ විය යුතුය; තවද අවදානමට ලක්විය හැකි පුද්ගලයෙකු මත එම බලය පැවැත්වීම, එනම් අනෙකාගේ “ශරීරය” මත සිදු කරන්නා වූ ලිංගික හිංසනය හඳුනා ගැනීමද වැදගත් ය.

අස්ථානගත වූ සදාචාරයක්, ආචාරධාර්මික සලකා බැලීම් සමඟ පටලවා නොගැනීම ද වැදගත් වේ. පුද්ගලයෙකුට ලිංගික ආශාවන් ආක්‍රමණශීලී ආකාරයෙන් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. එවැනි කෙනෙකුගේ අයිතිය ක්‍රියාත්මක කිරීම, බලයේ සිටින පුද්ගලයෙකු විසින් අවදානමට ලක්විය හැකි පුද්ගලයෙකු සූරාකෑම සමඟ පටලවා නොගත යුතුය.

එදිනෙදා ජීවිතය තුළ මුල් බැස ගෙන ඇති ලිංගික හිරිහැර සහ ප්‍රචණ්ඩත්වය, පියර් බෝඩියු (Pierre Bourdieu) හඳුන්වනු ලබන්නේ Habitus ලෙසිනි. ශීලාචාර පුරුදු තුළින්, අවකාශවලට හිමිකම් කීම තුළින්, අනෙකෙක් ලෙස පුද්ගලයන්ව කොන් කිරීම තුළින්, ඒවා ගැඹුරින් මුල්බැස ගෙන ඇති විශ්වවිද්‍යාලය වැනි ස්ථාන වල  මෙම භාවිතයන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. එය අපගේ නිවෙස්, වෙළඳපොලවල්, වීදි, රංගශාලා සහ රැකියා හා අධ්‍යයන අවකාශයන් වැනි පොදු අවකාශයන් තුළ රඟ දක්වනු ලබන බල සබඳතාවල පිටපතකි. අපගේ භාෂණය, හමුවීම්, සහ අප ජීවත් වන අවකාශයන් තුළ මෙම බල සම්බන්ධතා පුරුද්ද තුලින් නැවත නැවතත් ප්‍රතිනිෂ්පාදනය කරයි. මේ සියල්ලට විරුද්ධ ව පිහිටා සිටින “ගොදුර” මෙම සම්මතයට පිටස්තරයෙකු බවට පත්වේ, එනම් අනෙකා බවට පත්වේ. මෙම ක්‍රියාවලියේදී ඇය/ඔහු/ඔවුන් අසරණ වී බල රහිත වේ.

විශ්වවිද්‍යාලය තුළ ලිංගික ප්‍රචණ්ඩත්වය ස්ත්‍රී පුරුෂ ධූරාවලිය ඇතුළු ධුරාවලියන් තුළ ස්ථානගත කළ යුතුය. ශිෂ්‍යාවක් හෝ කණිෂ්ඨ කථිකාචාර්යක් ඇය අපහසුතාවයට, ලැජ්ජාවට, අවමන් කිරීමට හෝ අන්තරාදායක තත්වයකට පත්වුවහොත් සහනයක් සොයා යන්නේ කොතැනටද, එමෙන්ම “අපරාධකරු” යැයි කියනු ලබන තැනැත්තා ඇයගේ නඩුවේ විනිශ්චය ලබා දෙන්නෙක් නොවන බවට සහතික වන්නේ කෙසේද? ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල වැනි පරිවෘත ආයතනික අවකාශයක පුද්ගලයෙකුට සාධාරණ විභාගයක් ලැබෙනු ඇති බවට සහතික කරන්නේ කෙසේද? සබඳතා ධූරාවලිගතව සකස් කර ඇති විට, බලය සෑම විටම පාරදෘශ්‍ය නොවන විට, තීරණ ගනු ලබන ස්ථාන සමාජ හා ආයතනික සබඳතාවල සියුම් ජාලයක් ඔස්සේ ක්‍රියාත්මක වන විට මෙම තත්වය සහතික කළ හැකිද?

අද ශ්‍රී ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාල වල ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිරිහැර සහ ලිංගික ප්‍රචණ්ඩතාවය වෙනුවෙන් ප්‍රතිපත්තියක් ඇත. එමඟින් බලධාරියෙකු අතින් පුද්ගලයගේ පරිපූර්ණත්වය උල්ලංඝනය වන විට “වින්දිතයාට” හැසිරිය යුතු ආකාරය පිළිබඳව සහ සහය සැපයීමේ අරමුණින් මාර්ගෝපදේශ සහාය ලබා දේ. එහෙත් ලිංගික හිරිහැර තවමත් විසඳිය නොහැකි ගැටලුවක් වී තිබේ. සාමූහික සහ ආයතනික කැමැත්තකින් තොරව, අවදානමට ලක්විය හැකි ස්ථානවල සිටින කාන්තාවන්ට සහ අනෙකුත් අයට ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කළ හැකි හිතකර සංස්කෘතියක් නිර්මාණය කිරීම දුෂ්කර ය; බොහෝ දෙනා සිය වේදනාව නිහඬව දරා ගනිති; නැතිනම් ඒ පිළිබඳව කොඳුරති. එහෙත් කිසි විටෙකත් තම අපහසුතාවය හෝ සමහරවිට බිය පවා සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිවාස කථිකාචාර්යවරියක විසින්  විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිදුවූ බව කියන ලිංගික අතවර සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ නඩුවක් සම්බන්ධයෙන් රටේ අධිකරණයෙන් සහනයක් ඉල්ලා තිබේ. මෙයින් අදහස් කරන්නේ විශ්වවිද්‍යාලය එහි සාමාජිකයාට සහනය ළඟා කරදීමට අසමත් වී ඇති බවද? මෙම නඩුවේ සාධාරණත්වය කෙසේ වෙතත්, විශ්වවිද්‍යාලයට එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ සිසුන් සඳහා ක්‍රියාකාරීව වැඩි යමක් කළ හැකිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (SGBHSV) සම්බන්ධයෙන්  ප්‍රතිපත්තිය, යෝග්‍ය වුවත්, එවැනි අපරාධයක් සිදුවීමට පෙර පුද්ගලයා බල ගැන්වීමට එතරම් දෙයක් නොකරයි. මෙය ප්‍රචලිත කිරීම පිළිබඳවද අවධානය අඩුය. අපගේ සිසුන් සහ කාර්ය මණ්ඩලයෙන් කී දෙනෙකු ප්‍රතිපත්තිය පිළිබඳව දැනුවත්ද? කාර්ය මණ්ඩල කුසලතා සංවර්ධන පාඨමාලා වල මෙය ප්‍රචලිත කිරීම සඳහා වෙන් වූ කොටසක් ඇත; නමුත් වෙනත් බොහෝ විශ්වවිද්‍යාලවල එවැනි යාන්ත්‍රණයක් ඇති බවක් නොපෙනේ. අනෙක් අතට, පේරාදෙණිය විශ්වවිද්‍යාල ප්‍රතිපත්තියේ සඳහන් වන්නේ එහි වගන්ති සියලුම සේවකයන්ගේ සේවා කොන්ත්‍රාත්තුවලට ඇතුලත් විය යුතු බවයි. කෙසේ වෙතත්, එවැන්නක් මෙතෙක් සිදුවී නොමැත. මෙම ප්‍රතිපත්තිය විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ “පැමිණිලි” කොටසේ සැඟවී ඇති අතර, වෙනත් තැනක සොයාගත නොහැක.

විශ්වවිද්‍යාල අවකාශය තුළ ධූරාවලි ගත නොවූ සබඳතා අවශ්‍ය වන අතරම ඒ වෙනුවෙන් අද අපට අවශ්‍ය වන්නේ සංවාදයකි. කළ යුතු දේ පිළිබඳව සිදුකරන වැඩමුළු, ධූරාවලියේ පහතින් සිටින්නන්ට යම් ආකාර උපකාරයක් වීමට ආරම්භක ලක්ෂ්‍යයක් වියහැකි නමුත්, ඒවා පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවේ.

විශ්වවිද්‍යාලවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ප්‍රතිපත්තිය ශක්තිමත් කළ යුතු අතර, ඊට කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට ඉඩ දිය යුතුය. එසේම  එය කාර්ය මණ්ඩලය සහ සිසුන් අතර පුළුල් ලෙස බෙදා හැරිය යුතුය. වාර්ගික සුළුතරයන් විශ්වවිද්‍යාල අවකාශයන් තුළට සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වන්නේ කලාතුරකිනි; පන්ති අනුව බැහැර කිරීම් විසින්ද  අසමාන ලිංගික සම්බන්ධතා උත්සන්න කරයි; නවක වදය සම්බන්ධයෙන් දිගුදුර දැක්මක් ඇති ප්‍රතිපත්තියක් ගෙන ආ යුතුය; ශිෂ්‍ය-ශිෂ්‍ය සබඳතා ධූරාවලිකරණය වී නොතිබීමද වැදගත් ය. නිසි පහසුකම් සහ සහාය ලබාදීම තුළින් පළමු වසර සිසුන් පෝෂණය කළ යුතුය. කනිෂ්ඨ කාර්ය මණ්ඩලය, නියෝජනය සහ සහභාගීත්වය සඳහා අවස්ථා ලබාදීම තුළින් පූර්ණ වශයෙන් බල ගැන්වීම අවශ්‍ය වේ. බොහෝ අවස්ථාවන්හිදී සනීපාරක්ෂක සේවා බාහිරින් ලබා ගන්නා අතර, එම කාර්ය මණ්ඩලයේ සෑම විටම පාහේ කාන්තාවන් කොන්ත්‍රාත්තු ගතවී සිටියි. විශ්වවිද්‍යාලයේ මෙම නිහඬ බල පද්ධතීන් ඔස්සේ ඔවුන් ගමන් කරන්නේ කෙසේද? වෙනස පැමිණිය යුත්තේ කාන්තාවන්, ශිෂ්‍යයන්, සුළු ජාතීන් සහ ශාස්ත්‍රීය හා අනධ්‍යයන ධුරාවලියේ පහළම ස්ථරයේ සිටින අයගෙ සහයෝගීතාවයේ එකමුතුවෙනි. ප්‍රජාතන්ත්‍රීකරණය වෙනුවෙන් සාමූහිකව සටන් කළ යුතු අතර, අප පුරුදු වී සිටින අවකාශයන් සමඟ කල් පවත්නා සමීපතාවයක් සඳහා සටන් කළ යුතුය.